🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ගෙයක් නිවැරදිව හදන්නේ මෙහෙමයි


වාස්තු ශාස්ත්‍රය සමහරුන් වාස්තු විද්‍යාව ලෙස හඳුන්වනවා. මා පිළිගන්නා අන්දමට වාස්තු විද්‍යාව යනු ගෘහ නිර්මාණයි. බාහිර කරදර වලින් ආරක්‍ෂාව ලබාගෙන නිවසක් හෝ වෙනයම් ගොඩනැඟිල්ලක් තනා ගන්නා අයුරු පෙන්නා දීම වාස්තු විද්‍යාවයි. වාස්තු ශාස්ත්‍රය යනු විශ්ව ශක්තියේ සුභ බලපෑම් ලබා ගන්නා අයුරුත් නරක බලපෑම් බැහැර කරන අයුරුත් සහ භූමියේ ස්වභාවිකව නිකුත් වන නරක බලපෑම් වලින් බැහැරව නිවාස ඉදිකරන අයුරුත් පෙන්වා දෙන ශාස්ත්‍රයකි. මේවා ශක්තීන් ලෙස හඳුන්වා තිබෙනවා.

වාස්තුවේ ආරම්භය අනුමාන ලෙස පොත්වල සඳහන් ආකාරයට පර්සියාවේ ‘අයිරන්’ ජනයාගෙන් පටන්ගෙන ඉන්දු ආර්යයන් යුරෝපීය ආර්යයන්ගෙන් ප්‍රචලිත වූ වග පිළිගැනීමයි. මා මුලින් සඳහන් කලා භූමියේ ස්වභාවික බලපෑම් කියා. එනම් ‘ප්‍රේත’, ‘මානුෂ’, ‘දේව’ හා ‘බ්‍රහ්ම’ යනුවෙන් ඉඩම කොටස්වලට බෙදා ඒ කොටස්වලින් නිකුත් වන කිරණ වල බලපෑම්ය. මෙම ශාස්ත්‍රය අතීතයේ යොදාගෙන ඇත්තේ විශාල ඉඩම්වල සියලු දෝෂවලින් ආරක්‍ෂා වී සැපවත් ජීවිතයක් ගතකරන්න නිවාස හදාගැනීම සඳහාය. එදා ඒ සොයාගත් ශාස්ත්‍රයේ සියලු දේ අද යොදා ගන්න උපදෙස් දීම මහා මෝඩකමකි. අද පර්චස් 5 හේ ගෙවල් හදනකොට මේ සියලු ශාස්ත්‍රයම යොදාගත නොහැක. මේ ගැන හරි අවබෝධයක් නැති අය මිනිසුන් පිස්සන් කරනවා. මේ නිසාම ශාස්ත්‍රය බොරු කියලා මිනිස්සු මෙහි වටිනාකම පිළිනොගෙන හිතුමතේ නිවාස තනාගෙන විඳවනවා. කට්ටඩි මහතුන් පස්සේ යනවා. වාස්තු දෝෂ සඳහා කට්ටඩි ගුරුකම් හරියන්නේ නැත.

