🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මධුසමය දා ඇති වූ ප්‍රශ්නයකින් මතු වූ අමනුෂ්‍ය දෝෂය

මධුසමය දා ඇති වූ ප්‍රශ්නයකින් මතු වූ අමනුෂ්‍ය දෝෂය

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගේ වෘත්තීය අත්දැකීමක් ඇසුරිනි... 

සාමාන්‍ය පෙළ විභාගය යම් ප්‍රමාණයකට සමත් වුවද තවදුරටත් අධ්‍යාපන කටයුතු කිරීමේ අදහස අත්හැර දැමූ කාංචනා නිවසේ රැඳී මවගේ වැඩකටයුතුවලට සහය වන්නට වූවාය. උසස් අධ්‍යාපනයක් නොලැබුවත් කාංචනාට ගෙදර දොරේ හැම වැඩක්ම හොඳින් කිරීමේ හැකියාව තිබිණි. ඇයට රොහාන් හමුවූයේ මේ කාලයේදීය. ඔවුන් දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධයට රොහාන්ගේ පාර්ශ්වයෙන් සෘජු විරෝධයක් එල්ල වී තිබිණි. එයට හේතුව කාංචනා රැකියාවකුත් නැති උසස් අධ්‍යාපනයකුත් නැති තරුණියක වීමය. රොහාන්ට දැඩි ආදරයක් දැක්වූවත් රොහාන්ගේ මාපිය විරෝධය හමුවේ රොහාන්ගෙන් වෙන්වීමට කාංචනාට සිදුවිය. එහෙත් එම ආදරය සදාකාලික මතකයක් ලෙස ඇගේ හදවතේ තැන්පත් විණි. කාලය නොදැනීම ගතව ගියේය. කාංචනාගේ වැඩිහිටියන් එක්ව ඇයට මනාලයකු සොයා තිබිණි. ඔහු සුළු ව්‍යාපාරිකයෙකි. විශේෂ ආකර්ෂණයක් ඔහු තුළ නොතිබුණත් මවුපියන්ගේ කීමට අවනතව කාංචනා ඔහු හා විවාහයට එකඟ වූවාය. ඒ අනුව මාස කිහිපයකින් මේ විවාහය සිදුකිරීමට තීන්දු විය.

විජේසිරි කෙරෙහි කිසිදු ආකර්ෂණයක් ඉන්පසුව හෝ කාංචනා තුළ ඇති නොවූයේ කිසිසේත්ම ප්‍රිය උපදවන හැසිරීම් රටාවක් ඔහු තුළ නොතිබූ නිසාය. සති දෙකකට පමණ වතාවක් ඔහු ඇය දකින්නට පැමිණියද එය වැඩිහිටියන් ඉදිරියේ සිදුකළ සාමාන්‍ය කතාබහකට සීමා විය. අඩුතරමින් ඔහු පැය දෙක තුනක්වත් ඇගේ නිවසේ රැඳී සිටියේද නැත. විවාහයට දින ළංවෙමින් තිබිණි. කිසිදු ආකාරයකින් තමාට මානසිකව හෝ සමීපව නොසිටි විජේසිරි සමග පවුල් ජීවිතයක් ගතකරන්නේ කෙසේද යන්න කාංචනාට තිබූ ලොකුම ගැටලුව විය. ආදරය පිළිබඳව එකම වචනයක් වත් කතා බහ කර නැති, කිසිදු ලෙන්ගතු බැඳීමක් මතෛක් ඇතිකර ගන්නට සමත් නොවූ විජේසිරි ගැන කල්පනා කරන විට කාංචනාට රොහාන්ගේ අගය වැඩි වැඩියෙන් දැනෙන්නට පටන් ගත්තේය. සිය මංගල දිනය දවසින් දවස ළං වන විට ඒ හා සමානව කාංචනාගේ සිතේ තිබූ බියද ඉහළ නගින්නට විය. නමුත් ඔහු හා විවාහ වීම මිස ඉන් මගහැර යාමේ හැකියාවක් කාංචනාට තිබුණේ නැත. විවාහ වී මධුසමය ගතකිරීමට ගිය අවස්ථාවේ කාංචනා වරක් විජේසිරිට රොහාන් යැයි ඇමතුවේ කිසිසේත්ම හිතාමතා නොවේ. ඇගේ යටි සිතේ රොහාන් පිළිබඳ තැන්පත් වී තිබූ ආදරය නිසාම ඇගේ මුවින් එලෙස ඉබේම පිටවන්නට ඇත. නමුත් ඇගේ මුවින් වෙනත් පිරිමියකුගේ නමක් පිටවීම නිසා විජේසිරි බොහෝ සෙයින් කලබල විය. ඒ කවුදැයි විජේසිරි දිගින් දිගටම අසන්නට වූ පසු ඔහුට සියලු සත්‍යය පැවැසූ කාංචනා ඔහුගෙන් සමාවද අයැද සිටියාය.

