🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඔබේ රැකියාව 10 වෙනි කොටුවෙන් සොයා ගන්න


ජ්‍යෙතිෂය යනු දුටුවන් මවිත කරන මැජික්‌ ශාස්‌ත්‍රයක්‌ නොවේ. එහෙත් මැජික්‌ වලින් ඇතිදේ නැති කිරීමටත් නැතිදේ ඇති කිරීමටත් හැකියාව ඇතුවා සේම ජ්‍යෙතිෂ විද්‍යාවෙන්ද එවැනි දේ කිරීමට බැරිකමක්‌ නැත. එකී දර්ශනය හුදෙක්‌ යථාර්ථයට නැඹුරු වූ විඳණ පද්ධතියකි. එය ඉබේ ගොඩනැගුණ දෙයක්‌ නොව දිගු කලක්‌ තිස්‌සේ සිදු කරන ලද පර්යේෂණ, ගවේෂණ හා විමර්ශන සමුදායක ප්‍රතිඵල වලිනි. එය එසේ වුවද ජ්‍යෙතිෂය ස්‌වභාව ධර්මයෙන් පිටගිය දර්ශනයක්‌ද නොවන්නේය. ස්‌වභාව ධර්මයේ විනිවිද ගිය ආලෝකය ජ්‍යෙතිෂයයි.

මෙලොව උපදින මිනිසා සැපය හා සතුට සොයා යන ගමනේදී ජීවනෝපාය හෙවත් රැකියාව මුල්තැනට වැටේ. වර්තමානයේ මෙලොව ජීවත්වීම සඳහා අනිවාර්යයෙන්ම රැකියාවක නිරත විය යුතුය. රැකියාවට යොමුවීමත් සමගම අධික ලෙස මුදල් ඉපයීම උසස්‌ තැනක වැජඹීම කීර්ති ප්‍රශංසා නම්බු නාම තානාත්තර ගැනද බලාපොරොත්තු තබයි.

එහෙත් එම බලාපොරොත්තු සිතන පතන අයුරින් සිදුවේද යන්න සරල නොවූ ප්‍රශ්නයකි. සමහරකුට තමා බලාපොරොත්තු වන රැකියාව ඒ ආකාරයටම ලැබුණද තව කෙනෙකුට එය එලෙස සිදු නොවේ. අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබුණද බොහෝ විට අපේක්‍ෂා භංගත්වයට මුහුණදීමට සිදුවන අවස්‌ථා බහුලය. ඒ සඳහා මූලික වන හේතු කාරණා ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවට අනුව විමසා බැලීමද වැදගත්ය.

ජ්‍යෙතිෂ්‍යය ඉතා පැහැදිලි ලෙස අනාගතය විවරණය කරන ශාස්‌ත්‍රයකි. ඒ අනුව මෙම ගැටලුව දෙස ජ්‍යෙතිෂ ඇසින් බැලීමේදී සියල්ල සඳහා මිනිසාගේ දෛවය මූලිකත්වය ගෙන ක්‍රියා කරන බව නොකියාම බැරිය. ඒ ඒ පුද්ගලයා පෙර ආත්මභවයන්හි සිදු කරන ලද කුසල අකුසල කර්මයන්හි ප්‍රතිඵල ඔහු මෙලොවට රැගෙන එන බවත් වත්මනෙහි ඒවා කිසියම් පාලනයකට යටත්ව අඩු වැඩි වශයෙන් භුක්‌ති විඳින බවත් බුදු දහමින් මෙන්ම ජ්‍යෙතිෂ විද්‍යාවෙන්ද පෙන්වා දෙනු ලැබේ.

ඒ අනුව මිනිසාගේ ජන්ම වාර්තාව හෙවත් කේන්ද්‍රය ඉහත ප්‍රතිඵලවල සටහනයි. තවද ස්‌වභාව ධර්මයෙන් විශ්වයට දායාද කරන නියාම ධර්මතාවල බලපෑම් හැරුණු විට සැප දුක ප්‍රීතිය අපේක්‍ෂා භංගත්වය ආදී ජීව ස්‌වභාවයන්ට මුල් වන්නේ ඉහත දැක්‌වූ පිං පව්වල විපාක ශක්‌තියයි. මෙම ධර්මතාවයට අනුව කෙනෙකුට හිමි රැකියාව සහ වෙනත් කුසලතා සියල්ල උපතත් සමග ඔහු විසින් මෙලොවට ගෙනෙන දායාදයන්ය.

එසේ නම් රැකියා ප්‍රශ්නයට ජ්‍යෙතිෂයෙන් සපයන සාර්ථක පිළිතුර කුමක්‌ද යන්න මෙසේ විමසා බලමු.

ඕනෑම පුද්ගලයකුගේ කේන්ද්‍රයේ භාව හෙවත් කොටු 12 ක්‌ ඇත. ඉන් 10 වෙනි භාවය රැකියාවට මූලික වන අතර අනෙකුත් භාවයන්ද රැකී රක්‌ෂා කටයුතු පිළිබඳ පලාඵල අනාවැකි සඳහා බොහෝදුරට උපකාරීවේ. උප්පත්ති කේන්ද්‍රයට අනුව යෙදෙන බලවත් යෝග වලින් ඇතිවන බල දුබල තත්ත්වයන් හමුවේ මේවායේ වෙනස්‌කම්ද ඇතිවීමට හැකිය.

