🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මාව ෆෝන් එකට පාවිච්චි වෙනවට මම කැමති නෑ

කැන් යූ හියර් මී... පීතෘ, ඇහිපිල්ලමක් යට, දෙයියන්ගේ රටේ වැනි නිර්මාණ එක්ක රංගනයෙන් ජනප්‍රිය වූ ගෙවීන් අභිෂේක් දැන් ප්‍රේක්ෂකයන් ගේ හිතේ ඉන්න තරුවක්. ඔහු චින්තක කුලතුංග ගේ ආදරණීය පුතණුවන්. පීතෘ වෙනුවෙන් සම්මානයක් හිමි වුණු ඔහු ගැනයි මේ කතා බහ...

ගෙවීන් අභිෂේක් කියන්නේ කාගේ කවුද කියලා දැන් බොහෝ දෙනෙක් දන්නවා, ඒ නිසා බොහෝ දෙනෙක් හිතනවා ඇති ඔබේ පියා නිසා ඔබ රංගනයට අවතීර්ණ වෙන්න ඇති කියලා?

තාත්තා රංගන ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයෙක්. ඒත් කවදාවත් මාවවත් මගේ මල්ලිලා දෙන්නා හෝ නංගිව ක්ෂේත්‍රයට ගේන්න ඕන කියලා හිතලා නැහැ. මම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ඉගෙන ගත්තේ. විෂයක් හැටියට රංගනය ගැන ඉගෙන ගත්තා. සමන්ත පෙරේරා මහත්මයා ළඟ වොයිස් ට්‍රේනිං ගියා. මම ආසාවෙන් හිටියේ වේදිකා නාට්‍යවල රගපාන්න හා ප්‍රසංග වේදිකාවේ ප්‍රාසාංගික ගායකයෙක් වෙන්න. ඒත් තාත්තා ගෙන් උදව් ලැබුණෙ නැහැ. ප්‍රවිෂ්ටයක් ගන්න. පාසලට ආවා කුමාර ලියනගේ මහත්මයා ළමා නාට්‍යකට ළමයින් ටිකක් තෝරා ගන්න. පාසලෙන් මාවත් ඉදිරිපත් කරා සම්මුඛ පරික්ෂණයට. එතනින් තේරිලා තමයි මම සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලේ රංගනයට ආවේ. 2012 අවුරුද්දේ ඉදලා 2024 වෙනකල් මම රඟපානවා. ඒත් තෝරා ගත් නාට්‍ය හත අටක විතරයි රඟපාලා තියෙන්නේ.

චින්තක කුලතුංග කියන්නේ පුංචි තිරය රංගනයෙන් ආක්‍රමණය කළ චරිතයක් , කලාවේදී ඔබට තැනක් හැදෙන්න ඔහුගේ අනන්‍යතාවය භාවිත කළේ නැහැ කියලා ද කියන්නේ?

කොහෙත්ම නැහැ. ඒකනේ තාත්තා නාට්‍ය නිෂ්පාදනය කරලත් මට අවස්ථාවක් නොදුන්නේ. තාත්තගේ නම කියලා වැඩ ගත්තෙත් නැහැ, වැඩක් ලැබිලත් නැහැ. තාත්තා නිතරම කිව්වේ ඔයා වැඩක් කරන්න පුළුවන් කෙනෙක් කියලා ඔප්පු වුණු දවසට අපි එකට වැඩ කරමු කියලා විතරයි. මගේ නිර්මාණ එයා බලනවා. හැමදාම අඩුපාඩුවක් කියනවා. මම ඒවා හදාගෙන රඟපානවා. ඒ වගේම ජනාධිපතිගේ පුතා වුණත් ඕනෑම දේකට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන් ඒත් දක්ෂතා නැත්තම් රැදෙන්න බැහැ. ඒක තාත්තත් කියනවා. දැන් මම සම්මානයක් ගත්ත නිසා ආසාවෙන් ඉන්නවා තාත්තා අලුතෙන් කරන්න ඉන්න චිත්‍රපටයේ චරිතයක් දෙයි කියලා.

ඔබත් පියාත් යාළුවෝ වගේ ළඟින්ම ආශ්‍රය කරන දෙන්නෙක් කියන්නේ ඇත්ත ද?

තාත්තා එක්ක කොහේ ගියත් එයා මාව ඒ අයට විහිළුට හඳුන්වලා දෙන්නේ මේ මගේ මල්ලි කියලා. තාත්තා එහෙම කියද්දි විශ්වාස කරපු අය හිටියා. ඇත්තටම අපි දෙන්නා යාළුවෝ වගේ තමයි. චින්තක කුලතුංග කියන නළුවාට මේ තරම් ලොකු ළමයෙක් ඉන්නවා කියලා බොහෝ දෙනෙක් දැන ගත්තේ මෑතකදී. මගේ හැම ප්‍රශ්නයකදි මාව වැටෙන්න නොදි හොඳ නරක කියා දීලා යාළුවෙක් වගේ ළඟින්ම ඉන්නවා. මම රංගනයට ඇවිත් ලොකු කාලයක් වුණත් ලැබුණු හැම චරිතයක්ම භාර නොගෙන තෝරා ගත් නිර්මාණ කරන්න තාත්තා තමයි ගයිඩ් කරන්නේ.

අවුරුදු 12කට පස්සෙ තමයි ගෙවීන් සමාජගත වෙන්නේ?

