🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

අම්මාගේ වැඩි සෙනෙහස නිසා පුතුගේ විවාහය දෙදරයි

අම්මාගේ වැඩි සෙනෙහස නිසා පුතුගේ විවාහය දෙදරයි

මම විවාහ වෙලා තවම හරියටම මාස 6 යි. අපිට කිසිම අඩු පාඩුවක් නෑ. ගෙවල් දොරවල් යාන වාහන සියල්ල තියනවා. අපි දෙදෙනාම බැංකුවල කළමනාකරුවන් විදියට උසස් රැකියාවන් වල නිරත වෙලා ඉන්නවා. දෙදෙනාම විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්. මගේ අම්මා විසින් කර දෙන ලද විවාහ යෝජනාවකට අනුව තමයි අපි දෙන්නා ඉතා ලොකු උත්සවයකින් විවාහ වුණේ. නමුත් විවාහ වූ දිනයේ පටන් මගේ බිරිය මගෙ අම්මාත් එක්ක එතරම් හොඳින් නෙමෙයි ඉන්නෙ. මගෙ අම්මා කාටවත් වෙනස්කම් කරන කෙනෙක් නෙමෙයි. ඇය ඉතා ප්‍රසන්න කෙනෙක්. නමුත් ගෙදර ප්‍රශ්න වැඩි වෙලා මීට සති 2 කට පෙර මගේ බිරිය මාව අතහැර ඇගේ මහ ගෙදර ගියා. කොයි තරම් කතා කළත් එන්නෙම නෑ. “මගේ බිරියට ඒ ගැන තේරුම් කරලා දීලා එයාගේ හිත හදලා ආපහු මගේ ගෙදර යන්න එන්න කියන්න.” මේ හෙළිදරව් එක දිගටම කරගෙන ගියේ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටින රොහාන් නම් වූ කළමනාකරුවෙකි. මෙම ප්‍රශ්නය සමඟ ඔහු මානසිකව ඉතා තද බල ලෙස ආතතියට පත්වී ඇති බව ඔහු දෙස බැලූ බැල්මට පෙනී යයි. ඔහු අප හමු වීමට පැමිණ සිටියේ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය සමඟය. සොහොයුරියන් දෙදෙනෙකු සිටින එම පවුලේ එකම පිරිමි දරුවා රොහාන් විය. රොහාන්ගේ පියා ඔහු කුඩා කලදීම අනතුරකින් මිය ගොස්ය. රොහාන්ගෙන් ලබා ගත් දුරකථන අංකයට මම ඔහුගේ බිරිය අමතා මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රොහාන් සමඟ වෙනත් දිනයක අප හමුවීමට පැමිණීමට කැමැත්ත ලබා ගත්තෙමි. කතිකා කර ගත් පරිදිම රොහාන් සහ බිරිය එක් දිනක අප වෙත පැමිණියහ. මුලින්ම රොහාන්ගෙන් තොරතුරු අසා දැනගෙන සිටි බැවින් බිරිය සමඟ කතා බහට එක්වීමි. ඔහ‍ුගෙන් වෙන්ව යෑමට තුඩු දුන් හේතු ඇය මෙසේ විස්තර කළාය.