පළමුභාවය බලවත් වීමෙන් පාලන ක්‍ෂේත්‍රයේ දක්‍ෂතා දන්වන්නත් වේ. ඒ අනුව මන්තීධූර, දිසාපති, තානාපතිධූර, වැනි උසස්‌ නිලතල වලට හිමිකම් කීමේ වාසනාව ඇතිවේ. දුර දක්‌නා තැනට සුදුසු නුවණ, නිර්භීතකම එවැන්නන්ගේ ප්‍ර්‍රධාන ගති ලක්‍ෂණය. දෙවෙනිභාවය බලවත් වීමෙන් මුදල් ක්‍ෂේත්‍රය හා බැඳුණු රැකියාවලට යොමුවෙයි. බැංකු ප්‍රධානීන් ව්‍යාපාර හිමිකරුවන් වීමේ භාග්‍ය මේ අයට හිsමිය. ඒ හැරුණු විට නිවේදන කටයුතු වලින්ද උසස්‌ ප්‍රතිඵල ලබාගනී. තුන්වෙනි භාවය බලවත් වීමෙන් ආරක්‍ෂක අංශයන්හි උසස්‌ නිලතල ලැබීමද වෘෂභ ලග්නයේ ඉපිද ලග්න භාවයේ සිකුරු පිහිටීමෙන් කලා අංශයේ දක්‍ෂයන් වීමටද බලපායි. ප්‍රසිද්ධ ලේඛකයන් වීමේ භාග්‍යයද මොවුනට හිමිය. හතරවෙනි භාවය බලවත් වූවෝ ඉඩම් හිමි වැවිලිකරු රථවාහන ගෙන්වා බෙදා හැරීම හා විදේශගතව ආර්ථික දියුණුව උදාකර ගනී. පස්‌වෙනි භාවයෙන් ගුරුවෘත්තිය, නීති මිනින්දෝරු, ග්‍රාම නිලධාරි ආදී තනතුරු ලාභ දැකිය හැකි අතර රසායන ක්‍ෂේත්‍රයේ විද්‍යාඥයන් වීමට තරම් භාග්‍ය ඇත. හයවෙන භාවය බලවත් අය වෛද්‍ය වෘත්තිය, රසායනාගාර කටයුතු සාත්තු සේවා ඖෂධවේදී කටයුතු ආදියෙන් දියුණුවේ. සත්වෙනි භාවය බලවත් වූ විට ස්‌ත්‍රී රෝග, සෝම රෝග පිළිබඳ විශේෂඥයින් වීමේ හැකියාව පවතින අතර විවිධ විලාසිතා මෝස්‌තර ශිල්පීන් රූපලාවන්‍ය කටයුතු ආදියට සමත්කම් දක්‌වන්නන් සුවඳ විලවුන් විසිතුරු බඩු ක්‍රීඩා භාණ්‌ඩ අලෙවියන්ද දියුණු වීමට වාසනාව ඇතිවේ. අටවෙනි භාවය බලවත්වීමෙන් අවමංගල සේවා වලින් දියුණුව සලසාගන්නා අතර එම ව්‍යාපාර සඳහා ඉතා ප්‍රසිද්ධියට පත්වේ. නමවෙනි භාවය බලවත් වීමෙන් සුළු වශයෙන් හෝ පාප ක්‍රියා වලට හසුනොවී ලෝවැසියන්ගේ ප්‍රශංසා මධ්‍යයේ ඕනෑම රැකියාවක ඉතා සාර්ථකව නියෑලීමට දක්‍ෂ වන අතර ඕනෑම දෙයක්‌ එක්‌වර දුටු පමණින් මේ අයට කළ හැකිවීම විශේෂත්වයකි. දහවෙනි භාවය බලවත් වීමෙන් රාජ්‍ය අංශයේ රැකියා ලැබීමට වාසනාව උදාවේ. ලේඛකයන් විවිධ ක්‍ෂේත්‍රවල විද්‍යාඥයන් වී ලෝක පූජිත වීමටද මෙවැන්නන්ට භාග්‍ය ඇති අතර මුද්‍රණ කර්මාන්තයෙන්ද දියුණුව සැලසේ.

එකොලොස්‌වෙනි භාවය බලවත් වූවන්ට උකස්‌ අංශයේ රැකියා හිමි අතර රන්භාණ්‌ඩ නිෂ්පාදනය අලෙවිය, මැණික්‌ කර්මාන්තයද නියෝජනය කරයි. දෙලොස්‌වන භාවය බලවත්වීම තුළින් උපන් ගමෙන් පිටදී දියුණුව ලබන අතර කැටයම් කර්මාන්තය පොල් වගාව, අලෙවිය පොහොර නිෂ්පාදනය හා අලෙවිය තුළින් දියුණුවට මග පාදා ගනී.

මීට අමතරව ජන්ම පත්‍රයේ පිහිටි විවිධ ග්‍රහ යෝගද රැකියා සඳහා ප්‍රබල ලෙස බලපෑම් ඇති කරයි. මේවා ධන යෝග රාජ යෝග, ලෙස හැඳින්වේ. ඒ හැරුණු විට රැකියා ලබා ගැනීමේදී විවිධ බාධකද මතුවිය හැක. බොහෝ විට මෙයට ඒ ඒ පුද්ගලයාගේ ග්‍රහ අපලද බලපායි. විවිධ රෝග පීඩා සතුරු කරදර පාප මිත්‍රයෝ එයට නිදසුන්ය. එහෙත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් ගෙන නිසි වේලාවට කල්පනාකිරීව සිහි බුද්ධියෙන් කටයුතු කළහොත් සියලු බාධක මගහැර තමාට හිමි ජිවන වෘත්තිය තුළින් ජීවිතය ජයග්‍රහණය කළ හැක.

උපුටා ගැනීම දිවයින