🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

බෙහෙත් ජාති අඩුවෙන් දීම හොඳ දොස්තර කෙනෙකුගේ ලක්ෂණයක්

බෙහෙත් ජාති අඩුවෙන් දීම හොඳ දොස්තර කෙනෙකුගේ ලක්ෂණයක්

පවුලේ වෛද්‍යවරයකු ගේ සේවය වැදගත් වන්නේ ඇයි?

පවුලේ සාමාජිකයකු ගේ හෝ තමන් ගේ හෝ සෞඛ්‍ය ගැටලුවක් ගැන සාර්ථකව සාකච්ඡා කිරීමට නම් ඔබ හමුවන වෛද්‍යවරයා සමඟ සුහද බවක් මෙන්ම විශ්වසනීයත්වයක් ද තිබිය යුතුයි. රෝහලක දී බාහිර රෝගී අංශයන්ගෙන් රෝගයට නිසි ප්‍රතිකාර ලැබුණත් වැඩි දෙනෙක් සෑහීමකට පත් නොවන්නේ ඒ විශ්වසනීය බව හා සුහද බව නැති නිසයි.

වෛද්‍ය, රෝගී හමුවක් ඵලදායී වීමට නම් රෝගියා අවධානය යොමු කළ යුතු කරුණු මොනවා ද?

රෝගියා හෝ රෝගියා සමඟ එන භාරකරුගේ හෝ පෙර සූදානම මෙහි දී ඉතාම වැදගත්. සමහරුන්ට වෛද්‍යවරයා ඉදිරියේ දී තමන්ගේ රෝගය පිළිබඳ බොහෝ තොරතුරු අමතක වී යනවා. ඒ නිසා රෝග විස්තර හා රෝගය පිළිබඳව වෛද්‍යවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න පිළිබඳවත් කල් ඇතිව සූදානම් වී පැමිණීම වැදගත්. එය කොළ කැබැල්ලක සටහන් කර ගැනීම ඉතා ඵලදායී විය හැකියි.

නිවැරැදි රෝග විනිශ්චයක් සඳහා උදව් වන සාධක මොනවා ද?

මෙහිදී වඩාත් වැදගත් වන්නේ රෝගියා ලබා දෙන තොරතුරු සහ වෛද්‍යවරයා විසින් රෝගියා පරීක්ෂා කිරීමෙන් හා පරීක්ෂණ පැවැත්වීමෙන් ලැබෙන තොරතුරු. සමහර රෝගීන් ලජ්ජාශීලී ස්වභාවය නිසා ඇතැම් රෝග පිළිබඳ තොරතුරු සඟවා ගන්නවා. එහෙත් රෝගී තත්ත්වයත්, එහි ඉතිහාසය පිළිබඳවත් තොරතුරු නොසඟවා, නිවැරැදිව වෛද්‍යවරයාට දැනුම් දීම ඉතා වැදගත්.

රෝගියා විසින් වෛද්‍යවරයාට ලබාදිය යුතු වෙනත් තොරතුරු මොනවා ද?

වර්තමානයේ දරුවන් සිටින බොහෝ මවුවරුන් නිවෙසේ උණ කටුවක් තබා ගැනීමට අමතක කරන්නේ නෑ. වෛද්‍යවරයා හමුවීමට පෙර දරුවාගේ ශරීර උෂ්ණත්වය බැලුවානම් එහි සටහන් වූ අගය වෛද්‍යවරයාට දැන්වීමට අමතක නොකළ යුතුයි. සමහර අයට විවිධ ඖෂධ වර්ග විෂ සහිතයි. විවිධ අසාත්මිකතා ඇති කරයි. එවැනි ඖෂධ හඳුනාගෙන තිබේනම් ඒ බව ද දැන්විය යුතුයි. මේ වන විටත් වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ගන්නවා නම් ඒ පිළිබඳව ද දැනුම් දීම වැදගත්. විශේෂයෙන් සමහර වැඩිහිටියන් දියවැඩියා ප්‍රතිකාර, මානසික වෛද්‍ය ප්‍රතිකාර හා පවුල් සැලසුම් පෙති ආදිය ලබා ගන්නා අතරේ ම වෙනත් රෝග සඳහා ද ප්‍රතිකාරවලට යොමු වෙනවා. ඔවුන් ඒ පිළිබඳව අනිවාර්යයෙන් ම වෛද්‍යවරයා දැනුම්වත් කළ යුතුයි.

