🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඇමෙරිකානු මෝර් පවුලේ 8දෙනා මරා දැමුවේ අද්භූත බලවේගයක්ද?

මෙම නිවෙසේ 1912 කාලයේදී මෝර් පවුලේ අය තමා ජීවත් වුණේ. නිවෙසේ ගෘහ මූලිකයා වුණේ ජොසියා මෝර්. ඒත් හැමොම ආදරේට ඔහුට කිව්වේ ජෝ මෝර් කියල. ඔහුගේ ආදරණීය බිරිය සේරා මෝර් වුණු අතර මේ දෙපළට දරුවන් සිවු දෙනෙක් සිටියා. තම කුසෙන් උපන් දරුවන් සිවු දෙනාට අමතරව සේරා තවත් දරුවන් දෙදෙනෙක් හදා වඩා ගැනීමට අරන් තිබූ නිසා සේරාට දරුවන් 6 දෙනකුගේ වගකීම දරා සිටින්න සිදු වුණා. කිසිවෙක්ට වෙනසක් නොකර ආදරය කරන්න මේ ආදරණීය දෙපළ සමත්කම් දැක්වූවා.

මේ දෙපළගෙ වැඩිමහල් දරුවා හර්මන් මෝර්ට 1912 වර්ෂය වන විට වයස අවුරුදු 12ක් වූ අතර දෙවැන්නා මෙන්ම පවුලෙ වැඩිමල් දියණිය මේරි කැතරින් මෝර්ට වයස අවුරුදු 10 ලැබුවා පමණයි. ආතර් බොයිඩ් මෝර් සහ පෝල් වර්නන් මෝර් යනු පවුලේ බාලයන් දෙදෙනායි. ඔවුන්ගේ වයස පිළිවෙළින් වයස අවුරුදු 7ක් සහ 5ක් වූ අතර පවුලේ හදා වඩා ගැනීමට ගත් ස්ටිලින්ජර් දරුවන් වන ලේනා ස්ටිලින්ජර් සහ ඉනා ස්ටිලින්ජර්ට පිළිවෙළින් වයස අවුරුදු 11ක් සහ 8ක් වූවා.

ඉතින් යහමින් කාලා බීලා ජීවත් වුණු මේ පවුලේ මූලිකයා ජෝ මෝර් හොඳ ව්‍යාපාරිකයෙක්ද වූවා. කාලයක් තිස්සේ ව්‍යාපාර ආයතන සහ ස්ථානවල සේවය කරමින් ඉඳල පස්සේ තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරගෙන වෙනත් ව්‍යාපාර සමඟත් හවුල් වෙලා ව්‍යාපාරිකයන් සමඟ මිත්‍රත්වයන් ගොඩනඟාගෙන හොඳ ජීවිතයක් ගත කළා. ඉතින් ජෝ මෝර් දරුවන් උස් මහත් කරගෙන ජීවත් වෙමින් සිටින විට 1912 වර්ෂයේ ජුනි මාසයේ 10 වැනිදා පාන්දර අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙනවා.

ජුනි 9දා මෝර් පවුලට වෙනදා වගේම සාමාන්‍ය දිනයක්. කුඩා ළමයින් මිදුලේ සෙල්ලම් කරමින් සිටිනවා අසල්වාසීන් දැක තිබෙනවා. කිසිම ගැටලුවක් නොවූ 9 වැනි දින රාත්‍රියේ ආහාර ගැනීමෙන් පසු පවුලේ හැමෝම නින්දට යනවා. කුඩා ළමයින් සහ ස්ටිලින්ජර් දරුවන් පහළ මහලයේ නිදාගෙන සිටින අතර ඉහළ මහලයේ මෝර් දෙපළ නිදාගෙන සිටියා.

