🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ගෙවත්තේ උස ගස් වවන්න එපා අපට ලැබෙන ශක්තිය අඩුවෙනවා


වාස්තු ශාස්ත‍්‍රයේ අවකාශ හතරක් සඳහන් කර ඇත.
  • මානුෂික ස්වරූපයේ ඇති අවකාශය.
  • ඉදිකර ඇති අවකාශය.
  • භූමියේ ඇති අවකාශය.
  • අන්තරීක්‍ෂ අවකාශයයි.
වාස්තු ශාස්ත‍්‍රය මගින් මේ අවකාශයන් සියල්ලගේම සහයෝගය ලබා ගැනීමට උනන්දු වේ. එසේම එම වාස්තු ශාස්ත‍්‍රයේ අරමුණු නම් නි‍වෙසේ පදිංචිකරුවන්ගේ සිරුරට මෙන්ම සිතටද සරිලන සේ නිවාස තැනීමයි. වාස්තු මෙන්ම නූතන ගෘහනිර්මාණ ශිල්පීන්ද සමචතුරස‍්‍ර හැඩයෙන් මෙන්ම ඍජුකෝණාස‍්‍ර හැඩයෙන් යුත් නම් එයින් ලැබෙනුයේ ආරක්‍ෂාව සර්ව සම්පූර්ණ බව සහ ස්ථාවරත්වයකි. කලාත්මක හැඩයක් වන ත‍්‍රිකෝණාකාර සහ රවුම් හැඩයන් මගින් පෙන්නුම් කරනුයේ ප‍්‍රසන්න බවේ ප‍්‍රගතියයි. මේවා නූතන ගෘහ නිර්මාණ ශිල්පීන්ට ජනප‍්‍රිය වුවද වාස්තු ශාස්ත‍්‍රයේදී පිලි නොගනී. වාස්තු ශාස්ත‍්‍රය මගින් සමචතුරස‍්‍රාකාර හෝ ඍජුකෝණාස‍්‍රාකාර වල ඇති අවකාශය මගින් සාමාකාමී නිදහස් දිවි පැවැත්මකට සුදුසු කම්පනයන් ඇති කරන බවට පිලිගැනේ. වාස්තු වේදය හා බැණු උද්‍යාන අලංකරණය වාස්තු විද්‍යාව හා වාස්තු විද්‍යා තාක්ෂණය පිළිබඳ ලියන ලද මුල්ම ග‍්‍රන්ථය වනුයේ "ප‍්‍රණවාවේද" නම් වු ග‍්‍රන්ථයයි. විද්‍යාත්මක හා ගණිතමය තාක්ෂණයෙන් තොරව ඉතිරිව ඇත්තේ අන්ධ විශ්වාසයකින් හා අර්ධ සත්‍ය පමණි. එසේ වූවද ගෘහ නිර්මාණ ශිල්පයේ, මූර්ති ශිල්පයේ විශාරදයෙක් මෙන්ම ගුරුවරයෙක්ද වූ ආචාර්ය ගණපති ෂාප්ති (ඉන්දියාවේ තමිල්නාඩුවේ) ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙස වාස්තු විද්‍යාව සම්පූර්ණයෙන්ම නගා සිටුවන ලදී. ඔහු වාස්තු විද්‍යාව හා වාස්තු විද්‍යාවට අදාළ ග‍්‍රන්ථ පරිවර්ථනය කර "මමුනිමෙයන්" විසින් හඳුන්වා දෙන ලද මේ මහගු ශාස්ත‍්‍රයට නව ජීවයක් ලබාදෙන ලදී. අඩංගුව ඇති ශක්තිය වූ කලී වාස්තු පුරුෂ මණ්ඩලය හෙවත් මේ භෞතික තලයේ ඇති සාරය වේ. ගොඩනැගිල්ලකට ආවරණය වී ඇති අවකාශය ප‍්‍රාසාද නම් වේ. පුරුෂ මණ්ඩලය නම් ජීව ගුණය ඇති කරන ලද ගොඩනැගිල්ලකි. එවැනි ගොඩනැගිලක් විශ්වයේ කම්පනයෙන් යුත් ජිවී සංගීත ඒකකයකි.
