🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

හිරු සඳු අතර පුතු ග්‍රහ ලොව යුව රජු


ජ්‍යෙතිෂය උතුම්වූත් ලොවට අතිෂයින් ප්‍රයෝජනවත් වූත් ඉතාම ගැඹුරු වූත් මහඟු ශාස්‌ත්‍රයක්‌ බව අපි දනිමු. ග්‍රහ මණ්‌ඩලයේ රජු වූත් ලෝක පියා වූත් හිරු ලොව සතට ප්‍රකෘති ඇසින් මැනවින් දැකිය හැකිවූත් මහා දෙවියෝද වෙති. බුධ ග්‍රහයා ග්‍රහ මණ්‌ඩලයේ යුවරජු ලෙස සලකනු ලැබේ. බුධට නම් රාශියක්‌ ඇත. බෝධන, සෞම්‍ය, විද්, විධුසුන, සෝමජ, සිසිපුන්, හෙම්න, ඉන්දා පුත්‍ර යනු එයින් කීපයකි. හිරු සඳු යන මව් පිය දෙදෙනාට මධ්‍යයේ සිටින පුත්‍රයා නම් බුධය.

සූර්යාට ඉතාම කිට්‌ටුව පිහිටි කුඩාම ග්‍රහයා වන මොහු ග්‍රහ ලොව සුරතලා ලෙස ආදරයෙන් සලකනු ලැබේ. සිංහ කටක රාශි දෙක හිරු සඳු දෙදෙනාගේ දෙපැත්තෙන් පිහිටි අතර ඒ රාශි දෙක දෙපස මිථුන කන්‍යා රාශි පිහිටා ඇත. මේ දෙක බුධට අයත් වේ. අස්‌ලිය, දෙට, රේවතී නැකත් තරු පන්ති බුධට අයත්ය. බුධගේ මව් සඳු වේ. නිර්මාණය වී ඇති ද්‍රව්‍ය අනුව සලකන විට මේ දෙදෙනා අතර සමාන බවක්‌ දක්‌නට ලැබේ.

නැණවත් වූත් ඉගෙනීමට දක්‌ෂවූත් පිරිසිදු පියකරු කුමාරයකුගේ තැන දොසතර අනුව බුධට හිමිව තිබේ. වාතය, පිත, සෙම තුන් දොස්‌ එකසේ ඇති, බෙහෙවින් නැවෙන නිතර සිනාසී කෙළිකවටබස්‌ කියන සත්‍යවාදී වූ ඉතා නුවණ ඇතිවූ රන් ඔටුන්නක්‌ හිස දරන මනහර වූ රූපකායෙන් යුත් කෙනෙක්‌ ලෙස මොහු හඳුන්වාදී තිබේ.

මීමෙක්‌ බුධගේ වාහනය වෙයි. සුදු හක්‌ගෙඩියක්‌ ආයුධය ලෙස දරා කුමාර තනතුර නිල වශයෙන් ලැබී තිබෙන බුධගේ වර්ණය කොල පාටය. වෛශ්‍ය වංශයට අයත්වේ. වාසස්‌ථානය ක්‍රීඩා ස්‌ථානය වේ. බුධ සෞම්‍ය ස්‌ත්‍රී ග්‍රහයෙකි. ප්‍රභේද වශයෙන් තාරා ග්‍රහයෙකි. පාප ග්‍රහයින් සමඟ සම්බන්ධ වූ විට කෲර ගති ස්‌වභාවයක්‌ ගනී. එසේ නොවූ විට ශුභ ඵල දෙන සෞම්‍ය ග්‍රහයෙක්‌ වේ. රවි සිකුරු රාහු තිදෙන බුධගේ නෛසර්ගික මිතුරෝ වෙති. සතුරු ග්‍රහයා සඳුය. කුජ, ගුරු, ශනි මධ්‍යස්‌ථ ග්‍රහයෝ වෙති. බුධට මිථුන කන්‍යා ස්‌වක්‍ෂේත්‍රද වේ. බුධ මීනයේ නීච ක්‍ෂේත්‍ර වේ. උච්ච හා මූල ත්‍රිකෝණ වන්නේ කන්‍යා රාශියේය.

