🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කුඩා හා මධ්‍ය? පරිමාණ ව්‍යාපාර නංවන ක්‍රම මොනවාද?

කුඩා හා මධ්‍ය? පරිමාණ ව්‍යාපාර නංවන ක්‍රම මොනවාද?

වර්තමානයේ අපිට දැනෙන, හැඟෙන දේ තමයි කොවිඩ් - 19 අර්බුදය අපේ කායික සෞඛ්‍ය, මානසික තත්ත්වය වගේම රටේ ලෝකයේ ආර්ථික, සමාජයීය කටයුතු කඩාවැටීමකට හේතු වුණා කියන එක. අනෙක් අතට මේ අර්බුදය ගෙනාව සුබාරංචිය තමයි  වඩාත් ශක්තිමත් හා තිරසාර සමාජයක් ආර්ථිකයක් ගොඩනැඟීම ආරම්භ කිරීම සඳහා වර්තමාන තත්ත්වය තුළින් මතු වුණු අවස්ථාවන්  භාවිත කරන්න පුළුවන් කියන දේ. මේකේ තව පැත්තක් තමයි ශ්‍රී  ලංකාවේ වැඩිම ව්‍යාපාර කටයුතු විශේෂයෙන් විකුණුම් සිදුවන කාලයක් ලෙස අප්‍රේල් සහ මැයි කියන මාස හඳුනාගෙන තියෙනවා. ශ්‍රී  ලාංකිකයන්ට දැන් එක ළඟ අවුරුදු දෙකක් අප්‍රේල් සහ මැයි වගේම නොවැම්බර්, දෙසැම්බර් මාසත් සම්පූර්ණයෙන්ම හෝ යම්දුරකට අහිමි වුණා. කෙසේ හෝ රටේ යම් ආකාරයක යථාතත්ත්වයට පත්වීමක් දකින්නත් ලැබෙනවා. කොවිඩ් - 19 අර්බුදය සහ එහි බලපෑම සලකා බැලුවම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අකර්මණ්‍ය වුණේ ඇයි? ඒවා ආපසු නඟාසිටුවන්නේ කොහොමද? කියන එක නිරන්තරයෙන්ම කතා කරන මාතෘකාවක් වෙලා තියෙනවා. ප්‍රායෝගිකව කල්පනා කරලා අපේ රටට සුදුසුම විධියට මේ ප්‍රශ්නෙට උත්තර හොයන එක තමයි කළයුතු දේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන්නේ මොනවද?
ඇත්තටම නිර්වචන ඉලක්කම් පස්සේ අනවශ්‍යම විධියට හඹාගෙන ගිහින් මේ වගේ ප්‍රශ්න විසඳන්න බෑ. කෙසේ හෝ අපේ රටෙත් ලෝකයේත් පැහැදිලි නිර්වචනයක් නැතත් හුඟක් වෙලාවට සේවක සංඛ්‍යාව වාර්ෂික පිරිවැටුම සහ මුළු ආයෝජනය අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙන් කරලා හදුනගන්න පුළුවන්. නිදසුනක් විධියට යුරෝපීය සංගමය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නිර්වචනය කිරීමේදී සේවක සංඛ්‍යාව 250කට වඩා අඩු ගණනක් සහිත ව්‍යාපාර මධ්‍ය පරිමාණ ලෙසත්  සේවක  සංඛ්‍යාව 50ට අඩු  ඒවා  සුළු ව්‍යාපාර විධියටත් සේවක සංඛ්‍යාව 10කට වඩා අඩු ඒවා ක්ෂුද්‍ර ව්‍යාපාර විධියටත් හඳුන්වනවා. අපේ රටේ භාවිත වන නිර්වචනත් බොහෝදුරට මේ වගේ සේවක සංඛ්‍යාව වාර්ෂික පිරිවැටුම පදනම් කරගෙන කරලා තියෙනවා. කෙසේ වෙතත් හරිම නිර්වචනය මොකක්ද කියන දේ වගේ ඒවා හොයන්න සුදුසුම වෙලාව මේක නෙවෙයි කියලා හිතෙනවා.