යම් රෝගියකු වෛද්‍යවරයා පිළිබඳව සෑහීමකට පත්විය යුතු වන්නේ කවර කරුණු මත ද?

වැදගත්ම දේ වෛද්‍යවරයා විසින් රෝගියා ඉතා හොඳින් පරීක්ෂා කිරීමයි. ඔහු උදර වේදනාවකින් පෙළෙනවා නම් උදරය වසා ඇති ඇඳුම් ඉවත් කර පරීක්ෂා කර බැලිය යුතුයි. උගුර වණ වී කැස්ස සෑදී තිබේනම්, කනේ වේදනාවකින් පෙළෙනවා නම් ඒ ඉන්ද්‍රිය පරීක්ෂා කර බැලීම වැදගත්. ගෙලෙහි ගැටිති තිබේදැයි පරීක්ෂා කර බැලීම ද කළ යුතුයි. එසේ කටයුතු නොකර නිවැරැදි රෝග විනිශ්චයකට එළඹිය නොහැකියි. මෙම පරීක්ෂා කිරීම් රෝගයෙන් රෝගයට වෙනස් විය හැකියි. එමෙන් ම රෝග පරීක්ෂාව අවසානයේ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස්වලට අමතරව ඒ පිළිබඳව ඔබට යම් සැකයක් හෝ ගැටලුවක් වේ නම් එය පැහැදිලි කරගැනීම සඳහා වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිය යුතුයි. ඔබ ගේ ප්‍රශ්නය විසඳා දෙනවා වෙනුවට වෛද්‍යවරයා උරණ වන්නේ නම් ඔහු හොඳ වෛද්‍යවරයකු නොවන බවට තීරණය කළ යුතුයි. එවැනි අවස්ථාවක ඔබට හැකි නම් එම වෛද්‍යවරයාගේ සේවය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව හා ඊට හේතුව වෛද්‍යවරයාට පැවසිය යුතුයි. එය ද ඔබ ලබා ගන්නා සේවාව ඵලදායි කර ගැනීමට උපකාරි වේ. එසේ නොවන්නේ නම් වඩාත් සුදුසු වන්නේ වෙනත් වෛද්‍යවරයකු තෝරා ගැනීමයි.

වෛද්‍යවරයා පිළිබඳ විශ්වාසයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගියත් සමහර අවස්ථාවල ඖෂධ නියම නොකරන්නේ ඇයි?

එය බොහෝ දෙනකුට ඇති ගැටලුවක්. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් ඖෂධ ප්‍රතිකාර ලබා දෙන්නේ අවශ්‍ය වන්නේ නම් පමණයි. සෑම රෝගයකටම බෙහෙත් වතුර, පෙති හෝ එන්නත් හෝ ලබාදීම අවශ්‍ය නෑ. ඒ සඳහා උපදේශයක් හෝ පැහැදිලි කිරිමක් ප්‍රමාණවත් විය හැකියි. එහෙත් වැඩි දෙනකු සිතන්නේ සෑම රෝගයකටම ඖෂධ ප්‍රතිකාර ඇත යන්නයි. එය වැරැදි විශ්වාසයක්. අනවශ්‍ය ලෙස ඖෂධ ප්‍රතිකාර ලබා දීම ද සිරුරට හානිකර විය හැකියි.

විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු වන්නේ කවර අවස්ථාවක ද?

ඇතැම් විට එය පවුලේ වෛද්‍යවරයා විසින් ම තීරණය කළ හැකියි. එසේ නැතිව විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා උපදෙස් ලබාගත යුතු යැයි ඔබ සිතන්නේ නම්, ඒ පිළිබඳව පවුලේ වෛද්‍යවරයාට දැන්විය යුතුයි. එවිට ඔහු අදාළ රෝගියා යොමු කළ යුතු විශේෂඥ වෛද්‍යවරයා තෝරා දී ලිපියක් සමඟ ඔහු වෙත යොමු කරනු ඇත.

නිතර නිතර වෛද්‍යවරුන් මාරු කිරීම නුවණට හුරු නෑ කියන්නේ ඇයි?