“මම රොහාන්ව බඳින්න තීරණය කළේ අපේ දෙමාපියන්ගෙ බල කිරීම මතයි. අපි දැන හැඳින ගත් දවස් වලම රොහාන් ඉතා හොඳ ගති ගුණ ඇති යහපත් කෙනෙක් කියලා මට හැඟුණා. ඇත්තටම මං හිතුවා වගේම එයා හොඳ කෙනෙක්. එයා හරිම සංවරයි. ගෑනු ළමයෙකුටත් වඩා ලැජ්ජයි. කාර්යාලයේදි වුණත් ඔහු වැඩි කාත් එක්කවත් කතාබහට යන්නෙ නෑ. තමුන්ගෙ පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා. හැබැයි මම කීයට වත් හිතුවෙ නෑ එයා මේ තරම් තීරණ ගන්න බය කෙළින් වැඩ කිරීමට බය පිරිමිකම දුර්වල කෙනෙක් කියලා. අපේ විවාහ මංගල්‍යය සැලසුම් කරන දවස් වල ඉඳලාම මට එයාගෙ යම් යම් දේ රිස්සුවෙ නෑ, එයා හැම දේම අම්මාගෙන් අහලා තමයි කරන්නෙ. කොටින්ම අපි විවාහ වෙන දිනය තීරණය කළෙත්, මනාලියගෙ ඇඳුම් පැළඳුම්, ආහාර පාන, නවතින හෝටල් මේ හැම දෙයක්ම සැලසුම් කලේ රොහාන්ගෙ අම්මාට ඕන විදිහට. මම ඒ සමහර දේවල් වලට අකමැති වුණත් කට පියාගෙන හිටියෙ අපේ විවාහය රැක ගන්න ඕන නිසයි. කොටින්ම කියනවා නම් අපිට මධුසමය ගත කරන්න හෝටල් කාමරය වෙන් කළෙත් එයාගෙ අම්මා. මම වෙන තැනකට යමු කියලා කිව්වත් ඒකට තීරණයක් ගන්න රොහාන්ට බැරි වුණා. එම හෝටලයේ ඉහළ මාලේ 5 වන කාමරය තමයි අපිට වෙන් කරලා තිබුණේ. ඒ මහලෙ 6 වන කාමරය අපි හිටපු කාමරයට එහා පැත්තෙ කාමරය එයාගේ අම්මාටයි අක්කාටයි වෙන් කරගෙන ඒ දෙන්නා එදා ඒ කාමරේ හිටියා. ඒ විතරක් නෙමෙයි නිතරම ටෙලිෆෝන් කර කර රොහාන්ගෙන් අහනවා ඇඳුම් මාරු කළාද? නෑවද? තේ බිවුවද කියලා. රෑ 11 ට විතර අම්මා ටෙලිෆෝන් කරලා රොහාන්ගෙන් අහනවා පුතේ කරදරයක් නෑ නේද කියලා. ඉතින් ඒ තත්වය උඩ එදා අපේ සතුට නැති වෙලා ගියා. මට කිසිම කරදරයක් වුණේ නෑ. රොහාන්ට නම් ඒ තත්ත්වය කරදරයක් වුණ බව මම දන්නවා. බිරියගේ මේ දීර්ඝ හෙළිදරව්වත් සමඟ මේ යුවළ පත් වී ඇති තත්ත්වයට හේතු සාධක අපට පෙනුණත් ඇයට මතක ඇති සියල්ල පවසන්නට අපි ඉඩ ලබා දුන්නෙමු. “මම රොහාන්ට කිව්වා අපි ඇනෙක්ස් එකක් අරගෙන පදිංචියට යමු කියලා. එයා කෙළින් තීරණයක් ගන්න බෑ. එහෙම තීරණයක් ගන්න රොහාන්ට මේ වන තෙක් බැරි වුණා. එයා හැම දේම අම්මාගෙන් අහනවා. අම්මා කරන්නෙ අම්මාට ඕන දේ. ඉතින් මධුසමයෙන් පසු අපි රොහාන්ගේ ගෙදර පදිංචි වුණා. අපි දෙන්නා හැරුණු කොට අම්මා විතරයි ගෙදර ඉන්නෙ. අම්මා තමයි ගෙදර ඉවුම් පිහුම් කටයුතු කරන්නෙ. උයලා රොහාන්ගේ තේ එක හදාගෙන ඇවිල්ලා සමහර වේලාවට රොහාන්ව ඇහැරවලා පොවනවා. මට කුස්සියට ගිහිල්ලා තේ හදාගෙන බොන්න කියනවා. මම අපි දෙන්නාටම තේ හදනවාට රොහාන්ගේ අම්මා කැමති නෑ, එයා හිතන්නෙ එයාගේ පුතාගෙ අවශ්‍යතාව දන්නෙ එයා විතරයි කියලා. කෑම කන්න ගි‍යහමත් හත් අට සැරයක් කෑම බෙද බෙද කන්න කියලා පෙරැත්ත කරනවා. උදේට ඔෆිස් යනකොට රොහාන්ගෙ ෂර්ට් එකේ බොත්තම් ටික පවා දාන්නෙ අම්මා. ටයි එක හදන්නෙ අම්මා. ඉතින් මගේ මහත්තයාගේ මට කරන්න දෙයක් ඉතුරු කරලා නෑ, ඉතින් මං කරන්නෙ කාමරේ ඔහුත් සමඟ ඉන්න එක විතරයි. බිරිය තම ආවේගය පිට කරමින් දිග සුසුමක් හෙළුවාය. මේ වන විට ඇය මේ සියලු කරුණු පිළිබඳව රොහාන් සමඟ කතා බහ කොට විසඳා ගැනීමට උත්සාහ දරා තිබිණි.