“මා එක්ක එකතු වෙන්නෙ පරණ මිනිහව මතක් කර කරද?” විජේසිරි ඇසූවිට කාංචනාට දැනුණේ කියාගන්නට බැරි තරමේ වේදනාවකි. කෙසේ හෝ ප්‍රශ්නය දුරදිග නොගොස් සමථයකට පත් වූ නමුදු විජේසිරි නිරන්තරයෙන් කාංචනාව සැකකරන්නට පෙළඹුණේය. ඇයට නිවසින් පිට කිසිම තැනක ඔහු තනිව යන්නට ඉඩ දුන්නේ නැත. අඩුම තරමේ ඇගේ දෙමාපියන් බලන්නටවත් ඇයට යා හැකි වූයේ ඔහු සමග පමණි. අහල පහළ තිබූ කඩයකටවත් හදිස්සියකට හෝ යාමට කාංචනාට අවසර නොතිබිණි. නිවසේ උයන පිහින දේ පවා තීරණය කළේ විජේසිරිය. ඔහු නොකීවොත් ලුණුමිරිසක්වත් ඇගේ අභිමතය පරිදි සකස් කරගැනීමට අවසර තිබුණේ නෑ. ඇය රුපවාහිනිය නැරඹිය යුත්තේ ඔහු සිටින වෙලාවට පමණි. එයද ඔහු විසින් තෝරා බේරා දෙන ටෙලි නාට්‍ය සහ වෙනත් වැඩසටහන් කිහිපයකි. මෙසේ විජේසිරිගේ දැඩි පාලනයකට අවනතව ජීවත්වීමට කාංචනාට සිදුව තිබුණි. නමුත් ඇය ඔහුට එරෙහිව වචනයකින් හෝ ප්‍රතිචාර නොදැක්වූයේ ගැටුම් ඇතිවිය හැකි නිසාය. හැරත් තමාගේ මුවින් මධුසමය දිනයේදී රොහාන්ගේ නම ඉබේම පිටවීම නිසා ඇය තුළ තමා විශාල වරදක් කළ බවට හැඟීමක්ද තිබිණි. එසේ වුවද ඇය මේ දැඩි නිති රීති නිසා විශාල මානසික පීඩාවකට පත්ව සිටියාය. මේ අතර හිටිහැටියේ කාංචනාගේ මව අසනීප වී රෝහල් ගත කර තිබිණි. මව බලන්නට යායුතු බව විජේසිරිට කිව්වත් එදින ඔහු වෙළෙඳසලට අත්‍යවශ්‍ය බඩු රැගෙන ඒමට පිටකොටුවට ඒමට නියමිතව තිබූ නිසා ඇගේ ගමන ඔහු කල්දැමීය. මින් ඇගේ සිත බලවත් සේ රිදිනි. පසුදා වන තුරු මව නොබලා හිඳින්නට අසීරු බවත් හැඟුණු නිසා විජේසිරි නිවසින් පිටව ගිය පසු කාංචනා දිවා කල තනිවම රෝහලට ගියාය. ඇය රෝහ‍ලේ සිට ගෙදර එන්නටත් පෙරම විජේසිරි මෙය දැනගෙන තිබිණි. ඔහු ඇයටත් කලින් ගෙදරට පැමිණ ඇය එන තෙක් බලා සිටියේය. නිවසට පය තබන විටම කාංචනා දුටුවේ සැමියාගේ රකුසු