🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

හයිබ්‍රිඩ් විදුලි මෝටර් රථ හදා රට ගොඩ දාන්න ඉදිරියට එන පුංචි හපනා

ලොව පුරා තෙල් මිල ඉහළ යෑමත් සමඟ බොහෝ රටවල් විදත් නැත්නම් ඉලෙක්ට්‍රික් වාහන සඳහා නැඹුරු වීමට පටන් ගෙන තිබේ. ලංකාවේ ද 2022 වර්ෂයේ ඇති වූ ඉන්ධන අර්බුදයත් සමඟ බොහෝදෙනෙක් ඉලෙක්ට්‍රික් වාහන පිළිබඳ උනන්දු වීමට පටන් ගත්හ.

මේ වන විට රජය ද ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමට ප්‍රමුඛතාව පළ කර ඇති අතර, ඒ ඉහළ යන ඉන්ධන අර්බුදයට පිළියමක් සේම එය මෙරට ආර්ථික අර්බුදයට ද විශාල වශයෙන් බලපෑම් කරමින් ඇති තත්ත්වයක් තුළය. මේ කියන්නට යන්නේ එකී අර්බුදයට මුහුණ දීමට හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් වාහන නිපදවීමට වෙර දරන පුංචි හපනකු පිළිබඳවය.   

වෘත්තියෙන් සූපවේදියකු වූ බුලත්ගමගේ පියසේන සහ පී. ඒ. ඩී. විජේසුන්දර දෙපළට දාව කොළඹ කාසල් රෝහලේදී බුලත්ගමගේ පසිඳු ලක්ප්‍රිය උපත ලබන්නේ 2006 අගෝස්තු මස 26 දින පවුලේ කුලුඳුල් දරුවා ලෙසය. පසිඳු පෙර පාසල් වියේදී මවගේ මෑණියන් නැත්නම් මිත්තණිය රෝගාතුර වූයෙන් බටුවන්දර ඔවුන් වාසය කළ නි‌ෙවස අත්හැර, 2011 වර්ෂයේ ඇය විසූ රත්නපුර මාරපන පිහිට නි‌ෙවසේ පදිංචියට යන්නේය. රත්නපුර මාරපන ප්‍රදේශයට පදිංචිය සඳහා පැමිණිමෙන් අනතුරුව පසිඳු පෙර පාසල් අධ්‍යාපනය නිමා කර රත්නපුර ශාන්ත ලූකස් විද්‍යාලයට ඇතුළත් වන්නේය. එම පාසලේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබූ පසිඳු සී සම්මාන 09ක් සහිතව සාමාන්‍ය පෙළ සමත් විය.

කුඩා අවධියේ සිටම තමන් අතට ලැබෙන ඕනෑම සෙල්ලම් බඩුවක් කඩා බිඳ තමන්ට අවශ්‍ය කරන ආකාරයේ නව නිර්මාණයක් කිරීමට පසිඳු උත්සාහ ගත්තේය. පස්වන වසරේදී සිය ප්‍රථම නිර්මාණය ලෙස පසිඳු නිර්මාණය කරන්නේ රූපවාහිනී යන්ත්‍රයකි. එහිදී කොළවල රූප ඇඳ ඒවා විනිවිද පෙනෙන ලෙස කපා ඒවා චලනය වන ලෙස පෙනෙන්ට සලස්වා තිබුණි.

