🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සුබ පෙර නිමිති බලා ඔබත් ගමන් යන්න

සුබ පෙර නිමිති බලා ඔබත් ගමන් යන්න

"අපෝ එයා මුලිච්චි වුණානම් ඒ ගමන නොගිහිං ඉන්න එක තමයි හොඳ" මෙවැනි කියමන් සමාජයේ ඉතා බහුල ලෙස අසන්නට ලැබෙයි. දැන හෝ නොදැන එවැනි දේ බොහෝ දෙනකු ප්‍රකාශ කළද ගමන් බිමන් යාමේදී ඉදිරියට හමුවන පෙර නිමිති සුබ හා අසුබ වශයෙන් ජ්‍යෝතිෂයට අනුව දෙවර්ගයකට වර්ග කෙරෙයි. මේ නිසා ඔබ පිටත්ව යන ගමන ඉතා සුබ ගමනක්‌ වන්නේ නම් අති සාර්ථක පෙරමග නිමිති දැක එම ගමන යාමට සූදානම් විය යුතුය. මනාල යුවළක්‌ නිවසින් බැහැරව යන විට, ළමයින් විභාගවලට මුහුණ දීමට යන විට වැඩිහිටියන් විසින් අලංකාර මල් දමන ලද දිය බඳුනක්‌ ඉදිරියට රැගෙන එන්නේ මග පෙර නිමිති සුබ විය යුතු නිසාවෙනි. ගමන් යන අතරතුර දකින පෙර නිමිති ජ්‍යෝතිෂයේ ඉගැන්වෙන සුබ නැකතටත් වඩා ප්‍රබල බවට විශාල මතයක්‌ තිබේ. මේ බව මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ ලියවුණු සංදේශ කාව්‍යවලින්ද ප්‍රකට කොට තිබේ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් ලියන ලද සැළලිහිණි සන්දේශය පරිශීලනය කරන විට එය ඉතා මැනවින් දක්‌වන ලද අවස්‌ථාවකි මේ. "නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි පුල හෙල කුසුම ලිය පිය තෙපල රන් කෙඩි සල සුදු සෙමෙර සේසත් ගිජිඳුනොද වැඩි බල සුබ නිමිති පෙර මග නැකටත් වැඩි" මින් කියවෙන්නේ අතරමගදී හමුවන දිය පිරුණු කළ ගෙඩි, මිහිරි රසැති අඹ ගෙඩි, පිපුණු මල්, මිහිරි වදන් තෙපළන කාන්තාවන්, රන් කෙණ්‌ඩි නාද කරන ඇතුන් ඇතුළුව හමුවන සියලු දේ ගමනේ සුබ පෙර නිමිති බවය. සංදේශය රැගෙන යන සැළලිහිනියාට තවදුරටත් කියා සිටින්නේ මෙසේ හමුවන මග පෙර නිමිති ජ්‍යෝතිෂයේ නැකතටත් වඩා බලසම්පන්න බවකි.

