🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඉරිසියාව කියන්නේ පෙර පවකට හැදෙන ලෙඩක්

ඇයව බොහෝ දෙනෙක් දන්නේ රෝස පාට රේන්ජ්රෝවර් එකක් ඇති නිරූපණ ශිල්පිනිය කියලයි. නමින්ම කිව්වොත් ඇය වෘත්තීමය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වෙන ත්‍රිකලා ධරණිය. ශ්‍රී ලාංකීය විශ්ව විවාහක රූ රැජින ලෙස පවා කිරුළු පැළඳූ ඇය මේ වෙනවිට නිරූපණ ශිල්පිනියක් ලෙස සුන්දර ගමනක් යමින්, දැන් ඇය අලුත් වැඩකටද අත ගසන්නට සූදානම්ය. ඉතින් එකී මෙකී නොකී හැමදේම දැනගන්නට ‘පිනිපලස’ අපි ත්‍රිකලාට කතා කළෙමු.

ඉතින් ත්‍රිකලා මේ දවස්වල ජීවිතේ එහෙම කොහොමද?
සුපුරුදු විදිහට මගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවා. කියන්න තරම් ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ.

මුලින්ම ඔබේ පාසල් කාලෙට ගියොත්?
පාසල් කාලේ තමයි මගේ ජීවිතේ සුන්දරම කාලේ. ඒක කවදාවත් අමතක නොවෙන කාලයක්. ඒ කාලේ මං හීන දැක්කේ වෛද්‍ය විද්‍යාලයට යන්න. ඒත් ඒ අවස්ථාව මට මගඇරුණා. හැබැයි ඒ පාර වැහුණට නිරූපණය කියන පාර එතැනින් ඇරුණා.

කාලයෙන් උපරිම වැඩගත්ත තරුණියක් නේද ඔබ?
ඒක ඇත්ත. මං සාමාන්‍ය පෙළ කරලා පොඩියට ටියුෂන් පන්තියක් කළා. ඒ හොයපු පුංචි මුදලෙන් මැහුම් ගෙතුම් පාඨමාලාවකට ගියා. ඊට පස්සේ රූපලාවණ්‍ය ගැන හැදෑරීමක් කළා. ඇඳුම් ඩිසයින් කරන්න ඉගෙනගත්තා. උයන්නත් පුරුදු වුණා. ඒ හැමදේම අස්සේ සංගීත උපාධියකුත් සම්පූර්ණ කළා. උසස් පෙළ විභාගය කරලත් ප්‍රතිඵල එනකල් බලාගෙන හිටියේ නෑ, රසායන විද්‍යාව ටියුෂන් පන්තියක් පටන් ගත්තා. ඒ ලැබෙන මුදලින් කොටසක් ඉතුරු කළා. ඉතුරු කොටසින් පිටරටින් ඇඳුම්, ඔරලෝසු වගේ විසිතුරු බඩු භාණ්ඩ මෙහෙට ගෙන්නගෙන ලංකාවේ කඩවලට දාලා මුදල් හෙව්වා. ඒ විදිහට කාලයෙන් නම් උපරිම වැඩගත්තා.

ඔය කාලේ ත්‍රිකලාගේ ජීවිතේ බිංදුවටම වැටුණු තැන් තිබුණද?
වෛද්‍ය විද්‍යාලයට යන්න බැරිවුණාම මං මානසිකව බිංදුවටම වැටුණා. ඒ තමයි ත්‍රිකලා ධරණි ජීවිතේ වැටුණු පළවැනි සහ අන්තිම දවස. එතැනයි මගේ හැරවුම් ලක්ෂය තිබුණේ. ඒ නිසා ඒ වැටිල්ල මං මටම පෙරළා ආශිර්වාදයක් කරගත්තා.

කාලයක් ඔබ ගුවන් යානාවටත් පෙම් බැන්දා නේද?
ඔව්. මං ශ්‍රී ලංකා ගුවන් සමාගමට එකතුවෙලා කෙටි කාලයක් එහි සේවය කළා. ඒත් විවාහයෙන් පස්සේ මං එතැනින් ඉවත් වුණා. මොකද මං විවාහ වුණේ ගුවන් නියමුවෙක් වන ඉනෝක පෙරේරා එක්ක. ඉතින් දෙන්නම එකම ක්ෂේත්‍රයේ නිසයි එහෙම තීරණයක් ගත්තේ.