මුහුණය. නිදහසට කරුණු විමසන්නටවත් ප්‍රමාද නොවූ විජේසිරි ඇයට පහරවල් කිහිපයක් ගැසුවේ ඇය නන්නත්තාරේ ගිය එකියක ලෙස සලකමිනි. එම අනපේක්ෂිත සිදුවීමෙන් පසු කාංචනාට තවදුරටත් විජේසිරි හා ජීවත්වීම එපා විය. කිසිදු කතා බහක් නැතිව එදා දවස ගතකළ ඇය පසුදා උදේ සැමියා නිවසින් පිටව ගිය පසු මහමගට බැස්සාය. කොහේ යා යුතු දැයි අරමුණක් කාංචනාට නොතිබිණි. ඇය බසයක නැග පිටකොටුවට පැමිණ සිටියාය. ඉන්පසු ඇය නැග තිබුණේ අනුරාධපුර බස් රථයකටය. පැය කිහිපයක ගමනකින් පසු අනුරාධපුරයෙන් බැස ගත්තද එතැනින් එහාට කොහෝ යන්නේ දැයි අරමුණක් කාංචනාට තිබුණේ නැත. මේ අතර සවස් යාමයේ නිවසට පැමිණි විජේසිරි කාංචනා පෙනෙන්නට නැති බව දැක ඇයට කතා කළේය. නමුත් කිසිදු හාවක් හූවක් නැත. කලබලවී අවට නිවෙස්වල පවා සෙව්වත් කිසිවකුද කාංචනාව දැක නොතිබිණි. ඉන්පසු කාංචනාගේ දෙමාපියන්ගේ නිවසේ, සමීපතම නෑදෑයන්ගේ නිවෙස්වල පවා විජේසිරි කාංචනා පිළිබඳව සොයා බැලුවේ හිස ගිනි ගත් පරිද්දෙනි. අන්තිමේ විජේසිරි ‍පොලීසියට ගොස් පැමිණිල්ලක් කළේය. කාංචනා පිළිබඳ කිසිදු ආරංචියක් නැතිව එම දවස ගතව ගියේය. දැන් කාංචනාගේ දෙමාපියන්ට විජේසිරි ගැන සැකය. ඔහු සමග ඇය ගෙවූයේ කිසිදු ආකාරයකින්වත් තෘප්තිමත් ජීවිතයක් නොවන බව ඇගේ දෙමාපියෝ දැන සිටියහ. පසු දිනයේදී කාංචනා ගැන ආරංචියක් ලැබිණි. ඒ ඇය අනුරාධපුරයට ආසන්න ප්‍රදේශයක නෑදෑ නිවසක හිඳිනා බවයි. වහාම සියලු දෙනා පිටත්වී එහි ගියහ. කාංචනාගේ විලාසය දුටු විජේසිරි මෙන්ම ඇගේ මවුපියෝද මහත් බියට පත් වූහ. ඇය කිසිවකු සමග කතා කළේ නැත. ඒ නිවසේ ඥාතීන් පැවැසුවේ ද අසන දේකට කිනම් හෝ පිළිතුරක් දෙනු මිස කාංචනාගේ කිසිදු කතාබහක් නැති බවයි. ඇතැම් විට ඇගෙන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු ඇයවත් දැන සිටියේ නැත.

