🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

වෙනස් රසයෙන් මාළු

වෙනස් රසයෙන් මාළු

ලොකු මාළුයි - පොඩි මාළුයි
කටවහරට කියන්නේ ලොකු මාළු සහ පොඩි මාළු කියලා. පොඩි මාළු හොදි හදලා කනවට වඩා බැඳලා කන එක හොඳයි. එහෙම නැත්නම් ළිපේ ගින්දර අඩුකරලා හින්දලා ගන්න. හුරුල්ලෝ, සාලයෝ, හාල්මැස්සෝ වගේ මාළු හින්දලා ඉව්වාම රසයි. හොදි හදන කොට පොඩි මාළු වර්ග හොද්දෙම දියවෙනවා. හොදි හදලා කන්න හොඳම ලොකු කුට්ටි වගේ තියෙන මාළු. කෙළවල්ලෝ, බලයෝ, ඇටයෝ වගේ මාළු වර්ග තමයි හොදි හදන්න හොඳ. තෙම්පරාදුවකුත් එක්ක මිරිස් ටිකක් වැඩියෙන් දාලා උයාගන්න. සුදුපාට මාළු විදියට හඳුන්වන තෝරා, පරා, මෝරා, තලපත් වගේ මාළු කිරි හොඳට දාලා සැර නැතිව සුදට උයාගන්න. සමහරු නම් කිරට මාළු හැදුවාමත් ඒකට මිරිස් තෙම්පරාදු කරලා දානවා. කිරට නම් උයන්නේ ආයෙත් මිරිස් රහ මොකටද. ඒ හින්දා කිරට උයන කෑමවලට මිරිස් තෙම්පරාදු කරලා දාන්න එපා. එතකොට කෑමවල කිරි රහ නැති වෙනවා.

අලුත් මාළු
කඩේකට ගිහින් මාළු තෝරගද්දී මාළුවා හරි මැදින් උස්සලා බලන්න. හරි මැදින් උස්සන කොට දෙපැත්තට නැවෙනවා නම් මාළු අලුත් නැහැ. අලුත් මාළුන්ගේ හම මතුපිට හරි දීප්තිමත්. ඇස් දෙක සුදු පාටට දිස්නෙ ගහනවා. අලුත් මාළුවල කරමල දීප්තිමත්. කරමල දුඹුරු පැහැයට හුරුයි කියලා කියන්නේ ඒ මාළුවලට ෆෝමලින් ගහලා. අලුත් මාළු ඇඟිලිවලින් ඇල්ලුවාම එබෙන්නේ නැහැ. ඝනයි. මාළු කපන කොට මාළු කුඩුවෙනවා වගේ නම් ඒ මාළු පරණ වෙලා.

වැව් මාළු සුප්
හැමදාම මාළු උයලා, බැදලා කනවා වෙනුවට අද අලුත් ක්‍රම කිහිපයකට මාළු හදන විදිය කියලා දෙන්න අපි ලෑස්තියි. තායි ක්‍රමයට හැදුව වැව් මාළු සුප් එකක රහ සමහර විට වෙනස් වෙනවා. සමහරු නම් වැව් මාළුවලට ඒ තරම් කැමැති නැහැ. තිලාපියා, කොරලි වගේ තරමක ලොකු වැව් මාළු වර්ගයක් අරගෙන හොඳට සුද්ද කරගන්න. උඩ හම, මැද්දේ කටු අයින් කරගෙන තරමක කොටු කපා ගන්න. මාළු කටු ටික අරගෙන වතුර 250ml ක් විතර එකතු කරලා හොඳට තම්බගන්න. වියළි කූනිස්සන් 25g ක් අරගෙන වියළි මිරිස් කරල් තුන හතරක්, තෙල් ටිකක්, කොත්තමල්ලි කොළ ටිකක්, ලුණු ටිකක් එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩර් කරගන්න. කැරට් අලයකුයි, බෝංචි කරල් හත අටකුයි තරමක් කුඩාවට කොටු කපා ගන්න. භාජනයක් ළිපේ තියලා තෙල් දාලා පොඩියට කපා ගත්ත ලූනු, සුදුලූනු, ගලංගාල්, තරමක් තෙම්පරාදු කරගන්න. ගලංගාල් හොයා ගන්න නැත්නම් ඒ වෙනුවට ඉඟුරු ටිකක් ගන්න. තරමක් කුඩාවට කපා ගත්ත සේර සහ දෙහි කොළ කිහිපයකුත් එකතු කරලා තෙම්පරාදු කරගන්න. හදාගත්ත ඉස්සෝ පේස්ට් එකෙන් හැඳි තුනක් විතර එකතු කරගන්න. කැරට්, බෝංචි සහ හොඳින් පෙරා ගත්ත මාළු කටු තැම්බූ වතුර ටික එකතු කරලා උතුරන්න ඉඩදෙන්න. පස්සේ පොල් මිටි කිරි 100ml ක් වගේ එකතු කරලා හොඳට හැඳිගාන්න. කිරි ඉතිරුවට පස්සේ කපා ගත්ත මාළු ටික එකතු කරලා මූඩියකින් වහලා ළිප නිවලා තියන්න.

