🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මිනිස් සිත සමග බැඳෙන ග්‍රහබලපෑම්

‘චේතනා හං භික්ඛවේ කම්මං වදාමි’ යනුවෙන් බුදු පියාණන් දෙසූ ධර්මයට අනුව පිරිසිදු හෝ අපිරිසිදු සිතුවිල්ලම කර්මයට මග සලසයි. මිනිසා මෙලොව ජන්ම ලාභය ලබන විට විශ්වයේ පැවති ග්‍රහ බලය උපයෝගි කරගෙන සාදන ලියැවිල්ල කේන්ද්‍රය නැත්නම් හඳහන ලෙසට නම් කරනු ලබයි. මෙම ජන්ම කේන්ද්‍රයේ සංසාරගතව කරගත් කුසල් අකුසල් ද පෙන්වන ස්ථානය නවවෙනි කොටුව හෙවත් නව වෙනි භාවයයි. එම භාවයේ සිටින සුභ ග්‍රහයින් පුර සඳු, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයින්ගේ තැන්පත්වීම දුෂ්ඨවීම් මත පෙර කුසල් මතුකර පෙන්වයි. පාප ග්‍රහයින් වූ රවි, කුජ, ශනි, රාහු, කේතු වැනි ග්‍රහයින්ගේ තැන්පත්වීම දෘෂ්ඨි වීම මත පෙර භවයේ කරගෙන ආ අකුසල් ගැන සඳහන් කරයි. මෙම කුසල් අකුසල් දෙකටම බලපාන්නේ මිනිස් සිතයි. අද සමාජය මිනිසාගේ බාහිර රූපය දෙස බලා පිරිසිදු අපිරිසිදු බව තීරණය කරයි. කවුරුත් ප්‍රියමනාපව සිටීමට කැමති නිසා කය පිරිසිදු කරමින් පිරිසිදු ඇඳුම් පැළඳුම්වලින් සැරසෙයි. මෙම ක්‍රියාවනට යොමු කරන්නේ අප​ෙග් සිතයි. ඒ ලෙසට මෙම සිත හොඳ දෙයට මෙන්ම නරක දෙයටද පොළඹවනු ලබයි.

මිනිසාට අපල ලෙස වෙස් වළාගෙන එන්නේද සිතුවිලි සමග උපදන ග්‍රහ බලයයි. ‘නහී වේරෙන වේරානි සම්මන්තීද කුදාචනං’ යන බුදු වදනට අනුව වෛරයෙන් වෛරය තුරන් කළ නොහැක. සෙනසුරු, කුජ, රාහු, කේතු යන ග්‍රහයන් ගේ අසුභ කිරණ මත මිනිස් සිත නොමගට යවයි. ද්වේශ සහගත සිත පළිගැනීමට නපුරට යොමු කරයි. මිනිසා මිනිසාගේ විනාශය සඳහා අණ වින කොඩිවින කරමින් පළිගැනීමට බලන්නේ වෛර චේතනාවෙනුයි. මෙම ග්‍රහ අපල යෙදෙන විට ඒ ගැන අවබෝධයෙන් කටයුතු කිරීමට සිත දැනුවත් කරගෙන කටයුතු කිරීම මගින් සිත පාලනය කර ගැනීමට පහසුය. තමා දුන් විඳිමින් උපයා ගත් මිල මුදල් නිකරුණේ විනාශ කර ගනිමින් ග්‍රහ අපලවලට පිළියම් සොයයි. ඒ බව කේන්ද්‍ර සටහනේ පෙන්නුම් කරන්නේ රාහු, කේතු, රවි, පාප සඳු යන ග්‍රහයින් දොළොස් වෙනි භවයේ ගමන් කරන කාලයයි. මෙම අසුබ ග්‍රහයින් වැය ස්ථානගතව හැසිරෙන කාලවලදී සතුරු කරදර සඳහා තම ධනය කාලය අපතේ යවයි.

