🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ශ‍්‍රී පාද පද්මය සුරකින සුමන සමන් දෙවියෝ

ශ‍්‍රී පාද පද්මය සුරකින සුමන සමන් දෙවියෝ

ශ‍්‍රී ලාංකේය සිංහල බෞද්ධ ජනතාව උපුල්වන් දෙවියන්, සුමන සමන් දෙවියන්, කතරගම දෙවියන් සහ විභීෂණ දෙවියන් යන සතර දෙවිවරු ලක්දිවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන දෙවිවරු වශයෙන් පිළිගනී. එබැවින් සිංහල බෞද්ධ ජනතාව තුළ සෝවාන් ඵලය ලැබූ අවහිංසාවාදීව ජනතාවට පිහිට වන දෙවිකෙනකු වශයෙන් සුමන සමන් දෙවියන් වන්දනාවට සහ ගෞරවයට ලක්වේ. මෙම දෙවියන් සම්බන්ධයෙන් පැරණිතම සාධකය හමුවන්නේ ලාංකේය වංශකථා සාහිත්‍යය තුළිනි. ඒ අනුව බුදුන් වහන්සේගේ ප‍්‍රථම ලංකාගමනය සම්බන්ධයෙන් සඳහන් විස්තරය තුළ මෙම දෙවියන් සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වේ. මහාවංශයේ ඒ සම්බන්ධයෙන් මෙලෙස විස්තර කොට ඇත. එනම්, ‘‘සමන්තකූට පර්වත වාසී වූ මහා සුමන නම් දෙව් රජතෙම සෝවාන් ඵලයට පැමිණ පූජාර්හ වූ සර්වඥයන් වහන්සේගෙන් පුදපූජා පැවැත්වීම සඳහා වස්තුවක් ඉල්වීය. සත්ත්වයන් කෙරෙහි හිත වූ නීල නිර්මල කේශවත් වූ සර්වඥතෙම හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප‍්‍රදානය කළ සේක. ඉක්බිත්තෙන් හෙතෙම එය ස්වර්ණමය වූ උතුම් කර`ඩුවකින් ගත්තේ සර්වඥයන් වහන්සේ වඩහුන් තැන්හි කරන ලද්දා වූ උස ප‍්‍රමාණයෙන් සත් රියන් වූ හාත්පසින් එක් විසි රියන් වූ නන් වැදෑරුම් රුවන් රැසෙහි තබා හෙතෙම ඉන්ද්‍ර නීලමය වූ ථූපයකින් වසා නමස්කාර කෙළේය.’’ වශයෙනි. ඒ අනුව බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනය අවස්ථාවේ මහියංගන ප‍්‍රදේශයට පැමිණ සිටි සුමන සමන් දෙව්රද බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වූ බව සඳහන් වේ. අනතුරුව බුදුන් වහන්සේගෙන් වන්දනා කිරීම සඳහා පූජනීය වස්තුවක් ඉල්ලූ බවත් එම අවස්ථාවේ ලබා දුන් කේශ ධාතූ තැම්පත් කර මහියංගන ස්ථූපය ඉදි කළ බව සඳහන් වේ. එම සඳහන අනුව පැහැදිලි වන්නේ ප‍්‍රාදේශීය අධිපතියකු වශයෙන් සිටි සුමන පසුව දේවත්වයට පත් වූ බවයි. නැවත බුදුන් වහන්සේගේ තෙවන ලංකාගමනය සම්බන්ධ විස්තරය තුළ සුමන සමන් දෙව්රජගේ වාසස්ථානය වූ සමනොළ කන්ද පිළිබඳව තොරතුරු සඳහන් වේ. ඒ බව මහාවංශයේ මෙලෙස සටහන්ව ඇත. එනම්, ‘‘ලෝකානුකම්පා ඇත්තා වූ ලෝක නායක වූ සර්වඥ තෙම එතන්හි ධර්ම දේශනා කොට අහසට නැගී (වැඩ) සමන්කුළු මතුයෙහි පා සටහන දැක්වූ සේක.’’ වශයෙනි. එත් සමග සමන් දෙවියන්ගේ වාස බවන වූ සමන්ත කූටය ශ‍්‍රී පාදය බවට පත් විය. එතැන් සිට ශ‍්‍රී පාදය වන්දනාවට පැමිණි බැතිමතුන්ට ආරක්ෂාව සලසමින් ශ‍්‍රී පාදයට අධිපතිව වැඩවසන දෙවියන් වශයෙන් සමන් දෙවියන්ව සලකනු ලැබීය. ඒ බව මෙම දෙවියන්ව වන්දනා කරන,

