🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ලෝකයේ මෙහා කෙළවරේ සිට එහා කෙළවරට ගිහින් ජීවිතය ජය ගත් අපූරු මිනිසෙක්

ලෝකයේ මෙහා කෙළවරේ සිට එහා කෙළවරට ගිහින් ජීවිතය ජය ගත් අපූරු මිනිසෙක්

පෙරදිග ඉවුරේ සිට බටහිර ඉවුරට හෙවත්, ලෝකයේ මෙහා කෙළවරේ සිට එහා කෙළවරට ඔහු සංක‍්‍රමණය කළේ කිසිවක් සන්තකයේ දරාගෙන නොවීය. ඇඳිවත හැර ඔහු සන්තකයේ තිබුණේ නැව් රස්සාවෙන් ලැබුණු ඩොලර් 500 මුදල පමණකි. දශක දෙකකට එහා වූ අතීතයේදී මේ ඩොලර් පන්සීයයද රැගෙන ඔහු ගොඩ බැස්සේ ඇමෙරිකානු කලාපයේ උතුරු ඉම වූ කැනඩාවේ කියුබෙක් ප‍්‍රාන්තය වෙතය.

කැනඩාවේ පවතින දේශගුණය ගැන ලෝකයාට අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. එහි පවතින්නේ ශීතාධික දේශගුණික රටාවකි. දහවලේදී කෙසේ වෙතත් රාති‍්‍ර කාලයේදී මේ ශීතාධික දේශගුණික ස්වභාවය, තුන්වැනි ලෝකයේ ගින්දරට පිච්චි, පිච්චි සිටිනා විදේශිකයකුට දැරිය නොහැකි වූ දෙයකි. මහ පාන්දර ඔහු කියුබෙක් වරායට ගොඩ බැස්සේ ඉසිලිය නොහැකි වූ ශීතල දේශගුණික ස්වභාවයක් පැවැතියදීය. එය හරියට කබලෙන් ළිපට වැටුණාක් මෙන් වූ දෙයකි. නමුත් නුහුරු නුපුරුදු වූ ඒ පරිසරය වෙත ඔහු සංක‍්‍රමණය වූයේ අරමුණක් ඇතිවය. එය හුදු අරමුණක් පමණක්ම නොවීය. ඉන් වසර කීපයකට පසු තමුන්ගේම ව්‍යාපාර පරිශ‍්‍රයක හිමිකරු වීමට ඔහුට හැකිවිණි. එය අද කැනඩාවේ ස්ථාපිත ප්ලාස්ටික් ප‍්‍රතිචකී‍්‍රයකරණය වෙතින් නිෂ්පාදන නිපදවන එම අංශයේ මුල්පෙළේ ආයතනයක් යැයි අතිශයෝක්තියකින් තොරව සඳහන් කළ හැකිය. ජීවිතය සැබෑ යථාර්ථයෙන්ම ජයගත් මේ මිනිසා කවුරුන්ද? ගිනස් වාර්තා පොතට නම් ඔහු ගොස් ඇත්තේ ලෝකයේ දිගම කොණ්ඩයට හිමිකම් කියන පුද්ගලයා ලෙසය. කැනඩාවේ සිට නැතහොත් ලෝකයේ එහා ඉවුරේ සිට "විෂන් ප්ලාස්ටික් ඉන්කෝපරේෂන්" ගොඩ නැගූ සුදේශ් මුතුනවගොන්න යන ඒ මිනිසාගේ ජීවිතය ජයගත් කතාවයි මේ.

ළමා කාලයේදී වූ මතකයෙන් අපි පිළිසඳර ආරම්භ කරමු?

ළමා කාලයේදී මම එතරම් දඟ චරිතයක් වුණේ නැහැ. බොහොම තැන්පත් ගති පැවැතුම් තිබුණෙ. නමුත් සම වයසේ ළමුන් එක්ක වඩාත් මිත‍්‍රශීලි චරිතයක් වුණා.

ඉගෙනීම් කළේ?

දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයෙන්.

පාසල් සමයේදී විශේෂ අරමුණක් තිබුණද?

