🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සිංහ මනමාලයා.

කැලෑවක හිටිය තරුණ සිංහයෙක් විවාහයට සුදුසු ගෑනු කෙනෙක් සොය සොයා සිටියා. දවසක් ඌ යාබද ගමේ සිටින දර කපන්නාගේ තරුණ දුව දැක්කා. ඈ දැක්ක වෙලාවේ ඉදලා සිංහයාට කිසිම ඉස්පාසුවක් නෑ. "දර මිටිය ඔලුව උඩ තියන් නැලවී නැලවී යන ගමන අපූරුයි" ආදී වශයෙන් කියා කියා ඒ දැරිය ගැන සිත සිතා හිටියා. තමන්ට හරියටම ගැලපෙන බිරිඳ හමු වූ බවයි සිංහයාට සිතුනේ. දවසක් සිංහයා දර කපන්නාගේ ගෙදරට ගොස් හොඳ හික්මුණු ලැජ්ජාකාර ගටවරයෙක් වගේ ඇඹරි ඇඹරි පිල උඩ ඉඳ ගත්තා. ඊට පස්සේ මෙහෙම කියන්නට වුනා. "මං මේ ආවේ ඔබතුමාගේ දුව කසාද බැඳ ගන්නයි." මේ වෙලාවේ සිංහයාට සැර වැර කරන එක, මදි පුංචිකම් කරන එක වගේම ඌ තරහ ගන්වන එක ගෙදර කාගේත් විනාශයට හේතු වන බව වටහා ගත දර කපන්නා වහාම ගේ ඇතුලට ගොහින් බොරුවට කසු කුසු ගා ඇවිත් මෙහෙම උත්තර දුන්නා. "මගේ දුව මේ ළමයට දෙන්න මං කැමතියි. එත් ඔය ළමයාගේ ඔය උල් දතුයි විශාල නියපොතුයි දැක්කාම බය හිතෙන බව දුව කියනවා." "ඉතින් කියන්න, මං දුව කියන ඕනෑම දෙයක් කරන්නම්කො" සිංහයා මහත් සතුටින් කීවා. "මට මේ ළමයාගේ දතුයි නියපොතුයි උගුලලා දමන්න ඉඩ දුන්නොත් ඊට පස්සේ මේ ලමයව කසාද බදින්න මගේ දුව කැමතිලු." "හොදයි හොදයි එහෙම කරන්න. දර මාමගේ දුව වෙනුවෙන් මම මොනවද නොකරන්නේ. අනෙක් අතට එයා මගේ අනාගත බිරිඳ නේ." දර කපන්න ලොකු අඩු මිටියක්, පීරක්, කියතක් සහ තවත් ආම්පන්න ගෙනැවිත් සිංහයාගේ ඔක්කොම දතුයි, නියපොතුයි ගලවලා දැම්මා. විශාල වේදනාවක් දැනුනත් ඒ ඔක්කොම විද දරා ගත සිංහයා අන්තිමට ලේ ගලන කටින් මෙහෙම කිව්වා. "ආ දැන් ඔක්කොම හරිනේ මං දැන් අහිංසක ස්වාමිපුරුෂයෙක්. දුවට මාත් එක්ක යන්න එන්න කියන්න." "අනේ බෝල මෝඩ සිංහයෝ, උඹ කීප දවසක් කැලේදි මාව බය කරපු හැටි මට හොඳට මතකයි. තිරිසනකුට මගේ දුව දෙනවද? හතර හන්දිත් කඩා දමන්න ඉස්සර දුවපිය" යන්න කියූ දර කපන්නා ලොකු පොල්ලක් අරන් සිංහයාට තඩිබාල ඌ එලවා දැම්මා. "දැන් මටත් බය සැක නැතුව කැලේට යා හැකියි. මේකා කොයි තරම් ලොකු සිංහයෙක් වුනත් දත්, නිය නැතුව මට මොනවා කරන්නද?" දර කපන්නා ඈත දුවන සිංහයා දෙස බලා තමාටම කියා ගත්තා. ඊසොප්