සම්බුද්ධ පාද වර ලාංජන සෝභිතම්භි - වාසේ සමන්ත ගිරි මුද්දනී දේවරාජා
පුඤ්ඤාණු මොධිය ඉමං සුමනාභිදානෝ - පාලෙතු මං සතන සාත හිතා වහන්තු

යන ගාථාවෙන් ද පැහැදිලි වේ. එහි අර්ථය වන්නේ, ‘සම්මා සම්බුදුගේ - සිරිපා ලකුණ රකිමින් සිටින දෙවි සමිදුන් සිහිකරමි සෙත දෙනුව නිතියෙන්’ යන්නය. ඒ අනුව පැහැදිලි වන්නේ අනාදිමත් කාලයක සිට සුමන සමන් දෙවියන් බුදුන් වහන්සේගේ ශ‍්‍රී පාද ලකුණ සුරකිමින් වැඩවසන දෙවියන් වශයෙන් ජනතාව අතර ගෞරවයට සහ වන්දනාවට ලක් වූ බවයි. එමෙන්ම සැලලිහිණි සන්දේශයේ සඳහන් පහත කවියෙන් ද ඒ බව තහවුරු වේ. එනම්,

සුරරද සමන් සමගින් සුරගන එවර - පැහැනද මදාරා පරසතු මල් පතර
කැර පුද වදින රැදි මුනි සිරි පා තඹර - සකි සද පෙනේ සමනොළ ගල නැගෙන හිර

වශයෙනි. එයින් සමන් දෙවියන් අනුරාධපුර යුගය තුළ මෙන්ම කෝට්ටේ යුගය තුළත් ශ‍්‍රී පාද පත්මයට අදිපති දෙවියන් ලෙස සැලකු බව පෙනේ.

එමෙන්ම විජය සහ කුවේණිගේ දරුවන් දෙදෙනා පලා ගියේ සමන්කුල ප‍්‍රදේශයට බල මහාවංශය තුළ සඳහන්ව ඇත. ඔවුන් දෙදෙනාගෙන් වැදි ජනතාව ආරම්භ වී ඇත. එබැවින් වැද ජනතාව ද සමන් දෙවියන් සඳහා විශේෂ වූ පුද පූජා පවත්වන ලබයි. එයින් වැදගත් තැනක් ගනු ලබන්නේ මහියංගන පෙරහැරේ දී ඔවුන් සමන් දෙවියන්ට ගෞරව කිරීමක් ලෙස නර්තනයේ යෙදීමයි. එ් අනුව සිංහල ජනතාව අතර පමණක් නොව වැදි ජනතාව අතරත් ගෞරවයට සහ වන්දනාවට ලක්වන දෙවි කෙනකු වශයෙන් සුමන සමන් දෙවියන් සැලකිය හැකිය. ඒ අනුව පැහැදිලි වන්නේ අවම වශයෙන් අනුරාධපුර රාජධානිය ආරම්භක අවධියේ සිට සුමන සමන් දෙවියන් ලාංකේය බෞද්ධ ජනතාව අතර ගෞරවයට සහ වන්දනාවට ලක් වූ බවයි. එමෙන්ම සුමන සමන් දේව සංකල්පය බෞද්ධ ප‍්‍රභවයක් සහිතව ගොඩනැගී ඇති බවත් තහවුරු වේ. එහෙත් මෙම දේව සංකල්පයේ ප‍්‍රභවය සම්බන්ධයෙන් පවතින තවත් මතයක් වන්නේ එය හින්දු අභාෂයක් මත ගොඩනැගුණු බවයි. එම මතයට අනුව රාමයණයේ සදහන්වන රාම කුමරුගේ සොයුරා වූ ලක්ෂ්මන් කුමරු සමන් දෙවියන් බවට පත් වූ බවයි. ඒ අනුව රාවණ රජු විසින් පැහැරගෙන ආ සීතා කුමරිය සොයා රාම කුමරු සමග ලක්ෂ්මන කුමරු ලක්දිවට පැමිණ ඇත. රාවණ රජුව පරාජය කිරීමෙන් පසු ලක්ෂ්මන් නැවත ඉන්දියාවට නොගොස් ලංකාවේ නතර වී ඇත. ඉන් පසු ‘ලක්දිව ලක්ෂමන’ බවට පත්ව පසුව ‘ලක්සුමන’ වූ බවත් පත්ව අනතුරුව ‘සුමන’ බවට පත් වූ බව එම මතය තුළින් ඉදිරිපත් කෙරේ. එහෙත් එම මතයට වඩා සුමන සමන් දෙවියන් දේශීය බෞද්ධ ප‍්‍රභවයකින් උපත ලද දෙවි කෙනකු ඓතිහාසික සාධක විශ්ලේෂණයේ දී පැහැදිලි වේ.

