🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නැකත වැරදි නම් නිවස ගිනිගෙන ගෙහිමියා මැරෙයි මිනිස්‌ වාසයට වහල හා බිත්ති ශාස්‌ත්‍රානුකූල විය යුතුයි


නිවසක අලංකාරය වහලය හා බිත්ති පිළියෙල කිරීම මත පවතින බව ඔබ දත යුතුයි. එය කාලයට පරිසරයට දේශගුණයට හා වෙනස්‌ වන මෝස්‌තර නිර්මාණ අනුව ගැළපිය යුතු අතර, එය වාස්‌තු විද්‍යාත්මකව හා ශාස්‌ත්‍රානුකූලව මෙන්ම ජ්‍යෙයොතිර් විද්‍යාත්මක දෝෂයන්ගෙන් තොරව කිරීම වැදගත් ය. නිවසක්‌ නව නිමාවකට සාදා ගැනීම අභිප්‍රාය ඇති කවුරුන් උවත් විවිධ මාදිලියේ ඇති අලංකාර ප්ලෑන් (සැලසුම්) පිළියෙල කිරීම ස්‌වභාවිකයි. විශේෂයෙන් පැරැණි මෝස්‌තර ඉවතලා නව රටාවකට ගොඩනඟන මෝස්‌තරවලට ප්‍රිය කරන්නන් අද අප අතරේ සිටී. එසේ කරන විට මේවායේ ගැළපීම් ගැන ද මඳක්‌ විමසිය යුතුය. සමහරුන් වෙනත් අයකු නොකළ විදියේ මෝස්‌තර ගැළැපීමට හා නිවාස ඉදිකිරීම් ද නිවාස කඩා වෙනස්‌ කිරීමට ද ගොස්‌ නිවාස විකාර කර මාසයෙන් තුන්මසින්, හයමසින්, වසරින් අකාලයේ මරු තුරුලට යැමත්, සමහර විට අඹුව නිවසින් පිටව යැම, පුරුෂයා පිටයැම, දරුවන් සීසීකඩ යැම, අතමිට ලැබෙන ධන ධාන්‍ය භවභෝග පවා දැවී සුන් වී හිඟමනටත් අන් අයගේ අත පෑමට ලක්‌ව මහ මඟට බැසීමට සිදුවන අවස්‌ථාවක්‌ මා ඉතා හොඳින්ම දැක ඇත. මෙම නිවාස සැලසුම් අඳින්නා ඉපැරැණි වාස්‌තු විද්‍යාවේ හැටියට එයින් මිනිසාට මෙන්ම එහි පදිංචි වී සිටින සිය පවුලටම වෙන විනාශය ගැන මදක්‌ වත් නොදන්නා අයවෙත්, එවැනි නිවෙස්‌ පන්සල්, පල්ලි, බණමඩු කෝවිල්, හා මිනී පෙට්‌ටි හැඩතල ගන්නා ආකාරයට ඉදිකර ඇත. එවන් නිවෙස්‌වලට අයත් දෝෂ සහිත හැඩ ඇති නිවෙස්‌ කීපයකම ගෙහිමියන් සාහසිකයන් අතින් මුළු පවුලම වෙඩිකා මරුමුවට පත් වූ හැටි මගේ ගවේෂණ තුළින් හොඳ හැටි පෙනී ගියා. මෙවන් නිවසක්‌ ගැන අපි වාස්‌තු විද්‍යාඥයකුගේම උපදෙස්‌ අසන්නට පෙර පාරේ වාහනවල යන අයගේ මුවින් ම හරියට අර ගේ පන්සලක්‌ වගේ, පල්ලියක්‌ වගේ, කෝවිලක්‌ වගේ, පොත් ගුලක්‌ වගේ, බණ මඩුවක්‌ වගේ, මොකක්‌ද අරක ගෙයක්‌දැයි කියා සාමාන්‍ය ජනයා සිතා මතා නොව, ඇසට දර්ශනය වන විලාශයෙන් කටින් වදන් පිටකරයි. එවැනි වචන කීමෙන් ඒ ගෙට කටින් වස්‌ වදින බව කවුරුත් නොදනී. එම වදන් වලින් අප කාටත් හැඟෙන්නේ ගිහියන්ගේ වාසයට එම නිවස සුදුසු නොමැති එකක්‌ ලෙස සමාජය ද පිළිනොගත් බවයි. මෙහි විපාක මුහුර්ත චින්තාමාණික්‍යයේ මෙසේ පෙන්වා ඇත. එය කුමන මෝස්‌තරයකින් වුවද අතේ මිල මුදල් වැඩි වූ විට අනුන්ගේ ගෙට වඩා මගේ ගෙදර ඉහළින් ප්‍රමුඛත්වයෙන් හදනවා යෑයි හිතා උද්දච්ච කමින් ලොකුකම හිතට අරගෙන ඉදිකරන නිවාස ද අනන්තයි.

