🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සර්වඥ ධාතු රෝස පැහැයට හුරු ඇත් දළ පාටයි

ලංකාවේ වැඩියෙන්ම දන්සල් දුන්න දවස කවදද කියලා කවුරුහරි ඇහුවොත් පහුගිය පොසොන් දවස කියලයි මට හිතෙන්නේ... ඒ තරමට එදා දන්සල් දුන්නා මිනිස්සු... ඒ වගේම මට හිතෙනවා මේ වගේ දන්සල් දෙන රටක් ලෝකේ කොහේවත් තව නෑ කියලත්... බුදුන් වහන්සේ දේශනා කළ දන්දීම එක දවසකට හදපත්ලෙන් කරන මිනිස්සු ඊළඟ දවසේ ඉඳලා ආයිත් එකතු කරන්න, හොයන්න පටන් ගන්නවා... ඉතින් මොකක්ද මේ සංසාර සංචාරේ... අපි යමු සුමනරංසි හිමියන්ගේ එදා කතාව නැවැත්තුව තැනට...

එතකොට හාමුදුරුවනේ ආනන්ද හාමුදුරුවෝ අර අඬාගෙන ආව කාන්තාවන්ට බුදුන් වහන්සේගේ පරිනිර්වාණ සිරුර පෙන්නුව එක ගැන අනෙක් හාමුදුරුවරු මොනවත් කිව්වේ නැද්ද?
ඒ ගැන සඳහන් වෙන්නේ චෝදනා කළා කියලා තමයි... එතෙක් කල් මූලයක් හැටියට තිබුණු බුදු දහම කැඩෙන්න හේතුවුණා කියනවා ඒ කාරණේ... බුදුන් වහන්සේගේ කාලේ ඉඳලම භික්‍ෂුන් අතර ප්‍රශ්න තිබුණා... ඒත් බුදුන් වහන්සේ මේ පෘථග්ජන භික්‍ෂුන්ට අනුකම්පා කළා... වියපත් මනුස්සයෙක් එතකොට බුදුන් වහන්සේ කියන්නේ... අවුරුදු අසූවක් වයස... සංඝභේදය ගැන කියලා අර තරුණ භික්‍ෂුන්ට අවවාද කළත් ඒ අය ඇහුවේ නෑ... බුදුන් වහන්සේ ඒ වගේ වෙලාවට කරන්නේ මුනිවත රකින එක... උසස් මහා පුරුෂයන්ගේ ලක්ෂණයක්... උපේක්‍ෂා වීම...

එතකොට නේද බුදුන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කරන්නේ.
ඔව්... අන්තිමට මිනිසුන්ගේ සිවුපසය නැති වෙලා ශාසනය පිරිහෙද්දී තමයි අර හාමුදුරුවරු නැවත බුදුන් වහන්සේ හමුවෙලා සමාව අරගෙන භික්‍ෂු ශාසනය ආරක්ෂා කරන්නේ... විනය පිරිහීම කියන්නේ හැමදෙයක්ම කණපිට හැරවෙන්න පුළුවන් දෙයක්... එතකොට බුදුන් වහන්සේ පිරිනිවන් පෑවාම උඩ්ඩ පබ්බජිත්ත හිමිනමක් කිව්වා 'ඒ මහා ශ්‍රමණයාගෙන් අපි දැන් ගැලවුණා... අපට කැමැති දෙයක් කරන්න පුළුවන්... අකැමැති දෙයක් නොකරන්න පුළුවන්' කියලා... මේක ඇහුණාම මහ රහතන් වහන්සේට ධර්ම සංවේගය ඇති වුණා... මෙතැන ඉඳන් තමයි ගැටුම ඇති වුණේ... ඒ ගැටුම වර්ධනය වෙලා තමයි පළමුවැනි ධර්ම සංගායනාවට කටයුතු යෙදුණේ...