එතකොට ත්‍රිකලාගේ නිරූපණ ජීවිතයේ මුල කොතැනද?
විවාහයෙන් පස්සේ මං ජීවත්වුණේ ඩුබායිවල. ඔය අතරේ ඒ රටේ ‘Mom and Duagther’ කියලා ෆැෂන් ෂෝ එකක් තිබුණා. මට එතකොට දුව ලැබිලා හිටියේ. මං නිකමට ඒ තරගයට ඉදිරිපත් වෙලා ඒක මං ජයග්‍රහණය කළා. නිරූපණයේ මුල එතැනයි.

ඔබ මෙරටින් බිහිවූ රූ රැජිනක්. ඒ අතීතය මතක් කළොත්?
මං 2017 වසරේ ‘ශ්‍රී ලාංකීය විශ්ව විවාහක රූ රැජින’ වුණා. පස්සේ දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු එහි ලෝක තරගාවලියට ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණා. එහිදී රටවල් අනූවක තරගකාරියන් පරදා මං Mrs Universe Honestly කිරුළ දිනාගත්තා.

ජාත්‍යන්තරයත් එක්ක බැලුවම ලංකාව ඇතුළේ නිරූපණ ක්ෂේත්‍රය ගැන තියෙන්නේ එච්චර හොඳ චිත්‍රයක් නම් නෙවෙයි නේද?
ජාත්‍යන්තර නිරූපණ ක්ෂේත්‍රයයි, ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයයි ගත්තම හරියට අහසයි පොළොවයි වගේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ මොඩ්ලින් මට තේරුම් ගන්න බෑ. අපේ රටේ නිරූපණ ක්ෂේත්‍රයයි රංගන ක්ෂේත්‍රයයි පටලන් ඉන්නේ. ඒ නිසා නිරූපණ ශිල්පිනිය කවුද, නිළිය කවුද කියලා වෙන් කරලා හොයාගන්න බෑ. ඒත් ජාත්‍යන්තරය තුළ වෙන්කරලා හඳුනගන්න පුළුවන්. මොකද නිරූපණ ශිල්පිනිය කරන්නේ ඒ වෘත්තිය විතරයි, රංගන ශිල්පිනිය කරන්නේ ඒ වෘත්තිය විතරයි.

ෆොටෝ ෂූට් එකක් කරපු පලියට තමන් නිරූපණ ශිල්පිනියක් කියලයි සමහරු හිතන්නේ. එහෙම නේද?
කෙනෙක් හිතනවා නම් ඇඟ පොඩ්ඩක් පේන්න ඇඳුමක් ඇඳලා ෆොටෝ ෂූට් එකක් කරපු පලියට තමන් නිරූපණ ශිල්පිනියක් කියලා ඒක විහිළුවක්. නිරූපණ ශිල්පිනියකට තමන් නිරූපණ ශිල්පිනියක් කියලා අනන්‍යතාවක් තියෙන්න ඕනේ.

බැලූ බැල්මට ඔබ ගෙවන්නේ සුපිරි ජීවිතයක්. ඔබ ගෙවන ජීවිතේට ඊර්ෂ්‍යා කරන මිනිස්සු නැද්ද?
සමහර විට ඇති. ඒත් ඊර්ෂ්‍යාව කියන්නේ පෙර පවකට සමහර මිනිස්සුන්ට හැදෙන සුව කරන්න බැරි නිධන්ගත රෝගයක්. රෝග තත්ත්වය පාලනය කරගන්න බැරිවුණොත් ඒ මිනිස්සුන්ට කවදාවත් සතුටින් ඉන්න බෑ. මට ඊර්ෂ්‍යා කියලා එයාලට ලැබෙන දෙයකුත් නෑ, මට නැතිවෙන දෙයකුත් නෑ.

බොහෝ දෙනා ඔබ ගැන හොයන්න ගත්තේ ඔබ මිලට ගත් සුපිරි රේන්ජ්රෝවර් රථය නිසා නේද?
ඇත්තටම ඔව්. ඒත් මං එක රැයින් රේන්ජ්රෝවර් එකක් ගත්තේ නෑ. මට හැම වයසකම ඉලක්කයක් තිබුණා. රේන්ජ්රෝවර් එක කියන්නෙත් මට තිබුණු ඉලක්කයක්. මං නිරූපණයට ආපු මුල් කාලේ දැක්කා පිටරට නිරූපණ ශිල්පිනියන්ට ලස්සන ලස්සන කාර් තියෙනවා. මටත් හිතුණා කාර් එකක් ගන්න. ඔය කාලේ තාත්තා ගෙනාපු ඉංග්‍රීසි පත්තරේක මං දැක්කා රෝස පාට රේන්ජ්රෝවර් කාර් එක්ක පින්තූරයක්. ඒ වෙලාවෙම මං ඒක කපලා බිත්තියේ මට පේන තැනකින් ඇලෙව්වා. වසර ගාණක්ම ඒ හීනය දැක්කා. අන්තිමේ ගොඩාක් මහන්සි වෙලා ඒ හීනය හැබෑ කරගත්තා.

