🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

නිසි වයස එළඹෙන සෑම තරුණියකගේම පැතුම යහපත් පෙම්වතෙකි. සහකරුවෙකි. මේ නිසාම බොහෝ යුවතියන් තරුණ වියට එළඹෙත්ම ප්‍රේමයේ පැටලීම සිදුවන්නේ දැන හෝ නොදැනය. එහෙත් කෙලෙස ප්‍රේමයේ පැටලුණද එම සබඳතා බොහොමයක් විවාහය දක්වා දුරදිග යන බවද හඳුනාගෙන තිබේ. එහෙයින් තමාගේ කැමැත්ත දිනන පෙම්වතා ගැන හඳුනා ගැනීමට මේ ලිපිය ඔබට පිටිවහලක් වනු ඇත.

බෞද්ධ සාහිත්‍යයේ පිරිමින් හට භාර්යාවන් සත්දෙනෙක් පිළිබඳ හඳුන්වා දී ඇත. එනම් වධක, චෞර, ස්වාමි, මාතෘ, භගිනි, සකි සහ දාස භාර්යාවන්ය. එමෙන්ම කාන්තාවන් සඳහාද පුරුෂයන් සතර දෙනෙක් පිළිබඳ මෙහෙසුරු හෙවත් ශිව දෙවියන් විසින් තම දේවිය වන පාර්වතී හෙවත් උමාවන්ට පෙන්වාදී ඇත. එනම් ශශ, මෘශ, වෘෂභ, තුරඟ යනුවෙන් දේව සංකල්පයේ සඳහන් වෙයි.

ශශ පුරුෂයා : මෙම පුරුෂයා ප්‍රියමනාප දේහ ලක්ෂණයකින් යුක්ත වූ අයෙකි. ඔහු සතුව මෙවැනි ගුණාංගයන්ද ඇත. හෙතෙම නිතර සත්‍ය කතා කරන යහපත් වැඩෙහි යෙදෙන වැඩිහිටි භක්ති ආදරයෙන් සලකන සිය උත්සාහයෙන් දියුණුව සලසා ගන්නා අයෙකි. තම සහකාරියට දැඩි ළෙන්ගතු බවක් හා ආදරය කරුණාව දක්වන සත්‍යවාදී පුද්ගලයෙකි.

මෘශ පුරුෂයා : මෙම පුරුෂයා නිතර සිනාසෙන මුහුණින් සැරසීගත් කලාකාමීත්වයෙන් යුක්ත අයෙකි. ආගන්තුක සත්කාරය අගයන සියලු දෙනාගේ සිත් දිනාගත් තම ආගම ධර්මයට අනුව ජීවිතය සකසාගෙන තම සහකාරිය සමග නිරතුරු බැඳීමකින් සිටින පුද්ගලයෙකි.

වෘෂභ පුරුෂයා : මෙම පුරුෂයා නිතර අලසකමින් හා ආත්මාර්ථකාමයෙන් යුතු වැඩිහිටි අයට නොසලකන සමාජයේ අන් අයට ගරහන පුද්ගලයෙකි. අන් සතු ස්ත්‍රීන් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන මොහු පාප ක්‍රියාවන්ට ප්‍රිය කරන අයකු වශයෙන්ද තම සහකාරිය පිළිබඳ කිසිදු තැකීමක් නොදක්වන විනෝදකාමී අයකු වන අතර කාලය කාදමන අයෙකි.

තුරඟ පුරුෂයා : මෙම පුරුෂයා නිතර ක්‍රෝධ සිතුවිලි මුදුන්පත් කරගත් දුසිරිත්වලින් පිරි ගුරුදෙගුරුන්ටද නින්දා අපහාස කරන අයකු වශයෙන්ද කපටිකමින් තමන්ගේ වුවමනා එපාකම් පිරිමසා ගන්නා හා තම සහකාරියට වඩා අන්සතු ස්ත්‍රීන්ට ලොල් බවක් දක්වන මෙම පුරුෂයා තම බිරියට තාඩන පීඩනවලින් නිතර සංග්‍රහ කරන අයෙකි.

යහපත් ස්වාමියෙක් හෝ අයහපත් ස්වාමියෙක් ලැබීමට හේතු සාධක ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව විග්‍රහ කර බැලුවත්, ධර්මානුකූලව විග්‍රහ කර බැලුවත් අවසානයේ පෙර අප කළ කුසල් අකුසල් අනුව සිදුවන බව මෙයින් සඳහන් කරමි.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජේ.එම්. ජයන්ත ඒකනායක
උපුටා ගැනීම මව් රට