හැදුවාට පසු වාස්තු දෝෂ නැතිකර ගන්න කියා වාස්තු විද්‍යාඥයන් යයි කියාගන්නා උදවිය ගෙන්වාගෙන අතන වෙනස් කරනවා මෙතන වෙනස් කරනවා කඩ කඩ හදනවා අවසානයේ සල්ලිත් ඉවරයි. දෝෂ අඩුවෙලත් නෑ. පිස්සු හදාගන්නවා. අද තත්ත්වයට ගැලපෙන අයුරින් පර්යේෂණ කර කුඩා ඉඩම්වලට සුදුසු ලෙස වාස්තු ශාස්ත්‍රය යොදා ගන්නා ආකාරය ඉන්දියාවේ පොත්පත්වල සඳහන් කර තිබෙනවා. අපේ කාලයේ ඍෂිවරුන් ලෙස පිළිගන්නා බී. වී. රාමන්තුමා, කේ. එස්. ක්‍රිෂ්ණමුර්ති උතුමා මේ පර්යේෂණ කර ඒවා පොත්වල ලියා පළකර තිබෙනවා. එදා සංස්කෘතියෙන් පළකර තිබුණා වූ ‘මයිමන’ ‘මහාසාර’ ‘බි්‍රහත් සම්හිතා’ වැනි තවත් පොත්වල සඳහන් දෑය අදට ගැලපෙන අයුරින් ඒ උත්තමයින් ලියූ පොත් අද ඉංග්‍රීසියෙන් ලියා තිබෙනවා. ‘නිරන්ජන් බාබු’ මැතිතුමා ‘සුමන් පන්ඩිත්’ මැතිනිය වැනි අය මුල් තැනට ඉන්නවා. කුඩා ඉඩම්වල නිවාස තැනීමේදී ප්‍රධාන දෝෂ ඉවත් වන ආකාරයට සැලසුම් කොට නිවාසය තනා අනිකුත් දෝෂ අවමකර ගැනීමට චක්‍ර වාස්තු ශාස්ත්‍රය උපයෝගී කරගත හැක. ජීවිතය යනු එක දෙයක් පමණක් නොවේ. හොද්දක් රස කරගන්න කලමනා ගොඩක් ඕනෑ වගේම සාර්ථක ජීවිතයක් ගෙවන්න ගොඩක් දේවල් එකතුකර ගන්න වෙනවා. සල්ලි තිබුණාට හැමදාම සුභ වෙන්නෙ නෑ. කර්මයට හා ග්‍රහයන්ට ජීවිතය බාර දීලා ඔහේ පාවෙන්න හැරියොත් හරියන්නෙත් නෑ. මේවා ගැන හොඳ අවබෝධයක් ලබාගෙන දෝෂ අවම කරගන්න පිළිවෙත් කර ගතහොත් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඔබට නිවසක් හදාගන්න අදහස් ඇතිවූ විට ඒ සඳහා සුදුසු කාලය දැයි විමසා බලන්න. සුදුසු තැනක් සොයා ගන්න. ලාබ නිසාම ඉඩම් ගන්න එපා. අවසානයේ දුක් විඳින්න වෙනවා. ජලය, විදුලිය, මාර්ග පහසුකම්, පරිසරය, අසල්වාසීන් ආදිය ගැන විමසිලිමත් වන්න.

කෙනෙක් කියයි මේවා ඔක්කොම බලලා කවදාවත් ගෙයක් හදන්න ලැබෙන එකක් නෑ කියල. මෙහෙම මෝඩ උපදෙස්වලට සල්ලි තිබෙන නිසා වැඩ කරල වැරදුන උදවිය කීපදෙනෙක් මා හමුවන්න ඇවිත් තිබෙන නිසයි මෙහෙම මා කියන්නේ. මෙසේ සුදුසු ඉඩමක් ගත්පසු ඒ ඉඩමේ නොපෙනෙන තත්ත්වයන් පරීක්‍ෂා කරන්න. එනම් භූමි දෝෂ කියා හඳුන්වන බහිරව දෝෂ, මෙයට භූත ප්‍රේත දෝෂ කියාත් කියනවා. අනෙක බන්දන දෝෂ මෙය අසල්වාසීන් ඊර්ෂ්‍යාවට කරන දේවල්. මිනී අළු, ගෙරි පස්, අබ, ලුනු, මඩු දලු, නොපෑගුනු ගල්, ඉත්තෑ කූරු කෑලි වැනි දේ බන්ධනය කර ඉඩමට දමා තිබෙන්න පුළුවන්. මේ නිසා කිසිම වගතුවක් වන්නේ නෑ. අතීතයේ මේ ඉඩමේ සතුන් ඝාතනය කරන තැනක් පවත්වාගෙන ගොස් තිබෙනවා නම් එයත් බලපානවා. ඇස්වහ කටවහ දෝෂත් බලපානවා. මෙහෙම ගියොත් අපිට ජීවත් වන්න වෙන්නෙ නෑ. ගෙයක් හදාගන්න ලැබෙන්නෙ නෑ කියලා පසුතැවෙන්න එපා. මේවා දුරුකර ගන්න නිසි ප්‍රතිකර්ම තියෙනවා පළමුව ඒවා ඉවත් කරගෙන නිවස තනන්න පටන් ගන්න. අතේ තියන මුදල අනුව ඉදිරියේදී නඩත්තු කරගන්න හැකිවන අයුරින් නිවාස සැලසුම් අන්දවා ගන්න. මතක තබාගන්න. වාස්තු දෝෂ හැකි පමණ අඩු කරගෙන සැලසුම සකස් කර ගන්න. නැතිනම් පදිංචියට ගොස් කඩ කඩා හදන්න ලෑස්ති වෙන්න එපා. වාස්තු ශාස්ත්‍රඥයකු ළඟට සැලසුම රැගෙන ගොස් ඔහේ කියන කියන දේ කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබ ඒ ගැන විමසන්න දැනුවත් වන්න. ඊට පසු හදන්න. සුදුසු පූජා තබා පිළිවෙත් පුරා සුබ වේලාවලදී ඒ කටයුතු කළ යුතු බැව් මතක තබා ගන්න. සමහර විට ඔබට ලැබෙන ඉඩම ත්‍රිකෝණාකාර නම් අඩු තරමින් එය ඍජුකෝණාශ්‍රාකාරවත් කරගත යුතුමය. හතරැස් ඉඩමක් නම් හොඳයි. නැහැයි කියා දුක්වන්න එපා. එය සුදුසු අයකු ලවා පාද වෙන්කරවා ගන්න. හැකිනම් ප්‍රේත පාදය අත්හැර ගැනීම කර ගන්න. අපහසුනම් ප්‍රේත පාදය මැද හරියේ කොටසක් හෝ හිරුට විවෘත කර තබන්න. සැලසුම පිළිළෙ කිරීමේදී ප්‍රධාන වශයෙන් සැලකිය යුතු වන කරුනු නම් ප්‍රධාන දොර, පිටවන දොර, මුළුතැන්ගෙය, වැසිකිලිය, ජල කරාමය, ජල ටැංකිය, වැසිකිලි වළ, නිදන කාමරය යන කොටස ලෙස ගැනිය හැකි තවත් බොහෝ දේ තිබෙනවා. හැම දෙයක්ම කුඩා නිවාසවලට යොදාගත නොහැකි නිසා සඳහන් නොකරමි. මේවා නිවාසවලට පමණක් නොව විශාල ගොඩනැගිලි, රෝහල්, පන්සල් ආදියටත් බලපානවා. සමහරුන් හිතන්න පුළුවන් සුද්දන්ට මේ මොකුත් නෑනේ කියලා නැත මා සම්බන්ධ වුණ ගොඩක් ඉදිකිරීම් වලදී ඒ පිටරැටියන් දැඩි ලෙස ඉල්ලා සිටියා ඒවා අනුගමනය කරන්න කියලා. වෙන එකක් තියා අක්කර 5 ක පුත්තලමේ ඉඩමක ඉස්සන් කොටු තැනුවා. ඒවායේ දී ගොඩක් දේවල් කරන්න වුණා.

