This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
කුසල් දහමෙහි පමා නොවෙමු.
තමන්ගේ ජීවිතය තමන්ට පි‍්‍රය නම්, බාල, තරුණ, මහලු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් නුවණින් යුතුව කුසලයට නැඹුරු විය යුතු ය. කුසලයෙන් තම ජීවිතය පෝෂණය කරගත යුතු ය. “කිච්ඡො මනුස්ස පටිලාභො” යනුවෙන් දැක්වෙන්නේ මිනිසත් බව ලබාගැනීම දුෂ්කර බව ය. එය අපට ලැබී ඇත්තේ අතීත භවයන්හි කුසල් කළ නිසා ය. ඒ බව සිහියට ගෙන දිවි මඟ අර්ථවත් කරගත යුතු ය. නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස අත්තානං චෙ පියං ජඤ්ඤා රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං තිණ්ණමඤ්ඤතරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතො පින්වත්නි, ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් වෙයි. ළමා, තරුණ සහ මහලු වශයෙනි. දිවියක සාර්ථකත්වය සඳහා මෙකී අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් කුසල් දහම් රැස්කරගත යුතු ය. තුන් අවස්ථාවේදීම කුසල් සිද්ධකරගත හැකිනම් ඉතාමත් හොඳයි.එසේ කුසලයෙන් පෝෂණය කරන ලද ජීවිතය බෙහෙවින්ම සාර්ථකය. ජීවිතයක ප්‍රාථමික අවස්ථාව වන බාලවිය ශබ්ද ශාස්ත්‍ර උගෙනීමට පමණක් නොව, පිනට දහමට යොමුවීමට ද බාධාවක් නැත. ඒ සඳහා විශේෂයෙන් මවුපිය, ගුරුවර ආදි වැඩිහිටි පිරිසගේ මඟ පෙන්වීම ඉතා අවශ්‍යයි. සසරේදී ගුණදම්පුරා, බැවුම් වඩා කළණ මිතුරු ඇසුරක් ලබා ඇත්නම් ළමා අවධියේ වුවත් මඟ පල ලබාගත හැකිය. බුදුසසුනේ එවන් උත්තරීතර තත්ත්වයට පත් කුඩා තෙරණුන් වහන්සේ ගැන කොපමණවත් කරුණු සඳහන්ව ඇත. සුමන, සෝපාක, සංකිච්ඡ, රේවත සහ පණ්ඩිත වැනි තෙරුණුන් වහන්සේ සත් හැවිරිදි වියේදීම රහත් බවට පත් උතුමෝ වූහ. සත් හැවිරිදි රාහුල පොඩිහාමුදුරුවෝ ද උතුම් රහත්ඵලයට පත්ව සිටියහ. දොළොස් හැවිරිදි නිග්‍රෝධ රහතන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළ ධර්මාශෝක මහ අධිරාජයා බුදුසමය වැළඳගෙන සසුන් දියුණුවට සිදුකළ මෙහෙවර සදානුස්මරණීය වේ. ජීවිතයේ දෙවැනි අදියර වශයෙන් සැලකෙන තරුණ අවධිය ඉතා වැදගත්ම කාලයයි. කායික, මානසික ශක්තිය ඉහළින්ම පවතින මෙම අවස්ථාව කුසලට දහමට නැඹුරු කිරීමෙන් සියලු අර්ථ සිද්ධීන් සපුරාගත හැකිය. බුදුසමයේ ප්‍රාථමික අවධියේ සසුන්ගතවූවන්ගෙන් වැඩිදෙනා යොවුන් වියේ පසුවූ අයයි. බරණැස් සිටුපුත් සහ යසකුල පුත්‍රයාත් ඔහුගේ සගයන් සිව්පනස් දෙනාත් තරුණයෝ ය. භද්දවග්ගිය කුමරුන් හා උපතිස්ස, කෝලිත දෙයහළුවන් ද එසේමය. මේ ආදී දහස් සංඛ්‍යාත තරුණ පිරිස් බුදු සසුනේ පැවිදිව උත්තරීතර අරහත්ඵලය සාක්‍ෂාත් කරගත්හ. අප