දැන් ලංකාවේ මිනිස්සු ඔබව දන්නේ රෝස පාට රේන්ජ්රෝවර් එකේ යන මොඩ්ල් කිව්වම. එහෙම නේද?
ඔව්, ලංකාවේ මිනිස්සු මාව දන්නේ රෝස පාට රේන්ජ්රෝවර් එකේ යන මොඩ්ල් කිව්වම. හැබැයි ඒ හරහා ගොඩාක් අය දකින්නේ මගේ ජීවිතේ Highlights විතරයි. මගේ Behind the Scene ටික දන්නේ අදටත් ටික දෙනයි.

නිරූපණ ශිල්පිනියක් වෙන ඔබ හිටපු ගමන් ගායිකාවක් වෙන්නේ ඇයි?
ඒකත් මගේ එක ආසාවක්. මීට ටික කාලෙකට කලින් රිලීස් කරපු ‘පාට ගෑ හීනය’ කියන්නේ මගේ මුල්ම ගීතය. ඒක හිතේ හිර කරන් හිටපු ගීතයක්. ඒ ගීතයේ තියෙන්නේ මගේ ජීවිත කතාව. මං කට්ට කාලා මගේ හීනවලට ගිය හැටියි කියැවෙන්නේ. කිසිම ප්‍රොමෝට් කිරීමක් නැතුව ගීතය දවසින් නැරඹුම් වාර ලක්ෂයක් පහුකළා. රූප රචනාවට නර්තන කණ්ඩායම ආවේ ජර්මනියෙන්. හෙලිකොප්ටර්, බෝට්ටු පවා ඒකට භාවිත කළා. ඒක අත් අල්ලන් මල් ගස් වටේ දුවන රූප රචනාවක් නෙවෙයි. ඒකට ලොකු මුදලක් යට කළා.

දැන් ඔබ අලුත් වැඩකට සූදානම් කියලත් දැනගන්න ලැබුණා?
මං නිරූපණ ශිල්පිනියක්. ඒත් මේ වෙනකොට මං නිරූපණ උපදේශිකාවක් විදිහටත් ළමයින්ගේ හීනවලට යන්න පාර කියනවා. ළඟදීම නිරූපණ පාසලක් ආරම්භ කරන්න හීනයක් තියෙනවා.

ත්‍රිකලා විවිධ ආදායම් මාර්ගවලට යොමුවෙන්නේ ඇයි?
මනුස්සයෙක් වුණාම ජීවිතේ එකම දෙයකට කොටු නොවී විෂය ක්ෂේත්‍ර කීපයක දැනුමක් ලබාගන්න ඕනේ. මං මේ කියන්නේ පොතපතේ දැනුම ගැන විතරක්ම නෙවෙයි. මං එහෙම දැනුමක් ලබාගෙන තියෙනවා. එතකොට කවදාවත් ජීවිතේ ෆේල් වෙන්නේ නෑ.

ත්‍රිකලා ධරණි ආපු ගමන වෙනත් තරුණියකටත් එන්න පුළුවන් කියලා හිතනවද?
මෙහෙම හිතන්නකෝ. පතලක කැණීමක් කරන කෙනෙක්ට එකපාරම ඉල්ලමක් ලැබෙනවද නෑනේ. ඒක නිසා එයා නොපෙනෙන මැණිකක් වෙනුවෙන් දිවා රෑ කැණීම් කරනවා. ඉතින් අන්න ඒ වගේ උත්සාහය අත් නොහැර යම්කිසි තරුණියක් ඉවසීමෙන් ගමනාන්තයට ගියොත් ත්‍රිකලා ධරණී ආපු ගමනට එහා ගමනක් වුණත් එයාට එන්න පුළුවන්.

රුවන් එස්. සෙනවිරත්න
උපුටා ගැනීම අරුණ