මෙම උනන්දුව නිසාම පාසලේ නව නිපැයුම් ඒකකය පසිඳුගේ වඩාත්ම සිත්ගන්නා ස්ථානය බවට පත්ව තිබුණි. ඔහු ඒ වෙත ගොස් විවිධ අත්හදා බැලීම් කිරීමට උත්සාහ ගත්තේය. නව නිපැයුම් මෙන්ම තාක්ෂණය පිළිබඳ තිබූ දැඩි උනන්දුව නිසා වයස අවුරුදු 13 පමණ වන විට විදුලි උපකරණ ගලවා නැවත සවි කිරීමට හා කැඩුණු විදුලි උපකරණ පිළිසකර කිරීමට හේ මහත් උනන්දුවක් දැක්වීය. මෙම උනන්දුව නිසාම විදුලි ජනක යන්ත්‍ර පිළිබඳ දැනුම ක්‍රමක්‍රමයෙන් වර්ධනය. වයස අවුරුදු 15,16 පමණ වන විට අක්‍රීය වූ විදත් උපකරණ ගලවා නැවත යථා පරිදි ක්‍රියාකරන ආකාරයට සකස් කීරීමට ඔහුට හැකි විය. මේ සඳහා පසිඳුගේ මවගෙන් ලැබුණු සහය ද අගේ කළ යුතුය. පිටකොටුවේ විදීවල විකිණීමට තිබෙන විදුලි උපකරණවල කොටස් ඇය පසිඳු වෙත ගෙනැවිත් දුන්නේ තම පුතුගේ හැකියාවන් ඔප්නංවා ගැනීමට ඒවා උපකාර වෙතැයි යන දැඩි විශ්වාසයකිනි.

ඒ පිළිබඳ පසිඳු පවසන්නේ මෙවන් අදහසකි.

“මගේ අම්මා මට දුන් සහයෝගය අමිලයි. ඇයට මා කරන කටයුතු පිළිබඳ දැනුමක් නොමැති වුවත් ඇය මා දිරිගැන්වූවා මිසක කිසි දිනක ඒ කටයුතු සඳහා සීමා පැනවූයේ නැහැ. මට මගේ ගමන යන්න අම්මා හැකි අයුරින් උදව් උපකාර කළා. සාමාන්‍යයෙන් මගේ වයසේ සිටින ළමයින්ට අධ්‍යාපනික කටයුතුවලම නිරත වෙන්න තමයි බොහෝ මවුපියන් උනන්දු කරන්නේ. එහිදී උපතින් ගේන බොහෝ දක්ෂතා ඔවුන්ගෙන් වියැකී යනවා. නමුත් මගේ අම්මා මට කිසිම බලපෑමක් කළේ නැහැ. ඒ නිසා තමයි මං අද මේ තැන ඉන්නේ.

පාසලේ ඉගෙන ගන්නා කාලයේදී පාසල මඟින් සංවිධාන කරන ප්‍රදර්ශන සඳහා පසිඳු විවිධ නිර්මාණ ඉදිරිපත් කිරීමට පෙලඹී සිටියේය. ඒවා ඉතාම අගේ කළ ‘ජානකී’ නම් පන්ති භාර ගුරුතුමිය පසිඳුව ප්‍රථම වතාවට නව නිර්මාණ තරගයක් සඳහා ඉදිරිපත් කළාය. එයින් ජයග්‍රහණය කිරීමට නොහැකි වුව ද ඉන් ලැබූ දිරිය හා පන්නරය පසිඳු තුළ ආත්ම විශ්වාසයක් ඇති කර තිබුණි. අනතුරුව 2018 වසරේ ඔහු 6 වසරේ ඉගෙනුම ලබමින් සිටියදී ඉදිරිපත් වූ සමස්ත ලංකා පාසල් නව නිපැයුම් තරගයකින් තෙවන ස්ථානය දිනා ගත්තේය. එම නිර්මාණය කුමක් දැයි අප නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පසිඳු පවසා සිටියේ ,

“මං මේ තරගයට ඉදිරිපත් කළේ ‘කාලගුණ පරීක්ෂකයා’ නැමැති පරිගණක උපාංගයක්. මේ උපාංගය මඟින් සුළඟ; සුළඟේ වේගය; වර්ෂාපතනය; වර්ෂාපතනය මිලිමීටර් කීයද; සුළං හමන දිසාව මොකක් ද පරිගණකයක් ආශ්‍රයෙන් දැනගන්න පුළුවන්.”