අන්ධකාර රාත්‍රියක් වූ ජුනි 9 ගෙවී ගිය පසු ජූනි 10 වැනිදා ආරම්භක පැය කිහිපය තුළදී නන්නාඳුනන පුද්ගලයෙක් පිටුපස ‍ෙදාරෙන් නිවෙසට ඇතුළු වෙන්නේ අතේ මුවහත් කළ අත් පොරවක් සමඟයි. මොහු කවුද කොහෙන් ආවාද කියන එක කවුරුත් ඒ වෙලාවේ දැකලා තිබ්බේ නෑ. ඉතින් වෙනදට පිටිපස්සේ ‍ෙදාර අගුළු දාලා යන සේරා මෝර්ට එදා දවසේ රාත්‍රිය අගුල් දමන්නට අමතක වෙන්නට ඇති කියලා හිතන්න. හේතුව මේ පුද්ගලයා ‍ෙදාරට කිසිම හානියක් නොකර ඇතුළු වී තිබීමයි.

කිසිම ශබ්දයක් නොකර පිටුපස ‍ෙදාරෙන් ඇතුළට පැමිණි මේ නන්නාඳුනන තැනැත්තා ගේ ඇතුළේ තිබුණු ලාම්පුවක්ද දල්වා පහළ මහලයේ සාලයට පැමිණි අතර ශබ්ද නොකර කුඩා දරුවන්ද ඇහරවන්නේ නැතුව පඩිපෙළ දිගේ උඩට ගමන් කළා.

ඝාතකයා කවුරු වුණත් ඔහු මෝර් පවුලෙ සියලුම විස්‍තර දන්නා පුද්ගලයෙක් විය යුතුයි.

මක් නිසාද ඔහු දැනගන සිටියා පිටිපස ‍ෙදාරෙන් ඇතුළු වෙන විදිහ. ඒ වගෙම ලාම්පුවක් තිබෙන බවත් දැනගෙන සිටියා. ඊට අමතරව මෝර් දෙපළ උඩ තට්ටුවේ නිදාගන්න බවත් දැනගන සිටියා.

ඉතින් නාඳුනන පුද්ගලයාව අනිවාර්යෙන්ම ජෝ මෝර් අ¾දුරන කෙනෙක් විය යුතුයි.

ඒත් ඉතින් ජෝ මෝර්ටවත් සේරාටවත් මේ නාඳුනන පුද්ගලයා කවුද කියන එක ගැන පාපෝච්චාරණය කරන්න උදෑසන වනතෙක් ජීවත් වෙන්න නම් වුණේ නෑ. මොකද ඒ දෙපළ එදා රාත්‍රියේදී ජීවිතයෙන් සමු ගත් නිසා. පොරොවක් රැගෙන ආ මේ නාඳුනන පුද්ගලයා ඔහුගේ පොරොවෙන් මෝර් දෙපළව ඉතාමත් බිහිසණු ආකාරයට ඝාතනය කර දමනවා.

රාත්‍රි නින්දට ගොස් දැන් පැය කිහිපයක්ම ගෙවී අවසන්. මේ වන විට ජෝ මෝර් තද නින්දකයි සිටින්නේ. ඔහුට වටපිටාවේ ශබ්දයන්ද නෑසෙන ගානට තද නින්දකයි හිටියේ. නිවෙසට ආ නාඳුනන පුද්ගලයා උඩු මහලේ නිදා සිටින ජෝ මෝර් වෙත කිට්ටු කළා. ඉහළට ඔසවා දර පළනවාක් මෙන් මුවහත් පොරොව ජෝ මෝර්ගෙ හිස දෙබෑ වෙන සේ පහරක් එල්ල කරන්න මේ නාඳුනන පුද්ගලයා සමත් වෙනවා. මේ විශාල ශබ්දය සහ ගැස්සීම නිසා ජෝට එහා පැත්තෙ නිදාගෙන සිටි සේරා ඇහැරෙනවා.

