🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඔබටත් විදේශ ගමන් යෙදේ දැයි රාහුගෙන් දැනගන්න


අප හමුවීමට පැමිණි එක්‌තරා සේවා දායිකාවක්‌ තම සැමියාගේ කේන්ද්‍ර පලාපල විමසුවාය. කේන්ද්‍රය අනුව ඔහුට විදේශ රටකට යැමේ වාසනාවක්‌ තිබේද? යනු ඇයගේ ප්‍රශ්නය විය. විදේශ යැමට නොවේ, නිතර නිතර විදේශ ගමන් යෙදෙන විදේශ සබඳතා ඇති කෙනෙකු වන්නේ යෑයි ග්‍රහ පිහිටීම අනුව මම පැවසීමි. ඇය ප්‍රශ්නය නැඟුවේ ඇත්ත දැන ගැනීමට නොව ජ්‍යෙතිෂ අනාවැකි වල සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමට බව පෙනුනේ ඇගේ සැමියා එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ උසස්‌ තනතුරක්‌ දරමින් බොහෝ රටවල සංචාරය කර ඇති බව කීම නිසාය. කෙසේ නමුත් මගේ අනාවැකියට හේතු වූයේ බලවත් ග්‍රහ පිහිටීම් කිහිපයක්‌ සමග රාහු 12 තැන්පත්ව තිබීමයි. ජ්‍යෙතිෂය මිත්‍යාවක්‌ බවට තර්ක කරන ඊනියා උගතුන්” රාහු හා කේතු සිටින්නේ කොහේද? සූර්ය ග්‍රහ මණ්‌ඩලයේ එවැනි ග්‍රහයින් සිටින බවත් සොයා ගෙන නැත” ආදී වශයෙන් උපහාස කරන කාලයන්ද තිබිණි. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන රේඛාවත්, චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන රේඛාවත් යෑපෙන ලක්‍ෂ දෙක රාහු හා කේතු වශයෙන් සලකන අතර ඔවුන් ඡායා ග්‍රහයින් ලෙස හඳුන්වනු ලැබේ.

බුදු දහමේ දී රාහු අසුරයෙක්‌ ගැන සඳහන් වේ. රාහු අසුරේන්ද්‍රයා විසින් සඳු ග්‍රහණය කර ගත් බවත් මෙහිදී චන්ද පිරිත දේශනා කළ බවත් එම පිරිත කියවන විට පැහැදිලි වන්නේය. කෙසේ නමුදු අප විසින් පෙර ආත්ම වලදී කරන ලද කුශලාකුශල කර්ම ගැන සොයා බැලීමේ දී රාහුගේ සංඥා මගින් පෙන්වන කරුණුද අති විශාලය. රාහු නයි පෙනයක්‌ හිසටත් ඉනෙන් උඩට සර්ප ශරීරයක්‌ හා ඉනෙන් පහළට මනුෂ්‍ය සිරුරක්‌ද ඇති කෙනෙකු ලෙස සඳහන් වේ. එසේ ඇත්තේ රාහු ග්‍රහයාගේ ස්‌වභාවය හඳුනා ගැනීමේ පහසුව පිණිසය. නයෙකුට මෙන් ඉක්‌මනින් කේන්ති යැම, රාහු අපලයේ එක්‌ ලක්‍ෂණයකි. ජ්‍යෙdතිෂයේ දී රාහුට කියන්නේ ඔළුව නැති ග්‍රහයා කියා ය. ඊට හේතුව ඇස්‌ කන් නැති හෙවත් අදූරදර්ශී බවයි. අදූර දර්ශීව කථා කිරීම, ක්‍රියා කිරීම, නොගැලපෙන ආශ්‍රය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, නිරර්ථන ගමන් බිමන් යැම හෙවත් ඇවිද්ද වීම, ඉගෙනීමට බාධා පැමිණීම හෙවත් සිත එකඟ කරගෙන වැඩ කිරීමට නොහැකි වීම, අවුල් වියවුල් ඇති වීම ආදී අපල ඇතිවේ.

මෙකල බහුලව දැකිය හැකි ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ද රාහු අපලයේ හේතුවක්‌ බව පෙනේ. වතුර බීම අතපසු කිරීම, කට්‌ලට්‌, රෝල්ස්‌, පැටිස්‌ වඩේ, මුරුක්‌කු, පපඩම්, ආදී තෙම්පරාදු ආහාර ගැනීම ට ඇති කැමැත්ත, නියමිත ආහාර ගැනීමට අතපසුවීම නිසා උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග හටගනී. නියමිත ආහාර ලෙස සඳහන් කළේ බත් හෝ ධාන්‍ය වර්ගය තෙම්පරාදු කෑම රාහු හිමි බැවින් රාහු අපලයට ඒවා ගැනීම නුසුදුසුය.

