🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ගිලිහී යමින් පවතින මල්වර චාරිත්‍රයන්හි විද්‍යාත්මක අගය අවබෝධ කරගනිමු

ගිලිහී යමින් පවතින මල්වර චාරිත්‍රයන්හි විද්‍යාත්මක අගය අවබෝධ කරගනිමු

දියණියකගේ දෙවැනි උපත මල්වරයයි. එමඟින් ඇය උතුම් මාතෘත්වයට සුදුසු තැනැත්තියක් ලෙස නිර්දේශ කෙරේ. මෙකී මල්වරය අනාදිමත් කාලයක සිට ජේ‍යාතිෂය හා බද්ධව එහි නියම හා රීතීන්ට අනුව ක්‍රියාත්මක විය. ප්‍රදේශ - පළාත්වලට ආවේණික විවිධ සිරිත්හි යම් සුළු වෙනසක් විනා ජේ‍යාතිෂ සිද්ධාන්ත පදනමෙන් සිදුවූයේ එකම ක්‍රියාවලියකි. මල්වරය හඳුනාගත හැකි වන්නේ දෘශ්‍යභාවය තුළිනි. එලෙස දකිනු ලබන වේලාව ආසන්න වශයෙන් හෝ දැනගැනීම අවශ්‍ය වේ. මල්වරය මවු පාර්ශ්වීය කටයුත්තක් බැවින් මව සමීපතම ඥාතිවරියක හෝ කාන්තාවක් නැකැත් විමසීමට ජේ‍යාතිෂවේදියා මුණගැසේ. එසේ යන විට බුලත් කොළ 7කට වැඩි ගණනක් මත සුදු මල් කිහිපයක් තබා දැරියගේ ජන්ම පත්‍රයද සමඟ ජේ‍යාතිෂවේදියාට පිළිගන්වනු ලබයි.

එහිදී,

  1. ජන්ම කේන්දරයේ ග්‍රහ තත්ත්වය
  2. අදාළ වේලාවට හිමි තත්කාලය
  3. මල්වරය දුටු මොහොතට අනුරූපව

නියමිත ලෙස මල්වරය වූ “මල්වර කේන්දරය” යන ත්‍රිත්වයම සෑදිය යුතුය. මෙහිදී මල්වර කේන්දරය ඉතා වැදගත් වේ. සඳු - කුජ දෙදෙනාගේ ග්‍රහස්ඵුට ආශ්‍රයෙන් ගණනය කර නියමිත මල්වර වූ වේලාව සොයා එම වේලාවට නිමානය කරනු ලබන කේන්දරය දැරිය ගැන විශේෂතා රැසක් පවසනු ලබයි. යම් දෝෂයක් ඇති වී තිබේ නම් එය පහසුවෙන් හඳුනාගත හැකිය. ඉදිරි ආර්තවය, දරුපල, විවාහය, ආර්තවභාවය ආදී වූ සාධකයන්ගේ සංකීර්ණතා එමඟින් මැනවින් හඳුනාගත හැකිය. එම අවස්ථාවේදී අදාළ පිළියම් යොදා එකී ගැටලු නිරාකරණය කිරීම අනිවාර්යය වේ.

මෙහිදී දරුවා ස්නානය කිරීමට හා ගෘහ ප්‍රවිෂ්ටය සඳහා නැකැත් 2ක් ලබාදේ. එම නැකැත් සූර්ය උදාවට පෙරාතුව ලබාදේ. දිනයට, එදිනට හිමි නැකැත් අනුසාරයෙන් ඇඳුමකට අදාළ වර්ණයද, ස්නානය වෙනුවෙන් දොස් සමනය වීම පිණිස ඖෂධ සමූහයක්ද නම් කෙරේ. එකී ඖෂධයන් තම්බා ගනු ලබන්නේ නැවුම් මුට්ටියකය. නැවුම් ජලය භාවිත කරයි. තම්බා නිවාගත් මෙම ඖෂධ ස්නානය කිරි ගසක් මුලදී මව හෝ සමීපතම ඥාතිවරියක් විසින් පමණක් සිදුකළ යුතුය. රජක ස්ත්‍රීන් මේ සඳහා යොදවා ගැනීම සමහර පිරිස් සිදුකළද එය නොකළ යුත්තකි.

ප්‍රදේශවලට ආවේණික චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර තුනුරුවන් හෝ තම ආගම අදහා මවුපිය වන්දනාවන්ද සිදුකර අවම 6 දෙනකුවත් සිටින කෑම මේසයේ දැරිය හිඳුවා ආහාර ගැනීම කළ යුතුවා සේම තෑගි බෝග මෙන්ම අවවාද අනුශාසනා අගනාකම්, හැදියා පුරුදු, සංයමය, ඉවසීම, ගෞරවය ආදී කාන්තාභිමානී ගුණාංගයන් ඇයට පහදා දිය  යුතුමය.

