🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

රාජ්‍ය සේවයේ තනතුරු හිමිවන තුලා ලග්න හිමියෝ

රාජ්‍ය සේවයේ තනතුරු හිමිවන තුලා ලග්න හිමියෝ

මෙලොව උපදින ඕනෑම කෙනකුට පළමුවෙන්ම හිමිවන්නේ ලග්නයයි. ඔහුට හෝ ඇයට නමක් පවා හිමි වන්නේ ලග්නය ලැබීමෙන් පසුයි. කෙනකු උපදින මොහොතේ නැඟෙනහිර ක්ෂිතිජයෙන් උදාවෙමින් පැවැති ලග්නය ඔහුගේ හෝ ඇයගේ ලග්නය වන බව ජේ‍යාතිෂයේ සඳහන්ය. ජන්මියකුගේ හැඩරුව, ගතිගුණ, චරිතය, දක්ෂතා, ලෙඩදුක් ආදී ජීවිතයේ සියලු දේවල් සිදුවන්නේ ලග්නය අනුවය. ඔබ උපන් ලග්නය අනුව ඔබේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලිපි පෙළේ හත්වැන්න වන මෙයින් තුලා ලග්න හිමියන් ගැන විග්‍රහ කෙරේ.

ශරීර ලක්ෂණ තුලා ලග්න හිමියන්ට පියකරු මුහුණක් හා උසට සරිලන මහතත්, මහතට සරිලන උසක් සහිතව වැඩුණු ශරීරයකට හිමිකම් කියයි. දිග හිසක්, කුඩා මුහුණක්, සෘජු නාසයක්, නිකටක් හා තියුණු නෙත් සඟලක්ද හිමි මොවුන්ගේ හිසකෙස් මඳක් දුඹුරු සහිත කළු පැහැයෙන් යුක්තය. කොට බෙල්ලක් ඇති මොවුන් නිතර සිනාසෙන කාටත් ප්‍රිය උපදවන සංවරශීලී පෙනුමකින් යුක්තය. සමහර තුලා ලග්න හිමි අයට සිහින් ශරීරද හිමිය. ගතිගුණ තුලා ලග්නයට අයත් සංකේතය තරාදිය වන අතර මොවුන් කාහටත් සාධාරණ වන නැති බැරි කෙනකුට උදව්වක් කර ඔවුන් සතුටු කරවමින් තමන්ද සතුටින් දිවි ගෙවීමට කැමැතිය. සිකුරු අධිපති තුලා ලග්න හිමියන් කරුණාභරිත සිතක් ඇති යුක්තිගරුක අය වේ. කතා කිරීමෙහි දක්ෂය. අන්‍යයන්ට කැපවීම් කොට තමා දුකට පත්වන අවස්ථා ඇති කරගනී. පරාර්ථකාමීත්වය ගරු කරයි. ප්‍රියමනාප තෙපුල් නිසා මොවුන් ජනප්‍රිය වේ. ජනතා සේවයට කැප වන මනුෂ්‍යත්වය හොඳින් ගරු කරන පුද්ගලයන් බොහෝ විට තුලා ලග්නයෙන් බිහිවේ. කෘතගුණ සලකන කීර්තිය ඇති ඇවිදීමට රුචියක් දක්වන ධාර්මිෂ්ඨ ගති ඇති අයයි. සාමය අගයන නමුත් තර්කයට බර පුද්ගලයෝය. ඉක්මනින් තරහා සංසිඳෙන තත්ත්ව ඇති මොවුන් තුළ උසස් සිතිවිලි ජනිත වේ. ආධ්‍යාත්මික වශයෙන් හැකියාවක් ඇති අතර හොඳ සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කරන අය වෙති. එහෙත් දුකක් කරදරයක් සිදුවූ විට එය දරා ගත නොහැකි සංවේදී බවක් මොවුන්ට ඇත.

