🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

රුව වඩන සුව සදන කැඳ

රුව වඩන සුව සදන කැඳ

සිංහල ගෘහණිය කැඳ වර්ග පිළියෙල කිරීමෙහි ලා දක්‌ෂය. අතීතයේ සෑම නිවසකම පාහේ පාතරාසය වූයේ කැඳ කෝප්පයකි. සම්පූර්ණ ආහාර වේලක තිබිය යුතු පෝෂණ ගුණය එක්‌ කැඳ කෝප්පයක කැටිවිය. දෛනික ජීවිතයට අවශ්‍ය ජවය හා සුවය ලබා ගැනීමට එය ඉවහල් විය. කිතුල් පිටි කැඳ, කුරහන් කැඳ, තණ සහල් කැඳ සහ විවිධ කොළ කැඳ වර්ග පානයට ඔවුන් හුරුවී සිටි අතර ලලූණු කැඳල නම් සහල් ජලය හා ලූණු ස්‌වල්පයක්‌ යොදා සකස්‌ කළ කැඳ වර්ගය අතිශය ජනප‍්‍රිය විය. කාලයත් සමග කැඳ මුට්‌ටිය මුළුතැන්ගෙයින් ඉවත් වීම සමග විවිධාකාර රෝගාබාධ රැුසකට ලක්‌වීමට අපට සිදුවිය. හෘදයාබාධ, දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, ගැස්‌රයිටිස්‌ ඉන් කිහිපයක්‌ පමණි. නමුත් මෑත කාලීනව නැවත කැඳ පානය කිරීමට මිනිසුන් පෙලඹී ඇති බව පෙනෙයි. 100% කාබනික තත්ත්ව යටතේ වගා කෙරෙන අපේ පාරම්පරික දේශිය නුමුහුන් සහල් වර්ග රැසක්‌ නැවත කැඳ සඳහා භාවිත කිරීමට ලැබීම අපේ වාසනාවකි. දේශීය සහල් සතු ඖෂධීය වටිනාකම් හේතුවෙන් විවිධ රෝගී තත්ත්ව සඳහා විවිධ සහල් කැඳ භාවිත කළ හැක.

පොක්‌කාලි කැඳ 

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු තම ශක්‌තිය සහ තාරුණ්‍යය පවත්වා ගැනීමට භාවිත කරන ලද්දේ ලපොක්‌කාලිල නම් සහලින් සාදන ලද කැඳකි. මෙහි ඇති අධික ශක්‌ති ජනක බව හේතුවෙන් දරුවන් සඳහා මෙය නොගැළපෙන බව පැවැසේ. පොල්පලා යුෂ සමග මිශ‍්‍රකර සාදාගත් පොක්‌කාලි කැඳ මුත‍්‍රාශයේ ගල් දියකර හැරීමට සමත් ගුණයකින් යුතුය. තරබාරු බව අඩු කිරීමේ ශක්‌තියක්‌ ද ඇත.

සුවඳැල් සහල් කැඳ

මිහිරි සුවඳකින් යුතු හා ප‍්‍රනීත රසයකින් ද යුතු කැඳකි. දියවැඩියාව පාලනය කරන අතර සිරුරේ සමබර වර්ධනයට ඉවහල් වේ.

රත්තැඹිලි ඇල් සහල් කැඳ

පිසින විට මී පැණි සුවඳක්‌ වහනය වන මෙම සහලින් පිසින ලද කැඳ සම පැහැපත් කරයි. සිරුර පුෂ්ටිමත් කරයි. පෙනීම දියුණු කරයි. මෙම සහල් රාජකීය කාන්තාවන් තම රූප ශෝභාව දියුණු කර ගැනීමට භාවිත කළහ.

වෙද හීනටි කැඳ 

විෂ ශරීර ගත වූ අයට පවා මෙම කැඳ (ලූණු කැඳ) පෙවීමෙන් එම විෂ සහිත බව අඩුවන බව සොයාගෙන ඇත. ආමාෂ විෂ නසයි. සිරුරේ ගෙවී ගිය පටක අලූත් වැඩියා කරයි. වයෝවෘද වැඩිහිටියන්ට ඉතා ගුණදායකයි.

මාවී කැඳ

තරබාරු බව අඩුකිරීමට සමත් ය. දියවැඩියාව, ක්‌ෂය රෝගයට මෙන්ම ආර්ශස්‌ රෝගයටද ගුණ දෙයි.

හැටදා වී කැඳ

වා පිත් සෙම් සමනය කර සිරුර සැහැල්ලූ කරයි.

මඩතාවළු කැඳ

කොලෙස්‌ටරෝල් පාලනය කරයි. ගැස්‌රයිටීස්‌ වලටද ගුණදායක කැඳකි.

රත්දැල් කැඳ

පෙනහළු ආශ‍්‍රිත රෝග, සුවනොවන තුවාල ආදියට ගුණදෙයි. සෙම් රෝග වලට ඉතා සුදුසුයි. මුත‍්‍රා රෝග, පිත්තාශ සහ මුත‍්‍රා ගල් සඳහා විශේෂ ගුණැති කැඳකි. කුඩා දරුවන්ගේ ආහාරයක්‌ ලෙස පවා භාවිත කළ හැක. ලේ පිරිසිදු කිරීමට සමත් ය. ඒ නිසා ම සම පැහැපත් කිරීමේ ගුණයක්‌ද එහි ඇත. 

දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් ආහාරයට ගත්තේ රත්දැල් සහල් බව කියෑවේ.

උපුටා ගැනීම නවලිය පුවත් පත