යම් හෙයකින් මල්වර දෝෂයක් තිබෙන බව ප්‍රකාශ වුවහොත් වහාම පත්තිනි මෑණියන් වෙනුවෙන් පඬුරක් වෙන් කිරීම සිදුකළ යුතු අතර මල්වර දිනෙන් තෙමස සම්පූර්ණ වූ පිරිසුදු දිනෙක පුරපසට මෙකී බාරය පත්තිනි මෑණියන් වෙනුවෙන් නිදහස් කළ යුතුමය. එහිදී පොල්තෙල්, සහල්, එළවළු, පලතුරු හා පලාවර්ග සපිරිව පූජාව තබා එය නිදහස් කළයුතුය.

 තවද අදාළ ස්නාන දිනය වන තුරු දරුවාගේ ආහාර රටාවන් එකල නිසි ලෙස අනුගමනය කරනු ලැබුවේ ඇයගේ ශරීරගත උෂ්ණත්වය ඉහළ අගයක පවතින නිසා එම අගය රැකෙමින් ඇයගේ ශරීරය පූර්ණ පිරිසුදු භාවයට පත් කිරීම පිණිසය. මෙහිදී නිර්මාංස ආහාර වේල් සේම තෙල් රහිත වීමද වැදගත් කොට සලකන ලදී. ‘තැම්බුම් හොද්ද’  මල්වරයට ආවේණිකම ආහාරයයි.

මෙසේ සාම්ප්‍රදායික, සැඟවුණු එහෙත් විද්‍යාත්මක වූ චාරිත්‍ර - වාරිත්‍රයන් පසෙකලා නවීන පන්නයට දැරියන්ගේ මල්වර සමරනු අපි දැක ඇත්තෙමු. මල්වරය දුටු දින වුවද  දරුවා ස්නානය කිරීමට සමහර මවුපියෝ පෙලඹෙති. 

ශරීරය තුළ අධික උෂ්ණත්වයක් පවතින මොහොතක ශරීරය එකවර සිසිල් කිරීම තුළින් ඇයගේ ශරීරයෙන් ඉවත් වියයුතු දෑ නිසියාකාරව ඉවත් නොවී පසුකාලීනව ගර්භාශගත රෝගී තත්ත්ව නිර්මාණයට හේතුවෙයි.  තවද එකල චාරිත්‍ර වාරිත්‍ර තුළින් දරුවාට නිර්වාචික සන්නිවේදනයක් ලබාදෙනුයේ තමා තැන්පත්ව නිහතමානීව සමාජයේ ජීවත් විය යුතු බවයි. 

සමීපතම ඥාතීත්වයේ සහභාගිත්වයෙන් එකල පැවැති මල්වර උත්සවය අද උත්සව ශාලා තුළ පැවැත්වෙන මහා ප්‍රියසම්භාෂණ තත්ත්වයට පත්ව ඇත. දැරියගේ මල්වරය ලොවට හඬ ගා  කියමින් ඇය තවදුරටත් අනාරක්ෂිත කිරීම මෙමඟින් සිදුවන වක්‍රාකාර අගතියකි. මධුවිත පෙරටු කරගත් නූතන සම්ප්‍රදාය වුවද එකල මෙම උත්සව පැවැත්වීමේදී නිර්මාංසීව ආහාර පිළියෙල කිරීමට උත්සුක විය. 

දරුවාට යම් හෙයකින් වස් දොස් නිර්මාණය වී තිබුණහොත් ඒ සඳහා පිළියමක් ලෙස දරුවා ස්නානය කරවීමට රජක ස්ත්‍රියක් තෝරා ගන්නා ලදී. එමඟින් යම් දෝෂී තත්ත්වයක් තිබේ නම් එය අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය මෙමඟින් ගම්‍ය වේ. දස මස තම කුස දරා සිටි දැරියගේ යම් දොසක් තිබේ නම් පළමුව ඒ වෙනුවෙන් මැදිහත් වනුයේ තම මවයි. එසේ නම් මල්වර දැරිය පළමුව ස්නානය කිරීමේ පරම අයිතිය හිමිවනුයේ මවටයි.

මෙලෙස බලන කල මල්වරය ඉදිරියේදී ජේ‍යාතිෂයෙන් දිගින් දිගටම අෑත් වන බව පෙනේ. මෙයට සමගාමීව ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍රයන්ද වියැකී යනු ඇත. සාරධර්ම සමාජය තුළ ක්‍රම ක්‍රමයෙන් ගිලිහී යනු ඇත. ‘අම්මා’ යන චරිතය අනාගතයේ කිනම් හෝ ගුණ දහමින් අඩුවක් ඇතිවේ යැයි සැක සංකා මතුවනුයේ මලවරය ජේ‍යාතිෂය යන සංයෝගය දුරස් වීම හේතුවෙනි.

උපුටා ගැනීම මවුබිම