🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

වැරදි සිදු නොවන කෙනෙක් නැහැ

වැරදි සිදු නොවන කෙනෙක් නැහැ

තමන් කරන සියලු දේම නිවැරදි කියලා හිතන අය සිටිනවා. ඔවුන් බොහෝ විට තමා කරන සියල්ල තමන් විසින්ම අගැයීමට භාජනය කරනවා. එහෙම කරලා හිතෙන් “හරි” ලකුණක් දමා ගන්නවා. ඒ අය සිතන්නේ තමා කරන දේවල් සර්ව සම්පූර්ණයි කියලයි. එහෙම හිතන අය අන් කෙනෙක් එහි ගුණ දොස් දකිනවාට කැමති වෙන්නේ නැහැ.

“එයා කොහොමද මම කරන දේවල් වැරදියි කියන්නේ?”

“මගෙ අඩුපාඩු සොයන්න එයාට සුදුසුකමක් තියෙනවාද?”

“ඒ ගොල්ල මගෙ වැරදි සොයන්නේ මාත් එක්ක ඊර්ෂ්‍යාවට”

මේ විදිහට ඔබ අනුන්ගේ හැසිරීම ගැන සිතනවා ඇති. සමහර විට ඔවුන් ඔබගේ ගුණ දොස් දකින්නේ ඔබට දක්වන හිතවත්කම නිසා වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් ඔබ හරිමගට ගැනීමේ අපේක්ෂාවෙන්ද විය හැකියි. එය තේරුම් නොගෙන ඔබ ඔබේ මතයේම එල්බ සිටීම සාධාරණ නැහැ. “නිදොස් කෙනෙක් මෙදියත උපදින්නේ නැත” කියලා කියන්නේ ඒ හින්දමයි. හැම දෙනාගේම ‍පොඩි ‍පොඩි වුණත් වැරදි තියෙනවා. තමන්ගේ වැරැද්ද කුඩාය කියලා තමන්ට වැටහුණත් අන් අයට එය විශාලව පෙනෙන්නට පුළුවන්. එහෙම පෙනෙන්නේ එක් එක් කෙනාගේ දෘෂ්ටි කෝණයෙන් විය හැකියි. ‍පොඩි වැරැද්දක් වුණත් එය දිගටම සිද්ධ වෙන්න ඉඩ දුන්නොත් පසුව එය ලොකු වැරැද්දක් වෙන්න පුළුවන්. එදා දිසාපාමොක් ඇදුරුතුමා මැහැලියගේ පැදුරෙන් තල සොරා කාපු රාජ කුමාරයාට දඬුවම් කළේ එය ලොකු වැරැද්දක් වෙයි කියලා හිතලයි. මුල් අවස්ථාවෙම දඬුවම් කිරීමට තරම් සැහැසි වුණේ නැහැ. ඒ නිසයි මා කීවේ ප්‍රථමයෙන් කළ කුඩා වරද පසුව ලොකු එකක් වෙන බව. අද හිරගෙදර දඬුවම් විඳින බොහෝ අය ගැන සොයා බැලුවොත් ඔබට පෙනේවි ඒ අය මුලදී කුඩා කුඩා වැරදි කරපු අය බව. දෙමාපියන්, ගුරුවරුන් වැඩිහිටියන් මුලදී ඒවා වළක්වා ගැනීමට ක්‍රියා නොකළ නිසා පසුව ලොකු වැරදි බවට පත්වුණා. අන්තිමට සමාජයෙන් දඬුවම් විඳින්නත් නීතියෙන් දඬුවම් විඳින්නත් සිදුවුණා. වැරදි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒවා නම් තමන්ට බැරිවීමකින් හෝ අතපසුවීමකින් සිදුවන වැරදි සහ වුවමනාවෙන් සිදුකරන ඒවායි. මුලදී සිදුවන වැරදි යහපත් ගුරු උපදේශ ලැබුනොත් යළි සකස් කර ගන්න පුළුවන්. එහෙත් ඒවා දිගටම ගියාම නිය‍පොත්තෙන් කඩන්න පුළුවන් ළපටි පැළය ලොකු ගසක් වුණාම කපන්නට ‍පොරවක් ඕනෑ වෙනවා වගෙයි සිදුවෙන්නේ. ඒ නිසා එයට අතු ඉති දාලා වැඩි විශාල වෘක්ෂයක් වීමට ඉඩ දෙන්න එපා. අනිත් අතට තමන්ට වඩා වයසින්, දැනුමෙන් හා ධනයෙන් අඩු කවුරුන් හෝ තමන්ගේ වරදක් පෙන්වුවහොත් එය බොහොම නිරහංකාරව පිළිගන්න ඕනෑ. ඒ අය මට වැඩිය පහළයි, ඔවුන් කියන දේ මම පිළිගන්නේ නැහැ, එහෙම පිළිගතහොත් එය මගේ තත්ත්වයට මදිකමක් කියලා හිතනවා නම් එය වැරදියි. වැරැද්ද සත්‍යනම් එය පෙන්වීමට සුදුසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සැරියුත් මහ රහතන් වහන්සේ තමන්ගේ සිවුරු කොන බිම ගෑවෙන බවට පුංචි හාමුදුරු කෙනෙක් පෙන්වා දුන්විට එය ඉවසා වදාරා සිවුර සකස් කර ගත් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්. අනිත් අතට එවැනි වරදක් පෙන්වා දුන්විට එයට ස්තූතියි කියලා කියන්න අමතක කරන්න එපා. එය මට බැරිවෙලා සිදුවුණු දෙයක් එයට සමාවෙන්න ආදී වශයෙන් නිරහංකාර ලෙස පැවැසීමට පුරුදු විය යුතුයි. “වරද සිදුවීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක්” කියලා ආප්තෝපදේශයක් තිබෙනවානේ. ඒ නිසා යමෙක් තමන්ට වැරැද්දක් කළ විට එය පසුපස නොගොස් සමාව දීම වැදගත් වෙනවා. එහෙම නැතුව එකට එක කරන්න ගියොත් තත්ත්වය නරක් වෙන්නට පුළුවන්. සිදුවන වැරදි හදාගෙන ඉදිරියට යාම මිස මම හැමවිටම සියයට සියයක් හරිය කියලා හිතා කටයුතු කිරීම නිවැරදි වෙන්නේ නැහැ. ඔබට නොපෙනෙන වැරදි වෙනත් කෙනෙකුට පෙනෙන්න පුළුවන් බව අමතක කරන්න එපා.

යසවර්ධන රුද්රිගු

උපුටා ගැනීම ලංකාදීප පුවත්පත