🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දහමෙහි ගුණය නිවැරැදිව වටහා ගනිමු

දහමෙහි ගුණය නිවැරැදිව වටහා ගනිමු

අනන්ත අපරිමේය ගුණස්කන්ධයෙන් සමලංකෘත අප දසබලධාරී තථාගතයින් වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුක්තව දේශනා කරන ලද යම් දේශනාවක් වන්නේ ද එය ශ්‍රී සද්ධර්මය නම් වේ. එම ශ්‍රී සද්ධර්මය හැඳින්වීම සඳහා ‘ධම්ම’ යන නාම ව්‍යවහාරය භාවිත වේ. නමුත් බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය හැඳින්වීම වෙනුවට වෙනත් වෙනත් ආගමික ලබ්ධීන් නාමකරණය සඳහාද අද වන විට ‘ධම්ම’ යන ව්‍යවහාරය භාවිතවනු දැකිය හැක.   

වෙනත් ශාස්තෘන් වහන්සේලා විසින් දේශනාකරන ලද විවිධ ලබ්ධීන් හැඳින්වීම සඳහා ‘ධම්ම’ යන නාමය භාවිතයට ගැනීම සම්පූර්ණ වරදක් බව ‘ධම්ම’ යන නාමයට නිරුක්ති වර්ණනා කළ පෙර ලිපියට අනුව ඔබට මනා වැටහීමක් ඇත්තේ යැ යි අපි අදහස් කරන්නෙමු.   

මේ පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට ආගමක හා ධර්මයක අතර පවත්නා වෙනස පැහැදිලි කරගත යුතුය. ආගමක් යනු කුමක්ද?   

ආගමක් යනු කුමක් දැ යි යන්න අතීතයේ පටන් විවිධ මතිමතාන්තරයන්ට ලක් වූවකි. විශේෂයෙන් දහතුන් වන සියවස පමණ වන විට religion යන පදය පිළිබඳව විවිධ මතිමතාන්තර වඩාත් ප්‍රකට වන්නට විය. ඒ ලෝකයත් සත්ත්වයාත් මවන ලද සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් හෝ ඊශ්වරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ යම් මැවුම්කාර තැනැත්තෙකු විසින් ලෝක සත්ත්වයාත් තමාත් අතර සබඳතාවක් ඇති කිරීමේ අපේක්‍ෂාවෙන් දේශනා කරන ලද දේශනාත්මක උපදේශනය නම් වේ.   

මෙයින් එම මැවුම්කාර දෙවියන් පිළිබඳව අතීන්ද්‍රිය සබඳතාවක් අපේක්‍ෂා කෙරේ. දෙවියන් පිළිබඳවත් ඔවුනගේ යැ යි කියන ලද යම් දේශනාවක් වේ ද ඒ පිළිබඳව පවත්නා විශ්වාසය - ඇදහීම - භක්තිය මූලික කොට ගත් යමක් වේ ද එය ‘ආගමක්’ යනුවෙන් විග්‍රහ කොට තිබේ.   

මහාචාර්ය ලෞබා විසින් සම්පාදනය කරන ලද A psychological study of religion යන කෘතියට අනුව ආගමක් යන්න නිර්වචනය කිරීම සඳහා විවිධ අර්ථයන් හතළිස් අටක් භාවිත කර ඇත. මේ අතර ඉහතින් දක්වන ලද අර්ථය ද භාවිත කොට ඇත. නමුත් මෙහි විශේෂත්වය වන්නේ මෙම වචනය සඳහා එකම ව්‍යවහාරයක් ලබාගත නොහැකි වීමයි. ජී.පී. මලලසේකර මහතා විසින් සම්පාදනය කරන ලද ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයෙහි ආගම - ලබ්ධිය - භක්තිය යන අර්ථයෙන් ද භාවිත කර ඇත. නමුත් අටුවා ධර්ම ග්‍රන්ථකරණයෙහි දී ආගම යන පදය සඳහා ‘දේශනාව’ යන අර්ථය ලබා දී තිබේ. එවිට බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද යම් දේශනාවක් වේ ද එය ‘ආගම’ යන නාමයෙන් ව්‍යවහාර කෙරේ. එවිට ‘බුද්ධාගම’ යනු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව - දේශනාව යනුවෙන් හැඳින්වීම සුදුසුය. නමුත් වරදවා නොගත යුතු දෙයක් වන්නේ ආගම යන පදයෙහි භාවිතය අන්‍ය ලබ්ධීන් හා බුද්ධ භාෂිතය හා වරදවා නොගත යුතු බවයි. ‘ධම්ම’ යන පදය සඳහා විවිධ ව්‍යවහාරයන් විවිධ ස්වරූපයෙන් ත්‍රිපිටක ධර්මය තුළ දක්නට හැකි අතර එනමුත් අවස්ථාවට අනුව එහි අර්ථය ග්‍රහණය කළ යුතු වේ. නැතිනම් ඉන් අදහස් කරනු ලබන අර්ථය විනාශ වේ.    