විශේෂ අරමුණක් තිබුණෙ නැහැ. සංගීත විෂයට වැඩියෙන්ම ආසා කළා. බට නළා වාදනයෙන් සමස්ත ලංකා දෙවැනියා පවා වුණා. ගෙදර වටපිටාවත් ඊට බලපෑවා. මොකද අපේ තාත්තා සංගීතයට සමීපව සිටිය නිසා.

ඇයි සංගීත අංශයෙන් දුර ගමනක් නොගියේ?

ළමා කාලයෙන් තුරුණු වියට සමීප වෙද්දී සොබාදහමට ගොඩාක් ළැදි කෙනෙක් වුණා. ගහට - කොළට සතා - සීපාවට, ඒ වගේම ඇළට - දොළට, මහ මුහුදට ආදරය කරන්න පටන් ගත්තා. දවසක්දා මුහුදු තීරය අසලට ගොස් එහි අසිරිය විඳිමින් සිටියදී මේ පරිසරයට සම්බන්ධ රැකියාවක් කරන්න ඇත්නම්? කියන සිතිවිල්ල ඇතිවුණා. දිනෙක මුහුදේ ඈත නිම්රේඛාවට සමීපව නෞකාවක් ගමන් ගන්නා අයුරු දුටුවා. නැව් රස්සාව ගැන මුලින්ම ආසාවක් ඇති වුණේ ඒ විදියටයි. එවකට රටේ තිබුණු කලබලකාරි වාතාවරණය නිසා ඉක්මනටම රැකියාවක් සොයාගත යුතුයි කියලා විශ්වාස කළා. ඒ වගේම මා ඉගෙන ගත් පාසලට සිදුවූ සිද්ධියක් නිසා මගේ හිත සසල වෙලා තිබුණෙ.

ඒ මොන වගේ සිදුවීමක් නිසාද?

ඒ දිනවල රටේ පැවැති ජාතිවාදී කලබල නිසා නගරයේ ගිනි ඇවිළී ගිය පසු පාසල් ගොඩනැගිල්ලත් ගිනි ගත්තා. කවුද තමුන්ගේ පාසලට ආදරේ නැත්තෙ? මගේ හිත කඩා වැටුණා. ඒ ගිනි ජාලාව මැදට වෙලා මම බලාගෙන හිටියා. අනෙක් ළමුන් ඔක්කොම පාසල හැර ගිහින්. ඒත් මට පාසල දාලා යන්න හිතුණෙ නැහැ. ගෙදර ඔක්කෝමලා ඇවිත් මාව හොයන්න පටන් ගෙන. ඒ්ත් මම වෙන පාරකින් ගෙදර ඇවිත් හිටියෙ. නමුත් ගෙදර අය හොඳටම බය වුණේ මට හානියක් වෙලා ඇති කියලයි. එදා නම් මම ගෙදරින් හොඳට බැණුම් ඇහුවා.

පාසල් ගමන නතර කළේ?

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත රටේ ඇතිව තිබූ කලබලකාරි වාතාවරණය නිසා ගෙදර අය හොඳටෝම බයවෙලා  හිටියෙ. අයියා, අක්කා, නංගී සහ මා ගැන මාපියන්ට තිබුණෙ ලොකු බියක්. විශේෂයෙන්ම දවසක්දා අම්මා මගේ හඳහන බැලූවාම මෙයා හොඳ පැත්තට ගියොත් ගොඩාක්ම හොඳ වේවි. නරක පැත්තට ගියොත් වඩා නරක වේවි කියලා ප‍්‍රකාශ වුණාලූ. ඒ නිසා නිතරම මාපියන් අපව ආරක්ෂා කළා. කොහොම වුනත් විදෙස්ගත වනවාට ගෙදර අය කැමැති වුණේ නැහැ. අපි බොහොම සාමාන්‍ය පවුලක්. ඒත් අපේ පවුලේ ලොකු බැඳීමක් තිබුණෙ. අම්මාත් රැකියාවක් කළා. ඒ කාලයේ කොළඹ  නගර සභාවට අයත් සංගීත කණ්ඩායමක් තිබුණා. බටනළා සහ වයලීන අංශයෙන් මා ඒ වාද්‍ය කණ්ඩායමට එක්ව කටයුතු කළා. මේ අතරේදී තමයි වෘත්තීය ජර්මාන් කාර්මික ආයතනයේ පුහුණු පාඨමාලාවකට යොමුව සිටියෙ. නමුත් අතරමග එය නවතා රටින් පිටවෙන්න මම තීරණය කළා.