රාහු මහ දශාවත් රාහු අතුරු දශාවත් ලබන විට මිනිසුන් දුරදිග නොබලා ඉක්මන් තීරණ මත කටයුතු කිරීමට පොළඹවයි. චන්ද්‍රයා සිතට බලපාන ග්‍රහයා නිසා රාහු, කේතු යන ග්‍රහයින් චන්ද්‍රයාට යෝගවීම දෘෂ්ඨිවීම් මත සඳුගේ සුබ සිතුවිලි අවුල් කරවයි. හොඳ නරක අවබෝධ කර ගැනීමට තරම් සිත යහපත් නොවී නරක ක්‍රියාවලට සිත යොදවයි.

අසුභ ග්‍රහයින් මෙන්ම රාශි දොළොසද අසුභ සිතුවිලිවලට මං පෙත් විවර කරයි. චන්ද්‍රයා වෘශ්චික, මකර, කුම්භ යන රාශිවල​ ගෝචරය වනවිට සිතුවිලි චංචල කරයි. අධිෂ්ඨාන ශක්තිය දුර්වල කරවයි. කයට රෝග පීඩා ඇති කරයි. සිත දූෂණය වීමෙන් සිත අසහනයට පත් කරයි. බුධ ග්‍රහයා ස්නායු සම්බන්ධ ප්‍රඥාවට අධිපතිකම් දරයි. කේන්ද්‍රයක බුද නීච වීමෙන් ස්නායු රෝග මෙන්ම කරන කියන කටයුතුවල දුර්වලතා පෙන්නුම් කරයි.

වචනයෙන් ක්‍රියාවෙන් අසංවර බව පෙන්වයි. මෙම බුධ ග්‍රහයා මීන, මේෂ, වෘශ්චික රාශිවල යෙදීම අනුවද ගෝචරයන් එම රාශිවල හැසිරෙන විටද එම දුර්වලතා ප්‍රදර්ශනය කරයි. මේ අනුව වචනය පිට කිරීමේදී එයින් යහපතක් වෙයිද අයහපතක් වෙයිද කියා සිතාබලා සිත සංවර කර ගැනීම ඉතා වැදගත්ය.

තම ආත්මාභිමානය ගැන සිතමින් බොරු ආටෝපයට මුල්තැන දෙමින් අහංකාරයෙන් කටයුතු කරන්නේද අසුභ ග්‍රහ බලපෑම් මතය. කුජ, රාහු, රවි, සිකුරු යන ග්‍රහයින් තැන්පත් රාශිය අනුවද ගෝචරයන් එකී රාශි භාවවල හැසිරෙන කාලයද මිනිසා හිස උදුම්මාගෙන කටයුතු කිරීමද අපලයක් ලෙසට දැක්වීමට පුළුවන. මෙම ග්‍රහ අපල වලින් මිදීමට තමා නිරහංකාරවීම ඉතා වැදගත්ය. මේ කුණු කය ලෙඩ රෝගවලට බඳුන් වෙන බව තේරුම් ගැනීම ශරීරයේ අනිත්‍යතාව මෙනෙහි කිරීම රූපයේ විනාශය මරණයෙන් කෙළවර වන බව සිතාගෙන කටයුතු කිරීමට උනන්දු වූවොත් අහංකාරයට බලපාන ග්‍රහඅපල අවම කර ගැනීමට සිත පෙරට යොදා ප්‍රඥාවෙන් කටයුතු කළ යුතුය.

