🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

වා-පිත්-සෙම් යන ජීව සාධක සමබර කර ‘සුදු කබර’ නැති කරන ප්‍රතිකාර විධි

බටහිර වෛද්‍ය විද්‍යාවෙන් LEUCODERMA කියලා හඳුන්වන්නේ සුදු කබර රෝගයටයි. මෙය හැදුණාම රෝගියා මහත් කනස්සල්ලට පත්වෙනවා. සමාජයේ යම් කොන්වීමක් වගේ හටගන්නවා. ඇතැමුන් පිළිකුල් කරනවා. එහෙම වෙන්නේ ඒ අය හිතනවා ‘සුදු කබර’ තියෙන කෙනෙක් ළඟින් හිටියත් ලෙඩේ බෝවෙනවා කියලා.

ලෝක ජනගහනයෙන් 2%ක් විතර ‘සුදු කබර’ රෝගීන් ඉන්නවා කියලා සොයාගෙන තියෙනවා. වයසක්, තරාතිරමක්, ස්ත්‍රී – පුරුෂ භේදයක් නැතිව මේ රෝගය නිසා මානසිකව ඇදවැටී ළතැවෙන මිනිසුන් බොහෝමයි. රෝගයෙන් වේදනාවක් හටගන්නේ නැති වුණත්, සමේ ස්වාභාවික පැහැය නැතිවෙලා පළමුව ඇස් වටා, මුඛය වටා, ඇඟිලි තුඩු වගේ තැන්වලින් පටන් ගන්නවා. ශරීරය පුරා වේගයෙන් පැතිරෙනවා. සිරුර අවලස්සන  කරනවා. විටෙක භයානක ස්වරූපයක් හටගන්නවා.

ලෙඩේ හැදෙන්නේ අහවල් හේතුව නිසයි කියලා ලෙඩාට විස්තර කරදීම තේරුමක් නෑ. අප වෛද්‍යවරු වශයෙන් ලෙඩේට හේතු වූ කාරණා දැන ඉතා ඉක්මනින් රෝගියාට ප්‍රතිකාර කර සුවපත් කිරීමයි වැදගත්. ඉතින් එය හරිහැටි කරගන්න පළමුව අප රෝගියාගේ මානසික සුවය, ඒකාග්‍රතාව ඇති කරවන ඇරැඹුම කළ යුතුයි. ශාරීරික සුවතාව පවතින්නේ වා, පිත්, සෙම් යන ජීව සාධකවල මනා සමබරතාව අනුවයි. අපේ වෙදකමේදී මේ රෝගයට මුලින්ම බෙහෙත් කරන්නේ  එතැන් සිටයි. සුදු කබරත් එම ශාරීරික සෞඛ්‍ය අඩාල  වීමෙන් හටගන්නක්.

මෙහිදී ලප වශයෙන් ඇති ස්වභාවය පැතිරී තිබෙන කාලය අනුව සුව කිරීමේ කාලය තීරණය වෙනවා. ඔබ මුල් අවධියේ නම් ටිකක් වාසනාවන්තයි. ඒ සුව කිරීම පහසු නිසයි. මුලින්ම කුඩා ලප කැළැල් ඇති වුණොත් ඔෟෂධ සුළු ප්‍රමාණයක් තමයි යන්නේ. රෝගියා ඉක්මනින් සුව කළ හැකියි. හඳුනාගත් වහාම සුදුසු වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ගන්න කියන්නෙත් ඒ නිසයි. සුදු  කබර සෑදීමේ වැඩි අවදානමක් තියෙන්නේ කාන්තාවන්ටයි. එහෙමයි කියලා පිරිමි පාර්ශ්වය රෝග තත්ත්ව නොසලකා හරින්න එපා.

ශරීරගතව විස තියෙනවා නම් ඒ විස ඉවත්කිරීම ප්‍රධාන කාරිය වෙනවා. ලේ පිරිසුදු වුණොත් තමයි සිරුර යථා තත්ත්වයට පත්කර ගත හැක්කේ. ප්‍රතිකාරය ඒ ඒ රෝගියාගේ රෝග තත්ත්වය අනුව වෙනස් වෙනවා. සුව වීමට ගත වන කාලයත් ඒ අනුව තීරණය වෙනවා. මෙහිදී රෝගියාගේ ඉවසීම තියෙනවා නම් දරාගෙන සිටීමේ හැකියාවද තිබිය යුතුයි. බෙහෙත් ඇඟට අල්ලන තුරු ක්‍රමානුකූලව සිරුර වෙනස් වී සුව වනතුරු ප්‍රතිකාර කිරීම තමයි සැබෑ වෛද්‍ය ක්‍රමයේ සත්‍ය තත්ත්වය.

ප්‍රතිකාර කරන ස්වභාවය හා ඊට යොදා ගන්නා ඔසු වෛද්‍යවරයා නිසි පරිදි තීරණය කර ප්‍රතිකාර කරද්දි නියම කරන පථ්‍ය ආහාරත් නිර්දේශ කරනවා. ඒ ආහාරවලට පිටින් වෙනත් දේ ගැනීම නොකළ යුතුයි. කතුරුමුරුංගා, මුගුණුවැන්න වැනි පලා වර්ග, දිවුල් වැනි පලතුරු, පිපිඤ්ඤා යුෂ හා තණහාල් සමඟ පිසගත් කැඳ ඉක්මන් සුවයට හේතු වෙනවා. කරවිල කුලයේ ආහාර ඉතා ගුණයි.

ඒ නිසා අපේ වෙදකම පැවැත එන්නේ භාරතයේ ඉසිවරුන් අනුදැන වදාළ, ඔවුන් නියම කළ, අත්හදා බලා දහස් ගණනින් සුවපත් කළ පැරැණි ප්‍රතිකාර ක්‍රමයක් හරහායි. එය ඇතැම් විට ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාරවලට එය වෙනස් වෙනවා. ලෙඩේ සුව කර ගන්න අවංක  ඕනෑකමක් තියේනම් දෙන ඔසු නිසි පරිදි ගත යුතුයි. එය හරිහැටි කරන ගමන් ඔබ මානසිකව සැහැල්ලු වේ නම් එය වඩාත් ප්‍රතිඵලදායකයි. අවසන ඔබ පූර්ණ සුවයට පත් කරවීම තමයි අපේ ඒකායන පැතුම වන්නේ.

චර්ම රෝග විශේෂ වෛද්‍ය එච්.ඒ. හපුගස්පිටිය ( 055 5075285 / 077-9117602 )
උපුටා ගැනීම මව්බිම