ඥාණකාරක වූ බුධ බුද්ධ විෂ්ණු අවතාර ලෙස ඇතැම් පුරාණ ආචාර්යවරුන් විසින් හඳුන්වාදී තිබේ.

බුධ සූර්යයාගෙන් අංශක 28 කට වඩා ඈත් නොවේ. විශාලත්වයෙන් සඳු ගෙන් දෙකෙන් පංගුවක්‌ පමණ වේ. එහෙත් ග්‍රහ දෙව් ලොවේ බුධට ප්‍රධාන තැනක්‌ හිමිව තිබේ. මෙම ග්‍රහ ලෝකය තුළ රෑ දවල් වීමක්‌ නැති නිසා කාල භේදයක්‌ නොමැතිවීම විශේෂ කරුණක්‌ වෙයි. එහි කිසිදු ජීව බලයක්‌ නැත. එහි ඉතාම උණුසුම් පැත්ත පැරන්හයිඩ් අංශක 675 ක්‌ වන අධික උණුසුමෙන් යුක්‌තවේ.

මිනිස්‌ සිරුරේ මොළය, හිස්‌මුල්, නහය, දිව පෙනහලු, අත්, සම, හැඟීම් දනවන සියුම් නහර බුධට අයත්වෙයි. මානසික අංශ, ආශ්වාස, ප්‍රාශ්වාස ක්‍රියාවලිය, කථා කිරීම හා ඇසීමේ ක්‍රියාවලිය පිළිබඳ අවයව කෙරෙහි බුධ බලපාන්නක්‌ මෙන්ම ශරීරයේ ශෛලයන්හි ඇති වාතය බුධ විසින් පාලනය කරනු ලැබේ. ස්‌නායු පද්ධතියේ පාලකයා ද බුධය. මොළයට පණිවිඩ ගෙන යැමත් මොළයෙන් ලැබෙන විධාන ශරීරයේ අනිකුත් ස්‌ථාන කරා ගෙන යැමේ කාර්යයන් මේ ග්‍රහයාට අයත්වේ. මධ්‍යස්‌ථ ග්‍රහයෙක්‌ වුවද සමීප වීක්‌ෂණයට ලක්‌වන ග්‍රහයන්ගේ ස්‌වභාවය ගනී. රවිගේ වීක්‌ෂණය ලැබූ විට ආත්මය සම්බන්ධවද, සඳුගේ දුෂ්ටිය ලැබූ විට පවුල හා පුරුදු පිළිබඳවද මොහු සම්බන්ධ වී ඒ අනුව පල විපාක දෙයි.

රජස්‌ ගුණ, පඨවි භූත ස්‌වභාවයෙන් යුත් බුධ නැගෙනහිරට දිශා බල දරයි. පලතුරු ගස්‌ කළු දුහුල් රෙදි රසදිය ලෝහ, පච්ච ගල්, පැණි රස, ජීව ධාතුව ද කෙරෙහි බලපාන බුධට ශරත් සෘතුව අයත්වේ. කොහොඹ ගස මොහුගේ වාස භවනය වේ.

සිටියා වූද දුටුවාවූද ආශ්‍රිත වෙනත් ග්‍රහයන්ගේ ගති ගුණ අනුව ක්‍රියා කරන නිසා බුධට හැම දෙයක්‌ම අයත් වන බවක්‌ පෙනී යනවා ඇත. එයට හේතුවක්‌ නම් වා, පිත්, සෙම් තුන් දොසටම බලපෑමයි. දිවා රාත්‍රි භේදයක්‌ නැතිවීමද, බුධ මහ දශාවේ හෝ රාශියේ මුල, මැද, අග කියා වෙනසක්‌ නොමැතිවීමද තවත් හේතු බව පෙන්වා දිය හැකිය. බුධ ගමන් කරන්නේ එකම පැත්තෙන් හිරු දෙසට හැරී ගෙන නිසා ඒ පැත්ත ඉතාමත් උෂ්ණ වන අතර අනෙක්‌ පැත්ත අධික සීතල වේ. එම උෂ්ණ පැත්ත පෘථවිය දෙසට හැරී තිබෙන විට කේන්ද්‍රයක බලවත් ස්‌ථානයක බුධ සිsටි විටදී ඔහුගේ මහ දශාව අවුරුදු 17 ක්‌ වන දිගු කලක්‌ මුළුල්ලේ යහපත් ඵල උදාකර දෙයි. වෙනත් ග්‍රහයන්ගේ අන්තර් දශාවල මෙන් නොව අන්තර් දශාවලදී වැඩි වෙනසක්‌ වන්නේ නැත. එනිසා බුධ මහ දශාව ජන්මියා හට ඉතා යහපත් වන බව කිව යුතුය. මේ කාලය තුළ අපල උපද්‍රව යෙදුණත් ඒ ඉතා කලාතුරකිනි. සුළු වශයෙනි.

