🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

\"ඔය කටකතා පට්ටපල් බොරු\"

“ප්‍රීටි සින්ටා බංකොලොත් වෙලාලු. ණයකාරයො පස්සෙන් එන නිසා එයාගෙ ගෙය බදු දීලලු. දැන් එයාට පදිංචි වෙලා ඉන්නවත් ගෙයක් නැතිලු!” පසුගිය සතිය තුළ බොලිවුඩ්පුරයේ සමහරු මෙවැනි කතා තැන තැන කසු කුසු ගාන්න පටන් ගත්තා. අහුමුලුවලදී කෙරුණු මේ රහස් කතා ටික දිනකින් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ද දිග හැරුණා. මේ නිසා ජනප්‍රියත්වයේ ඉහළම තැනක රැඳී සිටි ප්‍රීටිට මුහුණ දෙන්න සිදුවුණේ අප්‍රසන්න වූ අත්දැකීමකටයි. ඇගේ නම යම් තරමකින් කැළල් වුණා. සිදුවෙමින් තිබුණු දේ හොඳින් තේරුම් ගත් ප්‍රීටි, මාධ්‍යයන්ට ප්‍රකාශයක් කළා. ඇය පැවසුවේ තමන් බංකොලොත් වී සිටින බවට පළවූ ආරංචිවල කිසිම ඇත්තක් නැති බවයි. “ණය ගෙවා ගන්න බැරුව, මම මගේ නි‍ෙවසම බදු දුන්නා ය කියල ප්‍රචාරයක් ගිහින් තියෙනවා. ඒක මම බදු දුන්නෙ රුපියල් ලක්ෂ 10 කටලු. එහෙම බද්දට දුන්නා නම් මම දැන් ඉන්නෙ පැල්පතක කියල ද හිතන්නෙ? පහුගිය අවුරුදු 10 තිස්සෙ මම පදිංචි වෙලා ඉන්නෙ මුම්බායිවල ගෙදරම තමයි. තාමත් ඉන්නෙ එතනමයි. මගේ ගේ බදු දුන්නා ය කියන කතාව අමූලික බොරුවක්. මම මේ ගැන මාධ්‍යවලට කිව්වේ. මේ කතාව දැන් ප්‍රධාන පෙළේ ප්‍රශ්නයක් වෙලා තියෙන නිසයි.” ප්‍රීටි කටකතාවලට උත්තර දෙමින් එලෙස පැවසුවා. ප්‍රීටි, බංකොලොත් වී ඇතැයි යන ‘කතන්දරය’ ගොතන්නට මුල් වුණේ ‘ඉෂ්ක් ඉන් පැරිස්’ නම් වූ බොලිවුඩ් චිත්‍රපටය බවයි සමහරු ප්‍රකාශ කරන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ප්‍රීටි. එය අධ්‍යක්ෂණය කළේ එස්. නටරාජා. 2013 දී තිරගත වූ මේ චිත්‍රපටයට ලැබුණේ ඇල්මැරුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. ඒ හේතුවෙන් විශාල මූල්‍යමය පාඩුවක් දරා ගන්නට ප්‍රීටිට සිදුවුණා. ඉන් පසුව එස්. නටරාජාට එරෙහිව නඩුවක් පවරන්නටත් ඇය පෙලඹුණා. නඩුව පවරමින් ප්‍රීටි කියා සිටියේ නටරාජාගෙන් තමන්ට රු. ලක්ෂ 20 ක මුදලක් ආපසු ලැබිය යුතු වුවත් එය ලබාදීම ඔහු පැහැර හැර ඇති බවයි. කොහොම වෙතත් ප්‍රීටි නම් කියා සිටින්නේ ‘ඉෂ්ක් ඉන් පැරිස්’ අසාර්ථක වීම නිසා තමන් බංකොලොත් වූවා යැයි පැවසෙන කතා ද අසත්‍ය බවයි. “දෙවියන්ගේ පිහිටෙන් මට තාම හිඟ පාඩුවක් නැතුව හොඳින් ජීවත් වෙන්න තරම් හැකියාවක් තියෙනවා. ඒ ගැන මගේ හිතේ කරදරයක් නැහැ. ඒත් හිතට නිතරම වද දෙන්නෙ, මං ගැන හතර අතේ පැතිරිලා තියෙන බොරු ආරංචි කියවද්දියි.” ප්‍රීටි තරමක නොසතුටකින් කියා සිටියා. උපුටා ගැනීම සිළුමිණ