This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ප්‍රේමණීය මතකයක ඛේදනීය අවසානය
වේදනාව, කඳුළ, සුසුම, විරහව, සෙනෙහස, සතුට, සිනහව... මේ හැම දෙයක්ම ආදරේ ඇතුළේ තියෙනවා. සමහර විට ආදරයේදී ඇතිවන සුන්දර මතකයක් තවත් වෙලාවට අසුන්දර ඛේදවාචකයක් වෙන්න පුළුවන්. තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතත් එක්ක ආදරයෙන් ඉන්න කාලෙදි බලපු චිත්‍රපට, අහපු සින්දු... මේ හැම දේකම තියෙන්නේ අමුතුම ආදරණීය හැඟීමක්. ඒ දේවල් ගැන මතක් වුණත් අපේ හිතට ආදරණීය සිතුවිලි ගලාගෙන එන්නේ නිරායාසයෙන්මයි. ඒත් ඒ පෙම්වතා හෝ පෙම්වතියගෙන් වෙන් වුණාට පස්සෙ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක ගිය තැන්වලට ආයෙත් ගියොත් අපිට දැනෙන්නේ සතුටක් නෙවෙයි. එතකොට අපිට දැනෙන්නේ විරහ වේදනාවත් එක්ක මුසුවුණ මහා ඛේදනීය දුකක්. ඒක තමයි ජීවිතේ හැටි. ඒක තමයි ආදරේ හැටි. ආදරේ කරන කාලේදි අපි අහපු ගීතයක් විරහ වේදනාවෙන් ඉන්න වෙලාවට ඇහෙද්දි අපේ විරහව දෙගුණ තෙගුණ වෙනවා. අපේ මනස මේ වගේ ආදරණීය අවස්ථාවලට ගොඩක් සංවේදී වන බව ලව් සික් කියවන ගොඩක් දෙනෙක් අත්දැකීම්වලින්ම දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ජීවිතයේ එක් අවස්ථාවක සතුට සහ සිනහව ඇතිකරපු හේතුවම, ජීවිතේ තවත් වෙලාවක වේදනාව සහ දුක ඇති කරනවා. ඒ තමයි ආදරේ හැටි. සුන්දරත්වයෙන් පටන්ගන්න ගොඩක් ප්‍රේම කතා අසුන්දර ඛේදවාචක බවට පත්වෙන්නේ අපේම වැරැද්දෙන්. අපේ අතින් වෙන පොඩි අතපසුවීමක් පොඩි වැරැද්දක් නිසා සුන්දර ආදර කතාවලට අකාලයේ තිත තියන්න අපිට සිද්ධ වෙනවා. ඒත් අපේ සුන්දර මතකයක් අසුන්දර ඛේදවාචක බවට පත් කරන්න තරම් අනපේක්ෂිත කුරිරු බවක් සොබාදහමෙත් තියෙනවා. සුන්දර ප්‍රේම කතාවක තිබුණ ආස්්වාදනීය මතකයක් ස්වාභාවික විපතක් නිසා ඛේදනීයත්වයෙන් නිමා වුණු පුවතක් පසුගිය දවසක මට අහන්න ලැබුණා. ලංකාවේ ගොඩක් දෙනෙක් මේ කතාව ජනමාධ්‍යයෙන් අහන්න ඇති. ඒත් ආදරණීය කතාව ඇතුළේ තියෙන ආදරණීයත්වය සහ සිනහව තවත් මොහොතක ඛේදවාචකයක් වන බව මේ කතාවෙන් අපිට තේරුණා. ඒ නිසා මේ කතාව මම අද ලව් සික්වලින් කියන්නම්. රටටම දුක් කන්දක් ඉතුරු කරලා