ඉන් අනතුරුව සහසක් නිමැවුම් තරගයකට ඉදිරිපත් වූ පසිඳු ඒ සඳහා ඉදිරිපත් කර තිබුණේ ආරක්ෂිත කුඩයකි. සාමාන්‍යයෙන් කුඩයක් අවැසි විට එය අතේ ගෙනයෑම සිරිතකි. නමුත් මෙම කුඩය හිසේ පැලඳිය හැකි කුඩයකි. එය පැලඳ වැසි දිනක සවස් කාලයේ ගමන් කරන්නේ නම් විදුලි බුබුළු දැල්වේ. මීළඟට හේ නිර්මාණය කරන්නේ ගොවිතැන සඳහා යොදා ගන්නා යන්ත්‍රයකි. පසිඳු ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කරයි. “මං ෆාම් ක්ලීනින් මැෂින් එකක් නිර්මාණය කළා. එමඟින් වගාවන් එළිපෙහෙළි කරන්න, පස් පෙරළන්න, පැළ සිටුවන්න, පැළවලට වතුර දාන්න මේ සෑම දෙයක්ම කළ හැකියි. මේ ආකාරයට නිර්මාණ 10-11 පමණ මම නිර්මාණය කළා.” හේ මෙවැනි නිර්මාණ ඉදිරිපත් කරමින් සමස්ත ලංකා දෙවන ස්ථාන, පළාත් ප්‍රථම ස්ථාන මෙන්ම තවත් තරග රාශියකින් ජයග්‍රහණ හිමි කරගෙන තිබුණි.

මේ වන විට පසිඳු නව නිර්මාණ 15කට ආසන්න සංඛ්‍යාවක් විවිධ තරගවලට ඉදිරිපත් කර තිබුණ ද ඒවා වඩා තාක්ෂණයෙන් උසස් නිර්මාණ ලෙස ඉදිරිපත් කිරීමට ඔහුට නොහැකි වූයේ ඊට අවශ්‍ය උපාංග මිල දී ගැනීමට තරම් ආර්ථික මට්ටමක් ඔහුට නොවූ නිසාය. මෙනිසා සීමිත අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිත කරමින් තම නිර්මාණ සිදු කිරීමට හේ කටයුතු කළේය. එක් නිර්මාණයකට භාවිත කළ අමුද්‍රව්‍ය එම නිර්මාණය කිසියම් තරගයකට හෝ ප්‍රදර්ශනයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත එම නිර්මාණය කොටස් කර වෙනත් නිර්මාණයක් සඳහා භාවිත කිරීමට ඔහුට සිදු වූ නිසා මුල් නිර්මාණවල ආකෘති පවා පසිඳුට අහිමි විය.

තරිඳු මේ ගමන ආවේ බොහෝ ආර්ථික අපහසුතා මධ්‍යයේය. ඒ සූපවේදියකු ලෙස සේවය කළ තම පියා රිය අනතුරකින් පාදයේ අස්ථි බිඳීමකට ලක්ව එක්තැන් වීම නිසාය. පසුව ක්‍රමයෙන් එය සුව අතට හැරුණ ද පෙර සේ ඔහුට රැකියාවෙහි නිරත වීමට නොහැකි විය. ඒ වන විට පසිඳුගේ මව ද රැකියාවක නියුතු වී සිටියේ නැත. ඇය ඇයට හිමිව තිබූ කුඩා තේ වගාවකින් ලැබුණ සුළු ආදායමෙන් තරිඳුගේ හා නිවෙසේ වියපැහැදම් සපුරා ගත්තාය.

පසිඳු හොඳ කථිකයෙකි. ඔහු කථික තරග ගණනාවකින් ජයග්‍රහණ හිමි කරගෙන ඇත. ඒ වගේම ඔහු හොඳ පරිගණක සංගීත නිර්මාණකරුවෙකි. ඒවායින්ද ඔහු ජයග්‍රහණ හිමි කරගෙන තිබේ. 2019 කොවිඩ් සමයේ පසිඳු ඩ්‍රොන් ඇම්බියුලන්ස් එකක් ද ඩිසයින් කර තිබුණි. නමුත් ඒ නිර්මාණ ජය ගන්නට ආර්ථිකය හරස් විය.