ධම්ම යන පදයෙන් විශේෂයෙන් ප්‍රකට අර්ථය වන්නේ ‘ස්වභාවය’ යන්නයි. කුමන ස්වභාවය යන්නේ ද යත් ලෝක ධර්මතාවන්ගේ තථ අවිතථ අනඤ්ඤතස්සථාර්ථයෙන් අනිත්‍යතා දී ධර්මතාවන්ගේ යතාභූතය හෙවත් පවත්නා සත්‍යය ස්වභාවය ඒ ඒ ආකාරයෙන්ම හැඟවීමයි. නැතිනම් ප්‍රඥාවෙන් ලෝක ස්වභාවය අවබෝධකර ගැනීමයි. භය මූලික පිළිගැනීමත් අවබෝධයෙන් ප්‍රත්‍යක්‍ෂකොට ගැනීමත් අතර විශාල පරතරයක් ඇත්තේය. එම නිසා බුදුරජාණන් වහන්සේගේ අවබෝධාත්මක දේශනාව හුදෙක් ආගම යන සරල ව්‍යවහාරික මාත්‍රයෙන් නොගත යුතුය.   

ලෝකයෙහි පවත්නා යම් ශාස්තෘ දේශනාවක් වේ නම් එය සද්ධර්මය යන නාමය ලැබීමට ඒ තුළ ප්‍රධාන ලක්‍ෂණ හයක් තිබිය යුතුය. එම ලක්‍ෂණයන්ගෙන් වියුක්ත නම් එම දේශනාව සද්ධර්මය බවට පත්වන්නේ නැත. එම ලක්‍ෂණ හයෙන් ලක්‍ෂණ තුනක් දේශනාගත ධර්මය තුළ අන්තර්ගත විය යුතු ලක්‍ෂණ වන අතර, අනෙක් ලක්‍ෂණ තුන ශ්‍රාවකයා එම ධර්මය කෙරෙහි කෙසේ පිළිපැදිය යුතුද යන්න විස්තර කරයි.   

දේශනාගත ධර්මය තුළ අඩංගු විය යුතු කරුණු තුන නම් ‘ස්වාක්ඛාත - සංදිට්ඨික - අකාලික’ යන අංග තුනයි. ශ්‍රාවකයාගේ පිළිපැදීම් වශයෙන් අඩංගු විය යුතු කරුණු තුන නම් ‘ඒහිපස්සික - ඕපනයික - පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි’ යන කරුණු තුනයි. මෙම කරුණු පිළිබඳව ඔබට වැරදි අවබෝධයක් ඇතිවිය හැකිය. ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයෙහි ගුණ වශයෙන් කියැවෙන්නේත් මෙම ලක්‍ෂණයන්ම යැ යි කියා. එය එසේ නොගත යුතුය.   