කොහොම වුවද පළමුවෙන් සුබ නැකත් සාදා ගත යුතු වේ. එසේ නොමැතිව ඒවා පිළිනොගෙන, නැකත් වැරදි ලෙස භාවිතාකර කළොත් මහා භයානක විපත්වලට ගොදුරු වේ. එය සත්‍යයි මුදුන නව නැකත ගින්නෙන් ගේ දන්නේ දෙතුලේ දෙපිට සය ගේ පාළු වන්නේ ගේ මුල නැකත ගෙහිමියා මැරෙන්නේ මැද දොලසින් සිරිදී ලාබ වන්නේ නිවසක්‌ ඉදිකිරීමේදී පරිසරය අනුව මෙන්ම නිවසේ ප්‍රමාණය අනුවද බිත්ති යෙදීම නිවසකට වැදගත් වේ. ඉඩමක්‌ කුඩා වුවද, පර්චස්‌ 5, 7 වුවද අපේ නවක සැලසුම්කරුවන් කොන්ත්‍රාත්කරුවන් එම භූමියේ පෙරේත පාදයේ ම සිට බිත්ති (ෆවුන්ඩේෂන්) යොදයි. මෙය අන්තිම නරක සැලසුම් කිරීමකි. අඩුම බිම් කොටසක අඩියකවත් ප්‍රමාණය පෙරේත පාදයට ඉඩ හැරිය යුතුමයි. නැතිනම් එම ගෙදර නිවැසියන්ට මළගිය අයගෙන් මෙන්ම ඉඩමට අරක්‌ ගත් ප්‍රේතයන්ගෙන් වධ බන්ධන ඇති වී විනාශයට පත්වන්නේ නොසිතූ ලෙසින් ය. එවැනි නිවාස දුටුවාම ඉබ්බා වගේ, ඉබ්බා ලැග්ගා වගේ යෑයි දකින්නන් කියති. අත්තටම එය ඉබි ගමනේම යන නිවසක්‌ වේ. නිවසක බිත්ති ද ශාස්‌ත්‍රානුකූල විය යුතුයි. සිංමංසල (කුරුස) බිත්ති, නිවසේ මධ්‍යයේ වැටෙන බිත්ති නොතිබිය යුතු අතර, නිවාසය ට නොගැළපෙන "පාද"" තුළ මේ බිත්ති නොපිහිටවිය යුතුයි. තනි මහල් නිවාසයක පිටත බිත්ති අඩි 7 සිට අඩි 10 පමණ දක්‌වා උස්‌ පාත් වීම නිවාසයේ විශාලත්වයේ ප්‍රමාණය අනුව විය යුතුය.

එමෙන්ම නිවාසයේ පිටතට යොදන ආලින්ද ආරුක්‌කු ආදිය නිවසේ බිත්ති මට්‌ටමට උස්‌ නොවිය යුතු අතර ප්‍රමාණයෙන් මුල් නිවසට ගැළපෙන ලෙස යෙදිය යුතුයි. නිවසට වහලය යෙදීමේදී අත්හල යුතු පාද තුළ වහලයේ අතුරු යට ලී තලාද, බාල්ක ආදිය නොයෙදිය යුතු අතර නිවසේ මුදුන් වහලයේ මධ්‍යය ද නිවසේ හරි මැද නොපිහිටවිය යුතුය. මුදුන් මධ්‍යයට ලම්භකව අඟල් දෙක තුනක වෙනසක්‌ ඇති කිරීමෙන් මෙය පිළියෙල කර ගත හැකි අතර, වහලේ හැඩයට ද එය බාධාවක්‌ නොවේ. එමෙන්ම යටලී පිරිද්දුම් මාධ්‍යයකට තලන් ලී සහ පරාල මධ්‍යය වැටෙන පරිදි ඇණ යෙදීම නොකළ යුතුය. එමෙන්ම නිවසේ ඇති දොර ජනෙල් සිරස්‌ කඳන් මධ්‍යයට, වහලේ යට ලී පිරිද්දුම මාධ්‍යය, පරාල මාධ්‍යය, තලන් මාධ්‍යය ලම්භකව වැටෙන සේ සවි නොකළ යුතුයි. නිවසේ වහලය ද හැඩය ඊට ගැළපෙන පරිදි විය යුතුය. අද සමහර වහළවල් කොත පැළැන්දුවා ලෙස ඇත. පතෝල මැසි මෙන් ඇත. සොහොන් කොත් ආකාරයට ඇත. එමෙන්ම වහලයට උඩින් කුඩාවට තවත් වහලකයක්‌ යොදා අපි නොදන්නා වාස්‌තුවට විරුද්ධව හිඟන මඩු කුටි මෙන් යොදා ඇති බව පෙනේ. ඒවා අංගවිකල වහල ලෙස අපි හඳුන්වනවා. එමෙන්ම කුමන දෙයක්‌ සෙවිලි කළත් වහළය වැරැදිනම් ලක්‍ෂණ කන්ටදැයි යන්න සිහියට නැගේ. කුමන දෙයක්‌ සෙවිලි කළත් වහලයේ හැඩය ඊට ගැළපෙන පරිදි විය යුතුයි. එමෙන්ම නිවස පිහිටුවා ඇති භූමියේ හැඩය අනුව ද හැඩට වෙනස්‌ වියයුතුයි. බිත්ති ද එසේ විය යුතුයි.