සමහර වැඩිහිටියන්, විශේෂයෙන් දරුවන් රෝගී වූ අවස්ථාවන් හිදී අනවශ්‍ය ලෙස කලබලයටත් බියටත් පත් වෙනවා. මේ නිසා ම වෛද්‍යවරුන් මාරු කරමින් ප්‍රතිකාරවලට යොමු වෙනවා. යම් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගනිමින් සිටින අතරතුර දරුවාගේ රෝග ලක්ෂණ උත්සන්න වන්නේ නම් ඔබ කළ යුතු වන්නේ නැවත එම වෛද්‍යවරයාම හමු වීමයි. තවදුරටත් රෝගයට ප්‍රතිකාර කරනවා ද, රෝහලක් හෝ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු ද යන්න තීරණය කිරීමට ඔහුට බාර දීමයි. රෝගය ඉක්මනින් සුව නොවන සෑම අවස්ථාවකම අලුත් වෛද්‍යවරයෙක් හමුවීමට යාම නුවණට හුරු නොවන්නේ නව වෛද්‍යවරයා රෝගියා ගේ ඉතිහාසය හොඳින් නොදන්නා නිසා ප්‍රතිකාර කිරීම නැවත මුල සිටම ඇරැඹීමට පෙලඹිය හැකි නිසයි.

යම් රෝගියකු අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු හමුවිය යුතු අවස්ථා මොනවා ද?

  • රෝගියෙක් ගණන් නොගෙන නොසිටිය යුතු රෝග ලක්ෂණ බොහෝ තිබෙනවා. ශරීර උෂ්ණත්වය ඉහළ යාම ඉන් ප්‍රධානයි. ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 102.2 හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 39 ට වැඩිනම්, වෙනත් රෝග ලක්ෂණ අසනීප ගතිය සමඟ ශරීර උෂ්ණත්වය අංශක 100.4 ට හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 38 ට වැඩිනම් ගණන් නොගෙන සිටීම නුවණට හුරු නොවේ.
  • එමෙන් ම උණ වැඩි වී දරුවාට වලිප්පුව හැදුණා නම් හෝ මින් පෙර දරුවාට උණ වලිප්පුව සෑදී ඇති නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු වෙත යොමුකළ යුතුයි.
  • යම් රෝගියකුට ශරීර උෂ්ණත්වය ඉහළ යාම සමඟ බෙල්ලේ තද ගතියක් එනම් බෙල්ල නැවීමේ අපහසුතාවක් හෝ බෙල්ල ඉහළට නැවී ඇත්නම් සහ තද හිසරදරයක් ඇතිවේ නම් එය මොළයේ උණ තත්ත්වයක් විය හැකියි. එවැනි අවස්ථාවක රෝගියා වහාම ප්‍රතිකාරවලට යොමු කළ යුතුයි.
  • ශරීර උෂ්ණත්වය ඉහළ යාමේ දී මෙන් ම පහළ යාමේ දී ද සැලකිලිමත් වීම ඉතා වැදගත්. යම් හෙයකින් ශරීර උෂ්ණත්වය ‍ෆැරන්හයිට් අංශක 95 ට හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 35 ට අඩු නම්, සම සීතල නම්, නිදිබර ගතිය දැනේනම් උද්‍යෝගිමත් බව නැතිව යා නම් තවදුරටත් බලා සිටිම සුදුසු නැත.
  • මැලේරියාව, උණසන්නිපාතය හා ‍ඩෙංගු වැනි රෝග තත්ත්ව නිසා ඇතැම් විට රෝගියාගේ උණ අඩු වී ගොස් නැවත එකවර ඉහළ යා හැකියි. ඒ නිසා එවැනි රෝගියෙක් වහාම වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි.


වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු ශාරීරික වේදනා හා අපහසුතා මොනවා ද?

හිසරදය, කලන්තය හා කැරකිල්ල දැනේ නම්, පෙනීම අපැහැදිලි නම් (විශේෂයෙන් දරුවා ගේ හිස යමක වේගයෙන් වැදුණේ නම්) අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි. උදරයේ, පපුවේ හෝ හිසේ වරින්වර මතුවන අධික කැක්කුම, මුත්‍රා පිට කිරීමේ දී වේදනාවක් ඇතිවීම, මුත්‍රා දුඹුරු කහ හෝ රතු පැහැයක් ගැනීම, දරුවා වේදනාවෙන් හැඬීම ද තවදුරටත් ගණන් නොගෙන සිටිය යුතු තත්ත්වයන් නොවේ. විශේෂයෙන් කුඩා දරුවන්ට උදරාබාධ වැලඳීමේ ප්‍රවණතාව ඉහළයි. බඩ බුරුලට යාම, (පැය 6 කට වඩා වැඩි කාලයක් දරුවාට බඩ බුරුලට යාම පවතින්නේ නම්) පැය හයකට වඩා වැඩි කාලයක් දිගටම වමනය යනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුයි. එය සමහර විට ආහාර විෂ වීමක් විය හැකියි. වමනය සමඟ කැරකැවිල්ල, ඕක්කාරය හා හිසරදය පවතින්නේ නම් සමහර විට එය මොළයේ ආබාධයක් විය හැකිය. වමනය හා ඔක්කාරය සමඟ උදරයේ දකුණු පස වේදනාවක් දැනේ නම් එය ඇපෙන්ඩිසයිට්ස් විය හැකියි. මේ රෝගී තත්ත්වයන් කිසිඳු විටෙකත් නොසලකා හැරිය යුතු නොවේ. මෙවැනි රෝගීන් වහාම රෝහලට ගෙන යන්න.

