🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කුජ දෝෂය භංග කරන ආකාරය


මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සන්ධිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහොත් උපත. ජීවිතයේ දෙවැනි උපත හෙවත් විවාහය හා මරණය හෙවත් මනුෂ්‍යයාගේ විපතයි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත් මරණයත් අපට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි එකම සාධකය අපගේ විවාහයයි. විවාහය යනු පුද්ගලයාගේ දෙවැනි උපතයි. පුද්ගල ජීවිතයේ සැපත මෙන්ම විපතද රැඳී ඇත්තේ විවාහය තුළයි. කෙනකුට විවාහය කරුමයකි. තවත් කෙනකුට විවාහය රාජ උරුමයකි. එසේම සාර්ථක පුරුෂයකු පිටුපස යහපත් ස්ත්‍රියක් සිටිනවා සේම සාර්ථක ගැහැනියක් පසුපස යහපත් පුරුෂයකුද සිටිය යුතුය.

මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්ද්‍රයේ කොටු 12 තුළ සැඟවී තිබෙනවා. ඒක හරිම පුදුම සහගතයි. මේ ගැඹුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඉසිවරු අතට පත් කරන්න ඇත්තේද යහපත් මිනිස් සමාජයක් ගොඩනැඟීමේ හා අපට අවශ්‍ය තොරතුරු කල් වේලා ඇතිව දැන ගැනීමේ පරමාර්ථය ඇතිවයි. එම නිසා ජීවිතයේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහය තුළටද අපට මේ ජේ‍යාතිෂයෙන් බොහෝ දේ උකහාගත හැකියි. අප විසින් පෙර භවයෙන් සිදු කරන ලද කිසියම් අකුසල කර්මයක පල විපාක ලෙස මේ භවයේ විවාහ ජීවිතය අවුල් වීමට, බිඳවැටීමට හෝ ප්‍රමාදයකට මුහුණදීමට, උරුම නම් එකී කාරණා කල් වේලා ඇතිව දැන ගැනීමටත් එයට නිසි පිළියම් යෙදීමටත් හැකි සාධනීය හා විද්‍යාත්මක එකම ක්‍රමය තමාගේ ජන්ම පත්‍රයයි. විවාහය සඳහා ප්‍රබල බාධාවක් හා ගැටලුවක් වී ඇත්තේ ජන්ම පත්‍ර තුළ ඇති කුජ හෙවත් භෞම දෝෂයයි. අඟහරුගෙන් යෙදෙන්නා වූ මෙම දෝෂය භංග වන ක්‍රම රාශියක් ජේ‍යාතිෂයේ දැක්වේ. කුජ දෝෂය මෙන්ම කුජ 7, 8 යැයි මැසිවිලි නඟන පිරිස අතිමහත්ය. නමුත් එම කුජ දෝෂය භංග වන ක්‍රම රාශියකි. ඒ පිළිබඳ අවධානය යොමු කර නිසි කලට නිසි ලෙසට විවාහයක් කර ගැනීමට ඔබටත් හැකියාව ඇත. කර්ම චක්‍රය උපතේදී සටහන්ව ඇති ජන්ම පත්‍ර පරීක්ෂාව මඟින්ද යහපත් විවාහ දිවියක් ගත කිරීම සඳහා දෙදෙනා අතර සංසාරික හුරුපුරුදු බවක් පැවතීම විවාහ යුවළගේ හෝ විවාහ වීමට අපේක්ෂිත දෙදෙනාගේ ජන්ම පත්‍රවල ඇති ග්‍රහ ගැළපීම නොගැළපීම මඟින් දෙදෙනාගේ ආත්මීය හුරුපුරුදු බවද අනාවරණය කරගත හැකිය. මෙම ග්‍රහ ගැළපීම හා නොගැළපීම අතර ප්‍රධාන තැනක් ගන්නේ කුජ දෝෂයයි. කුජ ලේවලට බලපාන ප්‍රධාන ග්‍රහයා වෙයි. එම නිසා විවාහ ග්‍රහ ගැළපීම්වලදී කුජ හෙවත් අඟහරුගේ බලපෑම විශේෂයෙන් පරීක්ෂා කළ යුතුය. එසේම 3, 6, 10 හා 11 යන උපචය ස්ථාන කුජට සුබ බැව් පිළිගෙන තිබෙයි. මෙම සියලුම ස්ථාන සියලු අසුබ ග්‍රහයන්ට සුබ වෙයි. එසේම 5 හා 9 යන ත්‍රිකෝණ ස්ථානද සියලුම පාපීන්ට සුබ පල ගෙන දෙනු ඇත. කුජගෙන් යෙදෙන්නා වූ ඉහත දැක්වූ භෞම නම් දෝෂය පිළිබඳ ලග්නයෙන් සඳුගෙන් හා සිකුරුගෙන් 1,2,4,7,8 හා 12 යන ස්ථානවලට අදාළව පරීක්ෂා කළ යුතුය. ජන්ම පත්‍රයේ එම ස්ථාන හෙවත් භාව 12 අතරින් 1,2,4,7,8,12 යන ස්ථාන හය කුජට අසුබ බව ජේ‍යතිෂ සිද්ධාන්තයකි. එනයින් එම ස්ථාන තුළ කුජ ග්‍රහයා ලග්නයෙන්, චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් උච්චව, ස්වක්ෂේත්‍රව, නීචව හෝ ගුරුගේ දිෂ්ටියට ලක් නොවී යෙදී තිබීම කුජ දෝෂය ලෙස හඳුන්වයි. මෙය විවාහයට බාධා වන දෝෂයකි. මෙයින් වඩා ප්‍රබල වන්නේ සිකුරුගෙන් ඉහත ස්ථාන හය තුළ යෙදෙන කුජ දෝෂයයි. මෙම දෝෂය විවාහය සඳහා ඉතා ප්‍රබලව බලපාන අසුබ දෝෂයකි. කුජ දෝෂය භංග වන ආකාර රාශියක් ජේ‍යාතිෂයේ දක්වා ඇත. එනම්