ඔව්. ලංකාවේ ඉන්න දක්ෂ හා ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් වන ආනන්ද අබේනායක මහතාගේ නිර්මාණයක් වූ පිටපත් රචක නාමල් ජයසිංහ මහතාගේ අතින් ලියැවුණු පිතෘ නාට්‍යයේ ශානකගේ චරිතය එක්ක තමයි බොහෝ දෙනෙක් මම ගැන කතා කරන්න පටන් ගත්තෙ. උන්මාදනි, මේක තමයි ජීවිතේ නාට්‍ය නිසාත් ජනතාව අතරට ගියා කියන්න පුළුවන්.

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන ප්‍රතිචාරවලට ගෙවීන් ප්‍රතිඋත්තර දෙන කෙනෙක් නෙමෙයිලු?

ජනතාවගේ ආදරේ නිසා තමයි මට පිතෘ නාට්‍ය සඳහා සම්මානයක් ලැබුණේ. නමුත් මම නිතරම ෆෝන් භාවිත කරන කෙනෙක් නෙමෙයි. මාව ෆෝන් එකට පාවිච්චි වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපේ පවුලේ ව්‍යාපාර කටයුතු ගැනත් බලනවා. ඒ නිසා මට පුළුවන් විදිහට ආදරණීය ජනතාවට ප්‍රතිචාර දක්වනවා. ඔවුන්ගේ ආදරේට මම හැමදාම ආදරෙයි.

ගායක හීනය සැබෑ කරගත්තා නේද කොහොම හරි?

පුංචි කාලේ ඉඳලා මම හරි ආසයි මයිකල් ජැක්සන් වගේ නට නටා සින්දු කියන්න. ඒ ආසාව දැන් තමයි ඉටු වෙලා තියෙන්නේ. මම දාංගලේ නාට්‍යයේ රූගත කිරිම් කරද්දී සෙට් එකේදි සින්දු කිව්වා. එතකොට කෝකිල පවන් අයියා මට කිව්වා උඹට සින්දුත් කියන්න පුළුවන් නේ, සින්දුවක් කරමු කියලා. මාව ආයෙමත් ගායනයට පෙළඹුවේ පවන් අයියා. ඒ වගේම දෙරණ මා නොවන මා වැඩසටහනට සම්බන්ධ වුණා ෂර්මිලා ධර්මරාසා මහත්මියගේ ආරාධනාවකට. මම දෙරණ රෝස නාට්‍යයේ හිටියා. ඒ නාට්‍යයේ දක්ෂතා එක්ක මට ඒ අවස්ථාව හිමි වුණා. ඒ වැඩ සටහන නිසා මට ගොඩක් විදෙස් ආරාධනා ලැබුණා. පසුගියදා සයිප්‍රස් ගියා. ඉතාලි, ඇමරිකා වගේම කැනඩාවේ සංගීත ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණා. දැන් මගේ එකම ආසාව හරියට ඉටු වුණා කියන්න පුළුවන් . මේ වන විට මගේම ගීත තුනකුත් නිර්මාණය කළා. ඒවත් එළිදක්වන්න ඉන්නේ, ඒ නිසා රංගනයට වැඩි තැනක් නොදී සංගීතයට මුල් තැන දෙන්න හිතුවා.

කලාව වගේම ඔබ හොඳින් ඉගෙන ගත් කෙනෙක්. අධ්‍යාපනය අතරමඟ නතර කළ එක ගැන පියා මොකද කියන්නේ?

බණින්නෙ නැහැ. මගේ මල්ලි ඉන්නේ කැනඩාවේ. මම සාමාන්‍ය පෙළ විභාගයෙන් A 9ක් ගත්තා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ, උසස් පෙළ විභාගයෙන් සමත් වෙලා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරුණා. ඒත් කැම්පස් නොයා ඕස්ට්‍රේලියා ගිහිං චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන හදාරන්න ඕන වුණා. තාත්තා බැහැ නොකියා ඒකට අවසර දුන්නා. කොවිඩ් එක්ක ලංකාවට ආවා. ආයේ යන්න බැරි වුණා සුදත් දේවප්‍රිය මහතාගේ නිර්මාණයක් සදහා සම්බන්ධ වෙලා රඟපාන්න ඕන වුණා. තාත්තා ඒකටත් ඉඩ දුන්නා. හැමදාම තාත්තා අපේ නිදහසට ඉඩ දුන්නා. දැන් ආයෙමත් කැනඩාවට යන්න අදහසකුත් තියෙනවා.

එතකොට අම්මා, පියාව නළුවෙක් කරන්න සහය දෙන්නෙ ඇය?

මගේ අම්මා අංජුලා සිරිමාන්න. එයා අංග රචනා ශිල්පිණියක් හැටියට වැඩ කළා. ජෝ අබේවික්‍රම මහතා වගේ දැවැන්තයින් මේකප් කරලා තියෙනවා. අම්මා එක්ක ආදර සම්බන්ධයක් ඇති වුණාට පස්සේ අම්මා තමයි තාත්තාට උදව් කරලා තියෙන්නේ රංගනයට සම්බන්ධ වෙන්න . තාත්තා රංගනයෙන් සාර්ථක වෙද්දී අම්මා ජොබ් එකෙන් අයින් වෙලා එයාගෙම ව්‍යාපාරයක් පටන් ගත්තා. තාත්තා ගැන වගේම මම ගැනත් අම්මා හරි ආඩම්බර වෙනවා.

උපුටා ගැනීම සිළුමිණ