This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ඇය පවිත්‍රා නම් වූවාය
ශ්‍රවණාගාරය පුරා පැතිරී තිබුනේ දැඩි නිහඩ බවකි. ශාලාව වසා පැතිර ගිය අඳුර නිසා එහි රැඳී සිටින කිසිවෙකුත් හඳුනාගත නොහැකි වුවත්, එය අතුරු සිදුරු නැතිව පිරී පවතින බව සතර දෙසින් ඇසෙන මුනු මුනුවෙන් තේරුම් ගත හැකිය. වේදිකාවේ තිරය මෑත් වන්නට ගත වන වේලාව වැඩි නොවේදැයි පූජිතට සිතේ. නේවාසිකාගාරයේ සිට පැමිණීම නිසා පිටුපස අසුනක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳ පූජිත පසුතැවිලි වූයේය. ප්‍රමාද වීම නිසා ඔහුට ලැබුනේ පහත මාලයේ ඉදිරිපෙල අසුනකි. තමා අසල අසුන් ගෙන සිටින දෙදෙනාවත් අඳුනා ගත නොහැකි තරමටම ශාලාව අඳුරු වී තිබුණි. තම ජීවිතයද මේ අඳුර මෙනැයි පූජිතට සිතුනු වාර අනන්තය. වරක මේ ගණඳුරේම සඳක් පායා ආලෝකමත් වූ ආකාරය පූජිත සිහි කලේය. එකල තම සිතේ පායා තිබූ පුන් සඳ නිමේෂයකින් මෙම වේදිකාවේ පායනු ඇත. එහෙත් නැවත වරක් තම අඳුරු සිත එළිය නොවනු ඇත. ඔහුගේ මුවින් සිහින් සුසුමක් පිටවිය. එකනෙහිම ශ්‍රවණාගාරයේ අඳුර මකාලමින් වේදිකාවේ තිරය මෑත් විය. සුරඟන සුදු මල් පාවාඩය මත වැටී උන්නාය. ඈ වටා උන් පරිවාර ස්ත්‍රීන් ඈට පවන් සලති. සුරඟන අවදි වන බවක් පෙනෙන්නට නැත. පසුබිමින් සිහින් සංගීත රාවයත් සමග සුර කුමරු වේදිකාවට අවතීර්ණ වූයේ සක්විති රජෙකු පරිද්දෙනි. පරිවාර ස්ත්‍රීන් ලතාවකට වේදිකාවෙන් ඉවත් විය. සුර කුමරු පහත් වී සුරුඟනගේ දෙතොලට මුව ලං කලේය. පූජිත වේගයෙන් දෙනෙත් පියා ගත්තේ එවන් අවස්ථාවක් අපේක්ෂා නොකළ බැවිනි. ශ්‍රවණාගාරය පිටුපසින් එකවරම විසිල් නාදයකැසී නෑසී ගිය අතර වේදිකාවේ ඇසුණු සංගීත රාවයද එකවරම ත්‍රීව්‍ර විය. සුර කුමරාගේ චුම්බනයෙන් මත් වූ සුරඟන රාගික බැල්මක් ඔහු වෙත පෑවාය. කුමරු ද සුරත පා සොඳුරිය පිළිගත්තේ සෙනෙහසිනි. කුමරිය නැගිටින විටම සකලාංගයේ පැළඳ සිටි අබරණින් වේදිකාවම කහ පැහැයෙන් දීප්තිමත් විය. කලා උළෙල වර්ණවත් කළ \"ප්‍රේඳම පූජා\" නර්තනාංගය ආරම්භ වූයේ එලෙසිනි. විභාගය මුවාවෙන් සංදර්ශනය බැලීමට නොපැමිණීමට සිතා සිටියත් සෞම්‍යා ඊට ඉඩක් ලැබුනේ නැත. අවසන් පැය භාගය දක්වාම උළෙල වර්ජනය කිරීමට සිතා සිටි සිතුවිල්ල සෞම්‍යා නිසා වෙනස් කර ගත්තා නොවේදැයි පූජිතගේ යටි සිත විමසුවේ පූජිතට සියුම් පහරක් එල්ල කරමිනි. ප්‍රමාද වීමෙන් සිදු වූයේ සෞම්‍යා මග හැරීම පමණි. ඒ පිළිබඳ වේදනාවකින් ද පූජිතගේ හද රිදුම් දෙන සෙයක් දැනුනද ඒ බව තමාගෙන්ම වසන් කරන්නට ඔහු උත්සහ කලේය. එක අතකට එය හොඳ නොවේද ? ඇගේ උත්සහය පූජිතගේ හිත හැදීම නොව හිත ගැනීම බව පූජිත පමණක් නොව සරසවියම දැන සිටිය කාරණයකි. තමාගේ ප්‍රමාදයෙන් ඈ තනි වන්නට ඇත. එක අතකට 6 කල්ලිය සමග ප්‍රේක්ෂකාගාරයේ කොහේ හෝ සිට කැකිරි පලනවා ඇත. නේවාසිකාගාරයේ බොහෝ කාමර ඇඳන් 6 කින් යුත් හෙයින් හැම විටම එක කාමරයක 6 දෙනෙකු බැගින් සිටින නිසා සෑම වසරකම පාහේ හතර දිග් භාගයෙන් පැමිණයවුන් අතරින් 6 කල්ලි බිහි වේ. සෞම්‍යා ඇතුළු 6 කල්ලියට අයත් වූයේ පවිත්‍රා, භාග්‍යා, සෞම්‍යා, ලංකා, සුරම්‍යා සහ අතුල්‍යා ඇතුළු කණ්ඩායමයි. මොවුන් 6 දෙනාෑකතු වූ විට සිනා සාගරයකි. එකල පවිත්‍රා සමග ගත කළ කාලය තුල ඔවුන්ගේ සමාගමයට නිතර ලක් වූ බැවින් \"මල්පාත්තියේ\" අයිතිය හිමිව තිබුනේ පූජිතටය. එහෙත් අද එහි අයිතිය තමාගෙන් ගිලිහී ගොසින් නොවේදැයි සිතනවිට ඔහුට ලෝබ කමක් ද නොදැනුනා නොවේ. සිඹිමි නා පෙති - අමා මී පෙති සැලී සියොලඟ - දැවී අළු විය ප්‍රේමාලිංගනය සමග වේදිකාව පසෙක හුන් ගායක පිරිවර ගැයූ ගීයේ ශෘංගාරාත්මක අවසන් පද දෙපදය පූජිතගේ හදවත දවා අළු කලේ ක්ෂණයකිනි. කලා උළෙල විචිත්‍රවත් කළ මුද්‍රාක නර්ථනයෙන් ප්‍රේක්ෂකාගාරයම අමන්දානන්දයට පත් වී උන්න ද පූජිත පමණක් දැඩි වේදනාවට පත්ව සිටියේය. පූජිත සිය ඇඟිලි තුඩු වලින් දෙනෙත් පිසදා ගත්තේය. \"ඉඩෝර බිම නිවාලන කඳුරැල්ල\" නිමාවට පත් වූයේ පූජිතගේ ගතත් සිතත් ඉඩෝරයට ඇද දමිනි. ඔහුට ශ්‍රවණාගාරයෙන් පිටවීමට බොහෝ වේලාවක් ගත විය. ශාලාවෙන් පිටතට ඇදෙන ප්‍රේක්ෂකයන් අතරින් පිටතට පැමිණෙන විට දෙවන වසර සිසුන් පවිත්‍රා සහ කවීෂ වට කරගෙන සුබ පතනු දක්නට ලැබිණ. පූජිත ඔවුන්ට සිතින් පමණක් සුබ පැතුවේය. ඒ හදවතින්මය. ඔවුන් සුබ පතනුයේ සරසවි කලා උළෙලේ හොඳම නර්තනාංගයට නොව සරසවි උයනේ සුපිපි අළුත් සුපෙම්වත් යුවලට නොවේදැයි පූජිත තමාගෙන්ම විචාලේය. \"ඉඩෝර බිම නිවාලන කඳුරැල්ල\" ආරම්භ වන විට පූජිතගේ පෙම්වතිය වී උන් පවිත්‍රා උළෙල අවසාන වන විට කවීෂගේ පෙම්වතිය වී උන්නාය. මේ බව සහ්ර්දයන්ට මතක නැතිවා මෙනි. ඉඩෝර බිම නිවාලන කඳුරුල්ල