🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සඵල වුවොත් නිර්භීත නායකයන් බිහි කරන, අපල වුවොත් තනිකඩ කරන කුජ


ඔබ ධෛර්යවත් කෙනෙක්‌ද? නොපසුබටද? තම ඉලක්‌කය කරා යන ගමනේදී බාධක කොතරම් පැමිණියත් ඒවා මැඬගෙන ඉදිරියටම යනවාද? වීර්යය, උත්සාහය තිබේද. එසේ නම් ඔබේ කේන්ද්‍රයේ කුජ බලවත්ව තිබේ. නුපුළුවන්කම වනාහී මෝඩයන්ගේ හා කම්මැලියන්ගේ ශබ්ද කෝෂවල පමණක්‌ හමුවන වචනයකි.” යෑයි නැපෝලියන් හිල් පවසා තිබේ. මෙම වැකිය වඩාත්ම ගැලපෙන්නේ කුජ බලවත් අයට ය. මක්‌නිසාද යත් එවැනි අය සටන්කාමීහුය. ලෝක ප්‍රකට නායකයන් ය. වෘත්තීය සමිති මෙහෙයවන අය දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරු, පොලිස්‌ නිලධාරීහු, යුද්ධ සේනාධිපතිහු වැනි අයගේ කුජ බලවත් වෙති. කියුබා නායක පිදෙල් කැස්‌ත්‍රෝ, ඉන්දියාවේ හිටපු අගමැති ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ හිටපු අගමැති ඩී. එස්‌. සේනානායක යන අයගේ කේන්ද්‍රවල මෙම පිහිටීම තිබුණි.
කුජ හෙවත් අඟහරු (Mars) ග්‍රහලොව සෙන්පතියා හෙවත් චණ්‌ඩියා යන විරුදාවලිය ලබන අතර රෝමවරුන් හැඳින්වූයේ යුද්ධයේ දෙවියා (Goad War) යනුවෙනි. වේගයෙන් හා විශාලත්වයෙන් ද පෘථිවියට බොහෝ සමානකම් දක්‌වන බැවින් පෙරදිග ජ්‍යෙතිෂයේ “භූමිපුත්‍ර” නමින් ද හැඳින්වේ. කෙසේ නමුදු මීට පෙර ලිපිවලදී සඳහන් කළාක්‌ මෙන් කුජ ද අහසේ සිට මිනිසුන්ට අපල කරන්නේ නැති බවත් ග්‍රහ අපල යනු අකුශල කර්මවල විපාක බවත් නැවත වරක්‌ සිහිපත් කිරිමට කැමැත්තෙමු. යම් කිසි කෙනෙකුගේ කුජ බලවත් ද ඔහු හෝ ඇය විවාදයේ දක්‍ෂ වෙයි. එඩිතර හා නිර්භීත වෙයි. පැරදවිය නොහැකි බව හෙවත් මැරෙන තුරු සටන් කිරීම, ශුභව පිහිටි කුජ පෙන්වන ලක්‍ෂණයකි.

යමෙකුගේ කේන්ද්‍රයේ කුජ දුර්වල නම් ඔහු හෝ ඇය ඉක්‌මනින් අධෛර්යයට පත් වේ. බියසුළු, පසුබාන ගතිය ඇති එවන්නෝ ආරම්භ කරන කටයුතු ඉක්‌මනින් ම නවතා දමන බව දක්‌නට ලැබේ. නියම නිර්භීත ගති නැති එවැන්නෝ බොරු චණ්‌ඩිකම් පෙන්වන්ට යැම නිසා අනුන්ගේ පහරදීම්වලට ලක්‌වේ. වැරදි කම් සැප සෙවීම, කාමුක බව, සොරසිත, ද්වේශය හා ක්‍රෝධය යන ලක්‍ෂණ ඇති බව ද පෙනේ.

මේ ගති ලක්‍ෂණ කුජ විසින් පෙන්වුවද, එහි සැබෑ හේතුව ඇත්තේ උපදින විටම රැගෙන ආ පෙර කර්ම ශක්‌තීන් වෙති. සත්ත්ව අනුකම්පාව, මෛත්‍රිය, කරුණාව මෙන්ම පෙර භවයේදී ලේ දන්දීම, රෝගීන්ට සත්කාර කිරීම, ශ්‍රමදාන කිරීම හා නිවැරැදි දේට උත්සාහ කළ හෙවත් “සම්මා වායාම” ය වැඩූ අයගේ කුජ බලවත්ව උපදී