ඇයට මේ සිදු වන්නේ කුමක්ද කියා ඒ තරම් ගානක් නැති වුවත් පොරවක් අතැති පුද්ගලයෙක් සැමියාට පහර දුන්නා කියන එක තේරුම් ගන්න වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. ලාම්පු එළිය මැදින් ලේ ගෑවුණ පොරවක් සමඟ සිටින ඝාතකයාගෙන් බේරීමට සේරා ඇඳෙන් බිමට පැනල දුවන්න සැරසුණත් ඇයට ‍ෙදාර ළඟටවත් යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මක් නිසාද ඝාතකයා ක්‍ෂණිකව ක්‍රියාත්මක වී සේරාගේ පිට මැද්දට වැරෙන් පොරෝ පහරක් එල්ල කළ නිසා. ඇය ලේ පෙරාගෙන එතැනම බිම ඇද වැටුණා. ඝාතකයා ඇයට නැවත වතාවක් නැඟිටින්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ විදිහට ඇදගෙන වැටුණ සේරා මෝර්ට ඝාතකයා විසින් නැවත වාරයක් පොරවෙන් කෙටූ අතර මෙලෙස කිහිප වතාවක්ම පිට මැදට පොරොවෙන් කොටා මරා දමා තිබුණා.

ඝාතකයා කවුරු වුවත් ජෝ මෝර් සමඟ අධික වෛරයකින් පසුවී තිබෙනවා. හේතුව නම් පළමුවැනි පොරෝ පහරින්ම ජෝ මෝර් මිය ගියත් පොරොව නැවත ඔසවා වැරෙන් පහරක් මූණට ගහනවා. මෙලෙස නැවත වාරයක් මූණට කොටනවා.

ඒ වැරෙන්ම තවත් පහරක්, මෙලෙස පොරෝ පහරවල් 30ක් පමණ වැරෙන් එල්ල කරන අතර ජෝ මෝර්ගේ හිස සහ මූණ විසිරුණ පුඩිමක් මෙන් විනාශ වෙලා ගොස් තිබුණා.

ඒ අවස්ථාවෙම ඒ දෙපළ මිය ගියා. නිවෙසේ තව කිහිපදෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි. මෝර් දෙපළගෙ නිදාගෙන සිටින දරුවන් සිවු දෙනා සහ ස්ටිලින්ජර් සහෝදරියන් දෙදෙනා. ඒ අයව මුණගැසීමට අවශ්‍ය නිසා ඝාතකයා මෝර් දෙපළ සිටින කාමරයෙන් එළියට එනව ලේ පිරුණු පොරොවත් සමඟම.

පඩි පෙළ ළඟට ගොස් එතැනින් පහළට ගිය ඝාතකයා දරුවන් ඉන්න කාමරවලට යනවා. ඔහුට මුලින්ම මුණ ගැසෙන්නේ මෝර් දෙපළ හදාවඩාගන්න ගත්ත ස්ටිලින්ජර් සහෝදරියන් දෙදෙනායි. ඔවුන්ට යාන්තමින් වයස 11ක් සහ 8ක් වූවා පමණයි. නිදාගෙන සිටියදීම ස්ටිලින්ජර් දරුවන්ගේ එක්කෙනෙක්ට වැරෙන් පොරොවෙන් පහරක් එල්ල කරනවා.

ඇය නින්දේම මිය ගිය අතර අනෙක් දරුවාටද ඒ විදිහටම හිසට පොරොවෙන් පහරදී ඝාතනය කරනවා.

ඝාතකයා එතැනින් නික්ම ගොස් මීළඟට ගොඩවෙන්නේ මෝර් පවුලේ දරුවන් හතර දෙනා ඉන්න තැනටයි. ඔවුන්ගෙනුත් වයස 12ක වැඩිමහල් පුතා සහ වයස 9ක වැඩිමහල් දියණියවයි. ඔවුන්වත් පොරොවෙන් කොටල ඝාතනය කරනවා. මින් පසු පවුලෙ බාලයන් දෙදෙනා වන වයස 7ක බොයිඩ් සහ වයස 5ක පෝල්ව ඝාතනය කරනවා. තාම කිසි දෙයක් හරියට නොතේරෙන මෙවැනි කුඩා දරුවන් 6 දෙනෙක් ඝාතනය කරන්න ඔහුගේ හිත කෙතරම් දුෂ්ට හා ශක්තිමත් වෙන්නට ඇතිද?