මේ අනුව ජ්‍යෝතිෂයේ මතයන්ට හා නියමයන්ට අනුව යම් ගමනක්‌ යන විට ශ්‍රමණයෝ, බ්‍රාහ්මණයෝ, අශ්වයෝ මෙන්ම ඇතුන් දැකීමද ගමනේදී විපුල පල ලැබෙන පෙර නිමිති වෙති. ඉදුණු පලතුරු, කිරි, මිදුනු කිsරි, පිරිසිදු වස්‌ත්‍ර, පිරුණු කළ, මල්, කුඩ, කන්‍යාවෝ මැණික්‌ වැනි දේ පෙර නිමිති වශයෙන් දකී නම් ඒ ගමනෙන්ද ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන බව ජ්‍යෝතිෂ මතයයි. ඔටුනු, සුදු ගවයෝ, කැඩපත්, සිංහාසන, ගිතෙල්, ගෝරෝචන, කුඩා දරුවන්, මංගල ශබ්ද, යහපත් වචන, රාජාලි, රාජයානා දැකීමද ඉතාම සුබ නිමිති වෙයි. මේ සුබ නිමිති දැක යන ගමන සාර්ථක වෙයි. ප්‍රාදේශීය වශයෙන් ඇතැම් ගස්‌ වර්ග දැක ගමන් බිමන් යාමද සුබ පෙර නිමිති වශයෙන් සලකනු ලැබුවත් ඒවා ජ්‍යෝතිෂ මත සමග එතරම් ගැළපෙන බවක්‌ දක්‌නට නොමැත. වන්නියේදී කොහොඹ ගසක්‌ දැක ගමන් බිමන් යැමටත් දකුණේදී කිරි ගසක්‌ දැක ගමන් බිමන් යැමටත් බොහෝ දෙනකු පුරුදුව සිටිති. මෙය පාරම්පරික චාරිත්‍ර විධි ක්‍රමයකි. තමන් යන ගමන පිළිබඳව සිහිකොට එවැනි ගස්‌වලට රහසින් තම ගමන ගැන කරුණු ප්‍රකාශ කොට ගමන සාර්ථක වන ලෙස ඉල්ලා යදින්නන්ද අප අතර දක්‌නට ලැබෙයි. මෙය ගමන් බිමන් යැමේදී හමුවන පෙර නිමිත්තක්‌ නොවුවද විශ්වාසය මත බැඳුණු චාරිත්‍රයකි. ජ්‍යෝතිෂයේ මතයට අනුව ගමන් බිමන් යැමේදී දකින අසුබ පෙර නිමිතිද ගණනාවක්‌ වෙයි. ගමනාරම්භයේදී අඟුරු, දහයියා, ලේ, සම්, ඇටකටු, ලුණු, දර, වර්චස්‌, තෙල් වස විස යනාදිය දැකීම එම ගමන පල රහිත වීමට හේතුවකි. වඳ ස්‌ත්‍රීන්, මාස්‌ ශුද්ධියට ලක්‌වූ කාන්තාවන්, වෛශ්‍යාවන්, සතුරන්, අපරාධකරුවන්, සිරගෙයි ලගින ලද පුද්ගලයන් දැකීම ගමනේ අසුබ ලක්‍ෂණයකි. එවැනි පෙර නිමිති දැක යන ගමන සාර්ථක නොවේ. කටුස්‌සන්, තලගොයන්, මීයන් හා ඌරන් වැනි සතුන්ද, අන්ධ, ගොලු, බිහිරි පුද්ගලයන්ද බලු පොර හා බළල් පොරද දැක යම් ගමනක්‌ පිටවන්නේ නම් ගමන යාමට පෙර ඔබ විශාල අකරතැබ්බයකට මුහුණ දෙන බව කලින් කියාපාන්නකි. නපුසංකයෝද උම්මත්තකයෝද, ජටාධරයෝද කිළිටි වස්‌ත්‍ර පොරවාගෙන සිටින්නෝද දැක ගමන් යැම සුබ ගමනක්‌ නොවන බව ජ්‍යෝතිෂ මතයයි. ගමනක්‌ යන විටම යමෙක්‌ කිවිසීමද හූනන් හඟීමද, කෑරලුන් හඟීමද යහපත් ගමනකට බාධාවන්ය. ජ්‍යෝතිෂ මතවලට අනුව මෙවැනි අශුභ දේ දැක ගමන් බිමන් ගිය තැනැත්තෝ විශාල ඇබැද්දිවලට මුහුණ පා ඇති අයුරු අපි අත්දැකීම් අනුව කොතෙකුත් දැක තිබේ. වාහනයකින් ගමනක්‌ යන විට එම වාහනයට බළලෙකු යටවී මිය යැම ඉතාම අසුබ පෙර නිමිත්තක්‌ ලෙස බොහෝ දෙනකු විශ්වාස කරති. එසේ වූ සිදුවීම් මැද ගිය ගමන් මළගෙවල්වලින් කෙළවර වූ අවස්‌ථා එමටය. රියෑදුරන්ගෙන් විමසූ විට ඒ පිළිබඳ වූ අත්දැකීම් එමටය. මේ අනුව තමන් පයින් හෝ වාහනයකින් යන ගමන සුබ ගමනක්‌ වීමට රාහුකාලය මගහැර ගමන පිටත්වීම පමණක්‌ ප්‍රමාණවත් නොවේ. ජ්‍යෝතිෂයේ ඉගැන්වෙන සුබ පෙර නිමිති පිළිබඳවද යම් අවධානයක්‌ හෝ තැකීමක්‌ ගමන පිටත් වීමට පෙර අනුගමනය කරන්නේ නම් එය නැකතටත් වඩා ප්‍රබලය. එහෙයින් ඔබ විසින්ම කරුණු කාරණා ගැන සිතා බලා ඔබේ ගමන සුබ ගමනක්‌ බවට පරිවර්තනය කරගත යුතුයි.

ජ්‍යෝතිෂවේදී දිනසේන රතුගමගේ
උපුටා ගැනීම දිවයින