🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

යුග දිවිය රස නීරස වෙන විදිය දන්නවද?

අද වන විට දැවැන්තම සමාජයීය ගැටලුවක් වී ඇත්තේ විවාහ ප්‍රමාදයයි. මංගල යෝජනා ඉදිරිපත් වුවද විවිධ හේතූන් මත ඒවා වෙනස් වන අවස්ථා එමටය. තම දුවට හෝ පුතාට සුදුසු සහකරුවකු සහකාරියක සොයාගැනීම අද මවුපියන්ට කොතරම් දුෂ්කර ප්‍රශ්නයක්ද?

කේන්දරයේ ලග්නයෙන් 7 වැන්න විවාහය ගැන ඍජුවම කතා කරයි. විවාහයට සම්බන්ධ වන අය ගැන මනාව තේරුම් කරගැනීමට හැකිවෙයි. 7 වැන්නේ කිසිදු ග්‍රහයකු පිහිටා නැත්නම්, 7 වැන්නාධිපති සිටින භාවය (රාශිය) ගැන විමසිලිමත් විය යුතු වේ. සඳුගෙන් හත්වැන්න හා සිකුරුගෙන් හත්වැන්නද විවාහයට බලපෑම් ඇති නමුත් තම සහකරුගේ සහකාරියගේ වතගොත විස්තර පිරික්සා බැලිය යුතු වන්නේ ජන්ම පත්‍රයේ 7 වැන්න පරීක්ෂා කිරීමෙන්ය. කිසිදු ග්‍රහයෙක් විවාහක ස්ථානගතව නොමැති නම් හත අධිපතියා සිටින භාවය මූලාශ්‍රය කොට ගත යුතුය.

ඇගේ හෝ ඔහුගේ ස්වරූපය, ගති ලක්ෂණ, බාහිර හා අභ්‍යන්තර ගති පැවැතුම්, වින්දනාත්මක බලය ආදී තොරතුරු මහත් රාශියක්ම 7 වැන්න තුළ ගොනුවී ඇත්තේය.

සත්වැන්නේ සඳු-සිකුරු-ගුරු වැනි සෞඛ්‍යකාරකීය ග්‍රහයකු සුබ පෙනීම් ඇතිව බලවත්ව ඇත්නම් උගත් රූමත් කෙනකු ලැබේ. ශනි-කුජ-රාහු නම් කෲර ගති ලක්ෂණ දිස්වෙයි.

22 වැනි දෙර්කාණාධිපතියා වී 7 වැන්නේ කිසිම ග්‍රහයකු නොසිටීම හෝ 7 වැන්නාධිපතියාගේ නිල අයිතිය ඇති වීම සුබ නැත. මේ හරහා යුග දිවියේ අනපේක්ෂිත අන්දමේ ප්‍රශ්න ඇතිවෙයි. සඳු 22 වැනි දෙර්කාණාධිපතියා වීම නිසාද නීචව, සතුරුව සිටීමෙන් කිසියම් මානසික පීඩනයන්ට වහා ගොදුරු වන්නේය. තවද සඳු බලවත්ව ස්වක්ෂේත්‍රව උච්චව සත්වැන්නේ සිටීම දෙදෙනාටම සුබදායක වේ. රූමත් හා බුද්ධිමත් බවෙන්ද පිරිපුන්ය.

හත අධිපතියා 2,5,9,10,11 යන තැන්වල සිටීමෙන් යුග දිවියට සම්පත් යස ඉසුරුකාරක වේ. හත්වැන්නේ කුජ 22 වැනි දෙර්කාණාධිපතියාවී සිටින ඇයගේ හෝ ඔහුගේ සමගිය සමාදානය නොමැතිව මුළු යුග දිවියම අවුල්සහගත තත්ත්වයට පත්වනු ඇත. තවද කුජ සුබ දෘෂ්ටිගතව බලවත්ව 7 වැන්නේ සිටී නම් සුරූපී දේහ ලක්ෂණවලින් පිරුණු හැඩකාරියක් ලැබේ. කාන්තාවකට නම් උත්තුංග දේහධාරී සහකරුවකු හිමිවෙයි.

ගුරු 7ට අයහපත් නොවූවත් 22 වැනි දෙර්කාණාධිපතියා වී සිටීම නිසා ආධ්‍යාත්මික පැතිකඩට වඩාත් නැඹුරු වීමේ ප්‍රතිඵලය පරිදි විවාහයේ කායික මානසික සතුට අහිමි වෙයි. වඳ පීදුණු විවාහයකි.

