🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

උපන් ලග්නයට අනුව ඔබේ පලාපල - 1

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයට අනුව ඔබ උපන් වේලාවට ලග්නයක්‌ (රාශියක්‌) හිමිවෙයි. තමාගේ හඳහන හෝ ජන්ම පත්‍රය ගැන විමසීමේදී ජ්‍යෙතිෂය ගැන එතරම් දැනුමක්‌ නැති වුවත් උපතේදී ග්‍රහයන් පිහිටි අයුරු හා ඉදිරි ග්‍රහ ගමන් අනුව වර්තමානය සහ අනාගතය ගැන යම් දැනුමක්‌ ජ්‍යෙතිර්වේදීන්ගෙන් දැනගත හැකිය. ග්‍රහ ගමනට අනුව මහදශාව පවතින ග්‍රහයා, අතුරු දශාවන් පවතින ග්‍රහයන් සහ විදශාවලදී ග්‍රහයන් ගමන් ගන්නා හැටි පලාපල කියා – ලියා දෙන වේදියා හෙළිකරයි. ඔබට යම් දැනුමක්‌ ලබාදී, ශුභ – අශුභ – හොඳ- නරක කාල වේලා ගැන පහදා දෙයි. සමහරු ජ්‍යෙතිර්වේදයට නිගා දෙන අයුරින් කටයුතු කරන වගද කිවයුතු නැත. හරි හැටි නොදන්නා කෙනකු ලවා කරුණු විමසීමද අවැඩකි.

මහ පොළොව අවට විශ්වය රාශි 12 කට බෙදාවෙන්කර තිබීම නිසා යමෙක්‌ ජන්ම ලාභ ලැබූවිට පෙරදිගින් නැගෙන හිරු උදාවූ රාශිය ලග්නය ලෙස පිළිගැනේ. මේ අනුව රාශි නොහොත් ලග්න 12 ක්‌ වෙයි. ඒවා මෙසේය. මේෂ – වෘෂභ – මිථුන – කටක – සිංහ – කන්‍යා – තුලා – වෘශ්චික – ධනු – මකර – කුම්භ සහ මීන යි. රාශි ගැන දැන හඳුනා ගැනීමෙන් පසු ඒ ඒ රාශිවලට බලපාන ග්‍රහයන් ගැනද කරුණු සොයා බැලීම වැදගත්ය.

ලග්නයෙන් සාමාන්‍ය තොරතුරු රැසක්‌ දැනගැනීමට හැකිවන අතර ඒවා 100% ක්‌ම නිවැරදි යෑයි ප්‍රකාශ කළ නොහැක්‌කේ ග්‍රහ පිහිටීම හා දෘෂ්ටි ග්‍රහ ගමන් අනුව සහ තවත් කරුණු රාශියක්‌ සැලකිල්ලට භාජනය කළ යුතුව ඇති නිසාය. මේ ලිපියෙන් ලග්න 03 ක සාමාන්‍ය තොරතුරු හා කේJද්‍ර හිමියාගේ ශනි ලක්‍ෂණ, වාසනාව – අවාසනාව, සිටින තත්ත්වය ගැන තොරතුරු ස්‌වල්පයක්‌ ඇතුළත්වේ.

මේෂ ලග්නය :
මේෂ රාශියට ලග්නාධිපති ග්‍රහයා වන්නේ කුජ නොහොත් අඟහරුය. ලග්නයේ (01) කුජ සිටීම (ස්‌වක්‍ෂේත්‍ර) ඉතාමත් භාග්‍යවන්තයි. මේ අය නිර්භීත, ඉදිරියට යන උසස්‌ ගති පැවතුම් හා හැඟීම්වලින් යුක්‌තයි. නව නිර්මාණ පිළිබඳ කරුණු සොයයි. මේ රාශිය උෂ්ණ රාශියක්‌ නිසා සටන්කාමී වේ. තමාට අවශ්‍යදේ අවශ්‍ය වේලාවට කොහොමහරි ලබාගන්න උත්සාහ දරයි. අනුන්ට යටත්වීමට කැමැති නැත. අන් අයගේ ගෞරවය, කීර්තිය තමා අපේක්‍ෂා කරයි. යමෙක්‌ තමාට උපකාරයක්‌ උදව්වක්‌ කළොත් තමාද ඊට පෙරළා කෙළෙහි ගුණ සළකයි. පුංචි දේවල් කිරීමට කැමැති නැති අතර ලොකු දේවල් කරන්න සිතයි. ශරීරය එතරම් තර නැතත් ශක්‌තිය තිබේ. බාහිර අලංකාරය පෙනුමට කැමැතියි. මෙවන් අය තුළ දුර්වලකමකට ඇත්තේ නොඉවසීම, ඉක්‌මන් කෝපය, ආරවුල් වලට මැදිහත්වීම වැනි කරුණුයි. ලෙඩරෝග වශයෙන් හිසේ අමාරු, මානසික පීඩා, ශාරීරික වේදනා, උණ වැනි ආබාධ ඇති කරයි. රැකියාව වශයෙන් ත්‍රිවිධ හමුදාවේ සේවය, ආරක්‍ෂක සේවා පාලන කටයුතු කිරීමේ භාග්‍ය තිබේ. විවාහයද ශුභයි. බිරිඳට ආදරය කරයි.