අපි තේරුම් ගන්න ඕන දේ තමයි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් ශ්‍රී  ලංකාවේ ආර්ථිකයේ විශාල ඉඩක් අරගෙන විශාල දායකත්වයක් රටට ලෝකෙට දෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්  සියලුම ව්‍යපාරවලින් 80%ක් තරම් කොටසක්. මේවා තුළින් ආර්ථික වර්ධනය අදාළ ප්‍රදේශ සංවර්ධනය, රැකියා උත්පාදනය සහ දරිද්‍රතාව අවම කිරීම සඳහා වන දායකත්වය අතිවිශාලයි. ශ්‍රී  ලංකාවේ ආර්ථිකය රඳාපවතින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මත කියලා කෙනකුට සාධාරණ තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හේතුව කෘෂි ව්‍යාපාර අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කුළුබඩු, පලතුරු හා එළවළු සහ නිෂ්පාදන අංශයේ කාර්මික ආයතන ගණනාවක  20%කට පමණ දායක වෙනවා. ඒ දායකත්වය සේවා අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතනවලින් 90%කට වඩා වැඩියි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැකියා සම්පාදනයට කරන දායකත්වය මුළු රැකියාවලින් 35%ක් වගේ වෙනවා. මේ සියල්ලටම වඩා වැදගත් දේ  තමයි බොහෝ නවෝත්පාදන බිහිවෙන්නෙත් මොවුන් අතරින් වීම.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දැන් තත්ත්වය කොහොමද?
දැන් අපිට දකින්න ලැබෙන දේ තමයි පහුගිය මාස 3 වගේ කාලය තුළ විශාල වශයෙන් මෙහෙයුම් සහ අලෙවිය අඩාල වීම  සම්පූර්ණයෙන් යථාතත්ත්වයට පත්වෙලා නෑ. බලාපොරොත්තු වුණු තරමටම ගනුදෙනුකරුවන් දකින්න ලැබෙන්නේ නෑ තමන්ගේ නිෂ්පාදන කරගෙන යන්න ඕන කරන දේශීය අමුද්‍රව්‍ය ලබාගැනීම අපහසුවෙලා තියෙනවා. අනෙක් පැත්තෙන්  ආනයනික අමුද්‍රව්‍ය මත යැපුණු කර්මාන්ත විකල්ප හොයන්න පටන් අරන් තියෙනවා. මේ වගේ ප්‍රශ්න මේ වෙලාවේ සාමාන්‍යයි, සාපේක්ෂව බරපතළ නෑ කියලා කෙනෙක් කියන්නත් පුළුවන්. කොහොම වුණත් සියල්ල මුදලින් තක්සේරු කරන්න පුරුදු වුණු අපිට ව්‍යාපාරයේ මූල්‍යකරණය හා සම්බන්ධ ප්‍රශ්න දැනෙන ප්‍රමාණය වැඩියි. ඒ අතර සේවක වැටුප් ගෙවීමේ අපහසුතා, කුලී හා උපයෝග්‍යතා බිල් ගෙවීමට නොහැකියාව වගේම ලොකුම ප්‍රශ්නේ විධියට දැනෙන බැංකු ණය සහ කල්බදු වාරික ගෙවීමට ඇති දුෂ්කරතාව වැඩිම කතාබහට තවමත් ලක්වෙලා තියෙනවා. 

