🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සාර්ථක විවාහයකට දෙදෙනාගේ ම කැපවීම අවශ්‍යයයි

සාර්ථක විවාහයකට දෙදෙනාගේ ම කැපවීම අවශ්‍යයයි


සමාජයේ ජීවත්වන හැම, දම්වැල් පුරුක් මෙන් ඔවුනොවුන් හා සම්බන්ධ වෙති. ඒ ඕනෑම සම්බන්ධතාවයක් තහවුරු වී තිඛෙන්නේ යුතුකම් හා වගකීම් මත ය. කුඩා දරුවා ගේ පටන් වැඩිහිටියා දක්වාම ඒ ඒ පුද්ගල ප්‍රමාණයේ හැටියට ඔවුනොවුන්ගෙන් එකිනෙකාට ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් කොටසක් වේ. මව්පිය දූදරු, හිත මිතුරු, ගිහි පැවිදි, සේව්‍ය සේවක ආදි සම්බන්ධතා මෙන්ම ස්වාමි භාරයා සම්බන්ධතාවය ද යහපත්ව ගොඩනඟා ගත හැකි වන්නේ එසේ එකිනෙකා කෙරෙහි කටයුතු කරන ආකාරය අනුවය. විශේෂයෙන් යහපත් පතිනියක වන්නට සූදානම් වන තරුණ දියණියක් තමන් ස්වාමිපුරුෂයාට, ඔහු ගේ නෑදෑ හිත මිතුරන්ට පැවතිය යුතු ආකාරය ගැන යම් අවබෝධයක්, අධිෂ්ඨානයක් ඇතිකර ගත යුතු වන්නේ විවාහයට පෙර සිටමය. ඒ ගෘහස්ථ ජීවිතය සැපවත් වන්නේ අඹු සැමියන් අතර තිබිය යුතු වගකීම පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කිරීමෙන් පමණක් වන නිසාය. පවුලේ සමගියත්, සමාදානයත්, සතුටත්, ගුණධර්ම වර්ධනයත් ඇති වන්නට නම් අඹු- සැමියන් අතර අවංක විශ්වාසයක් හා නිහතමානී බවක් තිබිය යුතුය. සැමියා ගේ උත්සාහය හා අවංක බව ආදි ගුණයන් මෙන් ම බිරියක ගේ අවංක විශ්වාසයත් අන්‍යෝන්‍ය සම්බන්ධය තහවුරු කිරීමට හේතු වේ. විවාහය සාර්ථක වන්නේත්, සතුට රඳා පවතින්නේත් ඇය තමා සරණ පාවා දුන් සැමියාට අවංකව, කීකරුව, පි්‍රයමනාපව හා හිතවත්ව ක්‍රියා කරන්නේ නම් පමණි. මෙහි දී බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී පැහැදිලි කළ භාර්යාවක විසින් සිය ස්වාමි පුරුෂයාට සංග්‍රහ කළ යුතු ආකාරය ගැන විමසීම ඉතා වැදගත් ය. ගේ දොර වැඩපල මනාකොට කිරීමෙන් ද, පිරිවර ජනයාට මනාකොට සංග්‍රහ කිරීමෙන් ද, පර පුරුෂ සේවනයෙහි නොයෙදීමෙන් ද, රැස් කළ වස්තුව රැක ගැනීමෙන් ද, සියලු කටයුතු අනලස්ව ඉටු කිරීමෙන් ද ආදි ලෙස බිරියක් සිය සැමියාට අනුග්‍රහ කරන්නේ නම් එවැනි පවුලක ගැටුම් නිර්මාණය වන්නේ නැත. ‘මම එවන් ගුණ ඇති යහපත් බිරියක වෙමි’ යන අධිෂ්ඨානයෙන් දියණියක් පතිකුලයට යනවා නම් ඇය ගේ විවාහය අසාර්ථක වන්නේ නැත. බුද්ධ කාලීන භාරතයේ ජීවත් වූ නකුල මාතා හා නකුල පිතා ගේ චරිත සාර්ථක විවාහ ජීවිතයක් අපේක්ෂා කරන ඕනෑම කෙනකුට මහඟු ආදර්ශයන් ය.

