🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නිතරම උගුරට සෙම එනවා සෙම්ප්‍රතිශ්‍යාවද? පීනසද?

නිතරම උගුරට සෙම එනවා සෙම්ප්‍රතිශ්‍යාවද? පීනසද?

ලොකු කුඩා බාල මහලු කොයි කා අතර නිරන්තරයෙන් වැළදෙන රෝගයක් ලෙස පීනස හැදින්වුවහොත් එහි වරදක් නැත. ජානමය තත්ත්වය මත කුඩා කළ සිට පිනස ඇතිවන අතර වැරදි ඇවැතුම් පැවැතුම් නිසාද වැඩිහිටියන්ට පීනස ඇති විය හැක. ඇතැම් විට සෙම්ප්‍රතිශ්‍යාවට නිසි අයුරින් ප්‍රතිකාර නොගැනිම වැරදි ආහාර පාන ගැනිම ආදිය නිසාද සෙම්ප්‍රතිශ්‍යාව පීනසින් කෙළවර විමට ඉඩ ඇත. ඔබ පීනස් රෝගය නිසා අපහසුතා රැසකට මුහුණ දි සිටිනු කෙනෙකු නම් මෙම ලිපියේ අන්තර්ගත කරුණු ඔබට වඩා ප්‍රයෝජනවත් වනු නිසැකය. පීනස් රෝගය පිළිබදව ඔබ දැනුවත් කරණුයේ උගුර කන නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය අසෝක ජයසේන මහතාය. පීනස් රෝගය නිසා නාසයේ අපරභාගයේ සිට උගුර පෙදෙසට නිරන්තරයෙන්ම සෙම ධාරවක් ගලා ඒම සිදුවේ. මෙම සෙම නිසා උගුර ආසාදනයට ලක්වී සෙම් ගෙඩි ඇතිවීමටද පුළුවන. තවද උගුර පැසවීමට ලක්විය හැක. ඇතැම්විට මෙම සෙම උගුර හරහා පෙනහළු දක්වා ගලා යෑම නිසා පෙනහලුවලට ද සෙම පැතිර යා හැක. රෝගය වළක්වා ගැනීමට නම් ප්‍රතිශක්තිකරණය ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුය. එසේම අපගේ වැරදි ඇවතුම් පැවතුම් ද හේතු සාධක වේ. ඕනෑම කෙනෙකුට සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුන විට එය ඉක්මණින් සුව කර ගැනීමට නුවණට හුරුය. ඒ සඳහා ප්‍රතිකාර වෙත යොමුවීම අත්‍යවශ්‍යය. සෙම්ප්‍රතිශ්‍යාව ඉක්මනින් සුවකර ගැනීමට නම් පිනිබෑමෙන් වැළකීම, සීත සුළංවලින් ආරක්ෂා වීම වඩාත් උචිතය. මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානවලින් ඈත් වී සිටිය යුතුය. දුම්පානය හා මධ්‍යාසාරයෙන් වැළකී සිටීම යෝග්‍යය වේ. තවත් ප්‍රධාන කරුණක් වන්නේ නාසය තදින් මිරිකා සොටු සීරීමයි. මෙසේ කිරීමේදී විෂබීජකාරක වායු කුටීරවලට ගලා යෑමක් සිදුවන බැවින් එයින් වැළකිය යුතුය. ඇතැමුන්ට ජන්මයේ සිට නාසයේ මැද බිත්තිය ඇදට පිහිටා ඇත. මෙවැනි උදවිය ද සෙම් පීනසින් පෙළෙන අතර පහසුවෙන් ගල් පීනසට භාජනය වේ.