දැනට ලබාදීලා තියෙන සහන මොනවද?
මුදල්මය උපකාර විධියට ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 50ක සය-මාසික ප්‍රතිමූල්‍ය පහසුකමක් සපයන්න තීරණය කළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරමින් ඔවුන් විසින් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බැංකු හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හට ණය සහන සහ 4% වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබාදීමක් තමයි අරමුණ වුණේ. ඒ සඳහා ඉල්ලුම් කිරීමට 2020 මැයි 15 දින දක්වා ශ්‍රී  ලංකා මහ බැංකුව අවශ්‍ය කටයුතු සැලසුම් කරලා බැංකුවලට උපදෙස් දීලා තිබුණා. ඒ අනුව මේ වනවිට බලපෑමට ලක් වූ ව්‍යාපාර 13,861ක් අතර 4% ණය බිලියන 28ක් මුදාහැරලා තියෙනවා. ඒ වගේම පැවැති  තත්ත්වය හේතුවෙන් රුපියල් 5,00,000ට වඩා අඩු වටිනාකමින් යුතු වලංගු කාලය ඉක්මවා  ගොස් තිබූ චෙක්පත් බලපත්‍රලාභී බැංකු විසින් 2020 මැයි 15 දින දක්වා වලංගු සේ සැලකිය යුතුයි කියලත් උපදෙස් දීලා තිබුණා. ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1.00ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබාදෙන්න තීරණය කරලා තියෙනවා.

බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් සියයට 4.00ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට කඩිනමින් ලබාදෙයි කියන විශ්වාසය තියෙනවා. ඒ වගේම ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදුකරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමානව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබාගැනීම සඳහා ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දෙන්න සැලසුම් කරනවා. මෙම සහන අනුව අදාළ සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන්ගේ ණය පහසුකම්වල ආපසු ගෙවීමේ කාලය, ණය සහන කාල සීමාවන් දීර්ඝ කිරීමට බැංකු විසින් අඛණ්ඩව කරගෙන යනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. 

මේ සහනවලින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කලින් තිබුණු තත්ත්වයට පත්කරන්න පුළුවන් වෙයිද?
මේ දෙන සහනවලින් යම් විශ්වාසයක් ගොඩනඟාගෙන ව්‍යාපාර කටයුතු නැවත ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ඒත් සහන පැකේජවලින් සියල්ල විසඳන්න පුළුවන්කමක් නෑ. මොකද මේ ප්‍රශ්නේ හුඟක් පැතිකඩ ඔස්සේ එක් එක් ව්‍යාපාර ස්වභාවය අනුව තේරුම් ගන්න ඕන. සමහර ව්‍යාපාර කාර්යාල සහ මෙහෙයවීම ශ්‍රී  ලංකාවට පමණක් සීමාවෙලා තියෙන්න පුළුවන්. තවත් සමහර ව්‍යාපාර ශ්‍රී  ලංකාව තුළ වගේම වෙනත් රටවල් සමඟ සම්බන්ධව ක්‍රියාත්මක ඒවා වෙන්නත් පුළුවන්. අනෙක් පැත්තෙන් මානව සම්පත් සපයා ගැනීම මූලිකව ශ්‍රී  ලංකාව තුළින්ම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් විදේශීය ශ්‍රමය පමණක් යොදාගන්නවා වෙන්නත් පුළුවන්. අනෙක් පැත්තෙන් අමුද්‍රව්‍ය සපයා ගැනීමත් එහෙමයි.