යම් ශාස්තෘන් වහන්සේ කෙනෙකුන් විසින් අවබෝධකොට දේශනා කරන ලද ධර්මය සියලු‍ ලෝක සත්ත්වයන් කෙරෙහි පවත්නා ස්වභාව ධර්මයෙහි පවත්නා නීති රීති සමුදායට සමව පවතින්නේ නම් එය කවර ශාස්තෘන් වහන්සේ කෙනෙකුන් විසින් දේශනා කළ ද ලෝකයෙහි පරම සත්‍යය වන්නේය. එම සත්‍යයට බෞද්ධ අබෞද්ධ ස්වරුපයෙන් අර්ථ විවරණ දීමක් අවශ්‍ය නොවන්නේය. එම අවබෝධය කවරෙකු කෙරෙහි පැවතුන ද එය පරම සත්‍යයම වන්නේය. කෙලෙස් බරිත ස්වභාවයෙන් ඒ ඒ ආගමික නාම මාත්‍රයන් ඒ අවබෝධය සඳහා භාවිත කළ නොහැක. එය දෙවියෙකු බ්‍රහ්මයෙකු විසින් අවබෝධ කළ ද එම දෙවියාට හෝ බ්‍රහ්මයාට ‘බුද්ධ’ යන ගෞරව නාම මාත්‍රය පිරිනැමිය යුතුය.   

දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව මදක් විමසා බලමු. ෂට් අසාධාරණ ඥාන සම්පත්තීන්ගෙන් සමන්විත තථාගතයින් වහන්සේ විසින් යම් දිනයක යම් චතුරාර්ය සත්‍යය ධර්මයක් අවබෝධකර දේශනා කරන ලද්දේ ද එම ධර්මය විමුක්ති සුවය අරමුණු කොටගෙනම දේශනා කොට ඇත. විමුක්ති සුවය නම් සාංසාරික සියලු‍ කායික මානසික භවගාමී දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීමෙන් ලබන සුවයයි. එය නිකෙලෙස් ස්වභාවයෙන් යුක්තය. අතිශය පාරිශුද්ධය. ශාසන ව්‍යවහාරයෙන් ගතහොත් පර්යාප්ති ශාසනයම ධර්මය වශයෙන් හැඳින්වේ.   

විනය - සූත්‍ර - අභිධම්ම යනාදී වශයෙන් එය වර්ගීකරණය කරනු ලබන නව ලෝකෝත්තර දහම ද ‘ධම්ම’ යන නාමයෙන් දක්වා තිබේ. නව ලෝකෝත්තර දහම නම් සෝවාන් - සකදාගාමී - අනාගාමී - අරහත් මාර්ගය යන සතර ද සෝවාන් - සකදාගාමී - අනාගාමී - අරහත් ඵලයන් සතර ද නිර්වාණය ද යන සියල්ලය.   

මෙහිදී ස්වාක්ඛාත ගුණය ප්‍රථමයෙන් විස්තර කරගත යුතුය. මෙහිදී ධර්ම රතනය සරණ යෑම සඳහා අවශ්‍ය දැනුම වර්ධනය කර ගැනීමට ඉවහල්වන ප්‍රමාණයෙන් පමණක් ධර්මයෙහි ගුණ විස්තර කරනු ලැබේ. සමස්ත ධර්ම රතනයෙහිම ගුණ විස්තර කර කියන්නට ගියහොත් අවශ්‍ය කාරණය අතුරුදන් වන බැවින් සැකෙවින් විස්තර කරනු ලැබේ. වැඩි විස්තර දැනගැනීමට පෙළ අටුවා ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කරන්නේ මැනවි.   

‘ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ’ යන පදයෙන් ‘භගවතා ධම්මෝ’ යනු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය යන්නයි. ‘ස්වාක්ඛාතෝ’ යන පදය මෙහිදී විශේෂයෙන් විග්‍රහ කරගත යුතුය. මෙම ‘ස්වාක්ඛාතෝ/ස්වාක්ඛාත’ ගුණය විස්තර කරනු ලබන අවස්ථාවන්හි දී බුදුරජාණන් වහන්සේ විසින් එය මෙසේ විස්තර කර දී තිබේ.   

එනම් ‘ආදී කල්‍යාණං මජ්ඣේ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං බ්‍රහ්මචරියං පකාසෙන්ති’ යනුවෙනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි ස්වාක්ඛාත ගුණය පිළිබඳව යම් පමණකට හෝ අවබෝධයක් ඇතිකර ගැනීමට මෙම අංග පිළිබඳව මනාව අධ්‍යනය කළ යුතුය.   