ගුණ නුවණට අධිපති වූ ඥාන කාරක වූ බුධ ඒ අතේ කටයුතුවලදී ප්‍රධාන වේ. තීක්‌ෂණ බුද්ධිය, සත්‍යවාදී බව, ඉගෙනීම, කථිකත්වය, සූක්‍ෂම කර්මාන්තවල ප්‍රවීනතාව, නීති ශාස්‌ත්‍රය කාව්‍ය නිර්මාණ ආදිය පිළිබඳ මනා දැනුම දක්‍ෂතාවය උත්පත්ති කාලයේදී බුධ බලවත්ව සිටි ජන්මීන්ට ඇතිවේ. ජ්‍යෙdතිෂය යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යා භාෂා ශාස්‌ත්‍රාදියේ කුශාග්‍ර බුද්ධිමතුන් නීති විශාරදයන් ලොවට බිහිවන්නේ බුධ ඉතා බලවත්ව සිටි මොහොතකදීය. කෝටිපති මහා පොත් වෙළෙන්දන්, සුප්‍රසිද්ධ රස කෑම ව්‍යාපාරිකයන් වීමටද බුධගේ බලපෑම උපකාරී වේ. වාග් චතුර්යය, චිත්‍ර ශිල්පය, ලේඛන කලාව, කාර්යශූරතාවය, අවංකකම බුධ බලවත් අයට හොඳින් පිහිටන බව කිව හැකිය. එවන් උගත් තැනැත්තෝ රජයෙන් ගරු සම්මාන තිළිණ ලබති.

මොලොව ජීවිතය මෙන්ම පරලොව සුගතියට යැමට අධ්‍යාත්මික තත්ත්වය උසස්‌ කර ගැනීමටද බුධ බලවත් වූ අය උනන්දු වෙති. එසේ කරන ගමන් අනුන්ටද යහ මග පෙන්වා දෙන හොඳ උපදේශකයෝ වෙති.

බුධ ගෙන් අපල බලපාන කල්හි රහස්‌ රෝග, පණු රෝග, කුෂ්ට, අතීසාරය, ඇම්ම, කතාවේ ගොත බව ආදී රෝග පීඩා හැදේ. එවන් අපල උපද්‍රව දුරු කර ගැනීම සඳහා පිහිට පැතිය යුත්තේ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීමෙනි. ශ්‍රී විෂ්ණු දෙවියන්ට පඬුරු බැඳීම, සෙත්කවි සාදවා කියවීම, විෂ්ණු අඝෝර, ශිව සිදම්බරී, විෂ්ණු මණ්‌ඩලය, නවනාටය ආදී යන්ත්‍රයක්‌ බැඳීම ආදියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ. සහනය ලැබේ. වී. මුංඇට, ගිතෙල්, නිල්රෙදි, සුවඳ වර්ග, රන් රිදී ලෝකඩ, පච්ච මැණික්‌, පාත්‍රා, තැටි, පුටු දන්දී විෂ්ණු දෙවියන් ඇතුළු සියලු දෙවිවරුන්ට පින් දීමෙන්ද බුධ අපල දුරුකර ගත හැකිය. ළදරුවන්ට ආහාර පාන දීමෙන්ද කොහොඹ ගසට ආවතේව සාත්තු කිරීමෙන්ද මෙම අපල දුරුවේ. සෙත ශාන්තිය උදාවේ.

ග්‍රහ ලොව යුවරජු හෙවත් බුධ පිළිබඳ විස්‌තර බොහෝ ඇති අතර මෙහි දැක්‌වූයේ කෙටි විස්‌තරයකි.

උපුටා ගැනීම දිවයින