ඇයි ඒ විදියට රටින් පිටවන්න තීරණය කළේ?

මං කිව්වනෙ ජලයට සම්බන්ධ රැකියාවකට ආසා කළා කියලා. ඒ නිසා නැව් රස්සාවකට යාමට තීරණය කළා. හැබැයි ඒ සඳහා නියමිත වයසට එළැඹ සිටියෙ නැහැ. කෙසේ වෙතත් මා වඩාත් හොඳින් දන්නා හඳුනන මිතුරෙක් සිටියා. එයාගෙ තාත්තා මා සමග ඉතා හිතවත්ව හිටියෙ. ඒ දැන හැඳිනීම නිසා මායි මගේ යාළුවයි. එයාගේ තාත්තායි නැව් රස්සාව බලා විදෙස්ගත වුණා. ගෙදර අය එය දැන ගත්තෙ එදා රාති‍්‍රයේ. විදෙස්ගත වීමට යාමට මොහොතකට පෙරදියි. එයාලා පුදුම වුණා.  ඒත් මගේ ගමන නතර කෙළේ නැහැ. එවකට රටේ තිබූ තත්ත්වය නිසා රටින් පිටව සිටීම වඩාත් සුදුසු යැයි එයාලා විශ්වාස කළා.

ඉන් පසුව නැව් නැග කොහේටද ගියේ?

මගේ මිතුරාගේ පියා නැව් රස්සාවට මිනිසුන් යොමු කළ ආයතනයක් පවත්වාගෙන ගියා. නමුත් එයත් අපි එක්ක යාමට සූදානම් වූ නිසා තමයි බයක් සැකක් නැතුව නැව් රස්සාවට යොමුවුණේ. ඔහු මා සහ ඔහුගේ පුතු නැවට රැගෙන ගිය මොහොතේදී ප‍්‍රධානියා ඔහුගෙන් විමසුවේ "උඹට තව කිරි බොන එවුන්" හොයා ගන්න බැරි වුණාද කියලයි. අපේ පෙනුම දිහා බලලා එහෙම කියන්න ඇති. නමුත් ඔහු තැබූ විශ්වාසය මා කඩ කළේ නැහැ. බහරේනයට ගිහින් තමයි අපි නැවට නැග්ගෙ. නැවේ කළ රස්සාව එතරම්ම පහසු වුණේ නැහැ. වෙලාවකට හිස කැරකැවෙන්න පටන් ගත්තා. ඒත් ඒ නැවේ හිටපු සේවක පිරිස හරි හොඳයි. අපි පොඩි නිසා අපට බොහෝ දේ කියා දුන්නා. ඒ කාලයේදී තමයි කුවේට් යුද්ධය තිබුණෙ. යුද නෞකා අපේ නැව් අසලින් ගමන් ගනිද්දී අපේ නැවටත් ප‍්‍රහාරයක් එල්ල වේවිද කියන බිය නිරන්තරයෙන් තිබුණා. මොන තරම් දුෂ්කරතා තිබුණත් ඒ කිසිවකින් පලා යන්න හිතුවේ නැහැ. එක් දවසක් නැව් රස්සාවට යොමු කළ මගේ මිතුරාගේ පියාගේ උපන් දින සාදය පැවැත් වුණා. එහිදී අපේ නොදැනුම්වත්කමට නැවේ හිටපු ඔක්කෝමලා සංග‍්‍රහ කළ දේ පානය කළා. විශ්වාස කරන්න, මේ නිසා සතියක් විතර යන කල් හිස කෙළින් කරගන්න බැරිවුණා. නමුත් ඒ නිසා වෙච්ච හොඳ දේ නම් එය මගේ ජීවිතයේ පළමු සහ අවසාන මත්පැන් බීම වුණා. ආයෙ කිසිම දිනෙක අද දක්වා කිසිම දෙයක් පානය කර නැහැ. එය හෙටත් එහෙම වේවි.