බොන්සායි ගස්වල බලපෑම එවන් අතීතයකට නෑකම් කියන නිවෙස් අලංකරණය සඳහා ශාක වැවීම අනාදිමත් කාලයක සිට පැවත එන්නක් බව අපට වැටහෙනු ඇත. වාස්තුවේදය සමග බද්ධ වූ අංගයක් ලෙසත් නිවෙස් අලංකරණය සඳහා නිවස තුලත් ඒ අවටත් ශාක වැවීමට මිනිසා පුරුදුව සිටියත් එයින් ඇතිවන යහපත අයහපත ගැන අනවබෝධයෙන් කටයුතු කිරීම තුලින් විවිධ ව්‍යවසනයන්ට ලක් වී ඇති බව බොහෝ සෙයින් දක්නට ඇත. පංචභූත පිහිටීම පෘථිවියේ අට දිශාවත් ගැන මනා අවබෝධයෙන් ක‍්‍රියා කරන නිවැසියන් හට දිනෙන් දින ධනාත්මක ශක්තීන් ළගා කර ගත හැකි බව දැන සිටි ඔවුන් ඍණාත්මක ශක්තීන් බැහැර කර සතුට සෞභාග්‍ය, නීරෝගී සුවය අත් විදීමට හැකි පරිදි නිවෙස අවට පරිසරය උද්‍යානයක් ලෙස අලංකාර කරගෙන ඇති බව දක්නට ඇත. නිවෙසක අලංකාරය වැඩිවීමටත් මිනිසාට ස්වභාවික පරිසරයක් තුල ජිවත් වීමටත් සුදුසු වටපිටාවක් තම ගෘහය තුල හා අවට ඇති කරගත යුතු වේ. එහිදී උද්‍යාන අලංකරන හා ශාක වැවීම මුල් තැනක් ගනී.
මෙය සැලසුම් කිරීමේ දී මනෝ භාවයට සරිලන ලෙස කර ගැනීමටත් සතුට සෞභාග්‍ය උදාවෙන ලෙස කර ගැනීමත් වැදගත් වේ. හිත නිසංසල විනෝදය සතුට තම සිතට පැමිනෙන පරිදි නිම විය යුතුයි. සිසිලස දෙන සැපදායක පරිසරයක් විය යුතුය. සාරවත් නිල් පැහැයක් ඇති වටපිටාවක් තුලින් සැහැල්ලූ බවත්, නිසංසල බවත්, හිත තුලට ඇතුළ් වේ. මෙහිදී නිවෙස පිහිටි අට දිශාව එම දිශාවන්ට අයිති වර්ණ ගැනත් සැළකිලිමත් විය යුතුයි. භූමී භාගයක උස ගස් වැවීම නුසුදුසුවේ. එයින් අපට ලැබෙන ශක්තීන් හීන වනවා සේම අන්තරීක්ෂ ශක්තියට බාධා පැමිණිමෙන් නිවසියන්ගේ ආර්ථික, මානසික, කායික, සෞඛ්‍ය යන අංශයන් පීඩා ගෙනදීමට ඉඩ ඇති බැවැනි. මේ දිශාවට තණ පිටි වැවීම හා කප්පාදුකර සකස්කර ගන්නා ශාක පදුරු නිල්, කොළ, දම්පාට, කහ පාට ඇති ශාක පත‍්‍ර හා මල් පිපෙන ශාක ඉතා සුදුසු වේ. විශේෂයෙන් තණ පිටියක් සැකසීම ඉතා සුභ වේ. අපෝ ධාතුව ( ජල ධාතුව) ක‍්‍රියාත්මක වන මේ දිශාව තුළ තණ පිටියක් තිබීමේ විශේෂ වශයෙන් ජල ධාතුව තැන්පත්කර ගන්නා සේම එම තණ පිටිය තුළින් ජලාංශු වාෂ්පීකරණය වී ජල ධාතුව නිරන්තරයෙන් ක‍්‍රියාත්මක වී පැවතීමද එම භෞතික ක‍්‍රියාකාරකමට අපි දායක වන්නා සේම එහි ජීවත් වන අයවලූන් හට ධනාත්මක ශක්තීන් ළගා කරනු ඇත. ශාක පඳුරු අඩි 3x4 ප‍්‍රමාණයට නඩත්තු කර ගැනීම ඉතා වැදගත් වේ. කුඩා පඳුරු සහිත ශාකයක් වූවත් බොන්සායි ගස් නිවෙස් ඉදිරිපිටට හා නිවෙස් තුලට සුදුසු නොවේ. එයට හේතුව වනුයේ විශාල වෘක්ෂයක් තැටියක සිටුවා එහි පංච භූත ශක්තිය බිඳ ඇති බැවින් ස්වාභාවික ක‍්‍රියාවලියට පටහැනි ක‍්‍රියාවක් සිදුවීම තුළින් ඍණාත්මක ශක්තීන් ක‍්‍රියාත්මක වී අප බලාපොරොත්තු වන ස්වාභාවික ක‍්‍රියාවලියට අවාසියක් ගෙන දෙන නිසාය.