බුදුරජාණන් වහන්සේ විසින් ස්වාක්ඛාත පදය විග්‍රහ කරන්නට යෑමේ දී එම පදය විවිධ අර්ථයන් ගන්වන වෙනත් වෙනත් පද අරුත් සතකින් විවිධ කෝණයන් ඔස්සේ විග්‍රහ කොට ඇත. ස්වාක්ඛාත යන පදයෙහි අර්ථය වන්නේ මනා කොට දේශනා කර ඇති බවයි. ඒ මනා කොට දේශනා කර ඇති බව සහේතුකව ආකාර සතකට අනුව විස්තර කර තිබේ. ඒ එහි ගම්‍යවන අර්ථය වඩාත් සවිස්තරව වර්ණනා කර දැක්වීම සඳහාය. මෙහිදී ඒ ඒ පදයන්ගේ අර්ථය වඩාත් අවබෝධකර ගැනීමට පහසුවීම සඳහා අපි ඒ ඒ ලක්‍ෂණයන් වෙන වෙනම විස්තර කර දක්වන්නෙමු.   

‘ආදී කල්‍යාණ’ යන පදයෙහි කල්‍යාණ යන පදය විග්‍රහ කිරීමේදී එහි අර්ථය යහපත් - සුන්දර යන බහුලව භාවිතවන ව්‍යවහාරයන්ගෙන් පැවැත්වීම නිතර සිදු කරයි. ධර්මය අධ්‍යනය කිරීමේ දී පරිශීලකයා විසින් විශේෂයෙන් ඉගෙනගත යුතු කරුණක් ඇත. එනම් තමන් විසින් අවබෝධ කරගනු ලබන අර්ථය කොතරම් නිවැරදි වූත් සාර්ථක වූත් බුදුරජාණන් වහන්සේගේ මතයටම අනුකූලවන වන අවබෝධයක්ද යන්න වග. එසේ නොමැති නම් ඕනෑම අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ අදහස අතුරුදන්ව අධර්මවාදී දුර්මතයන් ඉස්මතු විය හැක.   

පාළි භාෂාමය ව්‍යවහාරයන්ට අනුව කල්‍යාණ යන පදයෙහි අර්ථය සඳහා යහපත් - සුන්දර යන තේරුම් භාවිත කළ හැක. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ගැළපීමේදී පාළි භාෂාමය ව්‍යාකරණ නීති රීති - ශබ්දාර්ථ - ධර්ම විනය සඳහා ගැළපීම් යනාදී අංගයන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන්‍ය ශාස්තෘන් වහන්සේලාගේ ලබ්ධීන් හා විරුද්ධව ගමන් කරන්නේ මෙවැනි අවස්ථාවලදීය.   

කල්‍යාණ යන පදයෙහි යහපත් - සුන්දර යන අර්ථය ඇතත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නෛර්ය්‍යානික හෙවත් නිවන පිණිස පමුණුවන දහමක් නිසා එම යහපත් - සුන්දර යන අර්ථයන් කොතරම් නිවැරදි වේ දැ යි පරීක්‍ෂාකර බැලිය යුතුය. කල්‍යාණ යන වචනයෙහි තෙවන අර්ථය වන්නේ නිවන පිණිස පමුණුවන බවයි. එබැවින් එම ව්‍යවහාරය වඩාත් ධර්ම විනයට සාධාරණ වේ.   

මක්නිසාද යත් අන්‍ය ශාසනික දේශනාවන්ට ද අපගේ දේශනාවත් යහපත් දේශනාවකි, සුන්දර දේශනාවකි යැ යි කීමට අවස්ථාව පවතින බැවිනි. නමුත් නිවන පිළිබඳව දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමෙහි පමණක්ම වන නිසා නිවන පිණිස පමුණුවන යන අර්ථය තථාගත භාෂිතය සඳහාම පමණක් භාවිත කළ හැකි වේ. එසේම ආදී කල්‍යාණ යන වචනයෙහි මෙම අර්ථය නොවැටහේ නම් ආදී යන්න යෙදෙන ආකාරය පරීක්‍ෂාකර බැලීමෙන් එහි භාවිතය පැහැදිලි කරගත හැක.   