රුහුණු සරසවියේ පිපී විකසිත මල් කැකුළු දොරට වඩින මංගල්‍යවයි. සෑම පීඨයකම සිසුන් මේසඳහා දායක වන අතර අරගල, පිකටින්, දේශන, පැවරුම් හා විභාග අතර ඇස් රිදවා ගත් සිසුන්ගේ මනසට අස්වැසිල්ලක් ලබන්නට එයම ප්‍රමාණවත් වන්නේය. සාමාන්‍යයෙන් කලා මංගල්‍ය අවසාන වන විට දොරට වඩින්නේ නිර්මාණ කරුවන් පමණක් නොවේ. එතෙක් තනිකඩව සිටි බොහෝදෙනෙක් මල් පාරේ ගැවසෙන්නේ දෑත් පටලාගෙනය. වේදනා බර දර්ශනයෙන් සිත ඔත්පල කර ගත් පූජිත පිය ගැට පෙල බැස ගමන් කරන්නට විය. අතීතය සිහි කරමින් වේදනා විඳීමෙන් පලක් නැතැයි ඔහුට නොසිතුනා නොවේ. අවසන් වසර විභාගයට ඇත්තේ තවත් මාස දෙකක් පමණි. ඉන් ඉක්බිති මේ සියල්ල හිස් අහසේ පා වූ බොල් සුළඟ මෙන් විසිරී යනු ඇත. ප්‍රථම ප්‍රේමයෙන් විදින ලද චිකිත්සාවන්හි වේදනාව පහ කිරීමේ කල් එළඹ ඇත. \"පූජිත අයියා\" \"පූජිත අයියා... ඔහොම ඉන්න\" පවිත්‍රා පිළිබඳ මතකය අකා මකා දමමින් කල්පනාකාරිව ගමන් කළ පූජිත සෞම්‍යා ගේ කෑ ගැසීමෙන් පියවි සහි ලද්දේය. සෞම්‍යාම පිය ගැට පෙළ දිගේ පූජිත දෙසට වේගයෙන් දුව ආවාය. \"වැටෙයි ළමයෝ...\" පූජිත කියා නිම කිරීමටත් පෙර පිය ගැට දිගේ වේගයෙන් දුව ආ සෞම්‍යාටට තමා පාලනය කර ගත නොහැකි වූවාය. සිය පා ලා සිටි පාවහන් එකිනෙක ගැටෙන අයුරු පූජිත බලා සිටියේය. \"ආ... යි\" පූජිතගේ ශක්තිමත් දෑතේ යදම් මත සිර නොවුනානම් සෞම්‍යා ඇද වැටෙනු නොඅනුමානය. \"තව පොඩ්ඩෙන් ඛෙල්ල කඩා ගන්නවා\" \"මං දන්නවා අයියා ඒකට ඉඩ නොදෙන බව\" \"පණ්ඩිතකම් කියවන්නත් එනවා තව... මට තමුසෙගේ පිස්සු වැඩ අල්ලන්නේ නෑ\" \"තමුසේ...?\" \"ඔව් තමුසේ තමය\" \"මං දන්නවා තමුසේ කියන්නේ මට ආදරේට බව\" \"මං යනවා\" \"එපා මට ඔයත් එක්ක කතා කරන්න ඕන\" \"මට මහන්සියි\" \"මං දන්නවා...\" \"දන්නවනම් කරදර නොකර යනවකෝ\" \"මියුසිකල් එක පටන් ගන්නකම් ඉන්නේ නැද්ද ?\" \"මට පාඩම් කරන්න තියෙනවා\" \"ඔයා ගිහින් පාඩම් කරන්නේ නෑ\" \"ඔයා කොහොමද දන්නේ\" \"ප්‍රේම පූජා\" නිසා නැවත වරක් හිත රිදවා ගත් හෙයින් සෞම්‍යා අමතක විය. ඇය මඟ හැර යාමේ උවමනාවක් තමාට තිබුනේ නැත. එහෙත් එය එසේ සිදු විය. ආදරය පුදුමකාරය. තමාගෙන් ආදරේ ඉල්ලූවේ එක් අයෙකි. තමා ආදරේ කලේ තවත් අයෙකුටය. මේ දෙදෙනාම සිතට බරකි. දෙහදක් අතර පුද දෙන්නට හෝ කිරා මණින්නට හිතක් තමා