🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ගාලු කුමාරි කතාකරන්නේ...

ගාලු කුමාරි කතාකරන්නේ...

"අද, අද ගන්න අද... රුපියල් දහයයි. අද..."

"මල්ලී මටත්" මං පත්තරයක් ගත්තා. මරදානට යනකන් පැය තුනහමාරක් කරන්න දේකුත් තියෙන්න ඕනිනේ. අනිත් කාරණය, කතා කරන්න කෙනෙකුත් නැති කොට. මං පත්තරේ දිගෑරගෙන කියවන්න ගත්තා. මට ඉස්සරහින් වාඩිවෙලා ඉන්න ඇයත් කියවනවා. හැබැයි අමාරුවෙන් අකුරු ගැට ගහන්නේ. පත්තරේ මගේනෙ, එයා කියවපු දෙන් ඉස්සෙල්ලා. මං පත්තරේ එයාට දුන්නා කියවන්න. මට වඩා පත්තරේ කියවන්න ඇයට උවමනාව තිබුණා. මට හිතුනෙ එහෙමයි.

"තෑන්ක්ස්" හැබැයි විනාඩි දහයක් යන්න කලින් එයා පත්තරේ කියවලා ඉවර කලා. "ඔයාට ඕනිද?" අපිට එහා පැත්තෙන් හිටපු පිරිමි කෙනෙක්ගෙන් එයා ඇහුවා. "හා" ඒ මනුස්සයත් පත්තරේ කියවන්න ඉල්ලා ගත්තා. මාර වැඩක්, මගේ පත්තරේ. කියවලා ඉවර කලෙත් නැතිව එයාට දුන්නම කියවන්න හදිස්සි තිබුණ නිසා, ආයෙ මට දෙනවා වෙනවට ඒක එයාගෙ වගේ අනිත් අයට දුන්නේ. මාර මනුස්සයෙක්. මං හිතුවෙ එයා හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා. මටයි පිස්සු. මං එයා දිහා හොඳට බලලා ජනේලයෙන් එළිය බලාගෙන හිටියා. දෙපාරක් වැරදීමෙන් කකුලට ගැහැව්වා. සොරි කිව්වෙවත් නැහැ. මැනස් කියලා පොඩි දෙයක්වත් දන්නෙ නැති හැටි. මට මාර කේන්ති. එයා මගේ දිහා බලන් ඉන්නවා වගේ දැනුන නිසා මාත් මූණ බැලුවා. එයා තමන්ටම හිනා වෙලා අහක බලා ගත්තා. 

"හලෝ.. හ්ම්, හ්ම්.. නැහැ පිස්සුද?"

"ඔව්, මං මේ යන ගමන්"

"හා හා හරි බබා මං මොනා හරි කන්නම්"

"මොකක්ද, (ඒක ඇහුණෙ නැහැ)"

"හ්ම් මං තියනවා. ඔව් හි හි හි නෑ"

"මේ, මේ අහන්න. නෑ ඔයා විතරයි හලෝ.. මං"

"ඔව් මොනා කියන්නද ඕනි"

"මේ මං තියනවා ඔෆිස් එකෙන් කෝල් එකක් එනවා"

"හ්ම්.. හ්ම්.. දන්නෙ නැහැ. මේ ආයෙත් කෝල් කරනවා"

"ඔව් ඔව් එයා තමයි. ඉතිං, මං මොකක්ද කරන්න ඕනි"

"මේ නංගි මට රණ්ඩු වෙන්න ඕනි නැහැ"

"හා හා"

මට පිටිපස්සෙන් හිටි කෙනෙක්ගෙ කෝල් එකක් ඒ.

"නංගි, ඔයාට මං දෙයක් කියන්නම්"

"ඔව්" කම්මැලිකමේ යනවාට වඩා මොනවා හරි කතා කර කර යන්න මාත් කැමති.

"ඔයා කාට හරි ආදරේ කරනවාද?"

මට පුංචි හිනාවක් ගියා.. "ඔව්"

"හ්ම්.. අර එහා පැත්තෙ කෝල් එකේ හිටි කොල්ලා ඉන්නවා නේද? එයාට කෙල්ලො දෙන්නෙක්ට එහා ඉන්නවා." 