එමෙන්ම මවුපියන්ට පහරදීම හෝ ඝාතනය කිරීම අහිංසක සතුන් ඝාතනය, දඩයම් කිරීම, පහරදීම්, බෝම්බ ගැසීම් වැනි ත්‍රස්‌ත ක්‍රියා සිදුකිරීම, කාම මිථ්‍යාචාරය මගින් පවුල් අවුල් කිරීම, නිතර කෝපවීම වැනි අකුශල කර්මවල යෙදුනු අයගේ කුජ දුර්වලව උපදී. එවැනි අයට ලේ හැලෙන ලෙස අනතුරුවලට මුහුණ පෑම, අර්ශස්‌ ගඩු ගෙඩි වැනි රෝග ලේ වතුරවීම හෙවත් ලියුකේමියා රෝග මෙන්ම අනුන්ගෙන් පහර කෑම, තම ධනයට සොරුන්ගෙන් හානි සිදුවීම, විවාහය බිඳවැටීම, නැතහොත් විවාහ සහකරු මියයැම හෝ අවිවාහකව සිටීමට සිදුවීම ආදී අපල ඇති වේ. කුජ ගේ අපලය යනු එයයි. කේන්ද්‍රයේ හත්වැන්නේ කුජ දුර්වල නම් නැතහොත් 1, 2, 4, 7, 8, 12 යන භාවයක කුජ දුර්වලව පිහිටීම නිසා විවාහ දෝෂයන් සෑදේ. එය භෞම දෝෂය හෙවත් මංගල දෝෂය නමින් හැඳින්වේ. එමගින් සහකරුට මාරක අපල ඇති කරවයි.

ඔබේ කේන්ද්‍රයේ කුජ 10 භාවයේ තැන්පත් වී ඇත්නම්, එය “දිග්බලය” යෑයි හඳුන්වනු ලැබේ. එමගින් කුජ බලවත් වේ. එමෙන්ම මේෂ හා වෘශ්චික රාශිවලදී “ස්‌වතෝත්‍ර” නම් බලය ලබයි. මකර රාශියේ සිටින විට “උච්ච” නම් උපරිම බලය උදා කරයි. මේෂ සහ වෘශ්චික යන ලග්න වලින් උපන් අයට අධිපති වන්නේ ද කුජ ය.

කේන්ද්‍රයේ හතර, හය, අට, දොළහ යන ස්‌ථානවල කුජ දුර්වල වන්නේය.

කුජ හතේ සිටින විට පෙන්වන මංගල දෝෂයට බොහෝ දෙනා දක්‌වන්නේ අනවශ්‍ය බියකි. මක්‌නිසාද යත් කුමන දෝෂයක්‌ හෝ භංග වන වෙනත් යෝග ඇති බැවිනි. කෙසේ නමුත් හිටපු අගමැති ඩඩ්ලි සේනානායක හා අනුර බණ්‌ඩාරනායක මහතුන්ගේ කේන්ද්‍රවල කුජ 7 පිහිටා තිබිණි. කුජගෙන් පමණක්‌ නොව සෑම ග්‍රහයෙකුගෙන්ම පෙන්වන්නේ කුශලාකුශල කර්ම බවත්, අපල යනු අකුසල් වල විපාක බවත් මීට පෙර ද සඳහන් කළෙමු.

කරදරවලට හේතුව පෙර ආත්මයක කරන ලද පාපකර්ම විය හැකි යෑයි පිළිගැනීමට අකැමැති අය ද සිටී. එවැනි අය කියන්නේ කවදාවත් එවැනි පව්කම් කර නැති බවයි. පව් පලදීම පිළිගැනීමට ලැ-ජාවක්‌ නම් මුගලන් මහරහතුන් වහන්සේගේ කථාව සිහිපත් කර ගැනීම වටී. මුගලන් හිමියෝ සෘධි ප්‍රාතිහාර්ය දැක්‌වීමට සුවිශේෂ දක්‍ෂතා තිබූ අගසව් හිමිනමකි. එහෙත් තම සතුරන්ගේ පහර කෑමට ලක්‌ව පිරිනිවන් පෑමට සිදු වූයේ පෙර ආත්මයක මවුපියන්ට පහරදීමේ විපාකයක්‌ වශයෙනි.