සතුව නැත. එක් හදවතක් තම හද පුදසුනේ පිපී පරවී හමාරය. අනෙක් හද පිපෙන්නට වෙරදරයි. එය ප්‍රතික්ෂේප කරන්නේ මන්දැයි පූජිතට නොසිතුනාම නොවේ. පවිත්‍රාද පෙනුමෙන් අහිංසකය. එහෙත් ඒ පෙනුම යට සැඟවී ඇති විෂ සහිත දළ අමතක කළ හැකි නොවේ. ඒ දළ පහරින් ඔද්දල් වූ සිත තාමත් සුවපත් වූයේ නැත. සෞම්‍යාම පවිත්‍රාටත් වඩා රූබරය, ප්‍රියජනකය, දඟකාරය, කටකාරය. ඈ තුල ඇත්තේ අහිංසක කමකි. දෙදෙනා දෙවිදියකි. මෙසේ බලන කළ සෞම්‍යා ප්‍රතික්ෂේප කරන්නට තරම් හේතුවක් ඇත්තේ ද නොවේ. එහෙත් හදවත අවදි කලේ පවිත්‍රාද පමණි. පවිත්‍රා සමග ගත කළ වසරක කාලය තුමා අළුතින් උපන්නා නෙවේදැයි පූජිතට සිතුණි. සරසවි ප්‍රේමයේ සොඳුරු බව ඈ විසින් වරෙක පහදා දුන්නාය. වරෙක ඒ සොඳුරු බව ඈ විසින් ම මකා දැම්මාය. රුහුණු සරසවිය ජෙෆ්‍රි බාවාගේ අපූර්ව නිර්මාණයකි. එය දකුණු ආසියාවේ ලස්සනම සරසවිය වන්නේ ස්වභාවික පිහිටීමට කිසිදු හානියක් නොකර කරන ලද ඉදිකිරීම් නිසාය. ජෙෆ්‍රි බාවාගේ විශ්කම් ඥානයෙන් සැදුම්ලත් සරසවි බිමෙහි ඇත්තේ විද්‍යාර්ථීන්ගේ දැනුම පෝෂණයට ඉවහල් වන පරිසරයක් පමණක් නොව පෙම්වතුන්ට ජීවිතය විඳින්නට සැකසූ මනස්කාන්ත පරිසරයකි. ශ්‍රවණාගාරයේ බිත්තිය පුරා සැකසුණු සරසවි කැටපත් පවුරේ කුරුටු ගී වලින් ඒ බව සනාථ කෙරෙන ගීත රැසක් අතීතය පවා ඊට ශාක්ෂි සපයන බව පසක් කරයි. ඊට ඔබ්ඛෙන් \"නැව් මුල්ල\" නම් වූ පෙම්වතුන් නිතර ගැවසෙන ස්ථානයට ගිය විට දෙවුන්දර තුඩුව දිස් වේ. සයුර පිස එන මද නල ගත දැවටෙද්දී පෙම්වතුන්ට ඈත් වීමට ඉඩ දෙන්නේ නැත. ප්‍රධාන පිවිසුමෙන් ඇතුල් වූ විගස හමුවන සමනල පාලම ලඟ නැවතී ගලා යන නිසල දිය කඳ දෙස නොබලා නොනැවතී යන්නට තරම් පෙම්වතුන් කිසිවිටෙකත් සූදානමක් නැත. මල් පාර දිගේ ඇවිද යන විට ශ හැඩැති නිසා \"වයි\" හන්දිය නමින් හැඳින්වෙන් ස්ථානයෙන් විද්‍යාපීඨය දෙසට හැරී හමුවන මල් පාරේ වරු ගණන් පෙම් බස් මිමිණූ පෙම්වතුන් කොතෙක් නම් මෙබිම තුල සිටින්නට ඇත්ද ? සෞම්‍යාට සුරතින් පූජිතගේ සුරත දැඩිව අල්ලා ගත්තාය. ඈ කියන දේ නාසයි. හිතුවක්කාරය ඇගෙන් මිදී පලා කෙසේදැයි පූජිත දහස් වර කල්පනා කළ ද කිසියම් උපායක් සිහියට නොනැගීම පිළිබඳ පසුතැවිලි වූයේය. සරසවි ජීවිතයේ තමා සිසිල කලේ පවිත්‍රාය. පවිත්‍රා අවදි කළ ජීවිතය ඇයම මරා දමා ඇත. සෞම්‍යාත