නිවෙසේ ඉදිරිපස කුමන දිශාව වූවද රතු මල් පිපෙන ශාක, කටු සහිත ශාක හා රෝස වැනි ශාක වලින් අලංකාරය වැඩි වූවත් ඍණාත්මක ශක්තිය නිවෙස තුළට පිවිසේ. එම දිශාවට ඉතා සුභ ශාකයක් ලෙස බුලත් සුදුසුය. එතුළින් සාමය, සතුට, සෞභාග්‍ය උදා වන්නා සේම, තමන්ගේ අනන්‍යතාවය පිළිබිඹුවේ.
නිවෙසේ ප‍්‍රධාන දොර ඉදිරි පිටට නෙලූම් මල් පිපෙන ජල පොකුණක් නිල් දම් කහ සුදු වර්ණ සහිත ජල බඳුනක් දොර ලග දකුණු පැත්තේ තැබීම ඉතා යහපත් වන අතර උතුර, නැ‍ගෙනහිර දිශාවට වඩාත් සුදුසුය. නමුත් දකුණ, බටහිර දිශාවට පිහිටා ඇති නිවෙස්වලට ජල පොකුණ සුදුසු නොවන බවද, සිහියේ තබාගත යුතුය.
දකුණ දිශාව, බටහිර දිශාවට ප‍්‍රධාන දොර පිහිටා ඇති නිවෙස්වලට මල් සහිත ජල බඳුන් තබන්නේ නම් නිවෙසට ඇතුල් වෙද්දී වම් අත පැත්තෙන් තිබීම සුදුසුවේ.
උතුර, ඊසාන, නැ‍ගෙනහිර පරාසය තුළ උස ගස් රෝපණය කිරීමට අවශ්‍ය වන්නේ නම් බෙලි ශාකය ඉතා සුදුසු වන අතර ශ‍්‍රී ලක්‍ෂ්මි දෙවගනගේ බැල්ම ආශිර්වාද, ආරක්ෂාව සැලසෙනු ඇත. යම් විටෙක උතුරු, ඊසාන පෙදෙසේ ස්වාභාවිකවම බෙලි ගසක් පිහිටි ඉඩමක් වාසනාවන්ත භූමියක එක් ලක්ෂණයකි. එවන් භූමියක පදිංචිව සිටින නිවැසියන් ආගමානුකූල ජීවිතයක් ගත කිරීම තුළින් යහපත දෙගුණ තෙගුණ කර ගැනීමට හැකි වනු ඇත. කිසිවිටෙකත් එම ශාකය ඉවත් නොකළ යුතුමය. එම පෙදෙසේ උසට වැඩෙන වෙනත් කිසිදු ශාකයක් නොතිබිය යුතුය.
කුමන දිශාවකට වුවද නිවසේ ප‍්‍රධාන දොර ඉදිරියෙන් උල් තුඩු පත‍්‍ර ඇති තාල වර්ගයේ ශාක සුබ නොවේ.
