🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

රජුන් පවා බලයෙන් පහ කෙරෙන සෙනසුරු ඒරාෂ්ඨක අපලය


සෙනසුරු ඒරාෂ්ඨක අපලයක දී රාජ්‍ය බලය අහිමිවීම විවාහය කඩා කප්පල් වීම, රැකියාව අහිමිවීම, වම් කකුලේ ආබාධ බරපතල දුක්‌විදින රෝග වලට ගොඳුරුවීම, ශරීරය දුබලවීම ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදුවීම ආදී අපල ඇති කරවන බව බොහෝ දෙනාගේ විශ්වාසය යි. සෙනසුරු ඒරාෂ්ඨක අපලය යනු කුමක්‌ද? යන්න හා එහි විපාක කවරේද යන්න පහත සඳහන් ශ්ලෝකයෙන් මනාව විස්‌තර කෙරේ.

චන්ද්‍රත් ශනෙග තනු ගතෙ ව්‍යය රන්ධුගේසූ
ප්‍රාප්චිර් තදාභි නෘපතෙරපි රාජ්‍ය නාශං
දාරිදා දුක්‌ඛ ව්‍යසනාද්‍යපි රත්ව නාහිමි
ඒරාෂ්ඨ කොමිනි මතං යවනේසු ශ්‍රේෂ්ඨම්

“ඒර්” යනු චන්ද්‍රයාට කියන නමකි. අෂ්ඨක යනු අටවැන්නයි. ඒ අනුව මෙම ශ්ලෝකයෙන් කියවෙන්නේ උපතේදී කේන්ද්‍රයේ සඳු සිටින භාවයේ ද එයින් අටවැන්නේ ද දොළොස්‌ වැන්නේද ශනි හෙවත් සෙනසුරු ගමන් කරන කාලයේ දී රජෙකුගේ වුවත් රාජ්‍යය විනාශවීම, දිළිඳු වීම, දුක්‌ විපත් හා ධනහානි ඇතිවන බවයි.

සෙනසුරුට පාපයෙකු යෑයි කියනු ලැබේ. එහෙත් එසේ කියන්නේ සෙනසුරු ග්‍රහයා පව්කර ඇති නිසා නොවේ. අපි කර ඇති පව් සෙනසුරු විසින් පෙන්වා දෙන බැවිනි. අහසේ සිටින සෙනසුරු ග්‍රහයා පව් කරන්නේ කෙසේද?

සසර පෙර ආත්ම භාවයකදී කරන ලද පව් කම්වල විපාක වශයෙන් මෙලොවදී දුක්‌ කරදර විඳිනවා යෑයි කීම ලඡ්ජාවට කාරණයක්‌ නොවේ. බුදු, පසේ බුදු, මහරහත් ආදී උතුමන්ටද පෙර කළ අකුසල කර්ම පල දී ඇති බව ත්‍රිපිටක ධර්මය කියවන විට මනාව පැහැදිලි වන්නේය.

තමා යටතේ සේවය කරන සේවක සේවිකාවන්ට වැටුප් නොගෙවා වැඩ ගැනීම නොසැලකීම අලි ඇතුන් හරකුන් ආදී සතුන්ගෙන් ආහාර නොදී වැඩ ගැනීම ගවයින් මස්‌ පිණිස විකිණීම සත්ත්ව අනුකම්පාව නොමැති තම සෙනෙසුරු අපලයට හේතුවන්නේය. තවද අන් අයගේ දියුණුව අඩාල කිරීමට යටිකූට්‌ට වැඩ සතුරු ක්‍රියා කිරීම, ඊර්ෂ්‍යාව, මෙන්ම අනවිණ කොඩිවින හදි හූනියම් කිරීම ආදිය නිසා අපලය උදාවන විට දුක්‌ විඳීමට සිදුවේ. සත්ත්ව හිංසාව කළ අයට ශාරීරික පීඩාද, අනුන්ගේ දේපොළ සොරකම් කළ වංචාකල අයට තමන්ගේ ධනය විනාශ වීමද සිදුවේ.

ඉහත සඳහන් කළ ශ්ලෝකයේ සෙනසුරු අපලය නිසා ඇති වන විපාක දක්‌වා ඇත්තේ කෙටියෙනි. එහෙත් අපලයට සිදුවන්නේ කිමෙක්‌ දැයි ජන්ම පත්‍රය පරීක්‍ෂාකර දැනගත හැකිය. සෑම කෙනෙකුටම අපලය ඒකාකාරව ක්‍රියාත්මක වන්නේ නැත. පහත සඳහන් වන්නේ සෙනසුරු ඒරාෂ්ඨක අපලය, උපන් ලග්න අනුව විපාක දෙන ආකාරය යි.