  • ගැඹුරු තුවාලයකින් අධිකව ලේ වහනය වන්නේ නම් 
  • සිරුරේ විවෘත පිලිස්සීම් ඇති වී තිබේ නම් 
  • සර්පයකු හෝ වෙනත් සතකු සපා කෑවේ නම් 
  • සිහි නැති වී නම් 
  • දරුවකුගේ හුස්ම ගැනීම අපහසු වී හෝ නතර වී තොල් නිල් පැහැවේ නම් 
  • ඇසට රසායනික ද්‍රව්‍යයක් වැටී ඇත්නම් 
  • විෂ සහිත ද්‍රව්‍යයක් ශරීරයට ඇතුළු වූයේ නම් 
  • එමෙන් ම අවුරුදු පහට අඩු දරුවකුගේ හුස්ම ගැනීමේ වේගය විනාඩියට පනස් වතාවකට වඩා වැඩිනම් 
  • හුස්ම ගන්නා විට පපුවේ සම ඇතුළට ඇදෙයි නම් හා අපහසුතාවක් තිබේනම් එය ද තවදුරටත් බලා සිටිය යුතු තත්ත්වයක් නොවේ. 

මෙවැනි රෝග ලක්ෂණ දුටු වහාම වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් රෝග බරපතළ තත්ත්වයට පත්වීමෙන් වැළකී සිටිය හැකියි. ජීවිතය අහිමි වීමේ අවදානම ද අවම කර ගත හැකියි.

වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අතරතුර සුවතාවක් දැනේ නම් ඖෂධ ප්‍රතිකාර නවතා දැමීම සුදුසු ද?

මෙය බොහෝ රෝගීන් විසින් කරනු ලබන වැරැදි ක්‍රියාවක්. වෛද්‍යවරයා නියම කරන ලද දින ගණනට කලින් ඖෂධ නවතා දැමීම බොහෝ රෝගී තත්ත්වයන් නැවත මතු වීමටත්, සංකූලතා ඇතිවීමටත් හේතු වේ. රෝගය සුව අතට හැරී සිරුරට යම් සුවතාවයක් දැනුණත්, රෝගය සම්පූර්ණයෙන් දුරු වීමට කාලයක් ගත විය හැකියි. යම් හෙයකින් රෝගය සුව වීමට පෙර ඖෂධ අතරමඟ නවතා දැමුවේ නම් උදාහරණ ලෙස කනේ වේදනාව පහවූ වහාම, උණ බැස ගිය විගස, කැස්ස අඩු වී විට, ආහාර අරුචිය පහව ගිය විගස ඖෂධ නවතා දැමුවේ නම් එම රෝගයන්ට හේතු කාරක වූ විෂබීජ නැවත පණ ගැන්වෙන්නේ නැවතත් එම ඖෂධයට එම විෂබීජ විනාශ කිරීමට බැරිවන ලෙස ප්‍රතිරෝධයක් ද වර්ධනය කර ගනිමින්. එවැනි තත්ත්වයක් දුරු කළ හැකි වන්නේ වෛද්‍යවරයා නියම කළ කාල සීමාව තුළම සියලු ම ඖෂධ ප්‍රතිකාර ගැනීමෙන් පමණයි. උදාහරණ ලෙස උගුරේ ආසාදනයක් ‘ස්ට්‍රෙප්ටොකොකස්’ බැක්ටීරියාව නිසා ඇති වී තිබේයැයි නිගමනය කළේ නම් එම රෝගියාට අඩු තරමින් සතියක් පමණ ප්‍රතිජීවක ඖෂධ දිය යුතුයි. මුත්‍රා මාර්ගයේ විෂබීජ ආසාදන සහ කනේ ආසාදන සඳහා නම් ඊටත් වඩා කාලයක් ඖෂධ භාවිත කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබෙනු ඇත. ඒ උපදෙස් නිසි ලෙස පිළිපැදීම රෝගියා ගේ වගකීමයි.