පළිගැනීමක් සඳහා පැමිණි කෙනෙක් නම් ඝාතනයෙන් පසුව එවලේම පිටත් වෙලා යනවා. එහෙත් මේ ඝාතකයා එලෙස සිදු කළේ නැහැ. ඔහු ඝාතනයන්ගෙන් පසුව නිවෙස පිටුපසට ගොස් ටකරන් කැබැල්ලක් අරගෙන ජෝ මෝර්ගේ කැඩී බිඳී ගිය හිස එකලස් වන සේ තබනවා. ඉන් පසු කුඩා දරුවන්ගේ පොරොවෙන් කොටා බිඳ දැමූ හිස් රෙදිවලින් ඔතා දමනවා. පසුව නිවෙසේ තිබෙන සියලුම ජනේල රෙදිවලින් වසා දමා නිවෙස තුළ තිබෙන මුහුණ බලන කණ්ණාඩි සියල්ලමත් රෙදිවලින් වසා තබනවා. මෙතනදී ඝාතකයා යම් චාරිත්‍රයක් කරන්න සූදානම් වුණා කියලත් හිතන්න පුළුවන්.

මේ සියලු දේම අවසන් කරපු නිවෙසේ සාලයෙ මැද ලොකු තෙල් පහනක් දල්වනවා. බේක් කර තිබූ මස් රාත්තලක් සාලය මැද මේසය උඩට ගෙන ආ ඝාතකයා එය ආහාරයට නොගෙන එලෙසම තැබුවා. ඔහු මෙතන යම් චාරිත්‍රයක් කරන්නට ඇතැයි කියා හිතන්න පුළුවන්. ඒ මොකක්ද කියා කීමට නම් කාටවත් හැකියාව ලැබී නැහැ. අවසානයේදී අසල තිබූ වතුර පිරවූ භාජනයකින් පොරව සහ අත් සෝදාගෙන මේ කෘෘර ඝාතකයා නිවෙසේ පිටුපස ‍ෙදාරින් පිටත් වෙනවා. ඔහු පිටත් වන්නේ එළියෙන් අගුළු දමාගෙනයි.

ජූනි 10 වැනිදා උදාවී එළිය වැටීගෙන එනවා. අසල්වාසීන් එකා දෙන්නා අවදි වෙලා දෛනික වැඩ ටික පටන් ගන්නවා. ඔවුන්ට අමුත්තක් දැනුණේම නැහැ. මොකද සාමාන්‍යයෙන් වෙනදට දකින දේවල්, ඇහෙන දේවල් විඳින්න ලැබුණ නිසා. එහෙත් ජෝ මෝර්ගේ සහෝදරයාට නම් වෙනදාට වඩා වෙනසක් දැනුණා. ඒ තමා වෙනදට මෝර් නිවෙසේ මිදුලෙ සෙල්ලම් කරන පොඩි ළමයි ටික පෙනෙන්නට නොසිටීම. මේ අය දවසින් බාගයක් ගෙවිලත් නිවෙසින් එළියට ආව නැති නිසා නිවෙස සෝදිසි කිරීමට අසල්වාසීන් සහ ජෝ මෝර්ගේ සහෝදරයා තීරණය කරනවා.