වෘෂභ ලග්නය :
රාශි චක්‍රයේ 02 වැන්නා වූ වෘෂණයට අධිපති වන්නේ සිකුරු නොහොත් ශුක්‍ර ග්‍රහයාය. වෘෂභ ලග්න හිමිකරුවන් – හිමිකාරියන්ට ලේසි පහසුවෙන් ජීවත්වීමට ඕනෑ කරයි. කලබලකාරී නැත. වෘෂභ ලග්නයෙන් උපන් ස්‌ත්‍රීහු මුදු මොලොක්‌ මට සිළුටු, අන් අය තමන් වෙත ඇද බැඳ තබාගැනීමට දක්‍ෂ වෙති. කෙනෙක්‌ තමාට හානියක්‌ කළොත් පළිගන්නේ නොදැනුවත්මය. හෙමින්ය. ඉඩ කඩම් – යාන වාහන දේපළ කෙරෙහි ආසා ඇති කර ගනී. අන් අය සඳහා විය පැහැදම් කිරීමට කැමැති නැත. නාගරික ජීවිතයට වඩා පිටිසර ජීවිතයට වඩාත් රුචිවේ. සෞන්දර්යය පරිසරයට වඩාත් කැමැතියි. මල් වැවීම අගය කරයි. උපතේදී සිකුරු ලග්නගතව (01) ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටීම නිසා පෙම් සබඳතා ඇති කර ගත්තද, ආත්ම දමනයෙන් යුතුව කටයුතු කරයි. විනෝදය කලාත්මක දේට හිතැතියි. දුක්‌ කරදර, අභියෝග ඇති නොවේ. ගත සිත දෙකම සැහැල්ලුවෙන් තබාගැනීමට සිකුරු 01 සිටීම නිසා හැකිවේ. සිතේ සතුට ඇති කරයි. කම් සැප ලබයි. අතමිට සරු කරයි. රැකියා අංශයෙන් කලාත්මක දේවල් කලාකාමී කටයුතු මල් වැවීම් ව්‍යාපාර වැනි දේවලට උචිතවේ. දුර්වලකමකට ඇත්තේ ආත්මාර්ථකාමී බව සේම සැප පහසුව ගැනම සෙවීමයි. තමා ගත් තීරණයක්‌ යළි වෙනස්‌ නොකිරීමෙන් පාඩු සිදුකර ගනී. ලෙඩ රෝග වශයෙන් සෙම් දොaෂ, උගුරේ ආබාධ, මල බද්ධය වැනි රෝග පහසුවෙන් වැළඳේ. සිකුරු ගුරු සමග ලග්න ගතවී නම් මානසික කරදර ද ඇති කරයි.

මිථුන ලග්නය :
මිථුන ලග්නය හිමි අයගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. තමා ශූර මෙන්ම බුද්ධිමත් අයකු ලෙස අන් අයට වැටහෙන පරිදි මුහුණ අඟපසඟ දිස්‌වෙයි. විශේෂයෙන් ශාස්‌ත්‍රීය අංශයට පොත් පත්වලට, කියවන්නට, ලියන්නට ආසා කරයි. මිථුන ලග්නයෙන් උපන් ස්‌ත්‍රීහු නිහතමානී, ආඩම්බරශීලී, පරෝපකාරයට ලැදි අයවෙති. නමුත් ග්‍රහ දෘෂ්ටි අනුව (පාප) එසේ නොවේ. ඉතා සැර පරුෂයි. සමාජයේ තමා කුමක්‌ ගැන කථා කළත් හර බර ඇතිව දන්නා අයකු ලෙස වචන හසුරුවයි. මානුෂික හැඟීම්වලින් දියුණුවීම නිසා රට තොට ගැන හොඳ අවබෝධයක්‌ ලබයි. බුධ ලග්නගතව සිටින ජන්මීන්ට උද්යෝගය සහ උත්සාහය තිබේ. උසස්‌ චිත්ත ධෛර්යයක්‌ මෙන්ම බුද්ධි බලයක්‌ද තිබේ. ගණිත මිණිත කටයුතුවලටද දක්‍ෂයි. චිත්‍රකර්ම, කැටයම් වැනි දේවලටද කැමැතියි. පළපුරුද්දක්‌ නැතත් අලුත් කාර්යයක්‌ වැඩක්‌ වුවත් හොඳින් කරයි. රැකියාව වශයෙන් ශාස්‌ත්‍රීය අංශයට වඩාත් බරයි. පොත්පත් ලිවීම, මාධ්‍ය කටයුතු වැනි දේ රැකියාව විය හැකිය. පාලන කටයුතු වලටද ශුභයි. අඩුපාඩුවකට ඇත්තේ ඉක්‌මන් තීරණ ගෙන කරගෙන ආ කාර්යය වෙනස්‌ කිරීමයි. විවේකය ගැන නොසැලකීමද ඇතිවේ. ලෙඩ රෝග වශයෙන් පපුවේ ආබාධ, ඇදුම, අත්වල හිරි වාතය වැනි ආබාධ ඇතිවේ.

උපුටා ගැනීම දිවයින