එමෙන් මෙම දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් කියවෙන තවත් මතයකට අනුව මහායාන බෝධිසත්වයකු වන සමන්ත භද්‍ර බෝධිසත්ව වන්දනය පසුව සමන් දේව වන්දනය බවට පරිවර්තනය වී ඇත. මෙම මතය ඉදිරිපත් කරන විද්වතුන් සාධක වශයෙන් පෙන්වා දෙනුයේ මහායාන බුදු සමයේ සමන්ත භද්‍ර බෝධිසත්වයන් නිරූපණය කරන ආකාරයත් සුමන සමන් දෙවියන්ගේ ස්වරූපය නිරූපණය කරන බවයි. එහෙත් සමන් දේව සංකල්පය ලක්දිවයිනට මහායන බුදු සමයේ ආභාෂය ලැබීමටත් පෙර සිට ලක්දිව ජනතාව තුළ පැවැති සංකල්පයක් වන බැවීන් එම මතය ද පිළිගැනීමට අපහසුය. ඒ අනුව සමන් දෙවියන් යනු මෙරට ප‍්‍රාග් බෞද්ධ යුගයේ සිට වන්දනාවට ලක් වූ දෙවිකෙනකු වශයෙන් පිළිගැනීම උචිතය. එහිදී ප‍්‍රාදේශීය අධිපතියකු වශයෙන් සිට ජනතාව අතර ජනප‍්‍රියතාවයට පත්ව දේවත්වයට පත් වූ අයකු වශයෙන් සමන් දෙවියන් සැලකිය හැකිය. බුදු දහමේ බලපෑම මත බෞද්ධ දෙවියකු බවට පසුව පරිවර්තනය වී ඇති අතර සුමන සමන් දේව සංකල්පය ලක්දිව තුළ ප‍්‍රභවය ලැබූ දේව සංකල්පයක් වශයෙන් පිළිගත හැකිය.

සුමන සමන් දෙවියන්ගේ ස්වරූපය පිළිබදව විමසීමේ දී හින්දු දෙවිවරුන් සමග සංසන්ධනය කිරීමේ දී ශාන්ත ස්වරූපයක් පෙන්නුම් කෙරේ. කිසිදු ආයුධයක් අතින් නොදරන අතර දකුණු අතින් සුදු නෙළුම් මලක් දරමින් වම් අතෙහි මාපටැගිල්ල සහ දඹරගිල්ල පමණක් ඔසවා අනිත් ඇගිලි නමා සිටී. එයින් යම් කිසි දෙයක් පෙන්වන අතර ඒ ශ‍්‍රී පාදස්ථානයයි. පිටුපසින් දෙවියන්ගේ වාහනය වන ඇලි ඇතාව නිරුපණය කරන අතර ඇලි ඇතා යනු වාසනාවේ සහ වර්ෂාවේ සංකේතයයි. එම ඇතා සිය හොඩය ඉහළට ඔසවාගෙන නෙළුම් මලක් දරා සිටී. පිටුපසින් සුමන් දෙවියන්ගේ වාසභවන වන සමන් කූටය හෙවත් ශ‍්‍රී පාදය සිතම් කොට තිබේ. එ් අනුව අනිකුත් දෙවිවරු හා සැලකීමේ දී මානව රූපී බවක් මෙන්ම ශාන්ත බවක් දෙවියන් තුළින් මූර්තිමත් වේ. තවද සෝවන් ඵලය ලැබූ බුද්ධ ශාවකයකු මෙන්ම මතු බුදුවන බෝසත්වරයකු වශයෙන් මෙම දෙවියන් සලකන බැවින් සෙසු දෙවිවරුන් උදෙසා සිදු කරන බිලි පූජා මෙන්ම අණවිණ, කොඩිවිණ සඳහා සිදු කරන භාරයන් ද සිදු නොකෙරේ.

