🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

අඟහරු දෝෂයට බියවිය යුතු නැහැ

අපේ ළමයට අඟහරු දෝෂය තියෙනවා. මංගල්‍යයක් කෙරෙනවා නම් හොඳට කේන්දර ගළපලා තමයි කරන්න කියලා තියෙන්නේ” එය බොහෝ දියණියන්ගේ සහ පුතුන්ගේ මව්වරුන් කියන කථාවකි. මේ නිසාම බොහෝ කාන්තාවන්ගේ විවාහ ප්‍රමාද වන අවස්ථාවනුත්, තමා කැමති පුද්ගලයා සමග දීග යාගත නොහැකිව ලතවෙන කාන්තාවන්ද අපි බොහෝ දැක ඇත්තෙමු. මෙය පුරුෂ පාර්ශ්වයටත් එසේමයි. ඇත්තටම මේ අඟහරු දෝෂය නිසා කියන තරම් නපුරක් සිදුවේද යන්න සොයාබැලිය යුතුය. ඒ සම්බන්ධව කෙරෙන විග්‍රහයන් කෙතරම් නිවැරදිද යන්න ගැනද ගැටලු මතුවේ.

අඟහරු දෝෂය එසේත් නැතිනම් කුජ දෝෂය පිළිබඳ ඉදිරිපත්වී ඇති මත කීපයකි. ලග්නයෙන් 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයක අඟහරු සිටීම, චන්ද්‍රයාගෙන් 1,2,4,7,8,12 යන ස්ථානයක අඟහරු සිටීම හෝ සිකුරුගෙන් 1,2,4,7,8,12 යන ස්ථානයක අඟහරු සිටීම එකී මත වෙයි. කෙසේ වෙතත් පුරාණයේ පැවැති එකී මතවලින් මේ වනවිට බහුල ලෙස පිළිගනුයේ ලග්නයෙන් 1,2,4,7,8,12 යන ස්ථානයක අඟහරු සිටීමයි. අනෙකුත් මත දෙක කෙරෙහි ‍ජ්‍යොතීර්වේදීන් එතරම් සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත.

අඟහරු දෝෂය නැතිනම් කුජ දෝෂය තවත් විටෙක භෞම දෝෂය යනුවෙන්ද හඳුන්වන මෙකී ග්‍රහ පිහිටීමෙන් සිදුවන්නේ කුමක් දැයි ‍ජ්‍යොතීර්වේදීන්ගෙන් විමසීමේදී ඔවුන් දෙන පිළිතුරු වනුයේ විවාහය බිඳීම, අඬදබර ඇතිවීම හෝ ස්වාමියාගේ හෝ බිරිඳගේ මරණය සිදුවීම යන කාරණා මින් සිදුවන බවයි. එසේ නම් මෙවැනි කේන්ද්‍ර හිමියන් කුමක් කළ යුතු දැයි විමසූ විට ඔවුන් පවසනුයේ ඒ හා සමාන කුජ දෝෂය ඇති කේන්දර හිමියෙකු සමග හෝ එක් කේන්දරයක කුජ සිටින ස්ථානයේ අනෙක් කේන්දරයේ රාහු සිටින කේන්දරයක් ගලපා විවාහ වීම මැනවිය යනුවෙනි. යෝජනාවකින් විවාහ වීමට සිටින යුවළකට මෙවැනි කාරණයකින් එතරම් විශාල බලපෑමක් නොවන්නේ ඔවුන්ගේ කේන්දර මුලින්ම ගැළපීම කරනු ලබන හෙයිනි. එහෙත් ආදර විවාහයකදී කේන්දර හිමි යුවළ මුහුණපාන්නේ අති විශාල ගැටලුවකට වේ. මන්ද ආදරය ප්‍රකාශ කිරීමට කේන්දර ඉල්ලන සිරිතක් ලෝකයේ කොතැනකවත් නැති හෙයිනි. අවසානයේ විවාහවීමට නැකැත් බැලීමට යාමේදී මෙවැනි ගැටලුවක් මතුවුවහොත් විවාහපේක්ෂිත දෙදෙනාත් ඔවුන්ගේ මව්පියනුත් මුහුණපානුයේ අතිවිශාල ගැටලුවකටයි. අප අත්දැකීමෙන් දන්නා කරුණු අනුව ‍ජ්‍යොතීර්වේදීන් ඔවුන් අනවශ්‍ය ලෙස බියගන්වා මානසික පීඩනයකට ලක්කිරීම බොහෝවිට සිදුවන්නකි.