ඉන්පසුව කැනඩාවට යාමට තීරණය කළේ ඇයි?

බහරේනයේ සිට වසර දෙකක් නිමවා නැවත ලංකාවට ආවා. ඇවිත් නාවික රස්සාවට අවශ්‍ය සුදුසුකම් සහතික සඳහා ඉගෙන ගත්තා. ඉන්පසුව තමයි වෙනත් නැව් සඳහා රැකියාවට යොමුවුණේ. එතැන් සිට මම මගේ ගමන යා යුතුය කියන අරමුණ දැක්ම තදබල ලෙස මගේ හිතේ සලකුණුව තිබුණා. බහරේන් නැවේ දී ජෙෆ් නැමැති ශ්‍රී ලාංකික ප‍්‍රධාන ඉංජිනේරුවා වෙතින් උගත් බොහෝ දේ තිබුණා. දෙවැනි වර නැව් රස්සාවට යොමු වුණේ ඇමෙරිකාවට යා යුතුය කියන අදහස ඇතිවයි. එවර නැව් රස්සාවට අවතීර්ණ වුණේ. ඒ සඳහා වූ සුදුසුකම් සමගයි. දෙවැනි ගමනේදී ලෝකය වටේ යමින් වසර දෙකක් විතර නැව් රස්සාවේ යෙදී සිටියා. නැවත ලංකාවට නිවාඩුවට එන විට අයියා සහ අක්කා ඉතාලියටත්, නැගණිය විවාහ වී ජපානයටත් ගොස් සිටියා. ගෙදර පාළුවට ගිහින් තිබුණෙ. ඒත් මගේ අරමුණ කරා යාමට තීරණය කර තිබූ නිසා පසුබට වුණේ නැහැ. මේ ගෙවී ගිය කාලයේ දී ලංකාවේ ගෙදර හදන්නත් පුළුවන් වුණා.

ඉන්පසු ඇමෙරිකා ගමන සඵල කරගත්තාද?

ඇමෙරිකාවට යාම කෙසේ වෙතත් ඇමෙරිකාවේ උතුරු අර්ධද්වීපයේදී එනම් කැනඩාවේ උතුරු කොනට මා සේන්දු වුණා.

ඒ මොන විදියටද?

කි්‍යුබෙක් ප‍්‍රාන්තයේ වරායට ගොඩ බැස්සෙ. බැහැලා ආයෙත් ඒ නැවේ රස්සාව කරන්නෙ නැහැ මෙතැන් සිට ඇමෙරිකාවට ගිහින් නිව්යෝර්ක් නගරයට යාම පහසුයි කියලා හිතුවා. ඒත් නැවෙන් ගොඩ බැස්ස පාන්දර ජාමයේදියි. මොන තරම් ශීතලක් තිබුණද කිව්වොත් තොල් විවර කරන්නවත් බැරි තරමට ගල්වෙලා තිබුණෙ. යන්නෙ කොහෙටද? මොනවද කරන්නෙ? කොතැනද ඉන්නෙ? ඒ සියලූ දේ මතක් වෙද්දී ලොකු බියක් ඇතිවුණේ. නමුත් ටැක්සි රථයකින් කියුබෙක් නගරයට සේන්දු වුණා. පාන්දර නිසා දුම්රිය, බස්රථ කිසිවක් තිබුණේ නැහැ. කියුබෙක් නගරයේ බස් නැවතුම්පළක නිදාගත්තා. ශීතල ගැන හිතුවොත් මාව මැරේවි. ඒ නිසා ඒ ගැන නොසිතා වකුටු වෙලා නිදාගත්තා.

පසුවදා මොනවද කළේ?

