🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පදික වේදිකාවෙන් මහ හෝටලයකට

මෙයට අවුරුදු 23 කට පෙර ඉතාලියට පැමිණ ඉන්න හිටින්න තැනක් නොමැතිව දුම්රීය ස්ථාන හා උද්‍යානයන්හි කල්ගෙවූ ශ්‍රී ලාංකිකයෙක් වසර 23 කට පසු අංක එකේ ව්‍යාපාර කළමණාකරුවෙක් බවට පත්ව සිටියි. මිලාන් නුවර ආසන්නයේ පිහිටි ඔහු සේවය කරනා (ඔහුගේම වැනි ) මහා පරිමාණ ආපන ශාලාවට හා හෝටලයට එසැණ ගොඩවන විටද 600 කට අධික ඉතාලි හා විදේශිකයින් පිරිසක් ශ්‍රී ලාංකික කෝකියෙකු අතින් හැදෙන ඉතාලි ආහාර පාන වල රස බලමින් සිටියහ. සරල ඇදුමෙන් සැරසුණු ලාංකික කළමණාකරුද 60 කට අධික වේටර්වරුන් පාලනය කරමින් තම ආපන ශාලාවට ගොඩ වී ආහාර ගනිමින් සිටි අයගේ අවශ්‍යතා සපුරමින් සිටින අතර ඉඩක් ළද විගසින් එසැණ සමග කතා බහට එක්විය.

අත්තෙන්ම මම බොහෝ දුක්විඳලයි මේ තැනට ආවේ. අවුරුදු 23 කට ඉස්සර මම ඉතාලියට ආපු වෙලේ ඉන්න හිටින්න තැනක් තිබුණේ නැහැ. මුල්ම දවසේ පාදෝවා දුම්රිය ස්ථානේ නිදාගත්තා. පහුවදා කෝච්චියේ නැගලා ටිකට් නැතිව ඔහේ ගියා. යන්න තැනක් තිබුණේ නැහැ .අවසානෙදි කෝච්චිය නවත්තපු නාපොල්ලි දුම්රිය ස්ථානය මගේ නවාතැන්පොළයි. එතන දවස් කිහියක් ඉන්න කොට ලංකාවේ පවුලක් මට නවාතැන් දුන්නා. එතන ඉඳලා මම මිලානෝ වලට ආවා. ඒ ඇවිත් නැවතුණේ මිලානෝ දුම්රිය ස්ථානයේ. එතන ඉන්න අමාරු නිසා මම පාක් එකක හිටියා. එහෙම ඉන්න කොට ලංකාවේ කෙනෙක් ඇවිත් කිව්වා තැනක් තියෙනවා එතන අපේ අය ඉන්නවා එතනට යන්න උදව් කරයි කියලා. මම ගියා. එක අතහැරලා දාපු ගොඩනැගිල්ලක්. ලංකාවේ අයත් එක්ක තව 200ක් විතර ඉන්නවා . එක් වැසිකිලියයි තිබුණේ. උදේ පාන්දර ඉදලා පෝලිමේ ඉන්න ඕනේ ශාරීරික අවශ්‍යතා ඉටුකර ගන්න. මම අලුත් නිසා අපේ අයගේ වැඩත් මට කරන්න වුණා. ඔහොම ඉන්නකොට පිට්සා කඩේකට බැදිලා පිට්සා හදන්න ඉගෙන ගත්තා. ඒ අතර මට ලංකාවේ අයියා කෙනෙක් තමයි කිව්වේ ඔයාට පිට්සා හදන්න පුළුවන් නිසා මෙතන ජොබ් එකක් තියෙනවා කියලා. මම ආවා. ඉතාලි අයිතිකාරයා මව බලලා මට පිට්සා හදන්න කිව්වා. මම එකක් හැදුවා . ඊට පස්සේ මට නැවතිලා වැඩ කරන්න කිව්වා. නමුත් පිට්සා හදන්න නෙමෙයි පිගන් හොදන්නයි රෙස්ටුරන්ට් එක පිරිසුදු කරන්නයි. එයාලගේ තත්වයට මට පිට්සා හදන්න බැහැ කියලයි එයා කිව්වෙ. කොහොම හරි මම වැඩ කරගෙන ගියා. සමහර දවසට පැනලා යන්නත් හැදුවා. ඒ තරමට වැඩ අමාරුයි . ඒ වෙලාවට අර මාව දාපු අයියා මට ශක්තිය දුන්නා. කොහොම හරි මම ටික ටික මෙතන වැඩ අල්ල ගත්තා. අවන්කවම වැඩ කළා. පිගන් හෝදන තැන ඉදලා කැෂියර් එකට වෙනකම් ආවා. මිට අවුරුදු 15කට ඉස්සෙල්ලා මට අයිතිකාර ඉතාලි ජාතිකයා කතා කරලා මගේ අතට යතුර දීලා කිව්වා අද ඉදලා ඔයා මේ රෙස්ටුරන්ට් එක අරන් යන්න කියලා. ඒ වෙනකොට මේකේ 70යි දාන්න පුළුවන්. අද ඒ අය ඇමරිකාවේ. මම ආයතනය ගොඩාක් දියුණු කළා. දැන් මේ රෙස්ටුරන්ට් එකට 1250ක් දාන්න පුළුවන්.