රොහාන්ගේ වැඩිමහල් සොහොයුරිය වාසය කළේ අල්ලපු වත්තේය. මව කිසි විටෙකත් ඔවුන් සමඟ විසීමට අකමැති වුවද රොහාන් සමඟ වාසය කිරීමට කැමතිය. මේ දෙදෙනා සමඟත් රොහාන්ගේ වැඩිමහල් සො‍හොයුරිය සමඟත් කරන ලද දීර්ඝ සාකච්ඡා වලින් අපට මෙම ප්‍රශ්නයට තුඩු දුන් යම් යම් හේතු සාධක ඉතා පැහැදිලි විය. මීට මුල් වී තිබුණේ ඇත්ත වශයෙන්ම රොහාන්ගේ පෞරුෂයේ ඇති වී තිබෙන දුර්වලතාවකි. ඔහුගේ පිරිමි ගති ලක්ෂණ යටපත් වී කාන්තා පෞරුෂ ලක්ෂණ මතු වී තිබිණි. නමුත් ඇති වී තිබෙන තත්වයට රොහාන් වග කිව යුතු නොවේ. ඊට ප්‍රධාන වශයෙන් වග කිව යුත්තේ රොහාන්ගේ මවයි. රොහාන් කුඩා කාලයේදී මෙවැනිම තත්වයක් රොහාන්ගේ පියාගෙන්ද අත් වී තිබිණි. ඔහුගේ පියා මිය යෑමත් සොහොයුරියන් දෙදෙනෙකු සමඟ හැදී වැඩීමත් යන කරුණු ද බලපා ඇත. මේ හේතුවෙන් කුඩා කළ සිට රොහාන් සහ මව අතර හොඳ බැඳීමක් ඇති වී තිබිණි. එය තමයි පසු කාලයේදී ඕනැවටත් වඩා තම පුතා පිළිබඳව සොයා බැලීමේ තත්වය. එය තරුණ වියේදීත් එක්ව විසීමෙන් මෙම තත්වය තද බල ලෙස උග්‍ර වීමට හේතු විය. සිග්මන් ෆොයිඩ් නම් වූ බටහිර මනෝ විද්‍යාඥයා විසින් මෙම තත්වය ඔහුගේ මනෝ විද්‍යාත්මක උපදේශන මූලධර්ම යටතේ ඉතා හොඳින් පැහැදිලි කර තිබේ. එනම් කුඩා දරුවන් වයස අවුරුදු 3 ත් 6 ත් අතර වයස් සීමාව තුළ ඔවුන්ගේ ලිංගිකත්වය හඳුනා ගනිමින් තම පියාගේ පෞරුෂ ලක්ෂණ උකහා ගැනීමට සැ‍රසේ. පියා ජීවතුන් අතර නොසිටී නම් එම දරුවාට පියාගේ පිරිමි පෞරුෂය ලබා ගැනීමට නොහැකි වේ. පියා මිය යෑම, දික්කසාද වීම, දුරස්ව රැකියා වල නිරත වීම හා දුර්වල පෞරුෂ ලක්ෂණ හෙබි පියවරුන් නිසාද දරුවන්ට හොඳ පෞරුෂ ලක්ෂණ ලබා ගැනීමට නොහැකි වේ. මෙම තත්වය අනුව දරුවා මවගේ පෞරුෂ ලක්ෂණ අනුව යොමුවේ. දිගින් දිගටම මෙම තත්වය පැවතුණහොත් කාන්තා ලක්ෂණ සහිත ඉතා හුරතල් ප්‍රසන්න පිරිමි දරුවෙකු බිහි වනු ඇත. නමුත් පියාගේ භූමිකාව නිවසේ නොමැති වුවද මව මේ පිළිබඳව දැනුවත් වී සිටී නම් එම අඩුව පිරිමි දරුවාට නොදැනෙන සේ පිරිමි ලක්ෂණ වර්ධනය කිරීමට දරුවා හට මවට උදව් කළ හැකිය. පියවරුන් දුරස්ව සිටියත් හැකි සෑම අවස්ථාවකදීම දරුවා හට දැනෙන සේ ආදරය කොට තමා ජීවත් වන බව දරුවාට හැඟවිය යුතු වේ. පියා මිය ගියද දරුවා හට හොඳ පෞරුෂයක් සහිත පවුලේ අයෙකුගේ පෞරුෂත්වය අනුගමනය කිරීමට මව මඟ පෙන්විය යුතුය. එසේ නොවුණහොත් සිදු වන්නේ රොහාන් වැනි දුර්වල අය සමාජයට එකතු වීමයි. පසුව ඇති කර ගත් පරිදි රොහාන්ටත් තම ලේලියටත් එම නිවසේ කල් ගෙවීමට ඉඩ හැර මව තම බාල දියණිය විසූ නිවෙසට ගියාය. මේ වන විට ඔවුහු සතුටින් සිටිති. රොහාන් හොඳ පෞරුෂත්වයක් ගොඩ නඟා ගනිමින් සිටී.

මනෝ විද්‍යා උපදේශක මේජර් සුසන්ත ද සිල්වා (විශ්‍රාමික)
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත