🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඕනවට වඩා නිදාගන්න එකත් පරිහානි ලක්ෂණයක්

පසුගිය දිනෙක වාර්තා වූයේ නිදාගැනීම තුළ ලෝකයේ රටවල් අතර තුන්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවකි. මෙහිදී රාත්‍රි කාලය තුළ නොව දහවල් කාලයෙහි නිදා ගැනීම අදහස් කරයි. පෙර ලාංකිකයා ඍෂිවරුන්, බුද්ධිමතුන් සේ ඉර උදාවීමට පෙර අවදි විය. ඉර උදාවීමෙන් පසුව අවදි වීම ලාංකිකයන් අලසකමක් ලෙස සලකනු ලබයි. නිදා ගන්නා මොහොත තුළ නිදා නොගැනීමත් අවදියෙන් සිටිය යුතු අවස්ථාවන්හි නිදා ගැනීම යන කාරණා දෙකම පරිහානියට හේතුවක් වෙයි. වර්තමාන තරුණ පරපුර නව තාක්ෂණයේ වහල්ලු වී සිටිති. සමහරු Online මාර්ගයෙන් රැකියාවල යෙදෙති. එහිදී අප රට තුළ රාත්‍රි කාලය වන විට වෙනත් රටවල දහවල් කාලය යෙදෙන බැවින් ඒ ඒ රටවල් සමඟ Online රැකියාවල නිරත වන විට රාත්‍රි කාලය භාවිත කරයි. එසේම රැකියා නොකරන පිරිසක්ද රාත්‍රි කාලය තුළ අන්තර්ජාලය භාවිත කරමින් Facebook, Youtube තුළ ජීවත් වෙයි. එසේම රූපවාහිනිය තුළ දහවල් කල විකාශනය වන වැඩසටහන් රාත්‍රි කාලය තුළ නැවැත නැරැඹීමේ හැකියාව පවතින නිසා සමහරු රාත්‍රි කාලය තුළ රූපවාහිනි නරඹති. මෙම ක්‍රියාදාමයන් නිසා රාත්‍රි කාලයේ නිදිමරන සමහරු දහවල් කල නිදා ගනිති. මේ නිසාම නිදාගත යුතු අවස්ථාව තුළ නිදි වැරීමත්, අවදියෙන් සිටිය යුතු අවස්ථාවන්හි නිදා ගැනීමත් ලාංකේය සමාජය තුළ දක්නට ලැබෙයි.

සත්ත්වයන්ට වැඩ කළ හැකි ජීව විද්‍යාත්මකව සකස් වී ඇති කාලය වන්නේ හිරු උදා වූ දහවල් කාලයයි. ලංකාව සමකාසන්න රටක් බැවින් පැය දහසයකටත් වඩා කලක් හිරුඑළිය වැටෙයි. ඒ නිසා ලාංකිකයන්හට වැඩ කිරීමේ කාලය බොහෝ වෙයි. හිරුඑළියද සත්ත්වයාට වැඩ කිරීමට උත්තේජකයකි. පෙර ලාංකිකයා හිරු උදාවීමට පෙර අවදිව කුඹුරට ගොස් පැය දෙක තුනක් කුඹුර කොටා උදෑසන ආහාර ගත් බව සඳහන් වෙයි.

ලාංකිකයා උදෑසන අවදි වීම බුදුදහම තුළින් ලද ආභාසයක් වෙයි. බුද්ධ චරිතය තුළ බුදුරජාණන් වහන්සේ තම දෛනික            ක්‍රියාකාරකම් සිදුකළේ කාලසටහනකට අනුවයි. පෙර බත් කිස, පසු බත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුලුයම් කිස ආදී වශයෙන් කොටස් පහක් වූ අතර උන්වහන්සේ නිදා ගැනීම නැතහොත් සැතපීම සිදුකළේ පැසුලුයම් කිස අවස්ථාවේදීය. එමෙන්ම නුවර යුගයේ පමණ ලිය වුණු සාමණේර භික්ෂුන් සඳහා වූ දින චරියාවෙහි භික්ෂුන් වහන්සේ හිරු උදාවීමට පෙර අවදි විය යුතු බව දක්වයි. "අරුණට පළමුව දැහැටි වළඳා මළු පෙත්මං ඇමද" ආදී වශයෙන් එහි දක්වා ඇත.

පරාභව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නින්දෙහි ලෝලත්වය පිරිහීමට හේතුවක් බව දක්වයි. කෙනකුගේ ජීවිතයේ දියුණුව පවතින්නේ කර්මය මත නොව බුද්ධිමත්ව වීර්යයෙන් යුක්තව කටයුතු කරනවා නම් කර්මය වෙනස් කරගත හැකිය. අනුවණයා මේ මගේ කර්මය, මේ මගේ දෛවය යැයි සිතමින් කටයුතු කරයි. උත්සාහයෙන් කටයුතු කරනවා නම් ඔහු කරා වාසනාව පැමිණෙයි. උත්සාහවන්තයා ලක්ෂ්මිය හෙවත් වාසනාව වැලඳ ගන්නා බව  සමාජයේ පිළිගත් මතයකි. නිරුදක කාන්තාරයක ජලය ලබා ගන්නට වීර්ය වඩන පුද්ගලයාට හැකිවෙයි.

වෙළෙඳ කණ්ඩායමක් කාන්තාරයක් මැදින් වෙළෙඳාමෙහි යයි. කාන්තාරය අවසන් කරන දින ඔවුහු ගැල්වල බර අඩුකර ගැනීමට වතුර හා දර තිබූ ගැල් හිස් කොට එම ගැල්වල තම වෙළෙඳ භාණ්ඩ තබා ගත්හ. රාත්‍රියේ ගමන් කරද්දී ගැල් නායකයාට නින්ද යයි. අණ දීමක් නොමැති නිසා ගවයෝ තම පාඩුවේම ගමන් කරති. පසුදින හිරු උදාවන විට කාන්තාරය ඉක්මවා නැත. පෙර දින නවාතැන් ගත් තැනම සිටියි. අණ නොලැබූ ගවයෝ කරකැවී පෙර දින නවාතැන් ගත් තැනටම පැමිණියහ. නින්ද ඔහුට බාධා කළද ඔහු ඉන් නොනැවතිණි. ඔහු කිසිවකුටත් චෝදනා කරන්නට ගියේ නැත. දෙවියන්ට කන්නලව් කළේ නැත. ඔහු විමර්ශනශීලී විය කඳවුරින් එළියට බැස බැලීය. එහි තණ පඳුරක් දකියි. සරුව තණ පඳුර වැඩී ඇත්තේ වතුර නිසා යැයි ඔහු උපකල්පනය කරයි. තණ පඳුර ඇති ස්ථානය හාරන්නට විය. බොහෝ වේලාවක් හාරා බැලූ විට එහි දක්නට ලැබෙන්නේ මහා කළු ගලකි. එයින් ඔහු පසුබට වූයේ නැත. වීර්ය වඩා ගල කැඩීය. මහා ජල කඳක් ඉන් ඉපදිණි. නින්ද අපලයක් යැයි සිතා නින්දට ‍දෝෂාරෝපනය කළේ නම් ඔහුට එම ජල කඳ ලබන්නට හැකි වන්නේ නැත. උත්සාහවන්ත වුවහොත් මේ සමාජය තුළ කළ නොහැක්කක් නැත.