ඇයි එහෙම වුණේ?
ආනන්ද හාමුදුරුවෝ මේ චෝදනාවෙන් නිදහස් වෙන්න ඕනේ... උන්නාන්සේ වැරැද්දක් කළා කියලයිනේ චෝදනාව ආවේ... බුදුන් වහන්සේ එක්කම අවුරුදු විස්සක් හිටියා... කියපු හැම බණ පදයක්ම මතකයි... එතකොට ආනන්ද හිමියෝ හිටියේ නැති තැනක දේශනා කළ ධර්මය පවා නැවැත බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට දේශනා කළා... ඒක ආනන්ද හිමියෝ ඉල්ලා හිටිය පංච වරයෙන් එකක්... ඉතින් මෙච්චර ධර්මය ගැන දන්නා ආනන්ද හාමුදුරුවෝ මේ චෝදනාවෙන් නිදහස් කරන්න ඕනේ... ඒකයි ධර්ම සගායනාවට මූලික හේතුව වුණේ... බුදුන් වහන්සේගේ සිරුර ආදාහනයෙන් පස්සේ ධාතු කොටස් නොවිසිරී පැවැතුණයි කියනවා නේද හාමුදුරුවනේ... ඒක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් වුණා කියලනේ කියන්නේ... සර්වඥ ධාතු කොටස්වල ධාතුන් වහන්සේ හත් නමක් ඒ අයුරින්ම ඉතිරි වුණා කියනවනේ... අනෙක් ධාතු කොටස් තල ඇට, මුං ඇට ගාණට රැඳුණා කියනවානේ... සර්වඥ ධාතු අනෙක් අයගේ භස්ම කොටස් වගේ නෙවෙයි... රෝස පැහැයට හුරු ඇත් දළ පාටයි...

අර ඉතිරි වෙච්ච ධාතුන් වහන්සේ හත් නම මොනවද?
සතර දළදාව, දෙ අකු ධාතුව, ලලාට ධාතුව... ඒ කියන්නේ දන්ත ධාතුන් වහන්සේ සතර නමයි... උරෙස් පතු... නළල් තලයයි... මේවා තමයි ඉතිරි වුණා කියන්නේ...

බුදුන් වහන්සේගේ සිරුරට වෙනත් සත්තු ඉහඳ ගහන්නේ නැද්ද?
මහත්තයෝ... බුදු සිරුරයි, මහ රහතන් වහන්සේගේ සිරුරයි කන්න බෑ... ඒ කියන්නේ වෙන සතකුට ඒක ආහාරයක් වෙන්නේ නෑ... සිවුර වළලන්න එපා කියලා අහලා තියෙනවද... නෑනේ... සිවුරක් වළලනවා කියන්නේ භූමිකම්පාවලට හේතු වෙනවා කියනවා... දැන් නම් සිවුරු ඕනේ තරම් තිබ්බට ඉස්සර සිවුරක් හදාගන්න ලොකු වෙහෙසක් ගන්න ඕනෙනේ... ඒ වගේ අපහසුවෙන් හදා ගන්න සිවුර ආදාහනය කළාට වළලන්නේ නෑ...

හාමුදුරුවනේ භික්‍ෂුන් වහන්සේට විනය මොනවා සම්බන්ධයෙන්ද පැනවෙන්නේ?
හැමදේටම... කන්න, බොන්න, ඉඳගන්න, සැතපෙන්න, ඇහැරෙන්න, ඇවිදින්න හැමදේටම... දැන් උපසපන් හාමුදුරු නමකට තමන් ඉන්න කාමරේ වහන්නේ නැතිව නිදියන්න තහනම් විනයට අනුව... මොකද හේතුව? 
එහෙම දන්නේ නෑ හාමුදුරුවනේ...
නින්දෙදි මොනවා වෙන්න බැරිද... රෙදි එහාට මෙහාට වෙන්න පුළුවන්... ඒ ගැන හොඳ කතාවක් තියෙනවා බුද්ධ කාලේ වෙච්ච... එක රහතන් වහන්සේ නමක් හිටියා... උන්නාන්සේ හිටියේ ‍දොරක් නැති ගුහාවක නැවතිලා... දවසක් උන්නාන්සේ ස්නානය කරලා දවල් පිණ්ඩපාතේ වැඩම කරලා ඇවිත් ආහාර වළඳලා සැතපිලා හිටියා ටිකක්... මෙහෙම ඉන්න අතරේ උන්නාන්සේට නින්ද ගියා... එතකොට මේ ගුහාව පිහිටි ගම අවට හිටිය කවුරුහරි කාන්තාවෝ ටිකක් මෙතැනින් යන්න ගිහින් අර හාමුදුරුවෝ නිදා ඉන්න ඉරියව්ව දැකලා කාමාශාවක් ඇතිවෙලා මේ රහතන් හාමුදුරුවන්ව දූෂණයට ලක් කළා... උන්නාන්සේ මේ වෙච්ච අතවරය ගැන බුදුන්වහන්සේට සැල කළා... දන්නවද බුදුන් වහන්සේ ඇහුවේ මොකක්ද කියලා? නෑ අපේ හාමුදුරුවනේ.. උන්නාන්සේ ඇහුවා ඒ රහතන් වහන්සේගෙන් "ඔබට චේතනාවක් ඉපදුණාද කියලා මේ වෙච්ච දෙයින්' කියලා... රහත් හිමියෝ 'නෑ' කිව්වා.. රහතන් වහන්සේට කාමය කියන හැඟීම නෑ... රජස් නෑ... එදායින් පස්සේ තමයි බුදුන් වහන්සේ විනය පැනවූයේ උපසම්පන්න භික්‍ෂුවක් ‍දොර නැති, ආවරණයක් නැති තැනක සැතපෙන්න එපා කියලා... වරදට පෙලඹවීමට ඇති හැසිරීමයි උන්නාන්සේ තහනම් කළේ.