කියුබෙක් සිට බස්රථයකින් ටොරොන්ටෝ බලා පිටත් වුණා. එතැනට ගියාම නිව්යෝර්ක් ගමන පහසු වේවි කියා විශ්වාස කළා. ටොරොන්ටෝවට ඇවිත් මම ලංකාවට ඇමතුමක් ගත්තා. ලංකාවෙන් ටොරොන්ටෝ ඇවිත් සිටි හිතවත් අයගේ අංක ඉල්ලා ගත්තා. ඇමෙරිකාවේ හිටපු යාළුවකුටත් ඇමතුමක් ගත්තා. එයා ටොරොන්ටෝ නගරයේ සිටි එයාගෙ මිතුරකුගේ අංකය ලබා දුන්නා. පසුව මම එයා හොයාගෙන ගියා. ගිහින් ටොරොන්ටෝවල නතරවන්න තීරණය කළා. ඔහු සමීපයේ සතියක් දෙකක් පමණ රැඳී සිටියා. එතැන් සිට මම එහි පාසලකට යොමුවුණා. අඩු වයස නිසා මාව බඳවා ගත්තා. පාසලේ ඉගෙන ගත්තා ඒ අතරේ රාති‍්‍රයේ නියැළෙන රැකියාවකුත් සොයා ගත්තා. අද මා නිරතව සිටින මේ ගමනාන්තයේ පළමු පියවර එය වුණා.

මොකක්ද කළ රස්සාව. කොහොමද ඔබගෙ අද සිටින ගමනේ මූලාරම්භය එය වුණේ?

ප‍්‍රතිචකී‍්‍රයකරණ කටයුතු සිදුකළ සමාගමක රස්සාව ලැබුණෙ. විවිධ කොටස් සඳහා කටයුතු සිදුකළ ආයතනයක්. මාව යෙදෙව්වේ ප්ලාස්ටික් අංශයටයි. එතැනදී එම අංශයේ බොහෝ දේ ගැන ඉගෙන ගත්තා. ඒ විදියට වසරක විතර කාලයක් එතැන වැඩ කළා. ඒ අතරේ රට පළාත සොයන්න පටන් ගත්තා. වැන්කූවර් පළාත හරිම ලස්සන බව දැනගත්තා. ඒ හන්දා එම පළාතට යාමට තීරණය කළා. ටොරොන්ටෝවේ කළ රැකියාව දාලා වැන්කූවර් ගියාට එහි ඉන්න හිතුණෙ නැහැ. නිතරම හිරිපොද වැස්ස. ඒත් ගිය නිසා අවන්හලක වැඩ කළා. වැන්කූවර්වල සිටි යාළුවා ඊට උදව් කළා. ඒ වන විට බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටි නිසා නැවත මම ටොරොන්ටෝවට ආවා. නැවත පෙර කළ රස්සාවම කරන්න  ඕනෑ වුණේ නැහැ. වෙන තැනක වැඩට ගියා. දැන් ඇති කියලා ආපහු ලංකාවට ආවා.

ලංකාවට ඇවිත්?

මෙහි රැකියාවක් නොමැතිව සිටීම අපහසු වුණා. ඒ නිසා වීසා අරගෙන ඇමෙරිකාවට ගියා. ඒ ගියත් දෙවැනි ගෙදර වගේ දැනුණේ කැනඩාවයි. ඒත් කැනඩාවට ගියාම වීසා නැති නිසා මාව පිට කළා. ඒත් ජීවිතයේ වෙන අරමුණක් තිබුණෙ නැහැ. මගේ ගමනාන්තය කැනඩාවම තමයි කියලා හිතාගෙන ආයෙත් තෙවැනි වර කැනඩාවට ගියා. ගිහින් මම මා වෙනුවෙන් පෙනී සිටියා. එහෙටම ඇයි එන්නේ? ඇහුවාම මම මගේ ගෙවී ගිය ජීවිතය ගැන කිව්වා.  මේ විදියට ඒමට පෙර විවාහ වෙන්න සියලූ දේ සූදානම් කරලා ගියේ. ගිහින් පළමු මාස දෙක තුන විතරයි මිතුරන් සමග සිටියෙ. මම මත්පැන් පානය නොකළ නිසා තනිවම කාමරයක් අරගෙන ජීවිකාව ගෙන ගියා. නැවත ලංකාවට ඇවිත් විවාහ වී බිරිඳ සමග කැනඩාවට ආවා.