සිදුහත් කුමරාණන් ද ගිහිගෙය අතහැර ගියේ එකුන්තිස්වැනි වයසේදී බව බුද්ධචරිතයෙහි ප්‍රකට කරුණකි. මහලු වයස හෙවත් පශ්චිම අවධිය වැඩි වැඩියෙන් පින් කිරීමට යොමුවන කාලයකි. පොහෝ දිනවල විහාරස්ථානවල ධර්මශාලා පිරී පවතින්නේ මහලු උවැසි උවසුවන්ගෙනි. උපාසක අම්මා, උපාසක මහත්මයා යන බෞද්ධ ආගමික ගෞරව නාමයෙන්ද ඔවුහු හැඳින්වෙති. යොවුන් වියේ පසුවන ඇතැම් අය එයට අකැමැත්තක් දක්වති. සමහර තරුණ පිරිස් එම නාමය ලජ්ජාවට කාරණයක් ලෙස සලකති. එහෙත් එය සාවද්‍යය. බෞද්ධ ගිහියාට උරුමවූ උසස්ම වචනය එයයි. ඉන්ද්‍රිය දුබලත්වය නිසා මහලුවිය සිල් පිරීමට හෝ බැවුම් වැඩීමට අපහසු වූවත් උනන්දුවීම හොඳයි. ඉහත සඳහන් ගාථාවට අනුව ජීවිතයේ අවස්ථා තුනෙන් එක් අවස්ථාවක හෝ කුසලට නැඹුරුවිය යුතු බව දැක්වේ. එහි සම්පූර්ණ තේරුම මෙසේයි. “තමන්ගේ ජීවිතය තමන්ට පි‍්‍රය නම්, බාල, තරුණ, මහලු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් නුවණින් යුතුව කුසලයට නැඹුරුවිය යුතු ය. කුසලයෙන් තම ජීවිතය පෝෂණය කරගත යුතු ය.” මෙම ගාථාව බෝධිරාජ කුමාරයා ඇරැබ දේශන කරන ලද්දකි. එහෙත් සසර සැරිසරන අප හැමදෙනා උදෙසාම දේශනා කරන ලද්දකැයි සිතිය යුතු ය. උපත ලැබූ සැමදෙනාම තමාගේ ජීවිතයට කැමැතිය. ගෙල වැල දමාගත් පුද්ගලයකු වුවත් අන්තිමට දඟලන්නේ එයින් මිදීමටය. විශේෂයෙන් මිනිසත්බවක් ලබාගත් සැමදෙනම සිතිය යුත්තේ දුර්ලභව ලැබූ මේ මිනිසත් බව සාර්ථක කර ගැනීම පිළිබඳවය. “කිච්ඡො මනුස්ස පටිලාභො” යනුවෙන් දැක්වෙන්නේ මිනිසත් බව ලබාගැනීම දුෂ්කර බවය. එය අපට ලැබී ඇත්තේ අතීත භවයන්හි කුසල් කළ නිසා ය. ඒ බව සිහියට ගෙන දස අකුසලින් වැළැකී දස කුසල්හි යෙදෙමින් දිවිමඟ අර්ථවත් කරගත යුතු ය. කුසල් හෝ අකුසල් සිදුවීමට හේතුවන ප්‍රධාන දොරටු තුනක් ඇත. කය, වචන හා මන යනුවෙන් එම ද්වාර ත්‍රය දැක්වේ. කාය ද්වාරික අකුසල් තුනකි. සතුන් මැරීම, සොරකම් කිරීම හා පරදාරසේවනයයි. වාග් ද්වාරයෙන් සිදුවන අකුසල සතරකි. බොරුකීම, කේලම්කීම, පරුෂ වචනකීම සහ නිසරු වචන දෙඩීම යනු එම සතරයි. මනැස මූලික අකුසල තුනකි. විෂමලෝභය, ව්‍යාපාදය හා මිථ්‍යා දෘෂ්ඨිය යනුයි. මේ දස අකුසල් වලින් වැළැකී දාන ශීලාදී කුසල ධර්මයන්හි යෙදී වාසය කිරීම දෙලොව යහපත පිණිස හේතු වේ. ඉහත සඳහන් කළ තුන්කාලයෙන් එක් අවස්ථාවකදී හෝ එබඳු යහගුණ වඩා අරි අටඟි මඟට පිවිස උතුම් නිවන්සුවය ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට අදිටන් කරගත යුතු ය. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, පණ්ඩිත අම්පිටියේ සිරිවිමල නා හිමි උපුටා ගැනීම බුදුසරණ පුවත්පත