තවද මෙම ‘සුමන’ යන නාමයෙන් ‘සුපිරිසිදු මනසක් ඇති තැනැත්තා’ යන්න අර්ථවත් වන අතර සමන් යන්නෙන් ද පවිත‍්‍රත්වය අර්ථවත් වේ. එබැවින් අන්‍යය දෙවිවරුන්ට වඩා යහපත් මනසින් පැමිණෙන ජනතාවට යහපත සලසන දෙවියකු වශයෙන් සුමන සමන් දෙවියන්ව ජනතාව අතර ගෞරවයට ලක්ව ඇත. මෙම සුමන සමන් දෙවියන් මැණික් කර්මාන්තයට අධිපති දෙවියන් වශයෙන් සලක බැවින් මැණික් ව්‍යාපාරිකයන්ගේ, මැණික් පතල්කරුවන්ගේ ද වන්දනා මානයන්ට ලක්වේ. තවද ශ‍්‍රීපාද වන්දනාවේ යෙදෙන පිරිස් ආරක්ෂා කරනු ලබන්නේ සමන් දෙවියන් බව වන්දානාකරුවන් විශ්වාස කරන අතර ශ‍්‍රී පාද කරුණාව ආරම්භ කිරීමට පෙර සමන් දෙවියන්ට භාර වීම චාරිත‍්‍රයක්ව පවතී. එසේම මව් පදවිය අපේක්ෂා කරන ස්ත‍්‍රීන්ව ආරක්ෂා කිරීම ද සමන් දෙවියන් විසින් සිදු කරන බව ජන විශ්වාසය වී ඇත. ඒ අනුව සමන් දෙවියන් සඳහා කැප වූ දේවාල රැසක් ලක්දිව විවිධ ප‍්‍රදේශවල පිහිටා ඇති අතර එයින් ප‍්‍රධාන සතර මහා දේවාලයන් දැකගත හැකිය. එවානම් රත්නපුර සුමන සමන් මහ දේවාලය, මහියංගනය සුමන සමන් දේවාලය, අලවතුගොඩ සුමන සමන් දේවාලය සහ දැරණියගල සුමන සමන් දේවාලය වශයෙනි. මෙම දේවාල සතරට අමතරව ශ‍්‍රී පාද පත්ම මඵවේ පිහිටි සමන් දේවාලය ද අතිශ්‍යයෙන් වැදගත්ය. මෙම දෙවෝල සිරිපා වන්දනා සමයේ දී බැතිමතුන්ගෙන් පිරී පවතින අතර සුමන සමන් දෙවියන් නිතැතින් වැඩ වසන දේවාලය වශයෙන් ද එය ජනතාව අතර ගෞරවයට සහ වන්දනාවට ලක්ව ඇත. එම දේවාලයේ ඇති සුමන සමන් දේව ප‍්‍රතිමාව සහ දේව ආභරණ වෙසක් පොහොයෙන් ඇරඹෙන මාස හයක සිරිපා අවාර සමයේ දී ගල්පොත්තාව රජමහා විහාරයේ තැම්පත් කර තබයි. නැවත සිරිපා වාරය ඇරඹෙන උඳුවප් පොහොය දිනයේ දී එම දේව ප‍්‍රතිමාව සහ ආභරණ ශ‍්‍රී පාදයේ උඩමළුවට වැඩම කර නැවත තැම්පත් කරනු ලබන අතර එම පෙරහැර සඳහා විශාල ජනකායක් සම්බන්ධ වී සුමන සමන් දෙවියන්ගෙන් ආශීර්වාද ලබා ගනී.

සමන් දේව කන්නලව්වේ දැක්වෙන ආකාරයට ශ‍්‍රී පාද පත්මයට, මක්කමට, මහියංගනයට, සතර දළදා වහන්සේලාට, පොත්ගුල් සතරට දිවැස් හෙළමින් ආරක්ෂා කරන බව සඳහන් වේ. එමෙන්ම ශ‍්‍රී පාද අඩවිය, කන්ද උඩරට රාජධානියට, බින්තැන්නට, මහවැලි ගං තීරයට, කොත්මලේ ප‍්‍රදේශය සමන් දෙවියන්ගේ අඩවි ප‍්‍රදේශය වශයෙන් එම දේව කන්නලව්ව තුළ සඳහන් වේ. එ් අනුව උඩරට රාජධානීයටත්, සබරගමු පළාතටත්, මධ්‍යම කඳුකරයටත්, ශ‍්‍රී පාද පත්මයටත් අදිපති දෙවියන් වශයෙන් සමන් දෙවියන්ව වන්දනාවට සහ ගෞරවයට ලක් වේ.

ඩබ්ලිව්. එම්. එම්. එස්. වීරකෝන්
ශාස්ත‍්‍රවේදී (ගෞරව) ඉතිහාසය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
උපුටා ගැනීම දිවයින