🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

වැලේ එල්ලී නොවැටුණත් ගුවනෙන් වැටුණු ටාසන්

tarzen

ටාර්සන් ගුවන් අනතුරකින් මිය ගිය බවට ලැබුණු ආරංචිය ඔබේත් මගේත් පමණක් නොව මුළු ලෝක ජනගහනයේම හදවත් සසල කරන්නට සමත් වන්නට ඇතැයි කීවත් වරදක් නැති තරම්ය. ඒ තරමටම අපි කැලේ රජා - ටාර්සන්ට ආදරය කරන්නෙමු. මවුපියන් අහිමිව සිටි කිරිසප්පයාගේ සිට අමුඩ කැබැල්ලකින් පමණක් සැරසුණු ටාර්සන් ඔෆ් දි ඒප්ස් හි කඩවසම් පුරුෂයා මෙන්ම අවසන් වශයෙන් 2016 වසරේ දුටු ද ලෙජන්ඩ් ඔෆ් ටාර්සන්හි ටයිකෝට්වලින් සැරසී සීතල කාමරයක උණු-උණු කෝපි කෝප්පයක් බොන නූතන ධනවත් ප්‍රභූවරයකුව සිට ශිෂ්ටාචාරගත මිනිසුන් ප්‍රතික්ෂේප කර නැවත චීටා, ටැන්ටර් වැනි කැලයේ මිතුරන් සොයා ගිය වානර මිනිසා දක්වාම සෑම චිත්‍රපටයකින්ම, ටෙලි නාට්‍යයකින්ම සහ කාටූනයකින් පවා පරම්පරා ගණනාවක් තිස්සේ ආදරය ලැබූ වීරයකු වන්නේ ටාර්සන්ය. එනිසා ටාර්සන්ට මිය යා දිය නොහැකිය. වෙසෙසින්ම ගුවන් අනතුරකින් ටාර්සන් මිය යෑම අපට කිසි සේත් දරාගත නොහැකිය. එහෙත් එය සිදු වී හමාරය. එසේ සිය දිවි රඟ මඬලෙන් සමුගත්තේ ටාර්සන් ලෙස 1997 පමණ කාලයේ අපට සමීප වූ ජෝ ලාරාය.

