🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ගැටිති ආකාරයට ලිංගික ඉන්නන් හැදුණොත් සුව කරන්නම බැරිද?

ඔබ බොහෝ විට බියට පත්වන රෝග තත්ත්වයක සැබෑවක් හෙළි කිරීම අපේ යුතුකමක්. එය බොහෝ දෙනාගේ ඉල්ලීම මත කෙරෙන්නක්. “මොනවද මේ ගැටිති වගේ ඇති වෙන්නෙ. ඒවා ඉන්නන්ද එහෙමත් නැත්නම් ‘ලිංගික ඉන්නන්ද’? ඔයාකාරයෙන් විමසීම් බොහෝමයි. ඒ නිසා ඇත්තටම ලිංගික ඉන්නන් කියන්නෙ මොනවාද?

මෙය ඇත්තෙන්ම ‘හියුමන් පැපිලෝමා’ කාණ්ඩයේ වයිරසයක්. මෙය බෝ වෙන්නේ ලිංගික සබඳතාවක් නිසයි. මෙම රෝග තත්ත්වය මවකට ඇති විටක දරු ප්‍රසූතියේදී එය දරුවාටද වැලඳෙන්න 400කින් 1ක් වගේ අවදානමක් තියෙනවා. ඒ වගේම මෙම රෝගයෙන් පෙළෙන කාන්තාවක් වෙත් නම් ඒ අයට සාමාන්‍ය කාන්තාවකට වඩා ගැබිගෙල පිළිකා වැලඳීමේ අවදානමක් පවතිනවා.

වයිරසය ශරීරගත වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න මාසයේ සිට මාස 4ක කාලයක් ගතවෙනවා. මුලින්ම මෙහි රෝග ලක්ෂණ මතුවෙන්නේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ වියළි ස්ථානවල ඇති වන කුඩා ගැටිති වශයෙනුයි. ඉන් පසු ලිංගේන්ද්‍රිය තෙතමනය සහිත ප්‍රදේශවල ඊට වඩා විශාල ගැටිති ඇති විය හැකියි. මෙහෙම ඇති වන ගැටිති කාලයත් එක්ක මඳක් විශාල වෙනවා. ඒවා විවිධ හැඩයන්ගෙන් යුක්තයි. සමහර අයගේ පොකුරු වශයෙනුත් ඇති විය හැකියි.

ඒ විතරක් නෙවී, මෙම රෝග ලක්ෂණය ගුද මාර්ගය අවට හෝ ගුද මාර්ගය තුළ, කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රිය පිටත, යෝනි මාර්ගය තුළ හෝ ඇතැම් විට ගැබ්ගෙල පෙදෙසේ පවා ඇති වෙන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් පළපුරුදු වෛද්‍යවරයකුට නම් මේ තත්ත්වය දුටු පමණින් හඳුනාගත හැකියි. ඒ හැරුණු විට පටක පරීක්ෂාවකින් පසුවද වඩාත් තහවුරු කර ගන්නත් පුළුවනි.

කෙසේ නමුත් ගැටිති ආකාරයෙන් ඇති වන වෙනත් රෝග ලක්ෂණද තිබිය හැකියි. උපදංශ රෝගයේ ද්විතීයික අවස්ථාවේද මෙම ගැටිතිවලට සමාන රෝග ලක්ෂණ දකින්න පුළුවන්. සමහර විට සමේ ඇති වන අසාමාන්‍ය වර්ධනය නිසාද මේවා ඇතිවෙන්න පුළුවන්. එය ලිංගාශ්‍රිත රෝගයක් නෙවෙයි.

රෝගය වැලඳුණොත් නිට්ටාවටම සුව කළ නොහැකියි. නමුත් ගැටිති ඉවත් කිරීම සඳහා ප්‍රතිකාර තියෙනවා. රෝග ලක්ෂණ ජීවිත කාලය පුරාම මතු විය හැකියි. මේ සඳහා මුඛ අනුසාරයෙන් ලබාදෙන ඔෟෂධ නැහැ. මේ සඳහා භාවිත කරනු ලබන්නේ රසායනික ආලේපන ක්‍රමයයි. ෆොඩොෆිලින්, TCA වැනි රසායනික මේ සඳහා ආලේප කරනු ලබනවා. අනෙක් ක්‍රමය තමයි, ‘ක්‍රයෝතෙරපි’ නම් ක්‍රමය. මෙහිදී ප්‍රතිකාර කෙරෙන්නේ දියර නයිට්‍රජන් වායුව භාවිතයෙනුයි. ගැටිති විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇත්නම් කලාතුරකින් ඒවා ඉවත් කිරීමට සැත්කම්ද සිදුකරනු ලබනවා.

කොහොම වුණත් මෙම ප්‍රතිකාර ක්‍රම තීරණය වන්නේ රෝගියා සිටින තත්ත්වය මතයි. උදාහරණයක් විධියට ගර්භණී අවස්ථාවක ෆොඩොෆිලින් භාවිත කෙරෙන්නේ නැහැ. ගැබ්ගෙල පෙදෙසේ ඉන්නන් සඳහා ෆොඩොෆිලින් වගේම TCA ද භාවිත කරන්න බැහැ. ඒ වගේම පිරිමි කෙනකුගේ මුත්‍රාශය තුළ ප්‍රතිකාර කරන්නත් මේවා භාවිත කරන්න බැහැ.

ගැටිති සුවවන තුරුම සායනයේදී සතිපතා ප්‍රතිකාර ගත යුතුයි. එසේම මෙවැනි රෝගීන් තම ලිංගික ප්‍රදේශ පිරිසුදුව වියළි ස්වභාවයෙන් තබා ගැනීම වැදගත්. එසේම අනිවාර්යයෙන්ම තමන් සමඟ ලිංගික සබඳතා පවත්වන පාර්ශ්වයද මෙවැනි අවස්ථාවක පරීක්ෂාවට ලක් කළ යුතුයි. ලිංගික ඉන්නන් හැදුණු කාන්තාවන් වසරකට වතාවක් ගැබ්ගෙල පරීක්ෂාවක් කර ගත යුතුයි. ගර්භණී තත්ත්වයක මෙවැනි රෝගයක් හැදුණු මවුවරුන් දරු ප්‍රසූතියට පෙර අනිවාර්යයෙන් ප්‍රතිකාර ගත යුතුමයි.

උපුටා ගැනීම මව්බිම