කාම තණ්හාව, රාගය, ද්වේශය නමැති අඳුරු පටලයට ගැතිවී මිනිසා කටයුතු කිරීමෙන් නැති කරදර පටලවා ගන්නා ග්‍රහ අපලය යෙදෙයි. කුජ සිකුරු යෝගය සිකුරු රාහු සංයෝගවීම මිනිසා නොමගට යොමු කරයි. අසුභ ග්‍රහයෝග යෙදුන විට කාම අපරාධ කිරීමට ලැජ්ජා බිය දෙක නැතිව යයි. සිත දමනය කිරීමට පුරුදුවීම ජීවිතයට බලපාන අසුභ ග්‍රහ යෙදුම්වලට දිව ඔසුවකි. සෙනසුරුගෙන් යෙදෙන ඒරාෂ්ඨකවලදී ද මිනිසා සිහි මුලාව කටයුතු කරයි. සිත දුර්වලවීම මගින් තම ආත්ම අභිමානය නැතිකර ගනී. අනාගත ප්‍රශ්නවලට බියවී පලායාම ද සෙනසුරුගෙන් යෙදන අපලයකි. මෙම සෙනසුරුගෙන් ඒරාෂ්ඨක යෙදෙන විට සිත ශක්තිමත් කර ගැනීම දුක සැප දෙකටම එක ලෙස මුහුණ දී කටයුතු කිරීමට හැකි වාතාවරණයක් සාදා ගැනීම ආගමික පැත්තට නැඹුරුවීම, භාවනා කිරීම ආදී යහපත් සිතුවිලි මත කටයුතු කරන විට ග්‍රහ අපල නොදැනීම වාගේ ගෙවී යයි.

සිතට වහල් නොවීම හොඳ නරක තේරුම් ගෙන කටයුතු කිරීම ඉරිසියාව ක්‍රෝධය ඉවත් කිරීම සැමදෙනා සමග මෙත් සිතින් කටයුතු කිරීම තමන් ගැන අවබෝධයෙන් තමාගේ සිත ගැන තමා කරන ක්‍රියාවන් ගැන බුද්ධිමත්වීමද ග්‍රහ අපලවලින් මිදීමට පුළුවන. ආත්මාර්ථයෙන් තොරවීම පරාර්ථකාමීවීම නැති බැරි දුගී දුප්පත් අයට පිහිටවීම තණ්හාව නමැති මසුරු මල දුරුකර ගෙන කටයුතු කිරීම තුළින්ද සපලයක් ලැබීමට පුළුවන. සියයට සියයක් හොඳ මිනිසුන් ද සියයට සීයක් නරක මිනිසුන් ද නැත. හොඳයි කියූ අය ළඟ නරක ගතිගුණ තිබීමටත් නරක යැයි කියූ අය ළඟ හොඳ ගතිගුණ තිබීමටත් පුළුවන. සමාජය ඇසුරු කරන විට නරක පුද්ගලයාගේ හොඳ එක ගුණයට ගරු කරමින් ඔහු ළඟ තිබෙන වැරදි අවබෝධ කර ගනිමින් ඔවුන් හොඳ මගට ගැනීමට උනන්දු වීමද අපලයට පිළියමකි. අද දවස සතුටින් ගත කරන්න. තම ආගමට මුල්තැන දෙන්න. අද දවසේ ඔබෙන් සිදු වූ වැරැද්ද නිවැරදි කර ගැනීමට සිතන්න. එම වැරැද්ද හෙට දිනයට නැවත නොකරනු ඇත. දවසින් දවස අපගේ ආයුෂය අඩු කරයි. මරණය දිනෙන් දින ළං කරන බවත් ලෙඩ රෝගවීම මරණයට පත්වීම අපට උරුම වූ පොදු ධර්මතාවන් බව විදර්ශනය කරන්න. ජීවිතයට ළඟාවන ප්‍රශ්න තේරුම් ගෙන ඒවාට මුහුණදී කටයුතු කිරීමට ආත්ම ශක්තිය ඇතිකර ගන්න.

එසේ කරන විට අපේ සිත ප්‍රභාෂ්වර වෙයි. සිත සතුටින් දවස ගත කරන විට ග්‍රහඅපල ළඟා නොවෙයි. ග්‍රහ අපල ළංකර ගෙන දුක් විඳින්නේ අපගේ නොදැනුවත්කම නිසයි. සංසාරගතව එනවිට අප කළ අකුසල කර්මවලට මුහුණ දීම ග්‍රහ අපලයක් බව සිතා එම අකුසල කර්ම අහෝසිකර ගැනීමට දන්පින් කරන්න. සමාජය දෙස මෛත්‍රී සිතින් බලන්න. එදාට අපට නොදැනීම අපගේ ග්‍රහ අපල ගෙවී යයි.   

උපුටා ගැනීම ලංකාදීප