ඔවුන් නිවෙසේ ඉදිරිපස ‍ෙදාර කඩාගෙන ඇතුළට ගිය අතර තම සහෝදරයාව ඇමතුවත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහෑ. ටිකක් විපරම් කොට බලනකොට ඇස් අදහාගන්න බැරි බිහිසුණු ඝාතන ටික දකිනවා. ඔහුට කර කියාගන්න දෙයක් නැති වෙනවා. මොකද දරුවන් 6 දෙනාවම අමානුෂික ලෙස මරා දමා තිබූ නිසා. ඒ වගේම තම එක කුස උපන් සහෝදරයාගේ මුහුණක්වත් හඳුනා ගැනීමට නොහැකි වන පරිදි විකෘති කර තිබීම අසල්වාසීන් පවා ශෝකයට පත් කළා. ඉතින් ඔවුන් දැනගත්තා මෝර් පවුලෙ අය ඒ වෙනකොටත් මිය ගිහින් කියලා. ඒ නිසා පොලිසිය දැනුවත් කළා ඝාතකයාව අල්ලා ගැනීමට බලාපොරොත්තුවෙන්. එහෙත් පොලිසියට තියා කිසිම කෙනකුට බැරිව යනවා මෙ ඝාතකයා කවුද කොහෙද කියන එක හොයා ගන්න. වසර 110කට ආසන්න කාලයක් ගත වෙලත් අද වනතුරුත් අපරාධකරුවා කවුද කියන එක ස්ථිර වශයෙන්ම කවුරුත් දන්නේ නැහැ.

එහෙත් සැකකරුවන් නම් 100කට වඩා ඉන්නවා. ඒකෙනුත් ප්‍රධාන සැකය යොමු වී තිබෙන කිහිප දෙනෙක් සිටියත් ඒ අයට නීතිමය පියවර ගන්න තරම් සාක්ෂි නොතිබීම නිසා දඬුවම් කිරීමට හැකි වන්නේ නැහැ.

සැකකරුවන්

1. ෆ්‍රෑන්ක් ජෝන්ස්

ජෝ මෝර් සමඟ ෆ්‍රෑන්ක් ජෝන්ස් එකතු වී කාලයක් තිස්සේ හවුලේ ව්‍යාපාරයක් කරගෙන ගිය අතර ඔවුන් ඒ කාලයේදී විවිධ උපකරණ විකිණීමේ ව්‍යාපාරයක් කර ගන ගොස් තිබෙනවා. ඉතින් ජෝ මෝර් වසර 7ක් ෆ්‍රෑන්ක් සමඟ සිටියා. පසුව තමන්ගේම ව්‍යාපාරයක් අවශ්‍යයි කියා දැනුණු නිසා ෆ්‍රෑන්ක් සමඟ තිබූ සම්බන්ධකම් අතඇරලා ජෝ තනිව ව්‍යපාරයක් ගොඩනඟනවා. මේ හේතුවෙන් දෙදෙනා අතර පොඩි තරහක් ඇති වෙලා තියෙනව. ඒත් ඝාතනයක් වෙනකම් දුර යෑමට තරම් ඒක ප්‍රබල කරුණක් නෙවෙයි. ඒක ප්‍රබල කරුණක් නොවුණත් ජෝ මෝර් අනියම් සම්බන්ධතාවක් පවත්වගෙන ගිහින් තියෙනවා ෆ්‍රෑන්ක් ජෝන්ස්ගේ ලේලි සමඟ. ඒ සම්බන්ධය ෆ්‍රෑන්ක්ට හසුවීම හේතුවෙන් ඇතිවූ වෛරය නිසා ඝාතනය කරන්නට ඇති කියල හිතන්නට පුළුවන්. ඒත් සාක්ෂි ප්‍රමාණවත් නැහැ ෆ්‍රෑන්ක් වරදකරු බවට ඔප්පු කිරීමට

2. ලින් ජෝර්ජ් ජැක්ලීන් කෙලී

ලිංගික අපයෝජන සහ මානසික ගැටලු සම්බන්ධ අපරාධ ඉතිහාසයක් තියෙන කෙනෙක් විදිහට මොහුව හඳුන්වන්න පුළුවන්. මේ පුද්ගලයා මෝර් පවුල එක්ක සම්බන්ධයක් නෑ. නමුත් ඝාතනය වෙන දවසේ විලිස්කා නගරයේ තමා මෙයා රැය පහන් කරලා තියෙන්නේ. ස්කොට්ලන්යාඩ් පොලිස් පරීක්‍ෂකවරයෙක් විදිහට පෙනී හිඳිමින් නගරයේ තිබූ ලොන්ඩ්‍රිය වෙත ලේ ගෑවුණු රෙදි වගයක් හෝදන්න දීලා තිබෙනව. ඒ නිසා මොහුව සැකකරුවෙක් විදිහට හ¾දුන්වන්නට පුළුවන්. ඒත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඔහුට නීතිමය පියවර ගන්න හැකියාව ලැබුණේ නැහැ.