මූලිකව දේශීය අමුද්‍රව්‍ය මත යැපෙන එහෙම නැත්නම් ආනයනික අමුද්‍රව්‍ය මත යැපෙන ව්‍යාපාර තියෙනවා. මේ වගේ වෙනස්කම් නිසා එක් ව්‍යාපාර අංශ නැවත යථාතත්ත්වයට පත්වීම එක දවසකින් වෙන්නත් පුළුවන්. සමහරවිට මාස හයකින්, අවුරුද්දක් වගේ කාලෙකින් වෙන්නත් පුළුවන්. සමහර ව්‍යාපාරවල වෙළෙඳපොළ වෙනත් රටක නම් අපිට කිසිම පාලනයක් නෑ. ඒ ව්‍යාපාර කලින් තිබුණු තත්ත්වයට පත්කරන්න පුළුවන් කවදද? එහෙම නැත්නම් අඩුම තරමින්  පුළුවන්ද බැරිද කියලා කියන්නවත් අපහසුයි. කොහොම වුණත් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ණය සහන සහ 4% වාර්ෂික පොලී  අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබාදීමක් තමයි ක්‍රියාත්මක කියලා. මේවා ආධාර මුදල් නෙවෙයි. එහෙනම් මේ ලබාගන්න ණය ආපහු ගෙවන්න ඕන. ඒ නිසාම තමන්ට අවශ්‍ය  ණය ප්‍රමාණය වගේම ගෙවීමේ හැකියාව පැහැදිලිව තේරුම් ගන්නම  ඕන.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවන්න මොනවද කරන්න ඕන?
හොඳ අධ්‍යයනයක් ඉක්මනින් කරලා අවශ්‍ය නම් පමණක් පැකේජ ලබාදීමත් වැදගත් දෙයක්. සමහරවිට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාරය විවිධාංගීකරණය කිරීම එහෙම නැත්නම් දැනට කරගෙන ගිය එක වෙනුවට වෙනස්ම ව්‍යාපාර කටයුත්තක් තෝරගන්නත් සිද්ධවෙන්න පුළුවන්. මොකද එක පැත්තකින් කොවිඩ් - 19 වසංගතය දහස් ගණනක් අලුත් ව්‍යාපාරික අවස්ථා පෙන්වල දීලා තියෙනවා. ඒවා මොනවද? කොහොමද කරන්නේ? කියන දේ හොඳ ව්‍යවසායකයකුට තේරුම් ගන්න අපහසු නෑ. තාක්ෂණය භාවිතය සමහර ව්‍යාපාර කටයුතු නිවෙසේ සිට වැඩ කිරීම වගේ අලුතින් කතාබහට ලක්වුණු හොඳ සංකල්ප එක්ක විශාල වියදමක් කපාහරින්න පුළුවන්. ඒ වගේම නොමිලයේ කළමනාකරණ සහාය සහ උපදෙස් ගන්න විශ්වවිද්‍යල ආයතන ඕනෑ තරම් අපිට තියෙනවා. සුපුරුදු විධියටම අලුත් අලුත් දේවල් අවස්ථාවන් සොයා යෑම, අභියෝග බාරගැනීම, පිරිවැය අවම කරගැනීම වගේ කරුණු හොඳ ව්‍යවසායකයෙක් සම්බන්ධව අදත් හෙටත් වලංගු වෙනවා.

රජයේ දායකත්වය කොහොම වෙන්න ඕනද?
මේ ව්‍යසනය කොච්චර නරක එකක් වුණත් අපිට හිතන්න හුඟක් දේවල් ඉතිරි කළා. අපේ අඩුපාඩු වගේම වැරැදි ක්‍රියාත්මක වීම් සහ ප්‍රතිවිපාක අපිට දැනෙන විධියට කියලා දුන්නා. කොහොමහරි රජය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන වැඩසටහනක් හදන්න මේක සුදුසුම වෙලාව. කෙටිකාලීනව හුඟක් දේවල් කරන්න පුළුවන්. දේශීය අමුද්‍රව්‍ය, ශ්‍රමය උපරිම යොදාගන්න අවශ්‍ය පෙලඹවීම කරන්න ඕන. ඒකට හේතුව අපිට ආනයන සහ අපනයන වෙනදට වඩා අපහසු වෙන්න පුළුවන්.

ඒ වගේම නිවෙසේ සිට වැඩ කිරීම කියන දේ කරන්න පුළුවන් නම්, අපි මේ කතා කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල පිරිවැය විතරක් නෙවෙයි මාර්ග තදබදය පවා පාලනය කරගන්න පුළුවන්. අදාළ පහසුකම් හා කැමැත්ත ඇති ආයතනවල කළ හැකි කටයුතු තෝරාගෙන තරමක් හෝ නිවෙසේ සිට වැඩ කිරීම කියන ආකෘතියට කරන්න පුළුවන් නම් මිනිසුන්ගේ ආතතිය අඩු කරන්නත් හුඟක් උදවු වේවි. අපිට ඕන මිනිස් ශ්‍රමයේ ඵලදායිතාව වැඩි කරගන්න මිස නිතරම කාර්යාල පුටුවේ වාඩිවෙලා ඉන්න සේවකයෙක්ද කියන එකත් හිතන්න සුදුසුම වෙලාව මේක කියලා තේරුම්ගන්න ඕන.