මේ ශාසනයෙහි මූලාරම්භය සීලයයි. සීලය ආර්ය්‍ය සීලය හා අනාර්ය්‍ය සීලය යනුවෙන් ආකාර දෙකකට බෙදේ. අනාර්ය්‍ය සීලය බාහිර ශාසනයන්හි දක්නට ලැබේ. ආර්ය සීලය බුද්ධ ශාසනයෙහි පමණක් දක්නට ලැබේ. අනාර්ය්‍ය සීලය විදර්ශනා ප්‍රඥාව වර්ධනය කිරීම සඳහා උපකාර නොවන අතර එය ඇතැම් විටෙක යහපත පිණිස ද තවත් විටෙක අයහපත පිණිස ද හේතු විය හැක. නමුත් සමාධිය වර්ධනය කිරීම සඳහාත් විදර්ශනාව වර්ධනය සඳහාත් බුදුරජාණන් වහන්සේලා විසින් ආර්ය්‍ය කාන්ත සීලය යනුවෙන් හඳුන්වන යම් සීලයක් වේ ද එය ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිර්වාණ සුවය පිණිස හේතු වන්නේය.   

යමෙක් ජිනවචනයට අනුව සීලය සම්පූර්ණ කිරීම ආරම්භ කළහොත් ඔහු නිර්වාණ මාර්ගය තුළ ආරම්භක ස්ථානයෙහි සිටියේ වේ. එම නිසා යහපත් යන වචනය යම් පමණකට සාධාරණ වුවත් වඩාත් නිවැරදි අර්ථය සපයන්නේ නිවණ පිණිස පවතින බවයි. එසේම මෙම ශාසනයෙහි මධ්‍ය නම් විදර්ශනා ඥානය මුහුකිරීමට සමත් ධ්‍යාන භාවනා ක්‍රමයන්ය. උපචාර - අර්පණා සමාධි මට්ටම් හෝ උග්ගහ නිමිත්ත - පටිභාග නිමිත්ත ආදිය දියුණු කර ගැනීමෙන් කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් යටපත් කිරීමෙන් හා විතක්ක විචාරාදී ධ්‍යානාංග උපදවා ගැනීමෙන් නාමරූප පරිච්ඡේද ඥාන ආදිය වර්ධනය කර ගැනීමෙන් ස්කන්ධ - ධාතු - ආයතන - පටිච්චසමුප්පාද ධර්මයන්ගේ උදය - වැය ස්වභාවය දෙස බලමින් යතාභූත ඥාන දර්ශනය උපදවා ගැනීම සඳහා උපකාර වන සම සතළිස් කර්මස්ථානයන්ගෙන් තමන්ට අනුරූපී කමටහනක් තෝරාගෙන වර්ධනය කිරීම සමාධිය වර්ධනය කිරීම හෙවත් මෙම ශාසනයෙහි මධ්‍ය නම් වේ.   

එසේම ප්‍රඥාව ද මෙම ශාසනයෙහි මධ්‍ය වශයෙන් ගැනෙති. සීලය ආරම්භය වන අතර සමාධියත් ප්‍රඥාවත් මධ්‍ය වේ. එයට හේතුව වන්නේ ප්‍රඥාව තවමත් වර්ධනය කරනවා යනු ප්‍රඥාව වඩා අවසන් නොකළ බවයි. මෙම කරුණ වර්තමානය වන විට බොහෝ දෙනා වරදවා වටහාගෙන මෙම ශාසනයෙහි අවසානය ප්‍රඥාව වශයෙන් දැක්වීමට උත්සාහවත් වෙති. සීලය - සමාධිය - ප්‍රඥාව යන අංග අවසාන ප්‍රතිෂ්ඨාව වන නිවන නොවන අතර එක ධර්මතා තුන පූර්වභාග ප්‍රතිපදාවට අයත් වේ. පූර්වභාග ප්‍රතිපදාව යනු ලෝකෝත්තර ප්‍රතිපදාවට බැසගනු ලබන ආරම්භක පියවර වන නිසා එපමණකට මාර්ගය වැඩීමෙන් නිර්වාණය ළඟාකරගත නොහැක්කේය. මෙම කරුණ වඩාත් පුළුල්ව විග්‍රහ කළ යුතුව ඇතත් පසුව කියාදෙන අදහසින් මෙපමණකින් අවසන් කරන්නෙමු.   