නිවසේ වහල නොහොත් පියසි පිළිබඳව වාස්‌තු විද්‍යානුකූල විග්‍රහයන් පිළිබඳ අවබෝධයත් වාස්‌තු විද්‍යාඥයාට අවශ්‍යයි. තනි පල පියසි, දෙපල පියසි, අටාල පියසි, නොපිය වූ දෙපල පියසි, කොන්ක්‍රීට්‌ වලින් යෙදු පැතලි පියසි, පිළිබඳව බොහෝ කරුණු වාස්‌තු විද්‍යාවේ දක්‌වා ඇත. පැතලි පියසි කොන්ක්‍රීට්‌ වහල (ස්‌ලැබ්එක) මෙහිදී දිග, උස, පළල හරි හැටි යෙදිය යුතුයි. එහි වර, වැය, අය සෙවිය යුතුයි. එසේ නැතිව ග්‍රහාධිපතිට නොගැළපෙන අයුරින් එය සකස්‌ කර ඇත්නම් රෝග, ඔත්පලවීම්, මුදල් වැයවීම් ආදී දුක්‌බර ජීවිතයට බලපාන අතර කෙටි කලකින් මියයැම සිදුවේ. තවද එම නිවසෙහි ඉහළ මාලය ගොඩනැගීමට බාධා ඇති වේ. විශේෂයෙන් ම මිනිසාට දීර්ඝ කාලයක්‌ මනුෂ්‍ය වාසයක්‌ ලෙස වහලය සැකසීමේදී තනිපල පියෙසි, දෙපළ පියෙසි, අට්‌ටාල පියෙසි, තනිපල පියෙසි සහ අද නවීන කාලයට යොදන පැරැණි මුහර්ත චින්තාමනියේ නොදැක්‌වෙන වාස්‌තු විද්‍යාවට අයිති තනි පියසිද, බොහෝ වෙත්. එයින් දෙපල පියෙසිහි මිනිස්‌ වාසයට යෝග්‍ය වූද, නොපියවූ දෙපළ පියසි, සෞඛ්‍ය ප්‍රශ්න, හදිසි අනතුරු ද විශේෂයෙන් වඩු කාර්මිකයාටද, අශූභ වේ. අට්‌ටාල පියසි වියදම් අධිකයි. උස අනුව දෝෂ ඇති වේ. එයින් පවුලේ ආර්ථික දුෂ්කරතා, පවුල් අවුල් ප්‍රශ්න, මානසික රෝග, භූත දෝෂ ආදිය ඇති වේ. තනිපල පියසි හැඩය අඩු වේ. මෙය තාවකාලික නිවාසයට අයත් වේ. දුක්‌ කරදර, ධන හීනවීම, එදිනෙදා හිඟන මිනිසුන්ගේ තත්ත්වයට පත් වෙයි. එය හිඟන කුටි ගණයට අයත්ය. පදිංචි අයට අශුභයි.

එනිසා නව නිවාස ඉදිකරන විට කාලයට පරිසරයට, දේශගුණයට හා ඉදිකරන ස්‌ථානයේ පිහිටීම අනුව ගැළපෙන පරිදි වාස්‌තු විද්‍යාත්මකව හා ජ්‍යෙයොතිෂය හා ගුප්ත විද්‍යාව පිළිබඳව මනා අවබෝධයක්‌ ඇති අයකු ලවා දෝෂයන් මඟහැරීමට උපදෙස්‌ පතා යහපත් ප්‍රිය උපදවන නිවසක්‌ හදා එහි වාසය කිරීමේ භාග්‍යය ලබා පවුල් ජීවිතය මෙන්ම දූ දරුවන්ගේ යහපත පිණිස උදා කරගන්නේ නම් එය ඔබේ ජීවිතයට ලැබුණු මාණිකයයක්‌, කප්රුකක්‌ වේ.

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ
උපුටා ගැනීම දිවයින