අනෙක් පැත්තෙන් දිගුකාලීනව කරන්න ඕන දේවල් සලකා බැලුවම තේරෙනවා සහන දෙන්න විතරක් නෙවෙයි ඕනෑම කටයුත්තක් කරන්න ගියාම තීරණ  ගන්න අවශ්‍ය තරම් නිවැරැදි දත්ත නෑ කියන දේ. තියෙන ඒවා යාවත්කාලීන කරගන්න විධියක් නෑ. එහෙම දත්ත, තොරතුරු තිබුණා නම් ඉතාම හොඳ විසඳුම්වලට යන්න අවස්ථාව තියෙනවා. උදාහරණයක් විධියට අපේ කෘෂි නිෂ්පාදන සමහර අවුරුදුවල අපතේ යනවා. සමහර අවුරුදුවල හිඟවෙලා පිටරටින් ගෙන්වන්න වෙනවා. එහෙම වෙන්නේ අපිට ඉල්ලුම සැපයුම ගැන තීරණ ගන්න දත්ත නැති නිසා. ඉදිරියේදී අපේ වගාබිම්වලින් ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න ඕන විධියට බෝග නිර්දේශ කිරීම, උපදෙස් දීම රජයෙන් විධිමත්ව කරන්න ඕන.  තවත් දෙයක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක ණය සහන ඉල්ලුම්පත පුරවන එකේ ඉඳලා ඉන් එහාට යම් යම් තාක්ෂණික දැනුම, උපදේශනය වගේ දේවල්, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයට ලබාදෙන්න ඕන. 

ඒ සඳහා පුහුණුවලත් කණ්ඩායමක් යොදවන්න පුළුවන්. සමහරවිට එක් එක් ව්‍යාපාරය වෙනුවෙන් අවධානය යොමු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මොනවා කළත් අපි කරන්න ඕන අපේ රටට වඩාත්ම ගැළපෙන දේ විතරයි. අපිට හුඟක් වරදින්නේ පිටරට ආකෘතින් ශ්‍රී  ලංකාවට එහෙමම ගළපන්න හදන නිසා. හොඳ ආකෘතින් භාවිතයන් තෝරා බේරාගෙන අපිට ගැළපෙන විධියට යොදාගැනීමට දුරදක්නා විද්වතුන්ගේ උපදෙස් ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. අපිට අපේ සෞඛ්‍ය ගැන වෙනම, ආර්ථිකය ගැන වෙනම, පරිසරය ගැන වෙනම, ආරක්ෂාව ගැන වෙනම හිතලා වැඩ කරන්න බෑ. මේවා එකිනෙකට සම්බන්ධ නිසා එක ප්‍රතිපත්තියක මේවා ගළපලා සැලසුම් කරන්න ඕන. මින් ඉදිරියටවත් අපේ ක්‍රම, අපේ ආකෘතින්, අපේ නිෂ්පාදන ගැන හිතන්න ඕන. මේක අපිට ලැබුණු හොඳම ඒ වගේම අවසාන අවස්ථාව කියලා හිතලා ඉදිරිය සැලසුම් කරන්නම වෙනවා. වෙන හේතුවක් නිසා නෙවෙයි, අනාගතයේ එන ව්‍යසන, අර්බුද මෙහෙම අනතුරු ඇඟවීම් විතරක් කරලා යයි කියල හිතන්න බෑ.

සැබෑ අවශ්‍යතාව, අරමුණ රටක් විධියට ඉදිරියට යෑම නම් අපිට ඉක්මනින් හුඟක් දුර  හිතන්න, සැලසුම් කරන්න, කැපවීම් කරන්න සිද්ධ වෙයි. ඉක්මනින් මේ ව්‍යසනය අවසානයත් එක්ක ආපහු අර පරණ නැවතුණු තැන ඉඳලා පටන් ගන්න  සූදානම් නොවී  අලුතින් හිතන්න පුරුදු වෙනවා නම් රටේ හෙට දවස හුඟක් යහපත් වේවි.

මව්බිම