ආදරය හා ලිංගිකත්වය මෙම ලග්නයෙන් උපත ලැබූවන්ගේ කාමාධික ගති වහා ඇතිව නැතිවී යන තත්ත්වයක් ඇත. කම් සැපත මෙන්ම ආධ්‍යාත්මික තෘප්තියද පතන්නෝය. මොවුන් අන් අයගේ දැඩි ආකර්ෂණයට ලක්වේ. සුවඳ විලවුන්, නව විලාසිතා, ඇඳුම් පැලඳුම්, ආභරණ පාවිච්චියට කැමතිය. කතාවෙහි විවිධ ස්වරූපයන් ඇති කරගන්නා අය වීම නිසා තුලා ලග්න හිමියන්ගේ විවාහය ඉතා ඉක්මනින් වේ. අවංකව ආදරය කරයි. තුලා ලග්න හිමි පෙම්වතා කිසි විටෙක තම පෙම්වතියට බොරු පොරොන්දු දෙන්නේ නැත. ඇය අමාරුවේ දමන්නේද නැත. විවාහය මෙම ලග්න හිමි අයට ජනවාරි 10 පෙබරවාරි 15 අතර උපදින අය හෝ මැයි 20 ජුනි 20 අතර උපදින අයකු බොහෝ විට විවාහයට හමුවනු ඇත. විවාහයෙන් පසු තුලා ලග්න හිමි කාන්තාවන් ස්වාමි භක්තියෙන් යුතුව තම සැමියාට සලකනු ලබයි. තුලා ලග්න හිමියන් විවාහයෙන් පසු තම බිරිය සමඟ සාමයෙන් දිවි ගෙවමින් ඇයගේ දුක, සැප ගැන නිතර සෙවිල්ලෙන් කටයුතු කරයි. රැකියාව රජයේ තනතුරු හිමිය. ගරු තනතුරුවලට සුදුස්සන්ය. චිත්‍ර, කාව්‍ය වැනි සාහිත්‍යයටද බරය. සුවඳ විලවුන් ආදිය, ආහාර වෙළෙදාමද සුදුසුය. නාවික අංශවල රැකියාවද හිමිය. සෞඛ්‍ය සේවයද, නීතිඥ වෘත්තියද තුලා ලග්න හිමියනට උසස් ලෙස ඵල දරයි. කර්මාන්ත ලෙස ඇඳුම් මැසීම, හඳුන්කූරු නිෂ්පාදනයද සුදුසු වේ. රූපලාවණ්‍ය සේවා, ග්‍රන්ථකරණයද මෙම ලග්න හිමියන්ට උරුම වේ. වෙළෙදාමෙන් එකවර ලබන සීග්‍ර දියුණුවක් නොපෙන්වුවද ක්‍රම ක්‍රමයෙන් දියුණු තත්ත්වයකට පත්වන අතර එම දියුණුව ස්ථිරසාර එකක්ද වනු ඇත. ධනය හා වස්තුව තුලා ලග්න හිමියන්ට බොහෝ විට ධනය රැස් කිරීමේ අපහසුතා ඇතිවේ. ආත්ම විශ්වාසයෙන් තොරව ක්‍රියාකරන බැවින් මුදල් පාලනය බෙහෙවින්ම දුර්වල වේ. නමුත් මොවුන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා මුදල් කෙසේ හෝ ලැබෙන පෙර පින් බලයක් ඇත. හදිසි ධන ලාභ ලැබීමට මෙන්ම නීතිමය ලියවිලි නිසා වස්තුව හිමිවීමට හැකියාවක් ඇත. මෙම අයට ආර්ථික ඥානයේ අඩුවක් පෙනේ. මෙම ලග්න හිමි අයට හවුල් ව්‍යාපාර වැනි දෙයක් සුදුසු වන්නේ එමඟින් තම හවුල්කරුවන්ගෙන් ලැබෙන උපදෙස් වඩා අගනා බැවිනි. හවුලේ ධනය ඉපයීමේ හැකියාව පවතී. තුලා ලග්න හිමියන් ලැබෙන ධනය පොදි බැඳ තබා ගැනීමට උත්සාහ නොගනියි. යම් අයකුට මුදල් හිඟ බවක් ඇති බව දැනගතහොත් කිසිදු ඉල්ලීමක් නොමැතිව වුවද මුදල් අවශ්‍ය අයට උදව් කිරීම තුලා ලග්න හිමියන්ගේ සිරිතය.

