🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මතකය තහවුරු කරගන්නා ක්‍රම

මතකය තහවුරු කරගන්නා ක්‍රම

සංවිධානය නැතහොත් ක්‍රමික සකස් කිරීම, පුහුණුව සහ විචිත්‍රකරණය (Organization, Rheasal, elaboration) මඟින් මොළයට අධ්‍යයනයන් ආරෝපණය (impose) කිරීම සහ තහවුරු කිරීම වැදගත් වේ. මෙම ගොනුකළ ස්ථාපිත මතකය (Consolidated memory) සඳහා භාවිතා වන ‍ස්නායු සම්බන්ධතා මනාව ශක්තිමත් වීමට ඉහත කී කාරණා ඉතා වැදගත් වේ. එනිසා ඉගැන්වීමේදී ගුරුවරුන් මෙම කාරණා පිළිබඳ මූලික අදහසක් ඇතිකර ගැනීම වැදගත් ය.

සංවිධානය (organization) යන්න ගැන පළමුව සිතා බලමු. යමක් ක්‍රමානුකූලව පිළිවෙළකට සංවිධානය කර ගැනීම (orgnize) එය අධ්‍යයනය කිරීම සඳහා පහසු වෙයි. උදාහරණයක් ලෙස ඉතිහාසය ගැන හැදෑරීමේදී ඒවා එක් එක් පුද්ගලයා සහ කාර්යයන් වෙන වෙන ම අධ්‍යයනය කරනවා වෙනුවට සියල්ල ම එක පිළිවෙළකට (order) සකස් කර අධ්‍යයනය කිරීම පහසු ය. මෙහිදී ළමයින් කවි කතන්දර ඇතැම් විට අසභ්‍ය ශබ්ද භාවිතා කරමින් මතක තබාගැනීමට කරුණු සංවිධානය කර ගැනීම දැකිය හැකිය. එහිදී ඇතැම් විට කරුණු ප්‍රස්ථාර ගත කිරීමට හා පහසුවෙන් මතක තබාගැනීමට හැකි වේ. එබැවින් දරුවන් සඳහා දෘශ්‍යමය සංවිධානය ඉතා වැදගත් ය. එය සාමාන්‍යයෙන් ලිඛිත තොරතුරු ලබාදීමට වඩා දෘෂ්ටිමය මාධ්‍යය සම්බන්ධව ක්‍රියාත්මක කිරීම අනුව හා මතකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.

රියසල් (Rhearsal) එනම් නැවත නැවත යම් ක්‍රියාකාරකමක්, අභ්‍යාසයක් කිරීම, අධ්‍යයනයන් සඳහා ඉතා වැදගත් වේ. ගණිතය, විද්‍යාව වැනි විෂයයන් මෙන් ම නර්තනය, සංගීතය වැනි විෂයයන් ද වැදගත් වේ. සමහර අවස්ථාවල පැය දෙක තුනක් පමණ දිගු නාට්‍යයක් කුඩා කොටස් ලෙස ගෙන පුහුණු කරවා එහි කොටස් එකිනෙක අමුණා සම්පූර්ණ නාට්‍යය පුහුණු කිරීම (Rhearsal) මඟින් මතක තබාගැනීම පහසු වීමට හේතු වේ. අධ්‍යයනය කරන කාරණා නැවත නැවත ක්‍රියාත්මක කිරීම මඟින් මෙම තත්ත්වයට දැනුම තහවුරු කරගත හැකිය. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම මේ අතර ඉතා ම වැදගත් ය. අප පාසල් පද්ධතිය තුළ දකින පිටපත් ලිවීම, කියවන විට ලිවීම දිනපතා කෙටි රචනා ලිවීම, භාෂාව අධ්‍යයනය ආදිය මේ සඳහා හොඳ උදාහරණ වේ. තවද භාෂාව අධ්‍යයනයේ දී නිතර ඒවායේ අක්ෂර (spellings) අදහස් තේරුම් (Meanings) භාවිතාවන් (usages) ව්‍යාකරණ (grammar) පිළිබඳව හැදෑරීම ද ගත හැකිය.