නිවෙසේ ඉදිරි පිට තුර්ෂි (මදුරු තලා) රෝපණය කිරීම ඉතා සුබ ය. වඩාත් වැදගත් වන්නේ ඊශාන නිරිත දිශාවට රෝපණය කිරීමයි. මේ ශාකය හින්දු බැතිමතුන් ශූද්ධ වූ , පූජනීය වූත්, බලවත් වූත් ශාකයක් ලෙස සලකනු ලබයි. මෙහි ප‍්‍රභේද දෙකක් ඇත. දම්පාටට හුරු ශාකය විෂ්ණු දෙවින්ගේ ශාකයක් ලෙසත්, ආයුර්වේදීය ශාකයක් ලෙසත් සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් හා සෙම්රෝග වලින් හට ගන්නා රෝග වලින් ආරක්ෂා වීමටත් ඉතා ප‍්‍රබල ශාකයකි. හින්දු බැතිමතුන් තුර්ෂි පූජා නමින් විශේෂ පූජා ක‍්‍රමද පවත්වනු ලබයි. ඒවාට ආවේනික වූ ගාථා පාඨ, ගායනයන් දක්නට ඇත. බෙහෝ සෙයින් වියළි කලාපයේ දක්නට ඇති සුදු පැහැති තුර්ෂි ශාකය උතුරු නැ‍ගෙනහිර ද‍්‍රවිඩ වැසියන් බුලත් විට සැපීමේදී බුලත් වෙනුවට මේ ශාක පත‍්‍ර ප‍්‍රයෝජනයට ගන්නා බව දක්නට ඇත. මදුරුවන් දශ්ට කිරීමෙන් වැළකීම සඳහාද මේ ශාක පත‍්‍ර භාවිතයට ගනී. තුර්ෂි පැලය ගෙනෙන වාසනාව මල් පිපෙන ශාඛ අතුරින් සමන් පිච්ච, රෝස පැහැති මල් සහිත ශාක හා රෝසමල් පඳුරු නිරිත දිශාවේ රෝපණය කිරීම තුලින් ඍණාත්මක ශක්තීන් ක‍්‍රියාත්මක වන එම දිශාවේ ධනාත්මක ශක්තීන් ඇති කර ගැනීමට හැකි වනු ඇත.
උතුරු, ඊසාන, නැ‍ගෙනහිර ප‍්‍රදේශයට ජලය සුබ වූවත් උස් වූ දිය ඇලි හා පහතට ගලා හැලෙන විවිධ උද්‍යාන නිර්මාණ සුදුසු නොවේ. එය දකුණු දිශාවට සුදුසුවන අතර නිරිත දිශාවට පිහිටුවා ගැනීම යහපත් වේ.
ගිණිකොණ දිශාවට රත්රන්පාට, රතු පාට, තද රෝස, තඹපාට සහිත ශාක වැවීමත් බටහිර, දකුණ දෙසට උස් වූ ශාක, පත‍්‍ර වැඩි ශාක (පිහිඹියා) වැනි ශාක අඳුරු සහිත ශාක වැවීම කළ හැකිය. ඉඩ කඩ තිබෙන වටපිටාවක් ඇති ඉඩම් වල කොහොඹ, කෙසෙල්, පොල් හා පලතුරු ශාක වැවීම ඉතා සුබ වුවත් වයඹ හා දකුණු ප‍්‍රදේශය තුළ රෝපණය කිරීමට වගබලා ගත යුතුය.
නිවෙස අසල අතු පත‍්‍ර විශාල වශයෙන් පැතිරී යන ශාක වවන්නේ නම් අතු පද්ධතිය වෘත්තාකාරව විහිදී යන ප‍්‍රදේශය බලා එයින් අර්ධ විශ්කම්භය ගැන සිතා නිවසේ සිට එම දුර තබා ශාක රෝපණය කිරීමටත් ඒ වපසරියට ආලෝකය හා වතාස‍්‍රය නොලැබී යාමෙන් නිවසේ බිත්ති හා ව්‍යුහයට ඇති වන හානි අවම කර ගත හැකිවේ.
මල් පිපෙන වැල් සහිත ශාක නිවසේ ඉදිරි පිටට සුදුසු වූවද, මුලින් කී දිශාවන් ගැන සිතා උසට වැඞීම පාලනය කිරීමත් නිවසේ ව්‍යුහයේ කොටස් ආධාරක වශයෙන් ඉදි කිරීමද නොකළ යුතුය. එයට වෙනත් ආධාරකයක් සැපයීම හෝ ශාකයට අවශ්‍ය පරිදි නිදහසේ වැඞීමට ඉඩ දීමත් වඩාත් සුදුසුය.
නියඟලා, අත්තන, පතොක් , අසුබයි.
යම් විටෙක නිවස උතුරු දෙසට මුහුණලා ඇති විටෙක එහි උතුරත් නැගෙනහිරත් අතර පෙදෙසේ රතු පාට ශාක හෝ රතුපාට මල් පිපෙන ශාක නැතිනම් අසුබ යැයි හඳුන්වන උස් නොවූ ශාක ඇත්නම් ඒවායින් තමන් ආශ්වාදයක් ලබමින් සිටී නම් ඒ ඉවත් කිරීම තුළින් කායික, මානසික පීඩාවක් තම සිත්තුළට එන්නේ නම් එහි අසුබත්වය මග හැරීමට කහ පඳුරු ඒ අවට කළාත්මකව, විධිමත් ලෙස රෝපණය කිරීමෙන් අසුබ ශාක වලින් ඇති වන වාස්තු හානිය නියත වශයෙන් අවම කර ගත හැකි වේ.