එසේ වර්ෂය සමඟ සඳහන් කිරීමට හේතුව නිහඬ සිනමා යුගයේ සිට මෑතක් වන තුරු අපට සමීප වූ ටාර්සන්ලා අතරින් ඔහු වෙන් කොට දැක්වීම ඇවැසි වීමය. සැබැවින්ම ඇමෙරිකානු ගත් කතුවර එඩ්ගා රයිස්බරෝස් 1912 වසරේ දි ඕල්-ස්ටෝරි නම් පල්ප සඟරාවකට ලියූ මනඃකල්පිත ටාර්සන්ගේ කතාව 1914 වසරේ මුද්‍රිත ටාර්සන් ඔෆ් දි ඒප්ස් කෘතියෙන් අරඹා නවකතා පොත් දුසිම් දෙකක් ලෙස ඉදිරියට ගිය අතර වෙනත් කතුවරයන් අතින් ද ටාර්සන් ඇසුරු කරගත් නිර්මාණ බිහි වුණි. රයිස්බරෝස්ගේ ටාර්සන් ඔෆ් දි ඒප්ස් ඇසුරින් 1918 සිට 1929 දක්වා නිහඬ වෘත්තාන්ත චිත්‍රපට අටක් අතුළු කොටස් වශයෙන් තැනුණු නිහඬ නිර්මාණද බිහි විය. මුල්ම නිහඬ ටාර්සන් චිත්‍රපටයේ ටාර්සන්ගේ ළමා කාලයට පණ පෙවුයේ පසු කාලීනව සුප්‍රකට ඇමෙරිකානු රංගන ශිල්පියකු වූ ගෝර්ඩ්න් ග්‍රිෆිත්ය. පසුව එල්මෝ ලින්කන්, ඩෙම්සි ටැබ්ලර් මෙන්ම රයිස්බරෝස්ගේ දියණිය විවාහ කරගත් ජේම්ස් පියර්ස් විසින් නිහඬ ටාසන්ට පණ පොවන ලදී. ප්‍රථම ටාර්සන් කථානාද චිත්‍රපටය වූ 'ටාර්සන් ද ටයිගර්' හි ටාර්සන් වූයේ ෆ්‍රෑන්ක් මෙරිල්ය. ටාර්සන් සිනමා පෙළෙ වඩාත් ජනප්‍රිය වන්නට පටන් ගත්තේ ජොනී වේස්මුලර් ටාර්සන්ට පණ පෙවූ සමයේය. ඒ 1932 නිමැවුණු 'ටාර්සන් ද ඒප් මෑන්' සි‌ට 1948 නිමැවුණු 'ටාර්සන් ඇන්ඩ් ද මර්මේඩ්ස්' දක්වාය. ලෙක්ස් බාකර් නම් කඩවසම් ටාසන් 1949 සිට 1953 දක්වා චිත්‍රපට පහක දැකිය හැකි විය. ගෝර්ඩ්න් ස්කොට්ගේ පෙනුමෙන් යුත් ටාර්සන් බිහි වන්නේ නවසිය පනස්පහ හැට කාලය තුළ බිහි වූ කෘති හයක පමණි. එසේම ටාර්සන් රූපවාහිනියට එන්නේ ද ඔහු සමඟිනි. ඩැනී මිලර්, මයික් හෙන්රි, රොන් එලී, මයික් ඔ'කීෆේ, ක්‍රිස්ටෝෆර් ලැම්බට්, ජොක් මැහොනි, කැස්පර් වෑන් ඩීන්, ඇලෙක්සැන්ඩර් ස්කාර්ස්ගාඩ් වැනි සුප්‍රකට නළුවන් රැසක් අතින් පණ පෙවුණු ටාර්සන් චරිතයට 1999 වසරේ වෙනසක් ඇති වූයේ එය සජීවීකරණ කළ (ඇනිමේටඩ්) චරිතයක් ලෙස ටෝනි ගොඩ්වින්ගේ හඬින් ජනප්‍රිය වූ විටය. තව ද ටාර්සන් ඇසුරු කරගත් විවිධ ප්‍රවර්ගවල නිර්මාණ නිෂ්පාදනයට චීනය, ඉන්දියාව, තුර්කිය, පිලිපීනය වැනි රටවල් ද අත ගැසීය. මෙසේ මුද්‍රිත මාධ්‍යයක පළ වූ මනඃකල්පිත චරිතයක් වූ ටාර්සන් ඉතා ඉක්මනින් සිනමාව, රූපවාහිනිය, වේදිකාව,ගුවන්විදුලිය, ද්විමාන හා ත්‍රිමාන කාටූන ලෝකය ආදි සියලු මාධ්‍යයන් ජයගත් මෙන්ම වීර, හාස්‍ය ආදී විවිධ ප්‍රවර්ගයන් සහිත නිර්මාණවලට නිමිති වූ චරිතයක් විය.

ඇමෙරිකානු නළු ජෝ ලාරා වඩාත් ජනප්‍රිය වන්නේ ද ටාර්සන් නිසාය. ඔහු මුල්වරට 'ටාර්සන් ඉන් මෑන්හැටන්' ඒකාංගික ටෙලි චිත්‍රපටයේ රඟපෑවේය. එහි ජේන්ට පණ පෙවුයේ කිම් ක්‍රොස්බිය. එය 1989 අප්‍රේල් මස 15 වැනිදා සීබීඑස් නාළිකාවේ විකාශය වූ පසු ඔහුට යළි ටාර්සන් චරිතයක් ලැබෙන්නේ 1996 වසරේ අගෝස්තු 28 සිට සිට 1997 වසරේ මැයි 25 දක්වා කොටස් 22න් යුත් මාලා ටෙලි නාටකයක් ලෙස නිර්මාණය වුණු 'ටාර්සන්: දි එපික් ඇඩ්වෙන්චර්ස්' වෙනුවෙනි. ටාර්සන් චරිතය අප්‍රිකාව කේන්ද්‍ර කොට ගොඩනැඟුණ ද ටාර්සන් චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය ඒ දර්ශනතලවල රූගත කෙරුණේ ඉතා අඩුවෙනි. ඒ අතරින් දකුණු අප්‍රිකාවේ පිලැන්ස්බර්ග් ජාතික උද්‍යානය අසල මේ ටෙලි වෘත්තාන්තය රූගත කිරීම විශේෂයකි. එහි නිෂ්පාදකවරයා වූයේ ද ජෝ ලාරාමය.

ජෝ ලාරා ක්‍රියාදාම චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී ඇත. ඔහුගේ සිනමාගමනය සිදු වන්නේ 1988 තිරගත වූ 'නයිට් වෝර්ස්' චිත්‍රපටයේ ඇමෙරිකානු සෙබළකු ලෙසිනි. සන්සෙට් හීට්, හොලොග්‍රම් මෑන්, ෆයිනල් ඉක්විනොක්ස්, ආම්ස්ට්‍රෝං, ලීමා: බ්‍රේකිං ද සයිලන්ස්, ඔපරේෂන් ඩෙල්ටා ෆෝර්ස් 4: ඩීප් ෆෝල්ට්, වෙරි මීන් මෑන්, ඩෙත් ගේම් ආදි සිනමා කෘති 18ක පමණ චරිත නිරූපණය කළ ඔහු 2002 වසර වන විට විසි වසරක් සපිරුණු ඔහුගේ රංගන දිවියට සමු දුන්නේ පසල් සංගීතය (ඛ්ධභදබපර ර්භඵඪජ) හා සම්බන්ධ රැකියාවක නිරතවීම සඳහාය. 2009 වසර වන විට ලාරා සංගීතයෙන් නමක් දිනා ගත්තේය. එහෙත් 2018 වසරේ තිරගත වුණු ඉභථථඥප ධට '67 චිත්‍රපටයේ ඔහු සෝප් ඔපෙරා නළුවකුගේ චරිතය නිරූපණය කළේය. ටාර්සන් ඉන් මෑන් හැටන් ඔස්සේ ඇරැඹි ඔහුගේ ටෙලි නාට්‍ය රංගනයද නව සහශ්‍රකය එළැඹෙන තුරුම ටෙලි චිත්‍රපට, මාලා නාටක ආදි නිර්මාණ රැසක් ඔස්සේ දක්නට ලැබිණි.

ආහාර පාලනය කරමින් බර අඩු කිරීම හා දෙවියන්වහන්සේ සමඟ බැඳීම මූලික කරගත් "බර අඩු කිරීමේ වැඩමුළුව" (එඥඪඨඩ ච්ධඹද එධපඬඵඩධන)නම් වූ 1980 පමණ සිට ක්‍රියාත්මක ක්‍රිස්තියානි ආහාර පාලන වැඩසටහනේ ගුරුතුමිය සහ ශේෂ සහෝදරත්වයේ සභාව වැනි අරුතකින් එන රෙම්නන්ට් ෆෙලෝෂිප් චර්ච් (අඥථදචදබ ජ්ඥතතධඹඵඩඪන ඛ්ඩභපජඩ) නම් සංවිධානය ආරම්භ කළ කිතුණු ගත් කතුවරියක, පූජකවරියක මෙන්ම දෙදරු මවක වූ ග්වෙන් ෂැම්බ්ලින් හා ජෝ ලාරා සමඟ 2018 වසරේ විවාහ වන විට ඔහුගේ පෙර සම්බන්ධතාවකින් ලද නටාෂා පව්ලොවිච් දියණිය ද ඔහු සමඟ විය. ටෙනසිහි ‌‌බ්‍රෙන්ට්වුඩ් ප්‍රදේශයේ වාසය කළ මේ අපූරු පවුලේ මව නැතහොත් ග්වේන් ඇතැම් විට ජෝ ලාරාටත් වඩා ජනප්‍රිය චරිතයකැයි විදෙස් පුවත් වාර්තා දෙස බලන විට හැඟේ.

