🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කට තිබුණ පලියට කතාකරන්න යන්න එපා කතාකරන්න පෙර දෙවරක් සිතන්න

කට තිබුණ පලියට කතාකරන්න යන්න එපා කතාකරන්න පෙර දෙවරක් සිතන්න

ඔබට කටක් තියෙන්නේ කතා කරන්නයි. එක කටකුත් කන් දෙකකුත් තියෙන්නේ වැඩියෙන් අසලා ටිකක් කතා කරන්න කියලා මතයක් තිබෙනවා. කොහොම වුණත් ටිකක් කතා කළත් වැඩියෙන් කතා කළත් ඔබ කතා කිරීමට පෙර සිතිය යුතු දේවල් තියෙනවා. කතා කරපු වචනයක් ආපහු ඇදගන්න බැහැ. කතා කරලා ඉවරයි. ඇතැම් අයට ඒ වරද වැටහෙන්නේ කතා කරලා අවසන් වුණාට පසුවයි. ඊට පස්සේ ඒ අය මෙහෙම කියන්න පුළුවන්.

“අනේ මං එහෙම දෙයක් කිව්වෙ නැහැ.”

“ඔහොම දෙයක් වෙන බව දන්නවා නම් මම ඔය කතාව කොහොමවත් කියන්නේ නැහැ.”

“අනේ මම ඕවගෙ අදහසකට කතා කළා ‍නෙවෙයි.”

මෙන්න මේ විදියට නිදහසට කරුණු කියන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒකට හේතුව තමා තමන් කතා කළ දේ වැරදියි කියලා, එහෙමත් නැතිනම් එහි ප්‍රතිඵල භයානකයි කියලා පැවැසුවාට පසුව වැටහීම. ඒත් එතකොට වැඩක් වෙන්නේ නැහැ. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීම වගේ වැඩක් ඒක. සමහරුන් කට තිබුණු පළියට කතා කරනවා තැන නොතැන බලන්නේ නැහැ. සුදුසු නුසුදුසුකම ගැන බලන්නේ නැහැ. උචිත අනුචිත බව ගැන බලන්නේ නැහැ. සිදුවෙන විපාක ගැන සලකන්නේ නැහැ. මෙහෙම අමනෝඥ විදියට කතා කරලා අමාරුවේ වැටෙනවා.

ඔබ කතා කරන්නේ කාටද? ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට එහෙමත් නැතිනම් ඔබේ ගුරුවරයාට, දෙමාපියන්ට හෝ වැඩිහිටියන්ට. එසේත් නොවේනම් ඔබගේ සම වයසේ යහළු යෙහෙළියකට විය හැකියි. එහෙම අවස්ථාවලදී කතාවේ ස්වරූපය, කටහඬ වගේම එයින් දෙන පණිවුඩය ගැනද සැලකිලිමත් විය යුතුයි. ඔබේ පෙම්වතාට පෙම්වතියට කතා කරන විදියට දෙමාපිය වැඩිහිටි අයට කතා කළ හැකිද? එසේම යහළු යෙහෙළියන්ට කතා කරන ස්වරූපයෙන් සැමියාට කතා කළ හැකිද? සේවකයන්ට කතා කරන විදියට සහෝදර සහෝදරියන්ට ආමන්ත්‍රණය කළ හැකිද? බැහැ. මෙයින් පෙනී යන්නේ එක එක පුද්ගලයාගේ හැටි හැටියට කතාව වෙනස් විය යුතු බවයි. ඇතැම් අය ළඟ සිටින කෙනකුටත් උස් හඬ නගා කතා කරන්න පුරුදු වෙලා තියෙනවා. සමහර විටක ඉල්ලීමක ස්වරූපයෙන් කිවයුතු දේවල් විධානයක් ලෙසට කියනවා. ඇතැම් විට හිතේ තියෙන දේ එකවරම වක්කඩ කැඩුවා වගේ කියාගෙන ගිහින් ඉවර කරනවා. ඒ හිතේ වේගයට විය හැකියි. එහෙත් එයිට එහාට කතා කරන්නට වෙනත් අදහස් ඔහුට නැති වෙනවා. ඔබ ළඟ තියෙන අදහස් එක්වරම කියලා දැමීම ඔබට අවාසියි. ඒවා පැවැසිය යුත්තේ අවස්ථානුකූලවයි. වුවමනා වුණාම විතරයි. එහෙම නැතුව එක දිගට කියවන්න ගියොත් ඔබ පිළිබඳ සෙසු අය සිතන්නේ වාචාලයෙක් විදියටයි. වාචාලය කියන්නේ තැන නොතැන නොබලා කතා කරන අයටයි. එවැනි අය සමාජයේ පිළිකුලට භාජනය වෙනවා. වැඩි දෙනා ගණන් නොගන්න තත්ත්වයට පත්වෙනවා. ඔබ ගොඩනගාගෙන තිබුණු සමාජ තත්ත්වය නැතිවෙන්න ඔබගේ කතා ස්වරූපය බලපාන්න පුළුවන්. එසේම ඔබ ගෙදරදී නිතරම කෑගහනව නම් එය පවුල් ජීවිතයට ප්‍රශ්නයක් විය හැකියි. අවශ්‍ය දෙයටයි අනවශ්‍ය දෙයටයි කෑ ගහන්න ගියහොත් ගෙදර අය ඔබගේ කතා රටාව ගණන් ගන්නේ නැතිවෙන්න පුළුවන්. “අපේ අම්මා ඕනෑ දේටයි එපා දේටයි කොයිකටත් කෑගහනවා” කියලා දරුවෝ ඔබ නොතකා හරින්නට පුළුවන්. එසේම මේක මහා කන්කරච්චලයක් කියලා සැමියා ඔබව නොසලකා හරින්නට පුළුවන්. ඒ නිසා ගෙතුළ වුවද කතාකිරීමේදී පරෙස්සම් වන්න. වචන හසුරුවන විලාශය, වචනවල හඬ ආදිය ගැන සැලකිලිමත් විය යුතුයි. එසේම ඔබ වැඩකරන ස්ථානයේ නිතරම උස් හඩින් කතා කරන්න ගියහොත් “එයා හරියට වට්ටි අම්මා කෙනෙක් වගේ” කියලා ඔබව පිළිකුල් කරන්නට ඉඩ තිබෙනවා. ඔබ කෙතරම් දක්ෂ ලෙස වැඩ කළත් ඔබගේ කටහඬ හා කතා විලාශය හසුරුවා නොගතහොත් ඔබව අවඥාවට පාත්‍රවිය හැකියි. වැඩියෙන් කතා කිරීම කෙනකුගේ හිස් බව ප්‍රකාශවීමක් කියලා තියනවා. ඒ නිසා කතාවේදී පරිස්සම්වීම වැදගත්. ඔබ කතා කිරීමට පෙර දෙපාරක් සිතා බලන්න. ඒ මොකද වැරදි ලෙසට වචනයක් පිටකළාම එයින් සිදුවන හානිය යළි සකස් කරන්න දැඩි වෙහෙසක් ගතයුතු නිසා.

යසවර්ධන රුද්රිගු

උපුටා ගැනීම ලක්බිම පුවත්පත