කොස්ලන්දෙදි සිදුවුණු නාය යෑම නිසා ජීවිත රැසක් අහිමි වුණා. ඒ නාය යෑමෙන් මවුපියන්ට දරුවො අහිමි වුණා. දරුවන්ට මවුපියෝ අහිමි වුණා. බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයන් අහිමි වුණා. ස්වාමි පුරුෂයන්ට බිරින්දෑවරුන් අහිමි වුණා. ඊටත් වඩා.... මනුෂ්‍යත්වයේ නාමයෙන් ගොඩනැඟුණුු මානව සම්බන්ධතා රාශියක් මේ පස් යට අමු අමුවේ වැළලුණා. පස්වලට වැළලිලා ගිය ඒ වටිනා මිනිස් ජීවිත සහ ආදරය ගොඩගන්න සහන සේවකයන් සහ හමුදාව දවස් ගාණක් තිස්සේ මහ වැස්ස මැද්දේ අතිශය අමාරු මෙහෙයුමක් සිදුකළා. ඔවුන්ගේ අරමුණ වුණේ පස් යට වැළලුණු සෑම මෘත දේහයක්ම සොයාගන්න එක. ඒත් මහ වැස්ස ඒ මෙහෙයුම්වලට ලොකු බාධාවක් වුණු නිසා මෘත දේහ සොයාගන්න වැඩේ ඒ තරම් ලේසි වුණේ නෑ. ඒ නිසා පස් යට දවස් ගාණක් තිස්සේ තිබුණු මෘත දේහ නරක්වෙන තත්ත්වයට පත්වෙලා තිබුණා. ඒත් සහන සේවකයන් සහ හමුදාව මේ මෙහෙයුම දිගටම කරගෙන ගියා. තමන්ගේ ඥාතීන්ගේ දේහයන් සොයන මෙහෙයුමට සහන කඳවුරුවල හිටපු නාය යෑමෙන් දිවි බේරගත්ත ජනතාවත් පස් යට සැඟවුණු ජීවිත හොයන මෙහෙයුමට එකතු වුණා. ඒ අතරතුරේදි පස් කන්දට යට වුණු කොස්ලන්දෙ ප්‍රාණය නිරුද්ධ වුණු ජීවිත එකින් එක හමුවෙන්න පටන්ගත්තා. මෘතදේහවල මුළු ශරීර වගේම ශරීර කොටස් විතරක් හමුවුණු අවස්ථාත් තිබුණා. නාය ගිය ගමේ දිවි බේරගත්ත අය හැමදාම නාය ගිය තැනට ආවේ තමන්ගේ ළඟම ඥාතීන්ගේ මෘත දේහයන් පස් අතරින් සොයාගනී කියන බලාපොරොත්තුවත් පොදිබැඳගෙන. යෝගරාජාත් මේ නායගිය තැනට ඇවිල්ලා සහන සේවකයන්ට මෘතදේහ හොයන්න උදවු කළා. තමන්ගේ සියලුම ඥාතීන් මේ වෙනකොට ඉන්නේ මේ පස් ගොඩ යට කියලා යෝගරාජා දැනගෙන හිටියා. යෝගරාජගේ පවුලේ කවුරුත් දැන් නෑ. ඒ හැමෝම පස්වලට යට වෙලා අඩුම තරමේ යෝගරාජාගේ නිවෙසත් පේන්න තිබුණේ නෑ. මේ කොස්ලන්ද නාය යෑමෙන් යෝගරාජාගේ බිරියත්, දරුවො දෙන්නත්, ලේලියත්, මාස හයක් වයසැති මිනිපිරියත් පස් යට සැඟවුණා. යෝගරාජාගේ බාල පුතා නව පරපුරේ ගායකයෙක් විදියට මියුසික් වීඩියෝවකුත් නිර්මාණය කරලා තිබුණා. මේ මෘතදේහ ඇතුළු ගමේ අනෙක් අයගේ වැළලුණු ජීවිත හොයන මෙහෙයුම දවස් ගාණක් තිස්සේ අඛණ්ඩව සිද්ධ වුණා. ඔය අතරතුරේදි