පාසල් නාට්‍යයක් නිර්මාණය කිරීමේ යෙදී සිටින ළමයින්ට ඉහත පැහැදිලි කළ ආකාරයට සමස්ත නාට්‍යය ම එක දිගට පුහුණුවීම් කිරීමට නොයා එය කෙටි දර්ශන වාර හෝ කොටස් ලෙස පුහුණුවීම් කිරීමට මඟපෙන්වීම ලබාදීම සාර්ථක හා ඵලදායී වේ. නාට්‍යයේ දෙබස් නැවත නැවතත් ශබ්ඳ නඟා කීම, නියමිත රිද්මයට අනුගතව රංගනයේ යෙදෙමින් දෙබස් කීම මතක තබා ගැනීම පහසුවීමට සහාය වෙයි. නාට්‍යයක රංගන හා ගායන, වාදන ශිල්පීන් වේදිකාවට පිවිස ඉදිරිපත් කිරීමට පෙර සූදානම් වෙන්නේ ‍ෙම් පුහුණුවීම් (Rheasal) කරමිනි. නැතහොත් ඔවුනට නාට්‍යයේ පෙළ, තමන්ගේ කොටස හරියට ම මතක නැති වන්නට පුළුවන. භාෂාවක රටා සමුදායක් තිබේ. එහි රිද්මය හරියට අවබෝධ කරගත් විට අක්ෂර වින්‍යාසය ඇතුළු බොහෝ දේ පාඩම් කර ගැනීමට අධ්‍යයනය කිරීමට පහසු වේ. උක්ත ආඛ්‍යාත සම්බන්ධය ව්‍යාකරණයේ වැදගත් ම අංගයකි. "ගියෙමු" යැයි වැකියක් අවසන් කළ විට එහි උක්තය "අපි" විය යුතු බව අපි දනිමු. එසේ ම "ගියෙමි" යන්න අවසානයට යෙදුනොත් උක්ත ආඛ්‍යාතය ගැළපීමට, නිවැරදි වීමට උක්තය "මම" විය යුතු බව ද අපි දනිමු. මෙවැනි එක් පොදු කාරණාවක් ‍මතක තබා ගැනී‍ෙමන් කොහේ හෝ තැනක හෝ අවස්ථාවක "අපි" හෝ "මම" යන්න උක්ත වන සේ තැබුවොත් ක්‍රියා පදය කෙසේ විය යුතු දැයි ළමයාට මතකයේ සිටිනු ඇත.

අලංකරණය හෙවත් විසිතුරු කිරීම (elaboration) ද වි‍ෙශ්ෂ වැදගත්කමක් ගනී. මෙහිදී තමා ලබාගත් තොරතුරු විශ්ලේෂණය සහ පුළුල් ලෙස අර්ථ ගැන්වීම හඳුනාගත හැකිය. (expanding information). එසේ ම විශ්ලේෂණාත්මකව තහවුරු කර ගත් දැනුම තමා නොයෙකුත් අධ්‍යයන කටයුතු මඟින් තහවුරු කරගත් දැනුම සමඟ සංසන්දනය කිරීමත් වැදගත් වේ. බොහෝ විට ළමයින් සාලංකාර (elaborate) නො කිරීම නිසා නොයෙකුත් දැනුම් සම්භාරයක් වෙන වෙන ම පැවතීම සහ ඒවා සම්බන්ධ කර ගත නො හැකි වීමත් දක්නට හැකිය. එය මූලික අඩුවක් ලෙස පෙනී යයි. ප්‍රායෝගිකව මතක ගබඩාව ශක්තිමත් කිරීම සඳහා සන්සන්දනය කිරීම මෙන් ම විශ්ලේෂණය මනාව තහවුරු කර ගැනීමත් වැදගත් වේ. මෙසේ කිරීම සඳහා ශිෂ්‍යයාට විවෘත ප්‍රශ්න ඉදිරිපත් කිරීම ගුරුවරයාගේ වගකීමකි.

උදාහරණ හැටියට පොළොන්නරුව සම්බන්ධව ඔබේ අදහස් හෝ ඔබ දන්නා දේ මොනවාදැයි ප්‍රශ්නයක් විමසිය හැකිය. එවිට ඒ ගැන ළමයා දන්නා දේ කියනු ඇත. පොළොන්නරු රාජධානිය ගැන, එහි නටබුන් ගැන, සමහර විට ඒ යුගය ගැන ළමයා දන්නා දේ කියාවි. එසේ නමුත් පොළොන්නරුව සහ කුරුණෑගල රාජධානිය දෙක අතර ඇති විශේෂ වැදගත්කම සඳහන් කරන්නැයි ළමයාට කී විට එය පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. මේ ප්‍රශ්න කළ ආකාරය සංකීර්ණය. ඊට පිළිතුරු දීම සඳහා රාජධානි දෙක ගැන ම හොඳ අධ්‍යයනයක් තිබිය යුතුවාක් මෙන් ම ඒ දෙක අතර සමාන අසමානකම්, වෙනස්කම් මොනවාදැයි හරියාකාර අවබෝධයක් නොතිබී ඒ සඳහා පිළිතුරු දීම අසීරු වේ.

අධ්‍යාපනය නැතහොත් ඉගෙනීම සඳහා නවීන සොයා ගැනීම් ඔස්සේ අධ්‍යාපනයේ ක්‍රම ශිල්ප හඳුනාගෙන ඒ අනුව ඒ සොයා ගැනීම්වල ප්‍රතිඵල ළමයාට දිය යුතුය. එසේ නැතිව සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවලින් බැහැරවීමේ මැළිකම තබාගෙන එ‍ෙතක් මෙතෙක් කරගෙන ආ ක්‍රමයට අනුගතව සිටීමට බොහෝ දෙනා කටයුතු කරති.

කරුණාතිලක හඳුන්පතිරණ
උපුටා ගැනීම දිනමිණ