🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කරන දේ හොඳට හිතා මතා කරන්න

අපි කරන බොහෝ දේවලට සිත තමයි ප්‍රධාන. හිතෙන් හිතලා තමයි අපි බොහෝ දේවල් කරන්නේ. සිතන්නෙ නැතුව කරන කිසිම දෙයක් නැතිතරම්. සමහර ක්‍රියාකරන්නට බොහෝ වෙලාවක් සිතන අතර ඇතැම් අවස්ථාවල ක්ෂණිකව සිතා ක්‍රියාත්මක වෙනවා. තමන් කරපු දේ වැරදිය කියලා බොහෝ දෙනෙකුට තේරුම් යන්නේ එය සිදුකළාට පසුවයි. අනේ මට වැරදුණා මම ඉක්මන් වුණා වැඩියි දැන් තමයි වැරැද්ද තේරුම් ගියේ අදපැබයමක් කරලා අනතුරුව මෙහෙම පසුතැවිලි වෙන අය වැඩියි. සුළු වැරදීමක් නිසා සිදුවන හානිවල ප්‍රතිඵල ඇතැම්විට බොහෝ විශාල විය හැකියි. එය පසුව නිවැරදි කරන්නත් අමාරු වේවි. අපට යම් ක්‍රියාවක් කරන්න සිතෙන් තමා නියෝග දෙන්නේ. ඔබගේ අත ගිනි මැලයකට අසුවූවා යැයි සිතමු. එවිට අත හනික එතැනින් ඉවත් කරන්නේ ක්ෂණිකවම ඔබට හිතෙන් ආ නියෝගයකට අනුවයි. එය සමහර විටෙක මෙහෙම විය හැකියි. ඉක්මනට අත ඇදගන්නවා. නැතිනම් පිච්චෙයි. මේ නියෝගයට අවනතවූ අය අත ඉවත් කර ගන්නවා. එයට අකීකරුවුවහොත් මොකද වෙන්නේ අත පිළිස්සෙන එකයි. ඔබ පාර හරහා මාරුවන විට ඉදිරියෙන් වාහනයක් එන්නේ නම් ඔබ නවතිනවා. එහෙම නැතුව පාර හරහා පැන්නොත් එන වාහනයේ හැපෙන්න පුළුවන්. එයද සිදුවන්නේ හිතෙන් දෙන නියෝගයකින්. ඔන්න වාහනයක් එනවා නැවතියන් ඒ නියෝගය පිළිගන්න වෙනවා. නැතිනම් මැරෙන්න වෙනවා. ඒ නිසා අප කරන සැම ක්‍රියාවකටම සිත ප්‍රධාන වන බව මම පැවසුවේ ඒ නිසයි. බුදුන් වහන්සේ දෙසා තිඛෙන්නේ සැම කර්මයකටම හෙවත් ක්‍රියාවකටම හිත ප්‍රධාන බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ අපේ හිතෙන් ගන්නා සෑම තීරණයක්ම නිවැරදි නොවීමයි. ඇතැම්විට වැරදි තීරණ ගත හැකියි. මානසික අසහනය, ශාරීරික විඩාව, අන්තවාදී බව, නොවැටහීම හා හදිසිය යන බොහෝ හේතු නිසා වැරදි තීරණවලට එළඹෙනවා ඇති. එම වැරදි නියෝග නිසා කරන ක්‍රියාවද වැරදි විය හැකියි. ඒ නිසයි බොහෝ දෙනා අමාරුවේ වැටෙන්නේ. බොහෝ වෙලාවට ආවේගයෙන් කරන ක්‍රියා නිසා පසුතැවිලි වෙන්නට සිදුවෙනවා. ආවේගයට යටවී හොඳ නරක තෝරාගන්න බැරුව කරන දේ නිසා එය කරන අයම විපතට වැටෙනවා. බොහෝ වෙලාවට ගොඩින් බේරා ගන්න තිඛෙන දේවල් ව්‍යාකූල වෙනවා. නිය‍පොත්තෙන් කඩා දමන්න පුළුවන් දේ ‍පොරොවෙන් කපන්න වෙනකල් කල් අරින්න එපාය කියලා කතාවක් තිඛෙනවා. ඒ නිසා යමක් සිදුකිරීමට පෙර සිතා බැලිය යුතුයි. මෙය සිදුකිරීමෙන් අයහපතක් වෙයිද කියලා. යම් ක්‍රියාවකින් සිදුවන අයහපත ඔබට වෙන්නත් පුළුවන් එහෙම නැතිනම් වෙන කෙනෙකුට වෙන්නත් පුළුවන්. කාට මොනව වුණත් කමක් නැහැ මට වැරැද්දක් නොවෙනව නම් මෙහෙම ආත්මාර්ථකාමී සිතුවිල්ලක ඔබ සිටින්නට පුළුවන්. ඒත් එය වැරදියි. යමකින් තමන්ට සිදුවන වැරැද්දට වැඩිය සෙසු අයට සිදුවිය හැකි වැරැද්ද ගැන තමයි ඔබ සිතන්න ඕනෑ. මට වැඩිය අනික් අයට වරදක් නොවන්නට කටයුතු කරන්න ඕනෑ යන ‍පොදු පරාර්ථකාමි සිතුවිල්‍ලේ ඔබ සිටිය යුතුයි. එය ඔබටත් සමාජයටත් වැදගත් වෙනවා. යමකින් වැඩි දෙනෙකුට අයහපතක් සිදුවේනම් එයින් මට පමණක් යහපතක් සිදුවූවාට වැඩක් නැහැ නොවේදැයි ඔබ සිතිය යුතු වෙනවා. ඔබේ සිතුවිල්ල ඒ තරමට සමාජවාදී විය යුතුයි. ඇතැම් අය තම ක්‍රියාවලින් අන්අයට වරදක් සිදුවන බව දැන දැනත් එය කරනවා විය හැකියි. තමන්ට වරදක් වෙනවා නම් එක් අයකුටයි. එහෙත් අන් අයට නම් එය සමූහයක් වෙනවා. එවිට වරද විශාලයි. ක්‍රියාවල නිරතවීමේදී සතුන් සහ මිනිසුන් අතර වෙනස හොඳ හැටි පෙනෙනවා. යමක හොඳ නරක තෝරාගන්න මිනිසුන් සතුන්ට වඩා දක්ෂයි. මිනිස් සිතෙන් තීරණ ගන්නේ සතුන්ගේ සිත්වලිත් තීරණ ගන්නවාට වැඩිය පුළුල් ලෙසයි. ඒනිසයි මිනිසුන්ගේ ක්‍රියා වැදගත් වෙන්නේ. යම් අයහපත් දෙයක් කළ විට අපි මෙහෙම කියනවා. ගොන් වැඩ කරන්න එපා මෙයින් අදහස්වන්නේ අයහපත් දේ නැතිනම් හොඳ ප්‍රතිඵල නොලැඛෙන දේවල් බවයි. එනම් තිරිසනුන් කරන දේවල්. ඉතින් ඒ වැනි දේ නොකිරීමට මිනිසුන් වන අප වගබලා ගත යුතුයි. අප ඉටුකළ යුත්තේ අපටත් අන් අයටත් හානියක් නොවන දේවල්. එවිට ඒවා යහපත් ක්‍රියා ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ ගැන මැන, කිරා බලා තීරණවලට එළැඹී නියෝග නිකුත් කරන්නේ සිතෙන්. කාට බොරු කළත් හිතට බොරුකරන්න බැහැ කියන්නේ ඒ නිසයි. යසවර්ධන රුද්රිගු උපුටා ගැනීම ලක්බිම පුවත් පත