කුජ බලවත්ව හෝ දුර්වලව පිහිටිය ද එම විපාක ලැබෙන්නේ කුජගේ දශාවක්‌ උදාවන විටය. එසේ කුජ අපලයක්‌ ඇතැයි හඳුනාගත් විට ශාන්තිකර්ම මගින් එම අපලය බොහෝ දුරට මඟහරවා ගත හැක්‌කේය. එවැනි විටෙක යන්ත්‍ර හෝ මැණික්‌ ගල් පැළඳීම ආදී බාහිර බලවේගවල පිහිට පැතීම වෙනුවට තමන්ටම කරගත හැකි වූද, ස්‌ථිර හා විශ්වසනීය වූද, බෞද්ධ ශාන්ති කර්ම සහ වෙනත් වත්පිළිවෙත් හඳුන්වාදීම මේ ලිපි පෙළේ අරමුණයි. ඒවා පහසු හා වියදම් අඩුවනවා පමණක්‌ නොව මෙලොව පරලොව දෙකටම ශුභ ඵල දෙන බැවිනි.

කුජගේ අපලය උදාකරන “හේතුව” ට පිළියම් කිරීම හොඳම ශාන්ති කර්මයයි. කුජ හිමි අකුසල කර්ම කිරීමට ප්‍රධාන හේතුව වන්නේ තරහව හෙවත් ද්වේශය මූලික වීමයි. එබැවින් කුජ අපල දුරු කිරීමට කළ යුතු මූලික කාර්යය මෛත්‍රිය පුරුදු කිරීම හෙවත් මෛත්‍රී භාවනාවයි. මෛත්‍රී භාවනාව යනු සිල් රෙදි පොරවාගෙන එරමිණිය ගොතා හිඳගෙන පන්සලට ගොස්‌ විශේෂ ඉරියව්වකින් කළ යුතු දෙයක්‌ නොවේ. ඔබ කරන ඕනෑම රැකියාවක්‌ කරන අතරතුර ද ගමනේ යෙදෙන විටද, නිදා ගන්නා තෙක්‌ ඇඳේම සිටිමින් හා අවදිව ස්‌වල්ප වේලාවක්‌ ද ඒ සිටින ඉරියව්වෙන් ම කළ හැකිය. ඊට වචන රාශියක්‌ අවශ්‍ය නැත. නමුත් ගුරුවරයකුගෙන්ම උපදෙස්‌ රැගෙන කිරීම සුදුසු ය. එසේ කරන විට මෛත්‍රියේ ආනිශංස එකොළහක්‌ ලැබෙන බව “මෙත්තානිශංස සූත්‍රයේ” දක්‌වා තිබේ.

මේ හැර බුද්ධ පූජා හා බෝධි පූජා තබා කතරගම දෙවියන්ට පින් දී සෙත්පතා ගැනීම ද කුජ අපලයට සුදුසු ශාන්තිකර්මයකි. මෙහිදී කුජ හිමි අංක, දින, පාට ආදිය යොදා ගැනීම උචිතය. අංක 3 රතු පාට, අඟහරුවාදා දිනය හා දකුණු දිශාව කුජට හිමි වේ.

මේ අනුව අඟහරුවාදා දිනය හා කුජ හෝරාව පූජා තිබීම සඳහා ගැලපේ. රතුමල්, රතු නෙළුම්, රතුරෝස ආදී මල් ද, රතු කැකුළු හාල් වලින් සාදන කිරිබත් ද රතු පාට පලතුරුවලින් සදන ගිලන්පස ද සුදුසු ය. අංක 3 එකතුවට ලැබෙන 3. 12, 21 , 30 ආදී සංඛ්‍යාවලින් මල් වට්‌ටි හා පහන් තැබීම මැනවි. බෝධියේ දකුණු දිශාව බලා වාඩිවීමෙන් ඉක්‌මනින් හිත එකඟ වනවා ඇත. කතරගම දෙවියන්ට පූජා තබන විට ද රතු කෙසෙල්, රතු මල් විශේෂය. පලතුරු 9 යෝග්‍යය.පූජාවේ ගාථා කියා අවසානයේ කරණීයමෙත්ත සූත්‍රය 3 වරක්‌ කියවා විනාඩි කිහිපයක්‌ මෙත් වඩන්න. කරණීය මෙත්ත සූත්‍රයේ වචන වල තේරුම් හොඳින් ඉගෙන ගෙන කියවන විට ඉක්‌මන් ප්‍රතිඵල ලැබේ. රතන සහ අභිසම්බිදාන යන්ත්‍ර පැළඳීම ශූභය. කුජ අපලය ඇති විට සටන්වල යැම නොකළ යුතුය. සටන් මෙහෙයවීම, රතු ඇඳුම් ඇඳීම, මිරිස්‌ සැරට ආහාර ගැනීම නොකිරීමට වගබලා ගත යුතුය.ඉහත ශාන්ති කර්ම කරන විට හිරු උදාවනවාත් සමඟම අඳුර දුරුවන්නේ යම් සේ ද එසේම අපල දුරු වී ශුභඵල උදා වනු ඇත.

උපුටා ගැනීම දිවයින.