සිකුරු 22 වැනි දෙර්කාණාධිපතියා වී සත්වැන්නේ සිටීමෙන් සුබ පල ලැබේ. ප්‍රමාදයකින් තොරව කලට වේලාවට විවාහය සිද්ධ වන්නේය. විවාහයද සාර්ථකත්වයට පත්වන අතර අඹු-සැමි ප්‍රේමයද වැඩි වන්නේය.

22 වැනි දෙර්කාණාධිපති සෙනසුරු වී, සත්වැන්නේ හැසිරීමෙන් විවාහයට ලැබෙනුයේ තමාට වඩා වැඩිමහලු අයෙකි. මහලුකම කැපීපෙනෙන අතර විවාහයේ කායික හා මානසික දිවිය ඇල්මැරුණු ගතියෙන් යුක්ත වෙයි. රසකාමීත්වයත්, වින්දනයත් අවම තත්ත්වයට පත්වෙයි. පරාභවයට නෑකම් කියයි.

සෙනසුරු දිග්බල සහිතව සත්වැන්නේ නම් එවැනි ග්‍රහ පිහිටීමක් ඇති අයකු සමග එක්විය යුතු වෙයි. සෙනසුරු බලවත් නම් කායික සුවය රසවත් වෙයි. සාර්ථක යුග දිවියක් ගෙවනු ඇත. වවුල් හපයක් වන අවස්ථාවන්ද උදාවිය හැකිය.

සෙනසුරු බලවත්ව ඇත්නම් දුක, සැප විඳදරා ගනිමින් යුගදිවිය ගෙවයි. පිරිමියකු නම් ඔහුට වඩා වයස් පරතරය ඉතා වැඩි කෙනකු විය හැකිය. සැමියාට 35 වන අතර බිරියට 49ක් පමණ වන කෙනකු වනු ඇත. විවිධ වයස් පරතර මේ ග්‍රහ පැවැත්මට පාදක වන්නේය. එවැනි යුගදිවි ගෙවන අය අප අතර සිටී.

විශේෂයෙන්ම රාහු, කේතු 7 වැන්නේ සිටීම එතරම් යුගදිවියට සුබ නොවේ. චංචලත්වය ඇතිකරයි. සමහර විට රාහු කුජට එකතු වූ විට සැමියාට රහසිගතව වෙනත් සබඳතා ඇතිකරගන්නීය. ආශාවන් අධිකයි. ගුප්තයි.

සහකරුගේ හෝ සහකාරියගේ ගේ දොර ඉඩකඩම්, යාන වාහන, දේපොළ ගැන හතරවැන්නෙන් කියැවෙයි. මවුපසට අදාළය. මෙයින් තමාට ලැබෙන දේ ගැන විනිශ්චය කළ හැකි වන්නේය.

නිවාස මෙන්ම අවට පරිසරය ගැන කදිම තොරතුරු රැසක්ම 9,10,11 වැන්න පිරික්සීමෙන් සොයාගත හැකිවෙයි. ප්‍රතිගාමියාගේ සහකරු හා සහකාරියගේ අධ්‍යාපන මට්ටමද තෝරා ගැනීමට 3 හා 11 භාවයන් ආධාරක වේ. ග්‍රහ ශක්තිය උපකාරකීය වන්නේය. මේ අනුව බලන විටද ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ හැසිරීම් රටාවට අනුගතව ලැබෙන සහකරු හෝ සහකාරිය ගැන මනා අවබෝධයක් කල්තබා දැනගත හැකි වන්නේ විද්‍යාත්මක ජ්‍යොතිෂ ඇසිනි.

මෙලොව ජනිත වන මොහොතේදී විශ්වීය අහසේ සිතියමේ සනිටුහන් වන ග්‍රහ හැසිරීම් රටා වියමන ගැන කල්තබා දැනගැනීමට හැකි වන්නේ ඒ පිළිබඳ ජ්‍යොතිෂමය තෙවැනි ඇසින් බැලීම හරහාය. විවාහාපේක්ෂක ඔබට ගැළපෙන නියම සහකරුවා හෝ සහකාරිය කෙදිනක කොතැනකදී, කුමන අයුරකින් හමුවේද යන්න ජන්ම පත්‍රය ගැඹුරින් විනිවිදව පරීක්ෂා කර බැලීමෙන් අනාවරණ වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී.හෙන්රි බෙම්මුල්ල
උපුටා ගැනීම මව්රට