මාළු කේක්
හැමදාම හදන පැණි රහට හුරු කේක් එක වෙනුවට මාළු රහට කේක් එකක් හදලා බලන්න. සුදුපාටට තියෙන මාළු වර්ගයකින් ග්‍රෑම් 250ක් විතර අරගෙන හෝදල අමුවෙන්ම හොඳට අඹරගන්න. තලපත් මාළු ගන්න පුළුවන් නම් හොඳයි. හීනියට කොටු කපා ගත්ත කැරට් ටිකක්, ලූනු, සුදුලූනු, ග්‍රීන්පීස් ටිකක්, ලුණු, ගම්මිරිස් රස අනුව අඹරගත්ත මාළුවලට දාලා හොඳට කලවම් කරන්න. බිත්තර තුනකුයි, පොල් කිරි මිලිලීටර 250ක් එකට එකතු කරලා හොඳට බීට් කරගන්න. ඒකට අඹරගත්ත මාළු ටික දාලා කලවම් කරන්න. තැටියක් අරගෙන තෙල් කොළ අතුරලා බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්න. හදාගත්ත මිශ්‍රණය තැටියට දාලා සෙන්ටිගේ්‍රඩ් අංශක 150ක උෂ්ණත්වයක විනාඩි 20ක් විතර බේක් කරගන්න. එහෙම නැත්නම් මාළු මිශ්‍රණය භාජනයකට දාලා ඇලුමිනියම් ෆොයිල් එකකින් වහලා විනාඩි 35ක් විතර හුමාලයෙන් තම්බා ගන්න. මේ ක්‍රම දෙකටම මාළු කේක් එකක් හදාගන්න පුළුවන්.

මාළු බර්ගර්
මාළුවලින් බර්ගර් හදන්නත් පුළුවන්. මාළු කේක් හැදුවා වගේ බර්ගර් හදන්නත් සුදුපාට මාළු වර්ගයක් අවශ්‍යයි. මාළු හොඳට හෝදලා අඹරගන්න. කඩල පිටි මේස හැඳි තුනකට, බිත්තරයක්, ලුණු, ගම්මිරිස් එකතු කරලා අඹරගන්න. මාළු ටික දාලා හොඳට අනාගන්න. තරමක් ගනකම රවුම් හැඩයට පැතැලි කරගෙන සෙන්ටිගේ‍ර්ඩ් අංශක 160ක විතර උෂ්ණත්වයක් විනාඩි 15ක් විතර බේක් කරගන්න. බර්ගර් බන් එක අරගෙන දෙකට මැදින් කපා ගෙන තැටියක් ළිපේ තියලා තරමක් ටෝස්ට් කරගන්න. අබ පේස්ට් ටිකකට බටර් ටිකකුත් කලවම් කරලා බර්ගර් බන් එකේ දෙපැත්තේ හොඳට ආලේප කරගන්න. සලාද කොළයක්, හීනියට කපාගන්න. තක්කාලි පෙති, බේක් කරගත්ත මාළු පෙත්තක්, හීනියට කැපුව ලූනු පෙති තියලා බර්ගර් බන් එක වහන්න. කැමැති නම් ඉතින් චීස් පෙත්තකුත් තියාගන්න.

හුමාලයෙන් තැම්බූ මාළු
කෙහෙල් කොළයක් හොයා ගන්න පුළුවන් නම් මාළු හුමාලයෙන් තම්බලා වෙනස් විදියකට රහ බලන්න පුළුවන්. ඕනම වර්ගයක මාළු වර්ගයක් අරගෙන සුද්ද කරලා හෝදලා හීනි පෙති කපා ගන්න. පොල් අඩලයක් ගාලා ඒකට රම්පේ, කරපිංචා, කහ, තුනපහ ලුණු ගම්මිරිස් එකතු කරලා හොඳට කලවම් කරගන්න. කෙහෙල් කොළේ තවාගෙන හදාගත් පොල් මිශ්‍රණයෙන් ටිකක් කෙහෙල් කොළේ උඩට අතුරන්න. මාළු පෙති ටික පොල් ටික උඩින් තියලා ආයෙත් පොල් මිශ්‍රණය මාළු ටික වැහෙන විදියට දාගන්න. හෙමින් සැරේ කෙහෙල් කොළේ ඔතලා කෙහෙල් පට්ටයකින්ම ගැලවෙන්නේ නැතිව ගැට ගහන්න. විනාඩි 20ක් විතර හොඳට හුමාලයෙන් තම්බා ගන්න.

මාළු කෙබාබ්
ගෙදර පුංචි උත්සවයක් එහෙම තියෙන වෙලාවට මාළුවලින් කෙබාබ් හදලා කෑම මේසෙට තියන්නත් පුළුවන්. හැබැයි ඉතින් තරමක් ලොකු මාළු තෝරගන්න වෙනවා. කෙලවල්ලා, තෝරා, තලපත්, වගේ මාළු වර්ග නම් හොඳට ගැළපෙනවා. මාළු හොඳට හෝදලා කොටු හැඩයට කපා ගන්න. ලුණු, ගම්මිරිස් එකතු කරලා මාළු ටික හොඳට සීසන් කරගන්න. මාළු මිරිස්, ලූනු, තක්කාලි, කොටු හැඩය කපා ගන්න. ලූනු, මාළු, මාළු මිරිස්, තක්කාලි පිළිවෙළට කෙබාබ් කූරේ රඳව ගන්න. විනාඩි 15ක් විතර තියෙන්න ඇරලා පෑන් එකක තෙල් රත්කරලා බැදගන්න. ඊට පස්සේ බටර් ටිකක් පෑන් එකට දාලා හීනියට කපා ගත්ත සුදු ලූනු ටික රන්වන් පාට වෙනකල් බදින්න. සුදුලූනු බැදුණට පස්සේ හොඳට බටර් ටිකක් එකතු කරලා වහලා තියන්න. මේ ගාලික් බටර් එක මාළු කෙබාබ්වලට හොඳින්ම ගැළපෙනවා.

සවනි ශේශාධි
මව්බිම