ජෝ ලාරා, ග්වෙන් ෂැම්බ්ලින් ලාරා සහ ඔවුන්ගේ බෑනණුවන් මෙන්ම තවත් විවාහක යුවළ දෙකක් පසුගිය මැයි 29 වැනිදා සෙස්නා 501 නම් වූ සිය පෞද්ගලික සැහැල්ලු ගුවන් යානයේ නැඟී ෆ්ලොරීඩාහි පාම් බීච් අන්තර්ජාතික ගුවන් තොටුපොළ දක්වා යෑමට ගුවන්ගත වූයේ ස්මිර්ණා ගුවන්තොටෙනි. මොවුන් විනෝදයෙන් ගමන ඇරැඹුවද මේ සත් දෙනාගෙන් කිසිවකුට යානය පැදවීමට අවශ්‍ය ප්‍රශස්ත ගුවන් නියමු හැකියාවන් තිබී නැති බව එක්සත් ජනපද ගුවන් නියමු බලපත්‍ර අංශවලින් පෙන්වා දෙයි. ජෝ ලාරාගේ සෞඛ්‍ය වාර්තාව කල් ඉකුත් වූවකි. යානය පැදවීමට එහි සිටි අනෙක් තැනැත්තාට ගුවන් නියමු බලපත්‍රයක් සහ සෞඛ්‍ය වාර්තාවක් තිබුණ ද ඔහුගේ හැකියා මිනුම්වලදී ප්‍රශස්ත මට්ටමක් පෙන්වූ අයකු ලෙස සහතිකය ලැබී නැත. මේ කිසිවක් ගණන් නොගෙන ගමන් ඇරැඹූ ඔවුන්ට ස්මිර්ණා ගුවන් තොටුපොළෙන් අහසට නැඟ යා හැකි වූයේ කෙටි දුරක් පමණි. යානය නැෂ්විල් අසල පර්සි ප්‍රීස්ට් වැවට කඩා වැටිණි. කිමිදුම් කරුවන් යොදා පරීක්ෂණ කළද යානයේ කැබලි සහ මිනිස් කැබලි පමණක් සොයා ගැනීමට හැකි වූ බව මාධ්‍යවලට ලද බලධාරීන්ගේ නිවේදනවල සඳහන් විය. ඒ අතර යානයේ එන්ජිම ඇතුළු වැදගත් අංග කීපයක් ද වෙතැයි ඔවුහු පවසති. මේ වනතුරුත් අදාළ ප්‍රදේශය අනෙකුත් යාත්‍රා ආදියට තහනම් ප්‍රදේශයක් වුවද කාලගුණික හා දේශගුණික හේතු මෙන්ම බොට්ටුවල තදබදයක් ඇති වීම නිසා යානය වැටුණු ස්ථානයට අයත් කොටස් විසිරෙන ප්‍රදේශය පුළුල් වෙමින් පවතින බවද ඔවුන්ගේ ප්‍රකාශයේ සඳහන්ය. කෙසේ වෙතත් මූලික විමර්ශන කටයුතු දින 14කින් පමණ අවසන් වුවත් සම්පූර්ණ විමර්ශනය සඳහා මාස 18-24ක් අතර කාලයක් ගත වනු ඇති බව ඔවුන්ගේ නිගමනයයි. මේ අනතුරට මුහුණ පාන විට 1962 ඔක්තෝබර් මස 2වැනිදා උපන් ජෝ ලාරා සිය 58 වැනි වියේ මධ්‍යය ගත කරමින් සිටි අතර 1955 පෙබරවාරි 18 උපන් ඔහුගේ බිරිය ග්වෙන් ෂැම්බ්ලින් සිය 66 වැනි විය සමරා වැඩි කලක් නොවීය.

ටාර්සන් වැනි නිර්භීත චරිත මවමින් මෙන්ම තවත් ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටවල අපමණ වූ අනතුරුදායක අවස්ථාවන්ට මුහුණ දෙමින් ගෙවුණු ලාරාගේ ජීවිත කාලය තුළ කොවිඩ් වසංගතයටද මුහුණ දුන්නාට සැක නැත. එහෙත් ඔහුට උරුමව තිබුණේ එවන් ඉරණමක් නොවේ. ඔහුට හිමි වූයේ ගුවනේ සිට ජලයට වැටී සිය කඩවසම් සිරුරවත් රසිකයන්ට දැකගත නොහැකි කැබලි බවට පත්වන දෛවයකි. මට සිහි වන්නේ 'වැඩබැරි ටාසන්' චිත්‍රපටයේ ටෙනිසන් කුරේගේ දෙබසකි. "මේ... ටාර්සන් කෙනෙක් වුණාම වැල්වල එල්ලිලා යන්නම ඕනෙද?" ඔහු හාස්‍යයෙන් කී එහි අරුත දෙස අද ජෝ ලාරා නිසා වෙනස් දැක්මකින් යුතුව සිතන්නට අප පොලඹවනු ඇත. ටාර්සන් කෙනෙක් වූ පළියට වැල්වලම එල්ලී යා යුතුදැයි දැන් දැන් සිතේ. වත්මන් ටාර්සන්ගේ ජීවිත කතාවද වෙනස් වී ඇතත්, ඔහු සුඛෝපභෝගී පරිසරයක සිටින බැව් පෙනුණත් අවසානයේ සැම විටම යන්නේ වානරයින් සොයාගෙන ස්වභාවික පරිසරයටය. වැල්වල එල්ලී ගිය තාක් කෙතරම් ඉහළක සිට වැටුණද ටාර්සන්ට හානියක් නොවීය. එහෙත් නවීන තාක්ෂණය සමඟ සෙල්ලම් කළ ටාර්සන් සුළු මොහොතකින් සුනුවිසුණුව ගියේය. ටාර්සන් කතා පෙළ හා ජෝ ලාරාගේ ඉරණම අපට පසක් කරන්නේ කෙතරම් දියුණු තාක්ෂණයක් වුවත් වැරැදි භාවිතයේ භයානක කම මෙන්ම සොබාදහමට ළං වන්නා සොබා දහම විසින් රකින බව නොවේද?

උපුටා ගැනීම සරසවිය