“විෂඝෝර සර්පයා – දැක නාරු මෝඩයා” යෑයි පැරණි කියමනක්‌ සඳහන් කරමින්, සර්පයකු දුටු තැන තලා මරා දැමීමට පෙළඹීමේ කර්ම විපාකය රාහු අපලයට විශේෂ හේතුවකි. සර්පයින් හා බල්ලන්aගෙන් පැමිණෙන උපද්‍රව, ඒ සතුන් ඝාතනය හෝ හිංසා කිරීමේ විපාකය යි. රාහු ග්‍රහයා කේන්ද්‍රයේ පිහිටීම අනුව ශුභ ඵලද, අශුභ ඵලද උදා කරයි. මේ සඳහා අනෙකුත් ග්‍රහයින්ගේ දෘෂ්ඨි, සංයෝග ආදී බලපෑම් ද සැලකිය යුතුය.

ලග්නය හෙවත් පළමුවෙන් භාවයේ රාහු සිටීනම් ඔබ ඉතා ඉක්‌මනින් අන්‍යයන් අතර ප්‍රකට දන්නා හඳුනන කෙනෙකු වනු ඇත. එහෙත් හිස නියෝජනය කරන පළමුවැන්නේ රාහු සිටින අය රහස්‌ සඟවාගෙන සිටීමට දක්‍ෂයා උපන් ගමේ නොව පිටපළාතක දී දියුණුවට පැමිණේ.

රාහු දෙවැන්නේ ධනය ඉතිරි කර ගැනීමට බාධා ඇති කරයි. දුර දිග නොබලා කතා කරන නිසා අනුන්ගේ අමනාපවීම් වලට හේතුයි මුහුණේ ලප, කැලැල් ඇති කරයි.

තුන්වැන්නේ රාහු බොහෝ විට ශුභඵල දේ. උත්සාහය ධෛර්ය ඇති කෙනෙක්‌ වේ. බාල සහෝදරයන් නැති කෙනෙක්‌ වීමට හෝ ඔවුන් සමග අවුල් ඇති කර ගන්නා කෙනෙක්‌ විය හැක. එහෙත් වෙනත් අශුභ ඵල ද තුනේ රාහු විසින් භංග කරන බව කියා තිබේ.

හතරවැන්නේ රාහු, මුල් ඉඩකඩම් දේපළ වලට හානි ඇති කරයි. දශාවේදී ඒවා අහිමි වීමට හෝ ගමරට හැරයැමට සිදුවන නිසා රාහු හතරේ පිහිටි අය උපන් ගමෙන් පිට ස්‌ථිර පදිංචිය සඳහා සැලසුම් කර ගැනීම මැනවි.

පස්‌වැන්නෙන් ඉගෙනීම ගැන කියන නිසා රාහු පහේ ඉගෙනීමට ශුභ තැන. එසේම විවාහයට පෙර නුසුදුසු ප්‍රේම සබඳතා ඇති විය හැකිය. බලවත් නම් ලොතරැයි දිනුම් හිමිවේ.

හය වැන්නේ නම් සතුරන්ගෙන් ජය ලබයි. නිරෝගී වෙයි. එහෙත් රෝග හඳුනාගැනීමට අපහසුවිය හැකිය. රාහු 5, 6 භාවවල සිටින අයට අම්ල පිත්ත හෙවත් “ගැස්‌ට්‍රයිටීස්‌” රෝගය සෑදීමට ඉඩ තිබේ. රහස්‌ සතුරන් ඇති වේ.

හත් වැන්නේ රාහු විවාහයට ශුභ නැත. විවාහය අවුල් කළ හැකිය. අනුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බාධා ඇතිවේ. බඩ වියලීම හෙවත් මළ බද්දය, අර්ශස්‌ වැනි රෝග සෑදීමට ඉඩ තිබේ. විවාහ සහකරුට අපලයි.

රාහු අටවැන්නේ උෂ්ණාධික රෝග ඇති වීමට ඉඩ තිබේ. දශාවේදී බොහෝ අපල ඇති කරයි. ඉගෙනීමට බාධා, ඇවිද්දවීම, ධනය විනාශ කර ගැනීම, පාප මිතුරන් ගේ ඇසුරට පත්වීම, මත්පැන් මත්ද්‍රව්‍ය වලට ගොදුරුවීමට හේතුයි. රාහු 8 සිටින අයගේ රාහු දශාවේ දී ග්‍රහ ශාන්ති කර්ම කර ගත යුතුය.

නව වැන්නේ රාහු පිහිටි අය ආගම භක්‌තිය අඩු අය වේ. එහෙත් විදේශ ගමන් යෙදෙනවා ඇත. සඳුගේ රාශියක්‌ වන විට නාවික අංශයට අදාළ රැකියාවක යෙදෙන අතර එයින් ශුභඵල ඇතිවේ.

දහයේ රාහු සිටින අයට එක තැනක සිට රැකියාවක්‌ කරන්නට ලැබෙන්නේ කලාතුරකිනි. නිතර ගමනේ යෙදෙන රැකියා හිමිවේ. එමෙන්ම රැකියා නිතර වෙනස්‌ වේ. කොඳු නාරටිය සම්බන්ධ රෝග හටගනී. පියා සමගත්, රැකියා ස්‌ථානයේ ප්‍රධානියා සමගත් අමනාපකම් ඇති කර ගනී.