උත්සහ කරන්නේ ඇයගේ මිතුරිය විසින් නිදි කරන ලද තම සිත අවදි කරන්නටය. පවිත්‍රා සමග පෙමින් බැඳී සිටියේ වසරකට ආසන්න කාලයක් පමණි. පවිත්‍රා හා තමා පිළිබඳ සියළු මතකයන් පිළිබඳ දැනදැනත් මේ හිතවක්කාර කෙල්ල තමා පසුපස එන්නේ මන්දැයි වරෙක සිතේ. සෞම්‍යා ගේ දිගු කෙස් කළඹ හමා ආ සුළං පහරින් පූජිතගේ මුහණ පුරා පැතිරිණි ග ඉන් වහනය වූ පිච්ච මල් සුවඳ නොවිඳ සිටීමට තරම් සිතක් පූජිතට නොවීය ග පවිත්‍රාගේ හිසින් වහනය වන්නේ ද මෙබඳුම සුවඳකි ග එකම නේවාසිකාගාරයේ එකම කුටියේ සිටින යෙහෙලියන් එකම වර්ගයේ විලවුන් භාවිත කරනවා වන්නට ඇත ග \"පවිත්‍රා ඔයා දාලා ගියාට දුක් වෙන්න එපා පූජිත අයියේ...\" ඔවුන් සෙමින් සෙමින් බුදු මැදුර පසු කර පහළට බැස යන අතර සෞම්‍යා පැවසුවාය. සෞම්‍යා තාමත් පූජිතගේ දෑතේ එල්ලී ගත් ගමන්මය. \"මගේ අත අතහරින්න නංගී\" \"බෑ...බෑ...පවිත්‍රා අතහැරියට මම අතහරින්නෙ නෑ...\" \"අතහරිනවා අත...\" පූජිත කෝපයෙන් වෙව්ලන්නට විය. අනපේක්ෂිත සිදු වීමෙන් සෞම්‍යා තැති ගත්තාය. එහෙත් ඈ උත්සාහය අත් නොහලාය. \"ඇයි නැවැත්තුවේ හියියෙන් කෑ ගහන්න...ඕනනම් මට ගහන්න. කොයිතරම් කෑ ගැහුවත් පවිත්‍රා ඔයා ලඟට එන්නේ නෑ.\" දෙදෙනාගේ බහින්බස් වීම අසන්නට තරම් කෙනෙකු මල් පාරේ නොවීම පිළිබඳ දෙදෙනාම සිතින් සතුටු වූහ. සෞම්‍යා උපක්‍රමශීලිව පූජිත තමා අසලින් වාඩි කරවා ගත්තාය. \"ප්ලීස්... ඔයා යන්න නංගී මෙතනින්...\" \"ඇයි රෑ මං යන්නේ...ඔයා හැමදාමත් කලේ මාව එලවන එක. අදනම් මං ඔයා දාල කීයටවත් මෙතනින් යන්නේ නෑ...\" ඇය උමතු වී ඇත් දැයි පූජිතට සිතිණි. සෞම්‍යා මෙල්ල වන බවක් පෙනෙන්නට නැත. පූජිත නිහ~ වූයේ ඇයට අවනත වෙමිනි. \"මොනාද ඔයාට කියන්න ඕන...කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න...\" \"පූජිත අයියා ඔයාට මතකද අපේ ෂෝෂල් එක ?\" \"හ්ම්...\" \"ඔයාට මතකද ? කෙල්ලෙක් ඇවිත් අයියේ මං ඔයාට ආදරෙයි කිවා\" \"හ්ම්...\" \"කවුද ඒ\" \"ඔයානේ...\" \"ඉතිං ඔයාට මතකද ? ඒ කෙල්ලගේ කඳුළු බල බලා ඔයා කියපු කතාව\" \"මොකද්ද ?\" \"මං ආදරේ ඔයාට නෙමේ ඔයාගේ යාළුවට කියලා.\" \"ඔයාට මතකද මං එදා ඔය දෙන්නා තිනි කරලා අ~ අ~ ගිය හැටි ?\" \"ප්ලීස්... ඔය කතාව නවත්තන්න.\" \"නවත්තන්නේ නෑ.