2022 රටේ අර්බුදකාරී වාතාවරණය උත්සන්න වීමත් සමඟ ඉන්ධන නොමැතිව ධාවනය කළ හැකි වාහනයක් නිර්මාණය කළ යුතු යැයි යන අදහස පසිඳුගේ සිත තුළ පිළිසිඳ ගත්තේය. ඒ පිළිබඳ හේ පැවසූයේ මෙවැන්නකි. “ පොඩි කාලේ ඉඳන් කාර් එකක් හදන්න මට ආශාවක් තිබුණා. නමුත් විදුලි මෝටර් රථයක් හදන්න නිමිත්ත මට ඇති වුණේ රටේ මතු වුණ තෙල් ප්‍රශ්නයට පිළියමක් විදිහටයි.

ගොඩක් අයට තමන්ගෙ වාහනයට අවශ්‍ය ඉන්ධන ටික නැතිව පාරවල්වල පෝලිම් ඇති වුණා. මේ සඳහා සාර්ථක විසඳුමක් දෙන්නයි මට ඕන වුණේ. මං මගේ ඥාති සහෝදරයකුගේ නිවෙසකට ගිහින් අන්තර්ජාලය ඔස්සේ විදුලි මෝටර් රථ ගැන අධ්‍යයනය කළා. එහිදී මං දැක්කා ටෙස්ලා සමාගම බැටරි චාර්ජ් කරන්න ඒ සඳහා වෙනම ස්ථාන හදල තියෙනවා. නමුත් අපේ රටේ මේ විදිහට චාර්ජින් සෙන්ටර් අරින්න ලොකු වියදමක් දරන්න ඕන. පහසුවෙන් චාර්ජ් කරගන්න බැරි නම් අපි කාර් එකක් ඩිසයින් කළාට වැඩක් නැහැ. ඒ නිසා ඕනම කෙනකුට නි‌ෙවසේදීම පහසුවෙන් චාර්ජ් කරගෙන යන්න පුළුවන් වාහනයක් හදන්න මට ඕන වුණා. සාමාන්‍යයෙන් වාහනයේ බැටරියක් චාර්ජ් කළාට බැටරිය බහිනවනේ. බහින බහන සැරේට චාර්ජ් කරන්න ඕන වෙන නිසා ඒ සඳහා අවශ්‍ය විදුලිය කාර් එක ඇතුළෙන්ම ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතුණා. ඒ අනුව තමයි හයිබ්‍රිඩ් සිස්ටම් එක ගැන අදහස මගේ ඔළුවට ආවේ. ඊට පස්සේ මං ඒ ගැන හොයන්න පටන් ගත්තා. එහිදී වැකුම් වලින් විදුලිය උත්පාදනය කරලා බැටරිය චාර්ජ් කරන සිස්ටම් එක, සෝලා පැනල්, වගේ සිස්ටම් කිහිපයක් මං දැක්කා. මං මුලින්ම සෝලාපැනල් සිස්ටම් එකකට ගියා. නමුත් සෝලා පැනල් එකකින් චාර්ජ් කරන්න පුළුවන් ඉතාම සුළු ප්‍රතිශතයක් විතරයි. ඒක වාහනයක් ක්‍රියාත්මක කරන්නවත් ප්‍රමාණවත් නැහැ. පස්සේ වැකුම් සිස්ටම් එක යොදා ගෙන බැලුවා. ඊට පස්සේ වැකුම්වලින් ගන්න පුළුවන් විදුලියයි සෝලාවලින් ගන්න පුළුවන් විදුලියයි ඊට අමතරව ගන්න පුළුවන් ක්‍රමයකුයි කල්පනා කරල තමයි මේ එන්ජිම ඩිසයින් කළේ.