තමයි නාය ගිය පස් අතර තිබිලා කකුලක කොටසක් සහන සේවකයන්ට හමුවුණේ. ඒ කකුලේ අයිතිකාරිය කවුද කියන එක ගැන හැමෝම විපරම් කරල බලද්දී, ඒ තමන්ගේ බිරියගේ කකුල කියලා යෝගරාජා හඳුනගන්නවා. ඒ කකුල තමන්ගේ බිරියගේ කියලා යෝගරාජා හඳුනගත්තේ බිරියගේ පාදයේ තිබුණ පුංචි ගැටිත්තකින්. ඒ ගැටිත්ත නොතිබුණානම් යෝගරාජාට තමන්ගේ බිරියගේ පාදය හඳුනගන්න බැරිවෙනවා. ඒත් ඒ ගැටිත්ත මොකද්ද? ඒ ගැටිත්ත ඇතිවුණේ කොහොමද? ඒ ගැටිත්තේ පසුබිම මොකද්ද? යෝගරාජාගේ බිරිය වුණු ක්‍රිශාන්තිගේ කකුලේ ඇතිවෙලා තිබුණු අන්න ඒ ගැටිත්ත පිටුපස තමයි මේ ආදරණීය කතාව තියෙන්නේ. ඒ කතාව නිසා තමයි මේ ගැන ලව් සික්වල ලියන්න ඕනේ කියලා හිතුණේ. යෝගරාජාගේ පවුලේ හැමෝම දැන් මිය ගිහිල්ලා. පස් යට තිබිලා ක්‍රිශාන්තිගේ.. ඒ කියන්නේ යෝගරාජාගේ බිරියගේ කකුල හමුවුණු අවස්ථාවේදී යෝගරාජා මහත් වේදනාවක් හිතේ තදකරගෙන ඇයගේ කකුලේ ඇති ඒ ගැටිත්ත ගැන මාධ්‍යවේදීන්ට විස්තර කළේ මෙන්න මෙහෙමයි. "මම නෝනට ආදරේ කරපු කාලෙ මම නෝනට මලකින් ගැහුවා. එතකොට නෝනා මාව එළෝගෙන ආවා. එතකොට නෝනගේ කකුලේ ඇඟිල්ල එතැන තිබුණු කළු ගලක වැදුණා. කකුලේ ඒ වැදුණු තැන පොඩි ගෙඩියක් ගැටයක් වගේ පොඩියට තිබුණා. ඒක එන්න එන්න ලොකු වුණා. එතකොට හැම වෙලාවෙම මම එයාට කියනවා ඒක ඔපරේෂන් කරලා අයින් කරමු කියලා. ඒත් එයා කිව්වෙ මතකයට ඒක තියෙද්දෙන් කියලා. ඒත් මේ වගේ දේකට කියලා මම දැනගෙන හිටියෙ නෑ" ඔව්... කවදා හරි දවසක අකාලයේ තමන්ව දාලා ගිය බිරියගේ කකුලේ කොටසක් හඳුනාගන්න මේ ගැටිත්ත උපකාර වෙයි කියලා යෝගරාජා දැනගෙන හිටියෙ නෑ. ආදරේ කරන කාලෙදි වෙච්ච සුන්දර අත්දැකීමක මතකයක් සදාකල් තියාගන්න ඕන නිසා යෝගරාජාගේ බිරිය තමන්ගේ කකුලේ තිබුණ කුඩා ගෙඩිය ඉවත් කරන්න කැමැති වුණේ නෑ. ඒත් අන්තිමේදි ගෙඩියක් වගේ තිබුණ ඒ පුංචි ගැටිත්ත යෝගරාජාට උපකාරි වුණේ මිය ගිය තමන්ගේ බිරියගේ සිරුරේ කොටසක් හඳුනාගන්න. යෝගරාජා කවදාවත් හිතුවෙ නෑ මේ ගැටිත්ත යෝගරාජාට කවදාහරි දවසක උපකාරි වෙන්නේ මේ විදියේ ඛේදවාචකයක නිමාවක් හඳුනාගන්න කියලා. ප්‍රේමණීය මතකයක ඛේදනීය අවසානය සිද්ධ වුණේ අන්න ඒ විදියට. ලක්මිණ රණසිංහ උපුටා ගැනීම මව්බිම