මේෂ :
ලග්නහිමියන් ට ඒරාෂ්ඨක අපල කාලයන් හිදී රැකියාව හා ආදායම් මාර්ග පිළිබඳ බාධා ඇති වේ. මිතුරන් අමානාප වේ. නිවසේ ද කරදර ඇති කාලයක්‌ වේ. මවට ද අපල කාලයක්‌ වේ.

වෘෂභ :
ලග්න හිමියන්ට තද බල අපල ඇති නොවේ. එහෙත් භාග්‍යය, වාසනාව යටපත් වේ. තනි උත්සාහයෙන්ම කටයුතු කර ගැනීමට සිදුවේ. බාලසහෝදරයින්ට අපල කාලයක්‌ වේ.

මිථුන :
ලග්න හිමි අයට තැන්පත් ධනය වැයවීමට කරුණු යෙදේ. සෞඛ්‍ය ගැටලු ඇතිවේ. උසස්‌ අධ්‍යාපනයට බාධා පැමිණේ. පෙර පින් යටපත් වන කාලයකි.

කටක :
ලග්න හිමියන්ට බලවත් චිත්ත පීඩා ඇති වේ. විවාහ අපේක්‍ෂාවෙන් සිටින අයට විවාහ ප්‍රමාද වන අතර විවාහකයින් අතර අඹු – සැමි මත භේද හටගනී. විවාහ සහකරුට මාරක අපල ඇති විය හැකිය.

සිංහ :
ලග්න හිමි අයට අනපේක්‍ෂිත ගැටළු ඇතිවේ. කරන කියන දේ අන්තිම මොහොතේ වෙනස්‌ වී යයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහේ. රහස්‌ සතුරන් ගේ විරුද්ධවාදී කම් වලට මුහුණ දීමට සිදුවේ. ණයතුරුස්‌ වීමට සිදුවන කාලයකි.

කන්‍යා :
ලග්නය හිමි අයට අසනීප නිසා අධ්‍යාපනයට බාධා පැමිණීම නැතහොත් දරුවන්ට අපල කාලයක්‌ වනු ඇත. එමෙන්ම ආදායම් මාර්ග වලට අවහිරතා ඇතිවේ.

තුලා :
ලග්න හිමියන්ට ද තද බල අපල ඇති නොවේ. එහෙත් නිවසක්‌ ගොඩනඟාගෙන යන්නේ නම් ඊට බාධා පැමිණේ. මව්ට අපලයි. තනතුරු වලින් පහළ වැටීමටද රැකියා බාධා වලටද ඉඩ තිබේ.

වෘශ්චික :
ලග්න හිමි අයගේ පෙර පින, වාසනාව, දෙවිපිහිට නැති කාලයක්‌ වනු ඇත. උත්සාහයේ ප්‍රථිඵල නැතිවේ. අලස ගති ඇති වේ. අසල්වාසීන් ද අමනාප වේ. ගෙදර දියුණුව අඩාල වේ.

ධනු :
ලග්න හිමි අයට සෞඛ්‍ය තත්ත්වය පිරිහේ. සෙම්රෝග උත්සන්න වේ. සතුරු පීඩා ඇතිවේ. අපකීර්තිමත් කාලයක්‌ ද වේ. අධික ලෙස වියදම් කිරීමට සිදුවේ. පවුලේ සමගිය නැතිවන කාලයයි.

මකර :
ලග්න හිමියන්ට ද විවාහ ප්‍රමාදය හෝ අඹු – සැමි භේද හටගනී. අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවත් ඇහේ. ප්‍රසිද්ධ සතුරන් ඇතිවන කාලයකි. හවුල් ව්‍යාපාර කැඩී බිඳී යයි.

කුම්භ :
ලග්න හිමියන්ට ද නිශ්චිතවම සාර්ථක වේ යෑයි බලාපොරොත්තුවෙන් සිටි දේවල් අන්තිම මොහොතේ වෙනස්‌ වන බව පෙනේ. ව්‍යාධි, පාඩු, දෝෂ ඇතිවන කාලයක්‌ වේ. සෙම් රෝග හා ධන හානි ඇතිවේ. රහස්‌ සතුරන් ගෙන් පීඩා ඇතිවේ.

මීන :
ලග්න හිමියන්ට දරුවන් හෝ ශිෂ්‍යයන් නිසා කරදර ඇතිවේ. ලැබෙන ආදායමට වඩා වියදම ඉහළ යයි. ආයෝජන වලින් පාඩු සිදු වේ. විවාහ යෝජනා කැඩී බිඳී යයි.