පරියෝසානය හෙවත් අවසානය යනු විමුක්තියත්, විමුක්ති ඥාන දර්ශනයත්ය. විමුක්තිය හා විමුක්ති ඥාන දර්ශනය යනු බුදුදහමෙහි වදාළ පරම නිෂ්ඨාව වන නිර්වාණ සම්පත්තියයි. එය මාර්ගාංග පරිපූර්ණ කිරීමෙන් ලබන මාර්ග ඵලයන්ය. සෝතාපන්න ඵලයෙහි පටන් අරහන්ත ඵලය දක්වා යම් මාර්ග ඵලයක් වේ ද එයයි. විමුක්තිය යනු අවිද්‍යාවෙන් හා තෘෂ්ණාවෙන් මිදුණු බවයි.   

විමුක්ති ඥාන දර්ශනය යනු මෙතෙක් මිදුණු කෙලෙසුන් පිළිබඳවත් ඊට අමතරව යම් ක්ලේශයක් මිදීම සඳහා ඉතිරිව ඇත්නම් ඒ ඒ ක්ලේශයන් පිළිබඳව පවත්නා ස්වයං ප්‍රත්‍යවේක්‍ෂා ඥානයත්ය. අපි මේ සඳහා උපමාවක් ගෙන බලමු. සක්කාය දිට්ඨිය - විචිකිච්චා - සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයන් සෝතාපන්න ඵලස්ථ ආර්ය්‍ය උතුමන් විසින් නසනු ලැබෙති.   

යමෙක් සෝතාපන්න ඵලයට පත් වූ විට මෙම සංයෝජනයන්ගෙන් මිදුණු බවට පවත්නා ප්‍රත්‍යවේක්‍ෂා ඥානය විමුක්තිය නම් වේ. මතු මත්තෙහි තවත් සංයෝජන ධර්ම සතක් නැසීම සඳහා ශේෂව ඇති බව දැන ගැනීමත්, දැනටමත් සංයෝජන තුනක් නසන ලද බවටත් පවත්නා අවබෝධය හෙවත් ප්‍රත්‍යවේක්‍ෂා ඥානය විමුක්ති ඥාන දර්ශනය වන බවත් බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලිව දේශනා කොට තිබේ.   

එසේ ධර්මය පිළිබඳව යමෙකුට අනුමාන ඥානයෙන් හෝ ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් දැනගත හැකිවන නිසා තථාගත ශ්‍රී සද්ධර්මයෙහි ස්වාක්ඛාත ගුණය විස්තර කරන තැන්හි එය මෙසේ ප්‍රධාන මාතෘකා සතක් ඔස්සේ විග්‍රහ කොට ඇත. අප විසින් සම්පාදනය කරනු ලබන ධර්ම ගවේෂී ලිපි පෙළින් මේ කරුණු පිළිබඳව ඉදිරියට වඩාත් විස්තර සතිතව ත්‍රිපිටකයෙහි එන කරුණු උපමා වශයෙන් දක්වමින් අවබෝධයක් ලබා දීමට බලාපොරොත්තු වන අතර දහවන ලිපියෙන් මෙතැන් සිට ස්වාක්ඛාත ගුණයෙහි අන්තර්ගත වන අනෙකුත් කරුණු පිළිබඳව විස්තර කියා දෙන්නට ද බලාපොරොත්තු වෙමු.   

මෙම ලිපියෙහි අන්තර්ගත කරුණු කිහිප වරක් කියවා ඉතා පරිස්සමින් අවබෝධකොට ගැනීමට සියලු‍ දෙනාටම පාරමිතා ගුණධර්මයන් මහෝපකාරී වේවා යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

ඇරැව්වල සුධම්ම හිමි
ලංකාදීප