කට්ටඩියකු ගෙනත් ආරක්‍ෂා පවා කරන්නට සිදුවුණා. නිවසක සිරිකත කැන්දන තැන ප්‍රධාන දොරටුව කියා කියනවා. ඒක කොහොම වුණත් විශ්ව ශක්තියේ ශුභ ශක්තීන් නිවස තුළට ගන්න තැන දොර තැබිය යුතුයි. පැත්ත කුමක් වුවත් ඒ පැත්ත 9 ට බෙදා නියම කර ඇති තැන තැබිය යුතුයි. මේ ආ ශක්තීන් කෙලින්ම පිටවීමට නොදී තරමක් හෝ රැඳීමට සැලැස්වනු වස් පිටවන දොර එක එල්ලේ නොතැබිය යුතුය. අනික ප්‍රධාන දොරට වඩා කුඩා විය යුතුය. අපි උළුවස්ස කියා කියන්නේ දෙපැත්තේ කඳන් දෙකක් හා උඩින් කඳක් ඇති දෙයකටය. එය සම්පූර්ණයෙන්ම වැරදිය. උළුවස්සට ඉංග්‍රීසියෙන් කියන්නේ "door frame" කියාය. frame යනු කොටස් 4 තියන රාමුවකි. මෙය අපේ ලෝබකම නිසාද නැතිනම් එම රාමුවෙන් සිදුවන ක්‍රියාව නොදන්නා නිසාදෝ ලී 3 කින් උළුවස්ස හදනවා. මෙය වැරදිය. එය කඳන් හතරක් විය යුතුය. පඩි කඳ පොලව මතුපිටට වන සේ උළුවස්ස සවිකළ යුතුය. මේ උළුවස්ස සඳහා කිරි වර්ගයේ ලී පාවිච්චි කළේ ඉන් විශාල ශක්තියක් නිකුත් වන නිසාය. ඒ සඳහා කොස් ලී මෙන්ම අතීතයේ වෙනත් ලී වර්ග (විස නසන ගුණ ඇති) පාවිච්චි කර තිබෙනවා. ඔබට පැරණි වලව්වලට යා හැකි නම් ගොස් බලන්න. ඇත්ත වටහා ගන්න. ප්‍රධාන දොරේ යම්කිසි කැටයම් කපා තිබෙනවා ඔබ දැක ඇති. එහි තේරුම් කීපයක්ම තිබෙනවා. දොරේ පලල මෙන් දෙගුණයකට වඩා උස විය යුතුය. මුළුතැන්ගෙය ගිනිකොණ පිහිටවිය යුතුය. ගිනිකොණ අයත් වන්නේ අග්නි දෙවියන්ට. එතුමා ගින්දරට අධිපති නිසා එය ගිනිකොන විය යුතුමය. වැරදිලාවත් ඊසාන හෝ නිරිත ලිප බඳින්න එපා. ඒවා අයිති ‘වරුන’ ‘පරිජාන්ය’ දෙවිවරුන්ටය. යම් විදිහකින් මේ තැන්වල මුළුතැන්ගෙය පිහිටුවන්න සිදුවුවහොත් එම කාමරයේ ඊසාන, නිරත හැර ගිනිකොන පිහිටන තැන අඩු තරමින් බත උයන උඳුන තබන්න සකසා ගන්න. මොනම විදිහකින් වත් ප්‍රේත පාදයට නොතබන්න. එසේ මුළුතැන්ගෙය ප්‍රේත පාදයේ නම් එම කොටස අඩි 2 – 3 ක් වත් ඉඩහැර ලිප තබා ගන්න වගබලා ගන්න. වතුර ටැංකිය ලිප උඩ නොතබන්න. ඉන් අත්වන විපාක බොහෝය. වැසිකිලිය ගෙයි මැදට තනන්න එපා. වැසිකිලි බට ගේ මැදින් ගන්න එපා. වැසිකිලිය මුළුතැන් ගෙට යාබදව තන්න එපා. වැසිකිලි වළ ප්‍රධාන දොරටුව හෝ පිටවන දොර ඉදිරියේ තනන්න එපා. ඉන් නරක කිරණක් පිටවනවා. එය පාගා යාම ඒම මෙන්ම නිවස තුළට ඒම ද සුදුසු නැත. ගිනිකොනට හොඳම නැත. පිරිමි දරුවන්ට අගුණයි මගේ අත්දැකීමකි. එමෙන්ම මුළුතැන් ගෙයි ජල කරාමය ලිප අසලට නොගෙන හැකි තරම් ඊසානට බරව තනා ගන්න. ජල ටැංකිය ඊසානට හෝ නිරිතට තබන්න. මේ දෙදිසාවෙන් තමයි අපට මෝසම් වැසි ලැබෙන්නේ. නිදන කාමර ගිනිකොනට නොතබා අන් කොහේ හෝ තැනූ විට දකුණට හිස තබන ආකාරයට ඇඳ තබාගන්න. එයට විශේෂිත වූ කාරණා ගොඩක් තිබෙනවා. එකක් කියන්නම්. එනම් විශ්ව ශක්තිය ගමන් කරන්නේ උතුරේ සිට දකුණට බවය. හැකි තරම් ජනේල උතුරු දිශාවට තබන්න. සැලසුම පිළියෙළ කරන විට වර්ග කිරීමද කරගන්න. එය ‘අයාදි ෂඞ්වර්ඟ ලෙස දක්වනවා. මෙයත් සැලසුම් පිළියෙළ කිරීමේදී වැදගත් කරුණකි. අනිවාර්යයෙන්ම පිහිටි පොළොවේත් 18” බැරිනම් 12” වත් නිවසේ පොළව උසින් තැබිය යුතුය. එයට විද්‍යානුකූලව සාදක දිය හැක. තවත් බොහෝ දේ ඇත. උනන්දු වන විශ්වාස කරන අය මේවා අනුව කටයුතු කරනවා නම් යහපත් දිවියක් ගත කරන්න පුළුවන්. මේවා හැම දෙයක්ම කරන්න අපහසුනම් චක්‍රවාස්තු පිහිට ගන්න යොමු වන්න. එනම් ගස් වර්ග වවන්න. වැල් වර්ග වවන්න. මාළු ඇති කරන්න. තිරුවානා ගල්, ලෝහ වර්ග නිවස තුළ තබාගන්න.

මේ ගස් වර්ග නිවස ඉදිරියේ වැවීමෙන් අමනුෂ්‍ය බැල්ම ඇස්වහ දෝෂ අඩුකර ගන්න පුළුවන් බටහිර ලෝකයේ ඔවුන් ද මේ ගස් වැල් වවනවා. ඔබ පැගිරි ගස් කොච්චි, මිරිස් ගස් කෝමාරිකා, තුල්සි වැනි ශාක වවන්න. ගේ ඇතුලේ ‘මනි ප්ලාන්ට්’ ‘ලකි බැම්බු’ නමින් බටහිර ලෝකයේ හඳුන්වා ඒ රටවල ඉතා ඉහල මිලක් ඇති ගස් වවන්න. ලංකාවේ මේවා ගණන් ගන්නෙ නැත. දුටු සතුටු ගස් පඳුරු ද හොඳයි. විශේෂයෙන්ම ප්‍රේත පාදයට හසුවන නිවාසවල මැද මිදුල කොටසේ බිම පොකුණක් හදා එහි තරමක ලොකු මාළුන් ඇතිකරන්න, වයඹ කොනේ තරමක ලොකු තිරුවාන ගල් තබා භාජනයක තබන්න. අවර්ණ තිරුවාන ගල් යන වර්ගය නම් හුඟක් හොඳයි. උදේ සවස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ගයාත්‍රි මන්ත්‍ර වාදනය කරවන්න සලස්වන්න. කිලි පිලි අනුභව නොව මුළුතැන්ගෙට නොගෙන කටයුතු කරන්න හැකිනම් ගොඩක් හොඳයි. විශේෂයෙන්ම බිත්තර නොගන්නවා නම් හොඳයි. ඔබ දැක ඇති බිත්තරය තම්බා කටුව ඉවත් කළ පසු එහි පිටුපස යම්කිසි අඩු වළක් වැනි කොටසක් එහි මහා විෂ වායුවක් තිබෙනවා එය තම්බන විට නිවසට පිටවනවා. එය විශාල කිල්ලක්. මේවා ගැන අවබෝධයෙන් කටයුතු කළ හොත් ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන්. දෙවි පිහිටයි.

ආර්. එස්. තුඩුගල