🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මානසික ආතතිය දුරු කර වන විනෝදාංශ

මානසික ආතතිය දුරු කර වන විනෝදාංශ

සංගීතය
මියුරු සංගීත නාදයකට මනසේ ඇතිවන විඩාබර බව සමනය කරන්න පුළුවන්. පර්යේෂණවලින් සොයාගෙන ඇති අන්දමට සංගීත ඛණ්ඩයකට සවන් දීම මෙන්ම සංගීත ඛණ්ඩ නිර්මාණය කිරීමෙන්ද ආතතිය අවම වෙනවා. සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනවා. වේදනාව දුරුවෙනවා. ශක්තිමත් බවක් ඇතිවෙනවා. අධ්‍යයනවලින් සනාථ කර ඇති අයුරින් සමහර රෝගවලට ගොදුරු වූවන්ට සංගීතය චිකිත්සාවක් ලෙස යොදා ගන්නවා.

ගෙවතු වගාව
පරිසරය සමඟ ගැවසීම විනෝදජනක කාර්යයක්. එහි වටාපිටාවේ ඇති ශබ්ද, මීමැස්සන්, කුරුල්ලන්, හිරු එළිය ආදිය ආතතිය අඩු කර මානසිකත්වය වෙනස් කිරීමට හේතු වෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි පසේ ඇති සමහර බැක්ටීරියා. වර්ග මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වයට බලපෑම් කරමින් අධ්‍යයන කටයුතු වැඩිදියුණු කරනවා. වගා කිරීම මානසික සෞඛ්‍යයට පමණක් නොව කායික සෞඛ්‍ය කෙරෙහිද බලපෑම් ඇති කරයි.

සිතුවම් කලාව
විවිධ වර්ණවලට විවිධ අර්ථකථනයක් ඇති නිසා එමඟින් මානසික මට්ටම මුළුමනින්ම වෙනස් කිරීමට හැකියාවක් ඇත. නිල් පැහැයෙන් නැවුම් බව, කොළ පැහැයෙන් ස්වාභාවිකත්වය, දම් පැහැයෙන් ශාන්ත බව සහ නිර්මාණාත්මක බව, කහ පැහැයෙන් සුබවාදී බව, තැඹිලි පැහැයෙන් ජවය, රතු පැහැයෙන් ආශාව ආදිය අර්ථවත් කෙරේ.

මැසීම, ගෙතීම
මැසීම හෝ ගෙතීම් ආදිය සිත යෙදවීමෙන් සිතේ ඇතිවන පීඩාකාරී, අසහනකාරී සිතිවිලි මඟහැරී යයි. මෙයින් ඔබේ හැකියාව පිළිබඳ සුබවාදී සිතිවිලි ඇතිවෙනවා.

ඡායාරූපකරණය
කැමරා කාචය තුළින් ලොව දැකීම ඔබේ සිතිවිලි උද්දීපනය කරන ක්‍රියාවකි. බොහෝ දේ වෙනස් කෝණයකින් දැකීමට මෙමඟින් උපකාරි වෙනවා. ඡායාරූප තුළින් ජීවිතයේ සතුටුදායක මෙන්ම ධනාත්මක ආකල්පයන් මනස තුළ ඇති කර ගැනීමට හැකිවෙනවා.

කියැවීම සහ ලිවීම
විනාඩි හයක් පමණ පොතක්, පත්තරයක් කියැවීමෙන් මානසික ආතතිය 68%ක් පමණ අඩු කර ගත හැකි බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. සිතිවිලි ලේඛනගත කිරීමෙන් එයින් ඇතිවන මානසික පීඩනයෙන් යම් තරමකට හෝ මිදිය හැකිය. නිර්මාණාත්මක අදහස් සුවතාව සහ ශක්තිමත් බව ඇති කරන බව අධ්‍යයනවලින් හෙළි වී ඇත.

ආහාර පිසීම
ඉවීම විනෝදාත්මක බවක් ගෙනඑන ක්‍රියාවක් මෙන්ම ආතතියෙන් මිදීමට හොඳම ක්‍රමයක්. ඉවීමේදී ඇතිවන ශබ්දය, රසය සහ දර්ශනය මනසේ ඇති විඩාබර බව දුරු කරවයි.

සවනි ශේෂාධි
මවිබිම