එකොළොස්‌ වැන්නේ රාහු භූමි ලාභ ලබා ශුභඵල උදාකරයි. භූමිගත මැණික්‌, මිනිරන්, ආදියෙන් ධනවත් විය හැකිවේ. උත්සාහය ධෛර්ය නිර්භීත බව නායකත්ව ගති ලක්‍ෂණ ඇති කරවයි. එමෙන්ම රටේ සෑම තැනකම දන්නා හඳුනන මිතුරන් රාශියක්‌ ඇතිවේ.

දොළොස්‌වැන්නේ ද රාහු විදේශ ගමන් වලට වාසනාව උදාකරයි. ගමෙන් පිට කරයි. සමහර විට රාහු දුර්වලව තැන්පත් වුව හොත් නඩු වලට පැටලී බන්ධනාගාර ගත වීමටද ඉඩ තිබෙන නිසා එසේ ඇති අප රාහුගේ දශාවත ලබන විට ශාන්ති කර්ම කරවා ගත යුතුය.

ඉහත සඳහන් ප්‍රතිඵල ලැබෙන්නේ ජීවිතයේ රාහුගේ දශාවන් හෝ වෙනත් පාප ග්‍රහයකු සමග අන්තර් දශාවන් ලබන කාලයකදීය දශාවන් නොලබා ශුභ ග්‍රහ දශාවන්ට ගත වන්නේ නම් අපල පල දීමට හේතු නොමැති වෙයි. ඒක “අහෝසි කර්ම” බවට පෙර ලෙන බැවිනි. තවද ඉහත රාහු තැන්පත්ව සිටින තැන අනුව ප්‍රතිඵල කියන විට කේන්ද්‍රයේ කොටුව අනුව “භාවය” අනුව සැලකීමට අවශ්‍ය නිසා පලාපල කීම සඳහා නිවැරදි කේන්ද්‍රයක්‌ සාදා ගත යුත්තේ ය. ග්‍රහයා සිටින භාවය හඳුනාගත යුතුය.

මේ හැර රාහු අපලයකදී නයි පොළොං ආදී සර්පයින්ගෙන් උපද්‍රව පැමිණීම ගෝනුසු, පත්තෑ ආදී සතුන් දෂ්ඨ කිරීම මෙන්ම භෛරව දෝෂය නමින් හඳුන්වන භූත දෝෂයද ඇති විය හැකිය. එවිට අධික වියදම් යෙදේ.මෙවැනි රාහු අපලයන් ඇති වන අවස්‌ථාවක ඒ සඳහා කළයුතු ශාන්ති කර්ම තිබේ. “ගෝමේද” නම් මැණික්‌ ගල රාහු හිමි මැණික වන අතර රාහු අපලයට ගෝමේද මැණික පැළදීම බොහෝ අය කරන බව දක්‌නට ලැබුණද එයින් සිදුවන්නේ අපලය වැඩි වීමයි. මැණික්‌ පැළඳිය යුත්තේ කේන්ද්‍රය පරීක්‍ෂා කර බලා බලවත් ග්‍රහයා සොයා ගෙන ඒ අනුවය.රාහු නිමි අංක 8 එකතුවන 8, 17, 26, 35, 44 ආදී සංඛ්‍යා වලින් කොඩි, පහන්, මල් ආදිය පූජා කිරීම නිර්දේශ කර තිබේ. වැටකේ මල් විශේෂ වන්නේ රාහු හිමි ගස වන බැවිනි. බෝධි පූජා තබන විට මුචලින්ද නාග දරනය සහිත බුද්ධ රූපයක්‌ ඇති ස්‌ථානයක්‌ නම් වඩාත් ශුභය. පූජා තබා අවසානයේ “චන්ද පිරිත” ඉහත සඳහන් වාර ගණන කියවන්න රාහු අපලයට චිත්ත එකාග්‍රතාව බිඳී යන නිසා සිත එකඟ කරන “භාවනාව” නිසා අපල යටපත් වේ. ආනාපානාසතිය, මෛත්‍රිය බුද්ධානුස්‌සති භාවනා ඉතා සුදුසුය. මීට අමතරව පිරිත් පොතේ ඇති “ඛන්ද පිරිත” උදේ සවස කියවීම මගින් සර්ප බිය දුරු කර ගත හැකි වන්නේය.

ඉහත පිරිතක්‌ මගින් 800, හෝ 8000 වරක්‌ ජීවං කරගත් සුවඳ ධූපයක්‌ යොදා නිවසේ දුම් ඇල්ලීම විශේෂ ශාන්ති කර්මයක්‌ වන්නේ ය. තවද රාහු අපල ඇති අය “අළු පාට ඇඳුම් පැළඳුම් භාවිතය අත්හැරීමද ඉතා වැදගත්ය.අදූරදර්ශී බව නියෝජනය කරන රාහු ග්‍රහයාගේ අපල දුරලීමට දූරදර්ශී උගත් නැණවත් අයගේ උපදෙස්‌ ලබා ක්‍රියා කිරීම අතිශයින් මහෝපකාරී වන බව අවසාන වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

උපුටා ගැනීම දිවයින