මෙයත් ජනේලයෙන් එළිය බලන් හිටියට කන අනිත් අයගේ කටවල් ලග. 

"අන්න නියම ආදරවන්තයෝ නංගි, හි.. හි.. හි.." එයා හයියෙන් ඒක කිව්වේ. මං වටපිට බැලුවේ අනිත් අය අපේ කතාව අහගෙනද ඉන්නේ කියලා. මට කතාව වෙනස් කරන්න ඕනි වුණා.

"අක්කා කොහෙද?"

"මං.. හ්ම්, මං ලංකාවේ"

"ඔව්, ඉතින් ලංකාවේ කියලා දන්නවා. ලංකාවේ කොහෙද කියලා ඇහුවේ?"

"ලංකාවේ තැනක් කියලා නැහැ. ඊයේ මගේ ගම මාතර. හෙට ඉදන් තව දවස් හතරක් පහක් යනකන් පේරාදෙණිය. ඊට පස්සේ වෙන කොහේ හරි. ඒක තාම තීරණය කරලා නැහැ."

"හා, ඔය ඒ කියන්නේ තැනින් තැනට ඇවිදින කෙනෙක්. එතකොට මොනාද කරන්නේ?" මට එයා ගැන පුදුමයි. මාත් ගොඩක් කැමතියි එහෙම ඇවිදින්න. ඒත් සල්ලි ඕනිනේ එකටත්.

"කරන්නේ... ඇවිදින එක තමයි නංගි. හ්ම්.." බරට හුස්මක් වැටුනා.

"තනියම? එත්, ඉතින්, සල්ලි? රස්සාවක් කරන්නේ නැතිද? I mean.. ඔයා hobby එකට ඇවිදිනවා ඇති, එත්.." මට මාර ප්‍රශ්න ගොඩක් තිබුනේ.

"හරි, නංගි මොනාද කරන්නේ?"

"මං තාම ට්‍රේනින් අක්කා. යුනිවසිටි එකේ අන්තිම අවුරුද්ද"

"හා, හොදයි. මට නම් රස්සාවක් කියලා ස්ථිර එකක් නැහැ නංගි. ඕනි වැඩක් කරනවා. සල්ලිනෙ ඕනි. හි.. හි.. හි.."

මට මහා අප්පිරියාවක් ආවා. මෙයා..

"හි.. හි.. හි.. ඔයා මොනාද ඔය හිතන්නේ. let me guess, hey girl. අහන්න. මං නරක වැඩ කරන කෙනෙක් නෙමෙයි හලෝ. මේන් මේක තමා මං කරන්නේ." එයා රෝල් කරලා තිබුණු කැන්වස් එකක් දිගෑරල පෙන්නුවා.

"wow! අක්කා ඔයාට ලස්සනට චිත්‍ර අදින්න පුළුවන් නේ..."

"හැමෝම කියනවා. එත් මං දන්නවා මට බැහැ කියලා. ඔයා හිතන්නේ මේක කියක් විතර වටිනවා ඇතිද?"

"හ්ම්... 10ක් විතර?"

"හ්ම්... 10ක්... සමහර විට, මං අද මේක විකුනන්න ඉන්නේ. ඊට පස්සේ අනිත් එක අදින්න පටන් ගන්නවා."

"එතකොට ඔයාගේ පවුලේ කව්රු කවුරුද ඉන්නේ?" මටත් ඕනි නැති ඒවාද දන්නේ නැහැ. එත් ඉතින්, මට දැනගන්න ඕනි කම තිබුන මේ අරුම පුදුම සංචාරිකයා ගැන.

"පවුලේ?.. ගොඩක් අය ඉන්නවා. එත් දැන් මට මං විතරයි."

"sorry අක්කා. මං.,"

"අපෝ එයාල ඉන්නවා කොහේ හරි. එච්චරයි. දෙන මං තනියම."

"කාලද ඉන්නේ?"

"කන්න ඕනි, ගාල්ලෙන් මොනා හරි ගන්නවා."