ආහාර වැළඳීමෙදිත් තියෙනවා නේද විනය සිරිත්?
ඔව්... භික්ෂුන් වහන්සේ නමකට බ්‍රාස් ගාලා ඇදලා ආහාර බොන්න කන්න බෑ... ජබු ජබු ගාලා ආහාර අනුභව කරන්න බෑ... අත ලෙවකන්න බෑ... තෙවැනි පුරුකට වැඩිය ඉහළට ඉඳුල් ගාගන්න බෑ... ජුගුප්සාවක් එන දෙයක් කරන්න බෑ... හැමදේටම එහෙමයි... ගමනට බිමනට පවා එහෙමයි... විනයෙන් පැනවුණු නීති තියෙනවා... ගමනට බිමනට කිව්වේ හාමුදුරුවනේ... ගමනට බිමනට කිව්වේ බිම බලාගෙන, අඩි හයක් පමණ ඉදිරිය පෙනෙන පරිදි සන්සුන් ගමනින් තමයි භික්‍ෂුන් වහන්සේ නමකට යන්න කියන්නේ... එතකොට කුරා කූඹියෙක්වත් පෑගෙන්නේ නෑ... එතකොට මේ සිවුර බලන්න... මේ පාට පඬු පාට... මැසි මදුරුවෙක්වත් මේ පාටට කිට්ටුවෙන්නේ නෑ... ගුරු පාටට බයයි උන්... සතෙක් සර්පයෙක් පවා ළඟට එන්නේ නෑ... මේ හැමදෙයක්ම විනය සම්බන්ධව පැනවුණේ තේරුමක්, අදහසක්, ගැඹුරක් ඇතිව... ඒවා කඩකරනවා කියන්නේ සංඝ සමාජයට කරන අගෞරවයක්... පෘථග්ජන මිනිස්සු විදියට අප හැම අතින්ම වැරැදි සිදුවුණත් අප ඒ වැරැදි අවම කර ගැනීම තමයි වැදගත් වෙන්නේ... විනය සම්බන්ධව නම් මට හිතෙන්නේ අපි අපේ තරමට කතා කළ ඇති කියලයි දැන්... මෙතැනින් එහාට කියන්නේ යතිවරයෙක් වෙලාම බලන එක හොඳයි කියලයි... ඒත් බුදුන් වහන්සේගේ නිර්මල දහම බොහෝවිට කෙලෙසුවේ උඩ්ඩ පබ්බජිත්තයේ හින්දා... එහෙම වුණාම වයසට ගිහින් මහණ වුණත් අපේ හුරු පුරුදුකම් ශාසනයට එකතු කරන්න හදනවා... ලංකාවේ භික්‍ෂුන් වහන්සේ හතළිස් දාහක් විතර ඉන්නවා කියලයි මං දන්නේ... මේ ප්‍රණීත සරල දහම රැකගෙන ඉදිරි අනාගතයට යන ඒ භික්‍ෂුන්ට විනයෙන් උරුම දේ තව කොච්චර කලක් රැකෙයිද හිතන්න නිකමට ඔබ ඒ ගැන...

අනූ එදිරිසිංහ
උපුටා ගැන්ම - මව්බිම පුවත්පත