සෙනසුරු ඒරාෂ්ඨක අපලය ලැබූ විට හැම දෙනාටම මාරක අපලයක්‌ උදාවන්නේද යන ප්‍රශ්නය විමසා බැලීම කාලෝචිතය. පිළිතුර “නැත” යන්නයි. ලංකාවේ ඡේ. ආර්. ජයවර්ධන මහතා සහ සිරිමා බණ්‌ඩාරනායක මැතිනිය යන දෙදෙනාටම 1977 දී ඒරාෂ්ඨක අපල යෙදී තිබුණු අතර මැතිනිය පරාජයවී ඉන් පසුවද බොහෝ කරදර වලට භාජනය වූවද ඡේ. ආර්. බලයට පත් විය. ඊට හේතු වුයේ ඡේ. ආර්. මහතාගේ අපලය යටපත් කරවන තරම් බලවත් වූ බ්‍රහස්‌පති දශාවක්‌ ලබා තිබීමයි.

එබැවින් අපලයක්‌ ඇති බව දැනගත් විට ඊට බියනොවී එම අපලයේ බල දුබල කම් මනාව පරීක්‍ෂාකළ යුතුය. ඉන් පසුව අපලයට අදාළ ග්‍රහශාන්ති කර්ම කිරීමෙන් එහි අශුභ ඵල මඟහරවා ගත හැක්‌කේ ය. සෙනසුරු ඒරාෂ්ඨක අපලයට කළ යුතු ශාන්ති කර්ම කෙටි හෝ පහත පරිදි වන්නේ ය.

අපල කාලයක දී කළ යුතු දේ හා නොකළ යුතු දේ බොහෝය. ඒරාෂ්ඨක අපලයට හේතුව වන ඊර්ෂාව අත්හැර යුතුය. අනුන්ගේ සතුටේදී සතුටු විය යුතුය. කිසි විටෙකත් සොරකම් හා වංචා නොකල යුතුය. තවද වතුරෙන් ප්‍රවේශම් විය යුතුය. රාත්‍රිsයට සවස නෑම පිණිබෑම රාත්‍රී ගමන් යැම, පිහිනීම, මුහුදු යාත්‍රා කිරීම් රැල්ල පෑගීමට යාම අවදානම් නිසා ඒවායින් වැළකිය යුතුය. අනාරාධිතව අනුන්ගේ ගෙවල් වලට යැම, දේශපාලනය කිරීම, වගකීම් භාර ගැනීම විවාහවීම, නිවසක්‌ සෑදීමට ආරම්භ කිරීම, ආදියද දුරදිග බලා කළ යුතුය. කළු නිල් පාට ඇඳුම් පැළඳුම් භාවිතය ඉතා අශුභය.බුද්ධ පූජා බෝධිපූජා තබා ශ්‍රී විෂ්ණු දෙවියන් ඇතුළු දෙවියන්ට පිං පැමිණවීම ශුභය. ගිතෙල් හා තල මිශ්‍ර කිරිබත් පූජා කිරීම, නිල් මල්, නිල් කොඩි, ගිතෙල් පහන් සහිත පූජාව සුදුසුය. පූජා තබන විට සෙනසුරාදා දිනය සුදුසුය. ගිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට දීම ද නිර්දේශ කර තිබේ. සත්ව කරුණාව ඇති කර ගත යුතුය.ශනි අපලයට කාක නිල් මැණික්‌ පැළදීම මෙකල බහුලව සිදු කරන බව පෙනේ. එහෙත් අපල කරන ග්‍රහයාට හිමි ද්‍රව්‍ය හා මැණික්‌ පැළදීම නොව දන්දීම කළ යුතු බව පුරාණ ග්‍රන්ථවල දක්‌වා තිබේ. වැරදි ලෙස මැණික්‌ පැළදීමෙන් ජීවිත හානි පවා සිදුවී තිබේ. නවග්‍රහ මංඩල, ශනි මෘතුංජය යන යන්ත්‍ර මෙන්ම නවගුණ රතන අභිසම්බ්දාන යන්ත්‍ර පැළඳීම ද මැනවි.කොතරම් තද අපලයක්‌ ඇතත්, ආගමානුකූල ජීවිතයක්‌ ගත කරන, කාරුණික හදවතක්‌ ඇති, සත්ව අනුකම්පාවෙන් යුක්‌ත ධාර්මික පුද්ගලයා අපලයෙන් බේරී සිටින්නේ ධම්මො භවේ රක්‌ඛති ධම්මචාරී යන බුදු වදන සිහිපත් කරවමිනි.

උපුටා ගැනීම දිවයින