එහෙත් මේ කාරණය සම්බන්ධයෙන් මා හට කීමට ඇත්තේ ඔබ ඊට එතරම් බියවිය යුතු නැතැයි යන්නයි. මන්ද මෙකී කුජ දෝෂය හෙවත් භෞම දෝෂය පිළිබඳ පුරාණ ආචාර්යවරුන් මෙන්ම වත්මන් ‍ජ්‍යොතීර්වේදීන් අතරද විවිධවූ මත තිබේ. එමෙන්ම එවැනි දෝෂයක් ඇත්නම් ඊට කළ යුතු පිළියම්ද ඇති බව සිතේ තබාගත යුතුයි. මේ සම්බන්ධව ඇති විවිධ මත සැලකීමේදී එක් මතයකින් කියැවෙනුයේ මේෂයට 2,7 රාශිවලත්, වෘෂභයට ලග්න රාශියටත්, මිථුනයට 1,4,7 රාශිවලත්, කටකයක 8 වැනි රාශියත්, සිංහයට 7 වන රාශියත්, කන්‍යාවට ලග්න රාශියත්, තුලාවට 8 වැනි රාශියත්, වෘශ්චිකයට 4,7,8 රාශිත්, ධනුවට 7 වන රාශියත්, මකරයට 2 රාශියත්, කුම්භයට 1,7,8 රාශිත්, මීනයට 4,12 රාශිත් කුජ දෝෂය නොයෙදෙන බවයි.

එමෙන්ම තවත් මතයකින් කියැවනුයේ වෘෂභ, කටක, සිංහ, කන්‍යා, මකර, කුම්භ යන ලග්නයන්ට කුජ දෝෂය කිසිසේත්ම නොයෙදෙන බවත්, මේෂ ලග්නයට 2 වැන්නෙත්, මිථුන ලග්නයට 4 වැන්නෙත්, තුලා, වෘශ්චික ලග්නවලට 8 වැන්නෙත්, ධනුවට 7 වැන්නෙත්, මීනයට 4,7 වැන්නෙත් පමණක් යෙදෙන බවයි. මේ අනුව බැලීමේදී අපට පෙනී යන කරුණක් වනුයේ කුජ දෝෂය සම්බන්ධ විවිධ ගුරුකුල අතර විවිධ මත පවතින බවයි. එසේ නම් මෙම කුජ දෝෂයට අප සැබැවින්ම බියවිය යුතු නැත. එසේම මවිසින් නිරීක්ෂණය කරන්නට ලැබුණු බොහෝ කේන්දර හිමියන්ගේ පෙනී ගිය කාරණයක් වූයේ කුජ දෝෂය පැවතියත් ඔවුනට පෙරකී ආකාරයේ බලපෑම් ඇතිවී නැති බවයි. පරීක්ෂා කළ කේන්දර අතුරින් එවැනි බලපෑමක් ඇතිව තිබුණේ කේන්දර හිමියන් දහදෙනකුටත් වඩා අඩු ප්‍රමාණයකට බව මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමි.

කුජ දෝෂය තිබේ දැයි නිවැරදිව දැනගත හැක්කේ ඒ පිළිබඳ නිවැරදිවම දන්නා ‍ජ්‍යොතිර්වේදියකුගෙන් පමණි. මන්ද කුජ දෝෂය නොයෙදන තවත් අවස්ථා රාශියක් පත‍පොතෙහි සඳහන් වේ. ඒ අතර අඟහරු උච්ඡ, නීච, රාශිවල සිටීම, ගුරුගේ දෘෂ්ටිය ලැබිම සහ ගුරු සමග එකම රාශියේ සිටීමෙන්ද කුජ දෝෂය භංග වන බව පවසන බැවිනි. කුජ දෝෂය හෙවත් භෞම දෝෂය බලපානුයේ පවුල් දිවියට වේ. නමුත් ආදරය, ඉවසීම, අනේ‍යාන්‍ය අවබෝධය යන කාරණා වර්ධනය කරගැනීමෙන් යහපත් පවුල් ජීවිතයක් ගත කළ හැක. අධික කේන්තියද අවකල් ක්‍රියාවන්ට සිත යොමුවීම කුජ දෝෂය නිසාම සිදුවන්නක් බව සඳහන් වේ. නමුත් තමුන්ගේ සිත මනා ලෙස හසුරුවා ගැනීමෙන්ම මේ සියල්ල ජයගත හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ඩී.ඩී. චමින්ද වික්‍රමරත්න උපුටා ගැනීම ලක්බිම පුවත්පත