  • විවාහ සඳහා ගළපන අනෙක් කේන්දරයේත් ඉහත සඳහන් ස්ථාන 6 තුළ කුජ ග්‍රහයා තැන්පත් වීම.
  • කේන්දර දෙකෙහි කුජ හා කේතු යන දෙදෙනා ඉහතින් සඳහන් වුණු 1,2,4,7,8,12 යන ස්ථානවලින් කොතැනක සිටියත් ගැළපෙන බැව් සමහර විද්වතුන්ගේ මතයකි. එක් කේන්දරයක කුජ සිටි ස්ථානයේම කේතු සිටින්නේ නම් ගැළපීම ඉතා යහපත් වෙයි. කුජ සිටි තැන ශනි, රාහු, රවි හෝ කේතු යන එක් ග්‍රහයකු අනෙක් කේන්දරයේ ඇත්නම් කුජ දෝෂය භංග වෙයි.
  • කුජට සිය රාශිය වූ මේෂයේදීත් වෘශ්චිකයේදීත් උච්ච රාශිය වූ මකරයේදීත් නීච රාශිය වූ කටකයේදීත් භෞම දෝෂය නොයෙදෙන බව පිළිගැනේ.
  • මේෂ, කටක, තුලා හා මකර යන රාශිවලදී කුජ දේෂය භංග වෙයි.
  • සිංහ, කටක, ධනු හෝ මීන යන රාශිවලදී අධිපති වන රවි, ගුරු හෝ සඳු යන ග්‍රහයෝ කුජගේ මිත්‍රයෝ වෙති. එම නිසා ඉහත දැක්වෙන රාශිවල 7 වැන්නේ හැර අනෙකුත් ස්ථානවල කුජ දෝෂය භංග වෙයි.
  • මිථුන හා කන්‍යා යන බුධට අයත් රාශියක කුජ සිටින විට 2 වැන්න නම් දෝෂ භංග වෙයි.
  • වෘෂභ හා තුලා යන සිකුරුට අයත් රාශිවල 4 වන්නේ කුජ සිටින විට දෝෂ භංග වෙයි.
  • 12 වැන්නේ බුධගේ හෝ සිකුරුගේ රාශියක්ව කුජ සිටින විට දෝෂ භංග වෙයි.
  • කුජ ගුරු සමඟ සංයෝගව හෝ ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක් වූ විට දෝෂ භංග වෙයි.
  • මේෂ ලග්නයේ 1,4,8 හා 12 දෝෂ රහිත අතර 2 හා 7 දෝෂ සහිත වෙයි.
  • වෘෂභ ලග්නයේ 2,4,7,8 හා 12 දෝෂ රහිත අතර ලග්නය දෝෂ සහිත වෙයි.
  • මිථුන ලග්නයේ 2,8 හා 12 දෝෂ රහිත අතර 1,4 හා 7 දෝෂ සහිත වෙයි.
  • කටක ලග්නයේ 1,2,4,7 හා 12 දෝෂ රහිත අතර 8 වැන්න දෝෂ සහිත වෙයි.
  • සිංහ ලග්නයේ 1,2,4,8 හා 12 දෝෂ රහිත අතර 7 වැන්න දෝෂ සහිත වෙයි.
  • කන්‍යා ලග්නයේ 2,4,8 හා 12 දෝෂ රහිත අතර 1 හා 7 දෝෂ සහිත වෙයි.
  • තුලා ලග්නයේ 1,2,4,7 හා 12 දෝෂ රහිත අතර 8 වැන්න දෝෂ සහිත වෙයි.
  • වෘශ්චික ලග්නයේ 1,2 හා 12 දෝෂ රහිත අතර 4,7 හා 8 වැන්න දෝෂ සහිත වෙයි.
  • ධනු ලග්නයේ 1,2,4,8 හා 12 දෝෂ රහිත අතර 7 වැන්න දෝෂ සහිත වෙයි.
  • මකර ලග්නයේ 1,4,7,8 හා 12 දෝෂ රහිත අතර 2 වැන්න දෝෂ සහිත වෙයි.
  • කුම්භ ලග්නයේ 2,4 හා 12 දෝෂ රහිත අතර 1,7 හා 8 වැන්න දෝෂ සහිත වෙයි.
  • මීන ලග්නයේ 1,2 හා 8 දෝෂ රහිත අතර 4,7 හා 12 වැන්න දෝෂ සහිත වෙයි.
ඉහත සඳහන් ආකාරයට කුජ දෝෂය භංග වන ආකාර රාශියක් ජේ‍යාතිෂයේ දක්වා ඇති අතර නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවක් හා පොරොන්දම් පරීක්ෂාවක් තුළින් කුජ දෝෂය භංග කර ඉතා යහපත් විවාහයකට මඟ පාදාගත හැකිය.

ජේ‍යාතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ 
උපුටා ගැනීම මව්බිම