දිනක් බුදු රජාණන් වහන්සේ හමුවට එන ‘නකුල’ නම් ඒ පියා මෙසේ පවසන්නේ ය. ‘ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස` අපි දෙදෙනා විවාහ වූ දා පටන් සැරයටියෙන් යන තුරාම, දුක සැප ඛෙදාගෙන ආදරයෙන් ජීවත් වුණෙමු. මම කිසිම දිනෙක මා ගේ භාර්යාව දෙස තරහෙන් රවා නොබැලූයෙමි. තද වචනයෙන්, පරුෂ වදනින් කතා නොකළෙමි. නින්දා අපහාස නොකළෙමි. අවමන් නොකළෙමි” ඒ ඇසු නකුල මාතාවන් ද, ‘භාග්‍යවතුන් වහන්ස. ඔහු කී දේ සැබෑවක්ම ය. මම ද කිසිම දිනෙක ඔහු ගේ විශ්වාසය කඩ නොකළෙමි. සිත නොරිදවූයෙමි. අපි ඉතා ආදරයෙන් සෙනෙහසින් ජීවත් වූයෙමු. භාග්‍යවතුන් වහන්ස, මරණින් මතු මාතු මනාප කායික නම් වූ දේව සභාවට පැමිණෙන්නට නම් බිරියක විසින් පැවතිය යුතු වන්නේ කෙසේ දැ’ යි විමසන්නී ය. එවිට බුදුරජාණන් වහන්සේ∙ නකුල මාතාවනි, මෙලොව ස්ත්‍රී තෙමෝ, අර්ථ කැමති වූ, හිත කැමති වූ, මවුපියන් විසින් අනුකම්පාව නිසා යම් හිමියකුට පාවා දෙත්නම්, ඕ ඔහුට පළමුව නැඟී සිටින්නේ ය, මනාප හැසිරීම් ඇත්තීය, පි්‍රය වචන ඇත්තී ය. තම සැමියා ගේ මවුපියන් තමන් ගේ ආදරණිය මව සහ පියා කොට සලකන්නීය. සංග්‍රහ කටයුතු නොපිරිහෙලා ඉටු කරන අතරම ඔවුන් ආදරයෙන් රැකබලා ගන්නීය. තම සැමියා අනුගමනය කරන ආගමික ශාස්තෘවරුන් වෙත කළ යුතු යුතුකම්, ඇප උපකාර වේ නම් ඒ සියල්ල නොපිරිහෙලා ඉටු කරන්නී ය. එවැනි චරිතයකින් යුතු කාන්තාව මරණින් මතු මාතු මනාප කායික නම් වූ දෙවියන් ගේ දිව්‍ය සභාවට පැමිණෙන්නේ ය’ යි දේශනා කළහ. මේ දේශනාවන්ගෙන් පැහැදිලි වන්නේ විවාහය සාර්ථක වන්නට සැමියා හා බිරිය යන දෙදෙනා අතර දැඩි අධිෂ්ඨානයක්, කැප වීමත් තිබිය යුතු බව ය.

අද අප ජීවත් වන්නේ ඉතා සංකීර්ණ වූ සමාජ වටපිටාවක ය. ආර්ථික හා සමාජයීය වශයෙන් එකිනෙකාට වෙනස් වූ පරිසරයක ය. එවැනි පසුබිමක එකිනෙකා සංසන්දනය කරමින් සැමියා බිරිය ගේ හෝ, බිරිය සැමියා ගේ අඩුපාඩු සොයන්නට විමසන්නට ගියේ නම් එතැන නිර්මාණය වන්නේ ගැටුමකි. විශේෂයෙන් යහපත් පතිනියක් අසීමිත ආශාවන් පසුපස එළවන්නේ නැත. ලද දෙයින් සතුටු වන ඇය ආදායම්, වත්කම් අනුව ගෙදර ආර්ථික කටයුතු මෙහෙයවන්නී ය. සැහැල්ලුවෙන් පෝෂණය වන ඇය මධ්‍යස්ථ ජීවිතයක් අපේක්ෂා කරන්නී ය. අද බොහෝ විවාහයන් ඉතා කෙටි කලකදී දික්කසාද බවට පත්වන්නේ, පවුල්වල අසමගිය ඇතිවී සතුට සැනසුම ගිලිහී යන්නේ අඹුසැමියන් අතර තිබිය යුතු මේ ගුණාංග වර්ධනය කරන්නට නොහැකි වී ඇති නිසා ය. එහි අවසාන ඵලය අහිංසක දූ දරුවන් මවුපිය සෙනෙහස නොලැබ අතරමං වීම ය. අනාගතයේ දාමරිකයන්, මං පහරන්නන් ලෙස සමාජ ගත වන්නේ බොහෝ විට එවැනි වටපිටාවක හැදෙන වැඩෙන දරුවන් ය. අතීතයේ විශේෂයෙන් බෞද්ධයින් ගේ විවාහ ජීවිතය ගොඩනැඟුණේ ආගම දහම මුල් කරගෙනය. ඒ විවාහයේ සැමියා බිරිය ඉක්මවා යාමක් හෝ බිරිය සැමියා ඉක්මවා යාමක් දක්නට නොවීය. පියා ගෙදර ප්‍රමුඛත්වයේ ලා සැලකූ ඒ යුගයේ පවුල් ආරවුල් අවමය. දරුවන් ද අයාලේ ගියේ නැත. ඒ පවුල් පරිසරය කෙමෙන් වෙනස් වෙමින් අද වන විට බොහෝ පවුල්වල බිරිය බලාපොරොත්තු වන්නේ සැමියා තම අණසක යටතේ සිටිනවා දකින්නට ය. එසේත් නැතිනම් සැමියා තම බිරිය අණසකට ගෙන ඇය පීඩාවට පත් කරන්නේ ය. එවැනි සිතුම් පැතුම් ඇති පරිසරයක සතුටක්, සමාදානයක් හෝ මානසික නිදහසක් හෝ නොමැත. අඹු සැමියන් අතර යම් එකඟතාවකට පැමිණ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට හැකි මාවතක ගමන් කළ යුතුය. ඊට සූදානම් විය යුතු වන්නේ විවාහයට පෙර සිටමය. විශේෂයෙන් දියණියනි, ඔබ එහි දී වඩාත් කල්පනාකාරී විය යුතුය. උපායශීලී විය යුතුය. බුදු දහමට අනුව ජීවිතය හැඩ ගස්වා ගන්නවානම් ඒ ගමන දුෂ්කර නොවන්නේ ය.

ශාස්ත්‍රපති ගලගම ධම්මරංසි හිමි

උපුටා ගැනීම සිළුමිණ පුවත් පත