ඝාතකයා කවුරු වුවත් මෝර් පවුලෙන් පළිගන්න ආපු කෙනෙක් කියල කියන්නත් පුළුවන්. එහෙම නෙවෙයි කියල කියන්නත් පුළුවන්. මොකද මේ කාලයේදී මෙවැනිම ඝාතනයක් වාර්තා වීම නිසා. මේ හැම ඝාතන දෙකේම පොදු කාරණා කිහිපයක් තිබුණා. ඒ තමා නිවෙසේ ජනෙල් රෙදිවලින් වසා තැබීම සහ කණ්ණාඩි රෙදිවලින් වසා තැබීම. ඒ නිසා මේ ඝාතනයන් අනුක්‍රමික ඝාතකයකුගේ ක්‍රියාවක් විදිහට හ¾දුන්වා දෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් මහන්සි වෙලා  අපරාධකාරයව හොයාගන්න අපොහොසත් වෙච්ච නිසාම නගරවල මිනිස්සු බයෙන් ජීවත් වෙන්න ගත්තා. ඔවුන් රාත්‍රි නින්දට ගියේ පොලු මුගුරු අතේ ඇඳ අසලින් තියාගෙන පණ බයේ. සමහර නිවෙස්වල දරුවන් නින්දට යවා මවුපියන් සහ වැඩිහිටි දරුවන් රාත්‍රිය මාරුවෙන් මාරුවට මුර කරන්නද වුණා. ඒ තරමට මේ ඝාතනය බියකරු මතකයක් ලෙස ඔවුන්ගේ හිත්වලට වැදී තිබුණා.

හොල්මන් කතා

කාලය ගෙවීයත්ම මෝර් පවුලේ මේ නිවෙස අලුත්වැඩියා කිහිපයක් කළත් ඒ විදිහටම එතනම මේ නිවෙස අදටත් බලාගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඝාතනයන් වෙලා ටික කාලයක් ගිය පසු සමහර අසල්වාසීන්ට නිවෙස තුළින් ඉබේ දැල්වෙන බල්බ්, රෑ කුඩා ළමයින්ගේ අඬන ශබ්ද, රෑ ඉබේ බිම වැටෙන භාණ්ඩ වගේ දේවල් දැකල තියෙනව. ඒ නිසා මෙහි මෝර් පවුලෙ අවතාර සිටිනවා යැයි රාවයක් යන්නට ගත්තා. වර්තමානය වෙනකොට හොල්මන් ගවේෂකයන් නිතර යන එන ස්ථානයක් බවට විලිස්කා නිවෙස පත් වී තිබෙනවා. එහෙම ගවේෂණයට ආ සමහර අයගේ කැමරාවලට අමුතු ඡායාවන් පවා හසු වෙලා තිබෙනවා. ඔවුන්ගෙන් සමහර අය කියන විදිහට ඔවුන් ගෙන ආ EMF දර්ශකයේ අගය මේ නිවෙස තුළදී ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා. (EMF දර්ශකය යනු චුම්බක ක්ෂේත්‍රය පරීක්ෂා කරන උපකරණයක්. මෙහි අගයන් වෙනස් වීම මත හොල්මන් සිටින බවට අදහසක් ගන්නට පුළුවන්)

කෙසේ නමුත් අද වන තෙක්ම මෝර් පවුලේ සමූහ ඝාතනය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් ලබා ගැනීමට අපොහොසත්ව තිබෙනවා. ඒ නිසා මෙය තවමත් නොවිසඳුණු අබිරහසක්.

උපුටා ගැනීම මව්බිම