පීනස නිසා ඇතිවන අතුරු ආබාධ
ඇස් අවට ඉදිමීම, නාසය අවහිර වීම, ගඳ සුවඳ නොදැනීම,උගුරේ ආසාදන,කට ගඳ ගැසීම,රස නොදැනීම. මැද කන පැසවීම මෙම රෝගී තත්ත්වය තුළ ඇතිවන තවත් ගැටලුවකි. අතුරු ආබාධ ලෙස කන්වල හිරවන ගතිය, කන් ඇසීම අඩුවීම, කනෙන් සැරව ගැලීම සිදු වේ. මුල් අවස්ථාවේ සිදු කෙරෙන ඖෂධීය ප්‍රතිකාර ලෙස වේදනා නාශක ඖෂධ, ප්‍රතිජීවක සහ නාසයට දමන නාසිකා බිංදු වර්ග ඇතුළත්ය. ප්‍රතිජීවක මඟින් ආසාදනය ඇති කරවන විෂබීජ හරණයකරණු ලබන අතර වැසී ඇති වාත කෝටර විවර වීම සිදු කෙරෙණුයේ නාසිකා බිංදු වලිනි. උණු දියෙන් පෙඟවූ රෙදි කඩකින් ප්‍රදාහය පත් වූ වායු කුටීරයට යාබද පෙදෙස තැවීමෙන් සහනයක් ලබාගත හැක. එසේම බෙලි කොළ, ආඩතෝඩා කොළ, දෙහි කොළ, කොත්තමල්ලි තැම්බූ වතුරෙන් ඇතිවන හුමාලය මුහුණට ඇල්ලීමෙන් හා ආශ්වාස කිරීමෙන් මේ කැක්කුම සහ වේදනා සමනයට පත් වේ. මෙලෙස හුමාලයේ ඇල්ලීමේදී සෙම බුරුල්වී ආසාදනය අඩු වී යයි. විශේෂයෙන් ආඩතෝඩා කොළවල ඇති ර්භජධඵධතමඥදබ නැමැති රසායන ද්‍රව්‍යයක් නිසා සෙම තුනී වීමක් ද සිදු වේ. බොහෝදෙනා නොසිතූවද මෙවැනි සුළු ප්‍රතිකාර මඟින් ද ගල් පීනසට සහනයක් ලැබේ. නමුත් වෛද්‍ය උපදෙස් හරියාකාරව නොපිළිපැදීම නිසා රෝගී තත්ත්වය වර්ධනය වී වායු කුහරවල එක්රැස්වී ඇති සැරව සහ සෙම් කොටස් නාසයෙන් පිටතට ගලා යාමක් සිදු නොව බැවින් ඇතැම් වෛද්‍යවරුන්ට ශල්‍ය උපකරණ යොදා සෙම ඉවත් කිරීමට සිදු වේ.

නිදන්ගත ගල් පීනස
නිතරම සෙම් තත්ත්වය උදා වීමෙන් එය නිදන්ගත ගල් පීනස බවට පත් වේ. නිසි අයුරින් ප්‍රතිකාර නොකලද හෝ නිසි කාලසීමාව තුළ ප්‍රතිකාර ලබා නොගැනීම නිසාද නිදන්ගත ගල් පීනස තත්ත්වයක් උදාවීමට ඉඩ තිබේ. මෙවැනි රෝගීන්ගේ සෙම් සිවිය බෙහෙවින් ඝනව විශාල වී ඇති බව ඔපචර කිරණ මඟින් සිදු කෙරෙන වායු කුටීර පරික්ෂණ වලින් පෙනී යයි. මෙම ඝනවූ සෙම් සිවිය නිසා වායු කුටීරවලට සෙම එකතු වී පල්වීමක් සිදු වේ. එවිට මේ නරක් වූ සෙම පහසුවෙන් ආසාදනයට ලක් වේ. නිදන්ගත ගල් පීනස් රෝගීන්ගෙන් පිළිබිඹු වන ලක්ෂණයක් වන්නේ හිසරදය සහ උගුරට සෙම් ගලා එන ලක්ෂණයකි. එය නිදන්ගත ගල් පීනස ලෙස අනුමාන කෙරේ. නිදන්ගත පීනසට සුදුසු ප්‍රතිකාරයක් ලෙස නාසයට බිංදු දමා හුමාලයට මුහුණ ඇල්ලීම සුදුසුය. නාසයට බිංදු දැමීමෙන් වායු කුටීරවල සිදුරු විවෘත වී රෝගය සමනය වේ. ඇතැම් අවස්ථාවලදී නිදන්ගත පීනස ඖෂධ ප්‍රතිකාරවලින් පමණක් සුව කිරීමට අපොහොසත් වේ. එවිට ශල්‍ය ප්‍රතිකාර මඟින් (සැත්කම්) ඝනකම් වූ සෙම් සිවිය ඉවත් කර සෙම ගලා යාම සඳහා කෘත්‍රිම දොරටු සෑදීමට වෛද්‍යවරු ක්‍රියා කරති.

දීප්ති ෆොන්සේකා
උපුටා ගැනීම දිනමිණ පුවත් පත