\" \"ඔයා දන්නේ නෑ මං ඔය දෙන්නට සුබ පැතුවේ අවංකවමයි අයියේ ඒක පවිත්‍රා තේරුම් අරන් හිටිය. ඒත් ඔයා ඒකේ අනිත් පැත්ත.\" \"මට සමාවෙන්න...\" සරසවියට වසන්තය එළඹෙන්නේ අළුතින් නැවක් ආ පසුය. එතෙක් ඇත්තේ ඉඩෝරයකි. ඉඩෝර බිමට දිය බිඳු එකිනෙක වැටීමෙන් එතෙක් හුදෙකලා වූ මල් පාර නැවුම් සුන්දරත්වයකින් සැරසී අළුත් කණ්ඩායම පිළිගැනීමට පුල පුලා බලා සිටී. මල් පාර මෙන්ම දෙවන වසර සිසුන්ද නැවුම් බලාපොරොත්තු, නැවුම් හැඟ=ම් සමගින් ලහි ලහියේ සූදානම් වන්නේ සැබෑ සහෝදරත්වයෙනි. පෙර වසරේ නවක පිළි ගැනීමෙන් ලද ආහ්ලාද ජනක හැඟ=ම් මෙනෙහි වීමෙන් දෙවන වසර සිසුන් තුල නිතැතින්ම හටගන්නා ප්‍රේරණය නිසා නවක සිසුන් ලක් වන්නේ සොඳුරු වදයකටය. ජීවිතේ පළමු වතාවට යුවතියක් තමාගෙන් ආදරේ ඉල්ලමින් සිඟා කෑ සැටි ඔහු සිහි කලේය. එහෙත් ඔහු ආදරේ කලේ ඇගේ යෙහෙළිය වූ පවිත්‍රාටය. සෞම්‍යා තරම් පවිත්‍රා රූමත් නොවූවද නවක වද සමයේ ඈ තුල වූ අපූර්වත්වයක් දුටුවේය. සෞම්‍යා දඟකාරය, කටකාරය, එහෙත් පවිත්‍රා එකළ උවැසියක් බඳු වූවාය. එහෙත් වසරක් ගත වන්නටත් පෙර ඒ උවැසිය සිල් බින්දාය. ඔවුන් ප්‍රථම වසර අධ්‍යරයන කටයුතු ආරම්භ කරන විට පෙම් වතුන් වූහ. සෞම්‍යා සියල්ල අමතක කර ඔවුන්ට සුබ පැතුවාය. \"ඉඩෝර බිම නිවාලන කඳු රැල්ල\" කලා උළෙලසංවිධානය කරන ලද්දේ පූජිත ඇතුළු අවසන් වසර සිසුන් විසිනි. නර්තනයට දස්කම් පෑ පවිත්‍රා \"ප්‍රේම පූජා\" නර්තනාංගයට ඉදිරිපත් කලේ ද පූජිත විසිනි. සංවිධාන කටයුතු නිසා ඔවුන්ට ලංව ඉන්නට අවස්ථා අඩු විය. නර්තන කණ්ඩායම කලාගාරය පිටුපස පුහුණු වීම් කරමින් උන්හ. චිත්‍ර පුවරුවක් සවි කිරීමට කලාගාරයට යමින් සිටි පූජිත දුටු දෙයින් ගල් ගැසුනේය. කවීෂ නර්තන කණ්ඩායම පුහුණු කළ තම සගයාය. ඔහුද තරඟයට පෙනී සිටින අයෙකි. කවීෂත් පවිත්‍රාත් වේදිකාව පිටුපස වැළඳ ගෙන උන් දසුන පූජිතට නො ඉවසුම් දුන්නේය. \"බය වෙන්න එපා මචං...මේක ෆයිනල් ගෘප් ඩාන්ස් එකේ රියසල් එකක්...\" පූජිතගේ ළය සැහැල්ලූ වූයේදැයි ඔහුටම නොතේරිණි. පවිත්‍රා දුව විත් පූජිතගේ අතේ එල්ලිණි. \"බය උනාද ?\" \"හ්ම්...\" කලා උළෙල අවසානය සනිටුහන් වන විට \"ප්‍රේම පූජා\" නර්තන යුවල සැබැ පෙම්වතුන් වූයේ සරසවි සංස්කෘතියට එය අළුත් දෙයක් නොවන බව පසක් කරමිනි. \"දැන් කල්පනා කලා ඇති.\" \"ඇයි ඔයා මාව දාලා නොයන්නේ ?\" \"මට ඔයා ගොඩක් වටිනා නිසා...