“කොහොමද අනුරාධපුරේට ආවේ?” විජේසිරි මෙන්ම මවුපියන්ද විමසුවත් තුෂ්නිම්භූතව මද වෙලාවක් බලා සිටි කාංචනා ‘දන්නෙ නෑ’ යැයි තොල් මතුලාය. 

“තනියම මෙහෙ හොයන් ආවෙ කොහොමද?” ඔවුහු යළි විමසූහ. 

“මතක නෑ” කාංචනා කීවේ තද නින්දක හිඳ පිබිදුණාක් බඳු ස්වභාවයකිනි. 

ඒ ඥාති නිවස පිළිබඳව ඇගේ මතකයේ තිබි කෙසේ හෝ එහි පැමිණියත් එම නිවසේ සිටින ඇතැමුන් පිළිබඳ මතකයක් කාංචනාට තිබුණේ නැත. පෙරදී ඉතා හොඳින් කතාබහ කළ අය දෙස පවා කාංචනා නාඳුනන්නියක සේ බලා සිටියාය. 

“මේ ළමයට මොකක් හරි අමනුස්ස දෝසයක්. මළගිය ප්‍රාණකාරයෙක්ගෙ බැල්මක් තමයි මේ විදිහට එන්නෙ. මේ දවස් දෙකේ මේ ළමයගෙ හැසිරීමෙන්ම අපට ඒක තේරුණා.” එම ඥාති නිවසේ වැඩිහිටියෝ අදහස් දක්වමින් කියා සිටියහ. කාංචනාව ඇගේ දෙමාපියෝ නිවසට කැඳවා ගෙන පැමිණියේ ඇගේ අමනුස්ස දෝෂය ඉවත් කිරීම සඳහා ශාන්තිකර්මයක් කිරීමේ අපේක්ෂාවෙනි. විජේසිරිද බිය වී සිටියේය. ඇය විජේසිරි දෙස බැලුවේද නාඳුනන්නෙකු දෙස බලන නියායෙනි. නම් දැරූ කට්ටඩියකු ලවා සරුසාරෙට තොවිලයක් කරන්නට විජේසිරි කටයුතු යෙදුවේ තම බිරිඳට මේ සිද්ධ වූ අකරතැබ්බයට තමාත් වගකිව යුතුයි යන වරදකාරී හැඟීමක් ඔහුගේ සිත තුළ පැවැති නිසාය. නමුත් එය ගඟට කැපූ ඉනි බඳු විය. තොවිලයෙන් පසුවත් කාංචනා නොකා නොබි බලාගත් අත බලා ගෙන සිටියේ පියවි ලොව පිළිබඳ වැඩි දැනීමක් නැති අයුරිනි. කරන්නට දෙයක් නැතිම තැන කාංචනාගේ දෙමාපියෝ ඇය මනෝ වෛද්‍යවරයකු වෙත එක්කරගෙන ගියහ. 

කාංචනාට සිදුවී තිබුණේ කුමක්ද? ඇගේ පවුල් ජීවිතය ආරම්භයේ සිටම ගැටලු සහගත විය. සැමියා සමග ගැටුම් ඇති වන විට ඇගේ සිතට වැඩියෙන් දැනුණේ තම පළමු ආදරයයි. මේ පීඩාවන් අතර දිගින් දිගට ජීවත් වන්නට සිදුවූවා මිස කාංචනාගේ හැඟීම් අවබෝධ කරගැනීමේ කිසිදු වුවමනාවක් ඇගේ සැමියාට නොතිබිණි. මේ නිසා අවසානයේ ඇය විශාද රෝගයට (Depression) ලක්ව සිටියාය. එම මානසික ආබාධය උග්‍ර තත්ත්වයට පත්වූයේ, සිය රෝගී මව බලන්නට යාමේ ‘වරදට’ සැමියාගෙන් පහර කෑමට සිදුවූ විටය. ඉන්පසු ඇය නිවසින් පලා ගියාය. මෙසේ පලා යාමේදී කෙනකු අරමුණක් නැතිව යාමටත් පුළුවන. එසේම තමා යන පරිසරය පිළිබඳ අවබෝධයෙන් යාමටද පුළුවන. නමුත් පසුව තමා පැමිණියේ කෙසේද යන්න ගැන සියලුම දෑ අමතක විය හැකිය. කාංචනාටත් ඒ කිසිවක් මතකයේ නොතිබිණි. එය මානසික විඝටන තත්ත්වයක් නිසා සිදුවන අමතක වීමකි. මෙය මනෝ වෛද්‍ය විද්‍යාවේ Dissociative Amnesia ලෙස හඳුන්වයි. මේ රෝග තත්ත්වය පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා වුවද තිබිය හැකිය. මෙහිදී රෝගියා සාමාන්‍ය කෙනකු ලෙස සිටිය හැකිය. නමුත් තමා කළ කී දෑ කිසිවක් මතකයේ රැඳෙන්නේ නැත. මෙය තාවකාලික තත්ත්වයකි. ඒ අනුව පසුව රෝගියා ප්‍රකෘති තත්ත්වයට පැමිණෙනු ඇත. නමුත් මෙහිදී රෝගියාට ප්‍රතිකාර කරන අතරේම මේ තත්ත්වයට පත්වන්නට බලපෑ හේතුව සොයා බලා ඒ හේතුවද ඉවත් කළ යුතුය. කාංචනා නිරන්තරයෙන් පීඩාවට පත් වූයේ සැමියාගේ සිතේ ඇය පිළිබඳව පැවැති සැකය නිසාය. ඒ අනුව එම සැකය ඉවත්කිරීම සඳහා සැමියාටද මනෝ වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුය. එසේ නොවුවහොත් කාංචනාට ස්ථීර සුවයක් ලැබිම අසීරු වෙයි. 

ඉන්දු පෙරේරා  

උපුටා ගැනීම ලක්බිම