"නංගි, තැන්ක්ස්. මං ගොඩක් දවසකට පස්සේ ටිකක් කතාකලේ. කමක් නැහැ නේද, මං ටිකක් කතාකලාට."

"අනේ එක කමක් නැහැ. මාත් ආසයි අක්කගේ experience ගෙන දැනගන්න. මාත් ගොඩක් ආසයි ඇවිදින්න."

"මේ මේ, නෑ. ඔයා ඔහොම අම්මලා එක්ක ඉන්න. අනිත් එක boyfriend කෙනෙකුත් ඉන්නවා. මට ඔය කියන කවුරුවත් නැහැ. එකයි මෙහෙම ඉන්නේ."

"මට ගොඩක් දේවල් ඕනි නැහැ. මේ bag එකයි. (අත දික්කරලා රැක් එකේ තිබුණු bag එකක් පෙන්නුවා) මේ bag එකයි (උකුලේ තිබුණු bag එක පෙන්නුවා), identity එකයි තිබුනානම්.. හා තව මේ ring එකත් ඕනි. එච්චරයි."

"එතකොට සල්ලි,?"

"හා, ඒවා කොහෙන් කොහොම හරි ලැබෙනවා. නොකා ඉන්න දවසුත් නැතුව නෙමෙයි."

"එතකොට රෑට?"

"ගොඩක් වෙලාවට, විශ්‍රාම ශාලාවක් හරි, මොකක හරි ඉන්නවා. පේරාදෙණියේ නම් යාලුවෙක් ඉන්නවා. එයාලගේ ගෙදර. ලංකාවේ හෙම තැනම මට යාලුවෝ ඉන්නවා" 

"හා හා හරි, එත් මේ bag එක?"

"ඇයි ළමයෝ, මගේ tools තියෙන්නේ මේකේ. පින්සල්, තීන්ත ඔක්කොම."

"ඔයා කියන්න, දවසක් මගේ අතේ සතේ තිබුනේ නැහැ. චිත්‍රයක් අදින්න mind එකක් තියා කැන්වස් එකක් ගන්න විදියක්වත් නැහැ. දැන් වගේ නෙමෙයි. එතකොට මං හිටියේ අම්පාරේ. පස්සේ, මගේ යාලුවෙක් හිටියා එහේ. එයාට කතාකරලා කිව්වා, මචං මගේ අතේ සතයක් වත් නැහැ. උබට පුළුවන් නම් පොඩි වැඩක් සෙට් කරලා දියන්කෝ කියලා. ඒ පාර එයා මාව site එකකට එක්ක ගියා. එතන අයට මාව හදුන්වලා දීලා යන්න ගියා. නංගිට හිතේවි මෙව්වා පට්ට බොරු කියලා. එත්, මං එදා එතන දවස් හතරක් බදාම, ගඩොල් ඇද්දා. නිදා ගන්න එකත් එතනම පුළුවන්. කොහෙන් හරි සල්ලිනෙ නංගි. කොහොම හරි, 7500ක් විතර හම්බකලා. මුලදී නම් මට එපා උනා. සල්ලි නැතිවෙනකොට, ගැහැනු කෙනෙක් නිසා, දන්නේ නැතිද ඉතින්. එත්, දැන් නම් එක ගානක් නැහැ. හැබැයි පොඩ්ඩක්වත් බයක් කියලා හිතට දැනිල නම් නැහැ. මට මේ චිත්‍ර විකුනන්න පුළුවන්. මං අඳින ඒවා ගන්න කිහිප දෙනෙක් ඉන්නවා. සතියකට චිත්‍ර දෙකක් තුනක් වගේ ඇඳෙනවා."

"එතකොට අක්කා ගෙදර අයට කවදාවත් කතා කරන්නේ නැතිද?"