\" \"ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරියටත් බයයි...\" \"මං දන්නවා ඔයා මාව මනින්නේ පවිත්‍රා ගානට.\" \"ඔයාගේ යාළුවනේ ?\" \"ඔව් යාළුවා තමයි. ඒ නිසා තමයි මං මගේ ආදරේ එයාට පූජා කලේ\" පූජිතට දුක සිතිනි. සෞම්‍යාගේ දෙනෙතට සඳ එලියට දිලිසෙන්නට වූවාය. පිට නොකර නෙතඟ ගුලි කර ගෙන උන් කඳුළු වැල් පූජිතගේ උරහිස සිප ගත්තේ ඔහුගේ දෙනෙතද තෙත් කරමිනි. \"මට සමා වෙන්න නංගී...\" පූජිත දෑඟිලි තුඩින් සෞම්‍යා ගේ කඳුලැලි පිස දැම්මේය. රෑ යාමේ මේ සාදයේ ගී රාව පවී ගියේ ආරාධනා පා...මල් සිනා පා ආවා සොයා ආදරේ... එළිමහන් රංග පීඨයදෙසින් උරේෂා රවීහාරීගේ මියුරු ගීතයක් ඇසේ. සංගීත රාත්‍රිය ආරම්භ වී ඇත. සෞම්‍යා වහා පූජිත ලඟින් මෑත් වූවාය. \"සොරි අයියා...මං යනවා\" \"කොහේද ?\" \"හොස්ටල්...\" \"බොරුකාරි...\" \"ඇයි ?\" \"එහෙනම් දැන් කිව්වේ මාව දාලා යන්නේ නෑ කියලා...\" \"මෙහෙම දාල ගියාට සිතින් දාලා යන්නේ නෑ...\" පූජිත සෞම්‍යාගේ සුරත තදින් අල්ලා ගත්තේය. සඳවතිය ලැජ්ජාවෙන් වලා පටලයට මුවා වූවාය. සයුර සිප එන නල රැල්ලක් දෙදෙනා වටා එති එති ඇදෙන්නට විය. \"දැන් කෝ කෙරුම්කාරිගේ කට ?\" \"අර එදා කියපු එක ආයෙත් කියනවද ?\" \"එදා වගේම දෙයක් වෙයි කියලා මට බයයි...\" \"බය වෙන්න එපා එදා වගේ වෙන කවුරුත් අද අපි ලඟ නෑනේ...\" \"කියන්නකෝ...ඉතිං\" \"ම්හ්...\" \"කියනවද නැද්ද ?\" පූජිත බොරුවට සැර විය ග \"මං ඔයාට ආදරෙයි...\" පූජිත සෞම්‍යාගේ නලලත සිප ගත්තේය. මෙතෙක් කල් තමා පසුපස හඹා ආ සැබෑ ප්‍රේමය තමාට ලැබුනේ මේ මොහොතේ නොවේදැයි පූජිත සිතුවේය. සෞම්‍යා ගේ වතෙහි වූයේ විජයග්‍රාහී අහිංසක බවකි. ඈ ද ඔහුගේ උණුසුමට ලං වූවාය. පුදුම විය යුතු නොවේ. ආදරේ හැටි මෙයාකාරය. සරසවි සංස්කෘතිය ප්‍රේමය ඔටුනු පලන් යුවලකට ලබා දෙන කදිම සංග්‍රහය \"බකට් කිරීමයි\" එමගින් පෙම්වතුන් සරසවි පෙම්වතුන්ට පමණක් සීමා වූ සංස්කෘතියට අනුගත වන්නේ අසීමාන්තිකවය. එකවරම ශීතල දිය දහරාවකින් දෙදෙනා නෑවී ගියහ. සිහිල් දිය අහුරත් සමග පිච්ච මල් සෞම්‍යාගේ කෙස් කළඹ සිප ගනිමින් තිබිණි. නැවතත් සරස වසන්තයට යොමු කල අපූර්වත්වය පූජිතගේ දීප්තිමත් දෑසෙහි දිලෙන්නට විය. \"ස්වර්ණ පන්හිඳ\" කේ. එම්. එස්. කුමාර සංස්කෘතික නිලධාරී කතරගම.