මේ වන විටත් ඔබගෙ ව්‍යාපාරය අරඹා තිබුණෙ නැද්ද?

ඒ වන විටත් සේවය කළේ වෙනත් තැනෙක. බිරිඳ ආපසු තනි කාමරයේ සිටිය නොහැකි වුණා. ඉතින් අපි වෙනත් තැනක කුලී නිවසක් සොයා ගත්තා. ඒ නිවසට යන දවසේම කළ රස්සාව අහිමි වුණා. එයාලා සේවක කප්පාදුවක් කළ නිසයි එහෙම වුණේ.

එයින් පසුව?

රැකියාවකුත් නැහැ. ගෙදර බඩු මුට්ටුත් නැහැ. රෙද්දක් එළාගෙන අපි ජීවත් වුණේ. ලොකු පුතා නෙස්ටාමාලි පවුලට එකතුවෙලා හිටියෙ. දුෂ්කර කාලයක් ගෙවන්න අපට සිදුවුණා. බිරිඳ මේ සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන මාව ධෛර්යවත් කළා. දවසක් පුතාට දෙන්න කිරි තිබුණෙ නැහැ. කැටයක එකතු කළ පොඩි සල්ලි තිබුණා. එයින් තමයි එදා පුතාට කිරි මිලදී ගත්තෙ. මේ විදියට දුක දරාගෙන සිටියදී ආයෙත් වෙනැත් තැනෙක රැකියාවට යාමට  ඕනෑ වුණේ නැහැ. එතැනිනුත් අයින්වෙන්න වේවි කියලා හිතුවා. වෙනදාට වඩා ධෛර්යමත් වූ මම පුංචි ඉඩකඩක් සොයා ගත්තා. ඒ තමයි මේ ගමනේ ආරම්භය. එතෙක් ලංකාවට එවා තිබුණු මුදල් නැවත ගෙන්වා ගෙන ඒ පුංචි තැන අරගෙන "විෂන් ප්ලාස්ටික්" පුංචියට පටන් ගත්තා.

ඒකට සේවකයොත් ගත්තද?

මොන? මම තමයි තනියම ඔක්කොම කළේ. උදේ දිවා රැයේ කියා වෙහෙස නොබලා කටයුතු කරන්න පටන් ගත්තා. ප්ලාස්ටික් ඉවතලන සමාගම්වලින් ගෙනැවිත් ඒවා තෝරා ඊළඟට මා දැන සිටි ආයතන වෙත යොමු කළා. මේ ක‍්‍රමය ගැන පෙර දැනුමක් ලබා සීටීම පහසුවක් වුණා. පුංචියට ආදායම් උපයන්න පටන් ගත්තාම ප්ලාස්ටික් වෙන් කෙරෙන යන්ත‍්‍රයක් මිලදී ගත්තා. තව මාස හයක් හතක් යද්දී තව සේවකයකුත් ගත්තා. නමුත් ගෙදර අය එක්ක එතැන ඉඩ මදි වූ නිසා බිරිඳ දරුවො ලංකාවට එව්වා. වියදම පිරිමහගන්නයි අවශ්‍ය වුණේ. මගේම තැන නතරවී මම වැඩ කළා. එන්න එන්න දියුණුව ලබාගැනීම සඳහා අධික ශීතල දිනවල පවා වැඩ කළා. සමහර දිනවල පාරේ ඇවිද යන විට අයිස් තැටි මත ලිස්සා වැටුණු වාර එමටයි. හිතට දුක දැනුණ අවස්ථා එමටයි. ඒත් කිසිවකින් සැලූණේ නැහැ. අප‍්‍රතිහතව කැපවුණා. දිනෙන් දින විමුක්තිය කරා යාමට. ඒ නිසා අවකාශය ළඟා වුණා.

ඉන්පසු බිරිඳ දරුවො නැවත ගෙන්වා ගත්තද?