වෛද්‍යවරයකු විසින් රෝගීන්ට ඖෂධ නියම කරනු ලබන්නේ වයස් ප්‍රමාණය අනුව ද?

නෑ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ වයසට වඩා බර ප්‍රමාණයයි. උදාහරණ ලෙස රෝගියා ගේ බර කිලෝග්‍රෑම් එකකට පැරසිටමෝල් ඖෂධය නම් මිලිග්‍රෑම් 10 - 20 ත් අතර ප්‍රමාණ්‍යක් එක් වරකට ලබා දිය යුතුයි. මෙහි දී වඩාත් වැදගත් වන්නේ විශේෂයෙන් සිරප් හෝ වතුර වශයෙන් දෙන ඖෂධ නිවැරැදිව මැන රෝගියාට පෙවීමයි. සමහර විට ඔසුසල්වලින් ඖෂධ ලබාගන්නා විට තේ හැන්දෙන් එකක් ලබා දෙන්නයි උපදෙස් ලැබුණේ නම් ඉන් අදහස් කරන්නේ ඖෂධයෙන් මිලි ලීටර් 5 ක් ය යන්නයි. ඔබ නිවෙසේ භාවිත කරන තේ හැඳි විවිධ ප්‍රමාණයේ ඒවා නිසා මේ ගැන සැලකිලිමත් වීම වැදගත්. තේ හැඳි භාගයක් යනු මිලි ලීටර් 2.5 කි. බොහෝ විට අසුරනවල ඇති බෙහෙත් දියර වර්ග සමඟ ක්‍රමාංකනය කළ හැඳි හෝ කෝප්ප බහා ඇත්තේ ඒවා නියමිත පරිදි මැන ගැනීමට හා වැරැදි ලෙස ඖෂධ ලබා දීමෙන් ඇතිවිය හැකි සංකූලතාවයන් මඟ හරවා ගැනීම සඳහායි.

ඖෂධ ලබාගන්නා කාල අන්තරය ගැන වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඇයි?

සමහර ඖෂධ පෙති එක බැගින් දවසකට හතර වරක් ලබා දෙන ලෙසත් සමහර ඖෂධ පෙති පැය හයකට වරක් දෙන ලෙසත් උපදෙස් ලැබුණේ නම් මේ දෙක අතර වෙනසක් ඇති බව ඔබ හොඳින් දැන සිටිය යුතුයි. දිනකට සිවු වරක් බෙහෙත් දීමේ දී එය ලබා දිය යුතු වේලාව ඔබට පහසු පරිදි සකසා ගත හැකියි. මෙහිදී නිදාගෙන සිටින රෝගියා අවදි කරවා ඖෂධය ලබාදීම අනවශ්‍යයි. රෝගියාට පහසු වන පරිදි සකසා ගත් කාල අන්තරයක දී ඖෂධය දවස ඇතුළත සිවු වරක් ලබාදීමට පුළුවන්. එහි දී වෛද්‍යවරයා බලාපොරොත්තු වන්නේ දවසක් තුළ රෝගියා ගේ ශරීරයට නියම කළ ඖෂධ මාත්‍රාව කොටස් වශයෙන් පැය 24 ක් ඇතුළත ලබාදීමයි. එහෙත් පැය හයකට වරක් ඖෂධ ලබා දෙන ලෙස නියම කළේනම් හෝ පැය අටකට වරක් යැයි සඳහන් කළේ නම් රෝගියා නින්දෙන් නැගිටුවා හෝ එම ඖෂධය නියමිත වේලාවට ලබා දිය යුතුයි. එහිදී ශරීරය තුළ ඖෂධය උපරීම ලෙස ක්‍රියා කරන කාල සීමාව වැදගත්. නියම කළ කාලය ඉක්ම ගියේ නම් එහි ප්‍රයෝජනය නැතිවී යයි. එම නිසා ඖෂධය දීමට පටන් ගත් වේලාවේ සිට ඔරලෝසුව බලා නියම කළ පැය ගණන ගෙවුණු විගස ඊළඟ මාත්‍රාව ලබා දීමට පියවර ගත යුතුයි.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

සාකච්ඡා කෙළේ රමණී සුබසිංහ


උපුටා ගැනීම සිළුමිණ පුවත්පත