එසේම නිදාගැනීම නිදාගන්නා පුද්ගලයාගේ ජීවිතය පමණක් නොව ඔහු හා වෙසෙන අන් අයගේ ජීවිතද අවාසනාවන්ත තත්ත්වයට පත්කරයි. පන්සියපනස් ජාතකයෙහි වරණ ජාතකය මේ සඳහා කදිම නිදසුනකි. සිසුහු පිරිසක් තක්සලාවෙහි නතර වී ඉගෙනුම ලබති. දිනක් ඔවුහු දරගෙන ඒම සඳහා වනයට යති. වනයට ගිය සිසුහු තම තමන්ට හැකිසේ දර ටිකක් කඩා ගනිති. එක් සිසුවෙක් එහි ගොස් ගසක සෙවණකට වී නිදා ගත්තේය. අනෙක් සිසුහු දර කඩා නිම වී තම දර මිටි රැගෙන යළි තක්සලාවට එන්නේ ඔහුටත් පයින් එකක් ඇන අවදි කර වූහ. ඔහුත් නිදිමතේම වටපිට බලා ලුණුවරණ ගසක් දැක එහි අතු වේළුණු අතු යයි සිතා ගසට නැඟ අමු අතු කඩද්දී අත්තක් ගැස්සී ඔහුගේ ඇසක වැදිණි. ඇසෙහි විනාශය තිබියදී එම අතු ටිකක් කඩාගෙන මිටියක් බැඳ සිසුන්ගේ අවසානයේ පැමිණ දරගොඩ උඩින්ම ඒ දර ටික හෙළීය. පසු දින ඔවුන්ට තක්සලාවට හිතැති කෙනකුගේ දානයක් විය. ඒ දානය සඳහා බොහෝ දුරක් යෑමට ඇති හෙයින් උදෑසනම ආහාර ගෙන තක්සලාවෙන් පිට විය යුතු විය. තක්සලාවේ අරක්කැමි කාන්තාවද උදෑසනම අවදි වී ඔවුන්ට ආහාර පිසින්නට සූදානම් වන්නේ දර ගොඩෙහි උඩම තිබූ දරගෙන ළිප මොළවන්නට සූදානම් වන්නේ ඇයට ළිප මොළවා ගත නොහැකි විය. මේ නිසාම ඉර උදාවන තුරු ළිප මොළවා ගත නොහැකි විය. සිසුන්ට උදෑසන ආහාර පමා විය. වේලාව ඉක්ම ගිය බැවින් දානයටද යෑමට නොහැකි විය. එක් අයකුගේ කම්මැළිකම නිසා ඔහුට හානියක් වූවාසේම ඔහු සමඟ සිටි අනෙක් අයටද හානි සිදුවිය. මේ නිදා ගැනීමේ ආදීනව වෙයි.

අවශ්‍ය දෙයකට වුවද අනවශ්‍ය ලෙස නිදිවරා සිටීමද බුදු දහම අනුමත නොකරයි. එයද විනාශයට හේතු වෙයි. චක්ඛුපාල තෙරුන් මාස තුනක් මුළුල්ලේ නිදාගැනීමේ ඉරියව්වෙන් බැහැරව අනෙක් ඉරියව් තුනින් භාවනා කළේය. උන්වහන්සේ අර්හත්වයට පත්වුණද උන්වහන්සේගේ දෙනෙත් අන්ධ විය. මේ තුළින් දෙන ආදර්ශය නම් අනවශ්‍ය අයුරින් නිදිවැරීමද බුදු දහම අනුමත නොකරන බවයි. උන්වහන්සේ එක් අවස්ථාවකදී නිදිකිරා වැටෙමින් සිටි සැරියුත් මහ රහතන් වහන්සේට දේශනා කරන්නේ නිදිමතක්  ආ විට නිදි වරන්නට අවශ්‍ය නම් සිහිල් ජලයෙන් මුව ‍ෙදා්වනය කරන්න, සක්මන් භාවනාවක යෙදෙන්න, වැඩ සිටින ස්ථානය වෙනස් කරන්න, ශබ්ද නඟා ගාථා සජ්ඣායනා කරන්න, අත්ල පිරිමදින්න, ඒ කිසිවකින් නිදි මත හැර ගන්න නොහැකි නම් නිදා ගන්න. නින්දෙහි අවශ්‍යතාව ශරීරයට තිබේ යන්නට නිදසුනක් මෙයින් ගත හැකිය.

අලසකමින් නිදා නොගනිමු. හිරු උදාවීමට පෙර අවදි වෙමු. නොනිදන සෑම මොහොතක්ම අපතේ නොයවා අර්ථවත් වැඩක නිරත වෙමු. නිදාගත යුතු වේලාව තුළ නිදාගනිමු. මෙලොව ජීවිතය දියුණු කර ගනිමු. පරලොව ජීවිතය දියුණු කර ගනිමු. නිවනින් සැනසීම ලබමු.

උපුටා ගැනීම මව්බිම