පහසුවෙන් සෑදෙන රෝග රුධිර රෝග, මුත්‍රා රෝග, චර්ම ආබාධ, වකුගඩු ආබාධ, ගර්භාශ රෝග ආදී බොහෝ විට මේ ලග්නයෙන් උපන් අයට වැලඳීමට ඉඩකඩ තිබේ. එමෙන්ම මෙම ලග්න හිමි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම කොඳු ඇට කොටසේ ආබාධ, තුනටියේ අසනීපද සෑදීමේ අවකාශ පවතී.මෙම ජන්මීන්ට රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය අඩු බැවින් රෝගවලින් ආරක්ෂා වීම නුවණට හුරුය. මරණය තුලා ලග්න හිමියන්ට ගිනි ගැනීමෙන් සිදුවන හදිසි අනතුරු, සොර සතුරන්ගෙන් ඇතිවන මරණීය තර්ජන ඇති කරයි. දේශපාලන හේතු නිසාද මරණය සිදුවිය හැකිය. ආදරය වෙනස්වීම නිසා සිය දිවි නසා ගැනීමටත් ඉඩ තිබේ. සිවුපාවකුගෙන් මරණය සිදුවිය හැකි අතර, මාර්ග අනතුරුද සිදුවිය හැකිය. සිය සෞඛ්‍ය ගැන නොසැලකීම නිසා හෘද රෝග, දියවැඩියාව වැනි මරණීය රෝග මඟින්ද මොවුන් තම මරණය ඉක්මන් කර ගන්නා අවස්ථාද පවතී. අත් අකුරු අකුරු කුඩාවට ලියන අතර වටකුරුව ලස්සනට ලියයි. ලිවීමේදී මෙම ලග්න හිමියන් විරාම ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරයි. අත්සන් කිරීමේදී කෙටියෙන් අත්සන යෙදීමට කැමැත්තක් දක්වයි. තුලා ලග්න හිමියන්ගේ අත් අකුරු විශ්ලේෂණයෙන් පෙනී යන්නේ මොවුන් කිසිදු දෙයකින් පහසුවෙන් කලකිරීමට හෝ පසුතැවීමට පත් නොවන අය බවයි.

ජය අංක හා සුබ දවස් මෙම ලග්න හිමියන්ගේ ශුභ දිනයන් වන්නේ ඉරිදා හා සඳුදාය. සිකුරාදා මධ්‍යස්ථ පල උදා කරයි. ගමන් බිමන් සඳහා සඳුදා ශුභ වන අතර වගා කටයුතු කිරීමේදී ඉරිදා දවල් 12.00ට පෙර කිරීමෙන් එම කටයුතු සාර්ථක වේ. මොවුන්ගේ ජය අංක වන්නේ 1, 2, 4, 7 වේ. 7 අංකය වඩා ප්‍රතිඵල ගෙන දේ. මෙයට හේතුව ලෙස අංක විද්‍යාඥයන් දක්වන්නේ 1, 2, 4 යන ශුභ අංකවල එකතුව අංක 7 වන නිසා බවයි. ජය වර්ණ හා ශුභ මැණික් තැඹිලි පාට මොවුන්ට වඩා ශුභ වන අතර කොළ සහ කහ පාට ශුභ නොවනු ඇත. මෙම ලග්න හිමියන්ට කරදර බාධක වැඩි කාලයට කැවිලි, පලතුරු සහිත පූජා වට්ටියක් තැඹිලි පාට තිරයකින් වසා පත්තිනි දෙවියන්ට පිදීමෙන් සෙතක් ශාන්තියක් ලබා ගත හැක. මොවුනට ශුභ මැණික් ලෙස රතුකැට, පද්මරාග, මුතු දැක්විය හැකිය. පවතින දශාව අනුව නියමිත වූ මැණික් ගලක් අල්ලන ලද රත්රන් මුද්දක් පැලඳීමෙන් කරදර බාධක දුරු කරගැනීමේ හැකියාවක් ඇත. දුර්වලතා තමන්ට හොඳ හිත පෙන්වන අයගෙන් මුදල් සම්බන්ධව ප්‍රවේශම් විය යුතුය. විවාහයෙන් පසු මධ්‍යස්ථව ක්‍රියා නොකිරීමෙන් පවුල් ජීවිත අවුල් වීමට ඉඩ ඇත. පැරැණි ගතානුගතික සිරිත්වලට ඇති ළැදියාව නිසා දියුණුව අඩුවීමට හේතු වේ. තීරණ ගැනීමේදී ඇති අකාර්යක්ෂමතාද දියුණුව අඩාල වීමට හේතුවකි. නිතර නිතර පී්‍රති වීමේ ආසාව නිසා ආසාවන්ට වහල් වීමේ ගතියක් බොහෝ විට තුලා ලග්න හිමියන් සතුය. ස්ථිර ප්‍රතිපත්තියක් නැති නිසා බොහෝ විට කරදරවල වැටේ.

නියෝජ්‍ය විදුහල්පති ජේ‍යාතිර්වේදී එම්. උපුල් ජය ශ්‍රී ද සිල්වා කොස්ගොඩ -0777 108 343
උපුටා ගැනීම මව්බිම පුවත්පත