"එහෙම නැහැ, මාසෙකට සැරයක්, නැත්තන් සති දෙක තුනකට සැරයක් වගේ. මගේ ලග ෆෝන් එකකුත් නැති නිසා එයාලත් මට කතා කරන්නේ නැහැ. කොහොමත් මං වගේ කෙනෙක් ඒ පවුලේ ඉන්නවා කියලා අනිත් මිනිස්සු දැන ගන්න එකත් එයාලට ලැජ්ජාවක් නේ. මට වෙලාවකට මේ ලංකාව ගැන පුදුමයි. පිටරටවල මං වගේ අය කොච්චර නම් ඉන්නවද, මට මං හොදයි නම් මොකද. මට ඕනි නිදහසේ ඉන්න. මගේ සිතුවිලි පින්සල් තුඩට දෙන්න. ඒවයෙන් මිනිස්සුන්ට කතා කරන්න. වෙන දේවල් ඕනි නැහැ."

මං එයාගේ අතේ තිබුණු මුද්ද දිහා බලන් හිටියේ.

"මේක, හ්ම්, මේක හින්ද තමයි මං මේ තරමට නිදහසට ආදරේ කරන්න පටන් ගත්තේ. මේක මට ලැබුනේ මං ගොඩක් ආදරේ කරපු කෙනෙක්ගෙන්, දැන් එහෙම කෙනෙක් මට ඇත්තෙත් නැහැ. ඕනිත් නැහැ. ආරංචි උනා එයා accident උනා කියලා. මලගෙදරත් ගියා. හිතන්න දේවල් දැන් නැහැ. මං මිනිස්සු ගැන හොයනවා. සිතුවිලි පා කරනවා. එච්චරයි."  එයාගේ ඇස්වල, මුහුණේ කනගාටුවක් තැවරිලා තිබුනා.  "සමහරවිට මං එයාව අත්හැරියේ නෙත්තන් එයා තාමත් ජිවත් වෙන්නත් ඉඩ තිබුනා." මට ඕනි කමක් තිබුනේ නැහැ එයාගේ කතාවට බාධාවක් වෙන්න. "මට හරියටම දවස් මතක නැහැ. එයත් එහා පැත්තේ එක්කෙනා වගේ තමයි. ආදරේ කියන්නේ පට්ටට පල් බොරුවක්. රැවටිල්ලක්. එයා මට ආදරේ කරන ගමන් වෙන කාත් එක්කදත් සම්බන්දයක් තිබුනලු. කවදාවත් මං ඇහුවෙත් නැහැ. හෙව්වෙත් නැහැ. මට ඕනි උනේ එයාගේ ආදරේ විතරයි. අවුරුද්දක් විතර අපි කතාකලා. මුණගැහුනා. මේ මුද්ද තියෙනවා නේද? අපි දෙන්න එකතුවෙලා හැදෙව්වේ. මේ වගේ එකක් එයත් තිබුනා. පස්සේ පස්සේ එයා මට කතාකලේ නැහැ. මුණගැහෙන්න අවෙත් නැහැ. මං එයා ගැන හොයල බැලුවා. එයා වෙන කෙල්ලෙක් දැන් බදින්න ඉන්නේ, එයාට කරදර කරන්න එපා. එයාගේ ජිවිතේ අවුල් කරන්න එපා ඔහොම ඒවා තමා එයා ගැන හොයන්න ගියාම කට්ටිය කිව්වේ. ඇඩුවා, දුක් වුණා. ඇත්තටම මාත් එක්ක තිබුණු තරහටම ගෙදර අය පවා ඔක්කොමල්ලා දාලා ඇවිදින්න පටන් ගත්තා. මේ ජිවිතේට ආවා. ඒවා හැමදේම අතැරලා දැම්මා. ඊට පස්සේ...." 

"හ්ම්" එයා ජනේලෙන් අහස දිහා බලන් හිටියා. මං එයාගේ මුහුණ දිහා බලන් හිටියා. ඇත්තටම මේක film එකක්ද, මෙහෙම ඒවත් වෙන්න පුලුවන්ද? ඇත්තටම මං මේ ඇහුන්කන් දෙනවා නේද කියලා කල්පනා කලේ. එයා අයෙත් බිම බලාගෙන කතාව පටන් ගත්තා.

"පස්සේ, මළගෙදර ගියාම තමා ආරංචි උනේ, එයා ඒ ගෑනු ළමයා නිසා මාව ඈත් කලාට, ඒ ගෑනු ළමයා මෙයාව ඈත් කරලා කියලා. මාත් එයා ගැන හොයන එක නැවත්තුවානේ. ගොඩාක් වෙනස් චරිතයක් වෙලා, ඊට පස්සේ accident වෙලා. නංගි, මං අලුත්ගමින් බහිනවා. මේක ගන්න කෙනෙක් එනවා කිව්වේ අලුත්ගමට. හ්ම්. ඔයාගේ නමවත් ඇහුවේ නැහැ."

"මං අමිලා"

"හ්ම්.. අමිලා, ලස්සනයි. හ්ම්, නංගි, ඔයා ඔයිට වඩා ටිකක් ඔයා ගැන හිතන්න පුරුදු වෙන්න. ඔයා ලාමක වැඩියි හොදේ. ඔයත් හිතෙන දේ කරන කෙනෙක් කියලා දන්නවා. එත්, එහෙම කරන්න ගියාම සමහර වෙලාවට පසුතැවීම් ඇති වෙන්න පුළුවන්." 

මට එයාගෙන් අහන්න හිතුනා, ඔයා දැන් එදා ගත්තු තීරණය ගැන පසුතැවෙනවා නේද කියලා. එත්, හ්ම්...

"නංගිගේ අකමැත්තක් නැතිනම් මට ෆෝන් නම්බර් එක දෙන්න. මොකද සමහර විට කවදාක හරි අපි අයෙත් මුණගැහෙන්න පුළුවන්."

"දෙන්න." එයා මට පරණම පරණ diary එකක් දුන්නා. හොදටම කිලිටි වෙලා. 2006 diary එකක්. ලියන්නත් ඉඩ නැහැ.

"එතකොට අක්කගේ නම මොකක්ද?"

"ආ නංගිගේ පත්තරේ" එයා මගේ පත්තරේ මට ඉල්ලලා දුන්නා. "මගේ ලග පොඩ්ඩක්වත් manners නෑ කියලා හිතුවා නේද? හි.. හි.. හි.. ඔයාගේ මූන තනිකරම පත්තරයක් හලෝ. මූන බැලුවාම හිතේ තියෙන ඔක්කොම කියන්න පුළුවන්. මං බහිනවා එහෙනම්. සමහර විට මේ train එකේදිම මුණ ගැහෙන්නත් ඉඩ තියෙන්න පුළුවන්."

"හරි, ඉතින් කෝ නම කිව්වේ නැහැ නේ."

"මං ඔයාට කතාකලොත් ගාලු කුමාරි කතාකරන්නේ කියලා කියනවා. ඒ ඇතිනේ, පරිස්සමෙන්, සමාජේ නරක නැහැ. මිනිස්සු නරකත් නැහැ. තමන්ට තමන් නරක නැතිනම්. ජය වේවා!"

එයා මට නොපෙනී යනකන් මං බලන් හිටියා, පුදුම ජිවිතයක්. එයා දුකින්ද, සැහැල්ලුවෙන්ද, නැතිනම් එහෙම අයත් ඉන්න පුලුවන්ද... ඈතට ඇය යනකොට මට හිතුනේ එහෙමයි. හරි හැටි නමක් දන්නේ නැති, ලොකු හදුනුම්කමක් නැති ඇය, මට ගාලු කුමාරියක්. 

පසු සටහන : ඇයගේ චිත්‍රය මට තේරුම් ගන්න පුළුවන් එකක්ද කියන්න මං දන්නේ නැහැ. එත්, ඒ චිත්‍රයේ හිටියේ ඇය කියලා මතක් වෙන්නේ මේක ලියලා ඉවරවුණාම. ඒ චිත්‍රයේ තිබුනේ ගොඩක් මිනිස්සු මැද ඉන්න අඬන ගමන් හිනා වෙන ගැහැණු කෙනෙක්. තනිකමට පෙම්බදින මිනිසුන් තනිවම හඩනවා ඇති. තනියම තමන් ගැන පසුතැවෙනවා ඇති. හ්ම්...... 

නෙත්මි.