මාස තුන හතරක් යන විට දියුණුව ලබන බව තේරුම් ගියා. නැවත එයාලා ගෙන්වා ගත්තා. පදිංචියට වෙනම නිවසකටත් ගියා. "විෂන් ප්ලාස්ටික් ඉන්කෝපරේෂන්" වෙනම තැනකට ගෙන ගියා. විවිධ අංශවලට අයත් යන්ත‍්‍ර එකිනෙක සියල්ල සපුරා ගත්තා. අවසානයේ නතර වුණේ ප්ලාස්ටික් කුලූනු නිෂ්පාදනය අරඹමින්.

අද ඔබගේ ආයතනයට කැනඩාවේ මොන වගේ තැනක්ද තිබෙන්නෙ?

මෙම අංශයේ ආයතන අතරින් පළමු පහ අතරට ඇති බව නිහතමානීව කියන්න පුළුවනි.

මීට අමතරව තවත් ආයතනයක් සතුයි නේද?

කළම්බු ට‍්‍රැකින් කියන ආයතනය ආරම්භ කළා. නගරයේ ඉවතලන දිරාපත් නොවන දේ ඒවා තැන්පත් කළ යුතු ප‍්‍රදේශ වෙත ප‍්‍රවාහනය ඒ මගින් සිදු කෙරෙනවා.

ඒ සියලූ දේ ගැන ඔබට කොහොමද හිතෙන්නෙ?

මේ මමමද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ වගේම පුදුමත් හිතෙනවා. මම මගේම රථයක ගමන් ගනිද්දී මගේ රථය පසුකොට යන ට‍්‍රක් රථ ගමන් ගනිද්දී ඒ මටම අයිති එකක් නේද කියලා දැනුනාම ඇස් දෙකට කඳුළු උනන්නෙ සතුටටයි.

සුදේශ් ඔබ මේ ලැබූ දියුණුව ගැන කොහොමද හිතන්නෙ?

ඒක ඇත්තටම විෂන් එකක් නැත්නම් දැක්මක් නිසා ඵල ගැන්වූ යථාර්ථයක්. මා විඳි මා මුහුණ පෑ කම්කටොලූ සියල්ල වෙතින් හෙළි කළේ බිඳක් පමණයි. හැබැයි මට දුක්වෙන්න දෙයක් නැහැ. අද ඇත්තටම හරි පුදුමාකාර සතුටක් දැනෙන්නෙ.

මේ සියල්ලට අමතරව ඔබ ශ්‍රී ලංකාව හා කැනඩාව අතර සංස්කෘතික පාලමක් තනා තිබෙනවා. එහෙම නේද?

සංගීතයට මා බෙහෙවින් සමීපයි. ඒ නිසාම තමයි ඒ පාලම තැනුවේ. ශ්‍රී ලංකාවේ සිටින කලාකරුවන් කැනඩාවට ගෙන්වා ප‍්‍රසංග සංවිධානය කරන්නෙ මුදල් හොයන්න නෙවෙයි. ඒ නිසා පාඩු මිසක් ලාභ නැහැ. ඒත් එය කරන්නෙ මගේ ආත්ම තෘප්තිය උදෙසායි. මම ජීවිතයේ වඩා සතුටු වන්නේ මම මට අවංක වීම නිසයි. මගේ බිරිඳ මේ ගමනට යෝධ ශක්තියක් ගෙන දුන්නා. එය අභිමානයෙන් කිව යුතුමයි.

ලංකාවට නිරන්තරයෙන් එනවද?

සෑම දෙසැම්බරයකදීම ලංකාවට එනවා. අම්මා බලන්න එන්නෙ. තාත්තා ජීවතුන් අතර නැහැ. අක්කා එංගලන්තයේ. අයියා ඉතාලියේ, නංගී ජපානයේ. ඒත් අපි දුරස්ථ නැහැ. වතාවක් මම ලංකාවේ මේ වගේ ආයතනයක් ආරම්භ කරන්න උත්සාහ ගත්තා. ඒත් බලධාරීන්ගෙන් මට සහයෝගය ලැබුණෙ නැහැ. මට අවශ්‍ය වුණේ රටේ ඇති මේ කුණු ප‍්‍රශ්නය විසදා දෙන්නයි. නමුත් ඊට අවකාශය සැලසුණේ නැහැ.

උපුටා ගැනීම ලංකාදීප