ඒ කරුණාවන්ත ඉතාලි ජාතික මහත්තයා මා ගැන විශ්වාස කරලා මට එදා ආයතනය බාරදීලා නිදහස දුන්න නිසා ඒ අය වෙනුවෙන් යම් දෙයක් කරන්න පුළුවන් වුණා කියන අහිංසක සතුට මා ගාව තියෙනවා. ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බෙරලුස්කොනි මහතාගේ දුවලා දෙන්නා මගේ රෙස්ටුරන්ට් එකට කන්න එනවා. ඒ මහතාත් එක දවසක් ඇවිත් ගියා. බොස්සි ෆිනි වගේ ජනප්‍රිය දේශපාලන චරිත ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ලෝක ප්‍රසිද්ධ ෆෝමියුලා ධාවන තරගයේ ප්‍රධානින් මගේ රෙස්ටුරන්ට් එකට එනවා. ලංකාවේ මැති ඇමතිවරු ඉතාලියට ආවාම මම කන්න බොන්න දීලා ඉදුම් හිටුම් පවා දෙනවා. හැබැයි පක්ෂ බේදයෙන් තොරවයි මම ඒ දේවල් කරන්නේ.ලංකාවේ කලාකරුවන් ආවමත් එහෙමයි. මුදලට නෙමෙයි මම ඒ දේවල් කරන්නේ. පොදු වැඩ වලදී මම ගොඩාක් උදව් කරනවා. ටයිකෝට් ගහගෙන පොල්තෙල් පහන් පත්තු කරන්න මම යන්නේ නැහැ. කරන හැම දෙයක්ම නිහඩව කරනවා.උදේට මම රෙස්ටුරන්ට් එක අරින කොට පෝලිමේ ඉන්නවා එදා දවසේ රැකියාවල් ඉල්ලගෙන. මට රැකියාවක් දෙන්න බැරි උනාම කන්න දීලා අතට කියක් හරි මිට මොලොලා අරිනවා. දවස ගානේ කන්න නැතිව අසරණව පාරේ ඉන්න අයට මම කන්න දෙනවා. මේ අවට ඉන්න රැකියා නැති අපේ අයට ගෙවල් කුලී ගෙවන්න කන්න බොන්න මම මුදල් දුන්නා. නමුත් මම ළගදි ඉදලා එක නැවැත්තුවා. සමහරු ඒ සල්ලි වලට බොන්න ගත්තා. දැන් මම කරන්නේ ඒ අයගේ ගෙවල් වලට පුළුවන් වෙලාවට මුදල් යවනවා. ඔබට හැකිනම් මගේ නම පත්තරේ නොදා ඉන්න. මොකද මිට පෙර මගේ නමත් මේ ආයතනය ගැනත් ඉතාලි පත්තර වල ගියා. එක බලන් ඉන්න බැරිවුණා. අපේ කිහිප දෙනෙක් මා ගැන බොරු වැරදි ලියපු කොළ හතක පත්‍රිකාවක් ඉතාලි ජාතිකයින් කිහිප දෙනෙකුට යවලා තිබුණා. හැබැයි සිංහලෙන් ලියලා තියෙන්නේ.ඒ සමහර ලිපි පරිවර්තනය කරන්න උනෙත් මටමයි. ඔවුන් ඒ හැම ලිපියක්ම හිනා වෙලා මට ගෙනත් දුන්නා. නම සදහන් නොකළොත් ටයිකෝට් නොදැම්මත් රටට ආඩම්බර විය හැකි මුල මතක ඇති ඔහු එසේ කියයි.

උපුටා ගැනීම ලංකාදීප