ඉඩමේ කේන්ද‍්‍රස්ථානය පිහිටා ඇති ස්ථානය හඳුනාගෙන උද්‍යානය සකස් කළ යුතුය. නොදැන හෝ ඒ මත යම් ඉදිකිරීමක් ඇතොත් මාළුන් සහිත ජල ටැංකියක් ඒ ස්ථානයට සුදුසු මූර්තියක්, ප‍්‍රතිමා, උද්‍යාන මෙවලම් හෝ ස්වස්ථික ලකුණ එම ස්ථානයට මුහුණලා ස්ථාන ගත කිරීමෙන් යහපත සැලසෙනු ඇත.
පැද්දෙන ඔංචිලි උතුරු නැ‍ගෙනහිර දිශාවට, සත්ව කූඩූ වයඹ දිශාවටත්, උද්‍යාන බංකු උතුරු දකුණු දිශාවටත්, උතුරු, නැ‍ගෙනහිර දිශාවට මුහුණලා හිඳ ගැනීමට හැකි වන අයුරින් ස්ථාන ගත කළ යුතුවේ.
ඇතැමුන් නිවෙස් අලංකරණය සඳහා වෘක්ෂ මුල් වලින් තැනූ නිර්මාණ හෝ එම මුල් ස්වාභාවික පිහිටා ඇති පරිදි ගෙනැවිත් අස්වාභාවික වනසේ මූල මණ්ඩලය උඩට සිටින සේ නිවෙස් අසල තබයි. මෙය කිසිසේත් නොකළ යුතු කටයුක්තකි. එවන් දෑ ඇති නිවෙස් වලට ගොස් සොයා බැලීමේදී විවිධ කරුණු දැඩි ලෙස පීඩා විදින බව තහවුරු වී ඇත. මෙයට කදිම නිදසුනක් අපේ පැරන්නන්ගෙන් උකහා ගත හැකිය. නිවෙස් වල තිබෙන දැවයෙන් නිමවූ වංගෙඩිය තැනීමේදී දැව ක්‍ඳේ අග මුල ගැන වඩාත් සැළකිලිමත්ව එහි අග කොටස තෝරා වංගෙඩියේ කට තනනු ලබයි. කිසි විටෙක වංගෙඩියේ කට යට අතට නොතබයි. වංගෙඩිය තැබීමේදී කට උඩු අතට තබා ගැනීමට හෝ දිගා කර තැබීමට ඔවුන් වග බලා ගත්හ. එයින් අපට ගතහැකි පාඩම වනුයේ ගහේ ස්වභාවික පිහිටීමට හානියක් නොවන පරිදි නිවෙස තුළ ඇති මේ මෙවලම තබා ගැනීම නොවේද? ඒ වාගේම පැරණි වඩු කාර්මිකයන් දොර ජනෙල් රාමු දොර පියන්, ජනෙල් පියන් සැකසීමේදී ද ගහේ පිහිටීම, ස්වාභාවික මුල අග ගැන අවධානය දැඩි සේ යොමු කර එම නිමැවුම් කරනු ලබයි. මෙසේ නොවූ දොර මගවල් වලින් වාස්තු දෝෂ ඇති වන බව දැන හෝ නොදැන ස්වභාව ධර්මයා විකෘති නොකර කටයුතු කිරීමට ඔවුන් වගබලා ගත්හ.
අපි සැම විටම සිතිය යුතු කරුණක් ඇත. ස්වභාව ධර්මයාට කැමති සේ අපි ජීවත් වීම මිස එය විකෘති කර හෝ එයට පරිභාහිරව කරන කටයුතු ක‍්‍රියාකාරකම් තුලින් විවිධ ව්‍යාධි හා පීඩාවන්ට ගොදුරු වන්නේ අපිම නේද යන්න තම තමන්ගෙන් විමසා බැලිය යුතු ප‍්‍රශ්නයකි. නියගලා, අත්තන , පතොක් , වරා , බෝගන්විලා , කනේරු, ඉදි, පුළුන්, තල් වැනි ශාක නිවැසින් ඉතා බැහැරව තිබුණාට වරදක් නැත.
උපුටා ගැනීම සිළුමිණ පුවත් පත