ඇක්සලේටරය මඟින් එන්ජිම යොදා ගෙන රෝද කරකවද්දි ඊට අමතරව තව මොනවා හරි කරකවන්න ගියොත් බලයට හානි වෙනවා. ඒක මඟ හැරීම සඳහා වෙනම වීල් බොක්ස් එකක් නිර්මාණය කළා. එන්ජින් එක වැඩිහරියක් ක්‍රියාත්මක වෙන්නේ කොයිල් ආධාරයෙන්. මෙහිදි එන්ජිමට එන කොයිල් තුනම මම ඩිසයින් කළේ ඉන් වෙස්ට් විදුලිය සියයට 10ක් 15ක් පමණ ආපහු ගන්න පුළුවන් ආකාරයෙන්. ඒ විදියට සියයට 30 පමණ කළමනාකරණය කරගන්න පුළුවන්. මම මේක හදන්න සිව් වතාවක් උත්සාහ කළා. එක එක ගැටලු නිසා ඒ හතරපාරම වැඩේ ආපස්සට ගියා. ඒකට හේතුව තමයි, මීට අවශ්‍ය උපාංග හොයා ගන්න පුළුවන් ස්ථානයක් නොමැති වීම. මේ තියෙන ඔක්කොම ගරාජ්වල පරණ බඩු. සමහර දැති රෝද පවා ගාල අවශ්‍ය විදිහට සකස් කරගෙන තමයි මේ එන්ජිම නිර්මාණය කළේ. මුලින්ම මං මේ ආකෘතිය හැදුවේ ලීවලින්. ලීවලින් හැදුවට ඒකට බරක් දරා ගන්න අමාරුයි. දෙවැනි වතාවේ යකඩ සහ ඇලුමිනියම් තහඩු යොදා ගෙන හැදුවා. ඒත් හරි ගියේ නැහැ. අවසානේ තමයි මේ විදියට මේ කාර් එක නිර්මාණය කරන්න ලැබුණේ. මට ඕන මං ඉපදුණු රටට සේවය කරන්න. මේ නිර්මාණය වුණත් මගේ ඔළුවට අවේ ඒ හැඟීම නිසයි.”

මෙම එන්ජිමේ ඇති විශේෂත්වය වන්නේ දැනට ලොව නිෂ්පාදනය වන විදුලි මෝටර් රථ මෙන් විදුලිය නාස්ති නොවීමය. එසේම මෙහි විදුලිය වැය වීම අඩු නිසා නිවෙසේ විදුලිය මඟින් වුව චාර්ජ් කර ගැනීමට හැකිය. මෙවැනි විදත් මෝටර් රථ නිෂ්පාදනය කිරීම මඟින් ලැබෙන ප්‍රතිලාභය වන්නේ මෝටර් රථ හා ඊට අවශ්‍ය අමතර කොටස් ගෙන්වීමට යන විශාල විදේශ විනිමයක් සහ ඉන්ධන ගෙන්වීමට යන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවම මට්ටමකට ගෙන ඒමට ඇති හැකියාවය. පසිඳුගේ අදහස වන්නේ මෙම මෝටර් රථ මෙරට ඕනෑම අයකුට මිල දී ගත හැකි මිලකට නිර්මාණය කිරීමය. එසේම මෙය ඒඅයි තාක්ෂණය යොදා ගනිමින් තව තවත් දියුණු කිරීමටය. ඒ සඳහා ඔහුට ආයෝජනය කළ හැකි අයකු අවශ්‍ය වේ. මේ වන විට තම ආර්ථික අභියෝගය ජය ගැනීමට අධ්‍යාපනය ලබන අතර තුර පසිඳු පතල් කර්මාන්තයට ද එක්ව සිටියි. තමන්ට අවශ්‍ය දැනුම ඔපමට්ටම් කර ගැනීම සඳහා තාක්ෂණික අංශයෙන් උසස් පෙළ හදාරා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට ඇතුළත් වීමේ අරමුණින් හේ පසු වේ.

මේ නිර්මාණය නිසා අද වන විට පසිඳුට විවිධ පුද්ගලයන්ගෙන් වෙනත් නිෂ්පාදන සඳහා ඇණැවුම් ලැබෙමින් තිබේ. ඒ වගාවන්වලට අවශ්‍ය කරන පැළ පැකට් කිරීමේ යන්ත්‍රයක් සහ බෝතල් මූඩි සවි කිරීමේ යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීම සඳහාය.


මෙවැනි දරුවන්ට අත හිත දීමට කිසියම් ක්‍රමවේදයක් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින්ම නිර්මාණය වේ නම් එය මහත් ප්‍රතිඵලදායකය.

රසික කොටුදුරගේ