This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
එක වදනක් පමණි.
වියට්නාම් ජාතික දෝ වියට් හං (Dau Viet Hung) ලියූ දතර Only One Word කෙටිකතාවේ සිංහල පරිවර්තනය මහල්ලා ගැන තමා අකමැති දෑ බොහෝ වුවත් ටයි ඔහුට අන් කවරකුටත් වඩා ඇලුම් කළා සේම ගෞරව කළේය. සෝ මහතා මිටිය. කෙට්ටුය. ශක්තිවන්තය. පැතැලි මුහුණින් යුක්තය. ඔහුගේ කරුණාවන්ත දෑස් මුදුය. එහෙත් විටෙක රළුය. එකම සිරුරක් තුළ මේ දෙබිඩි ලක්ෂණ පිහිටියේ කෙසේ දැයි ටයිට නම් ප්‍රශ්නාර්ථයකි. ටයිගේ වයස වසර පහළොවක් වුවද, සෝ මහතා ඔහු දුටුවේ වැඩිහිටි අවධානය යොමුවිය යුතු කුඩා ළමයෙකු මෙනි. ටයිගේ මුවින් යම් නරක වචනයක් පිටවූයේද, මහල්ලා ඔහුට තදින් තරවටු කළේය. “මේ තරම් ඉක්මනින් උඹ නරක වචන ඉගෙන ගත්තේ කොහොමද?” ටයිට කේන්ති යාම නොවැළැක්විය හැකි තවත් වචනයක් වූයේ නිතරම සෝ මහතා කියූ “මගෙ ළමයෝ උඹ මහන්සි වෙලා ඉගෙන ගනින්” යන්නය. සබඳතා මධ්‍යස්ථානය තුළ සෝ මහතා ප්‍රධානියා හෝ නියෝජ්‍ය ප්‍රධානියාද නොවීය. ඔහු නොමිලයේ නවාතැන් ගත්තකු වූ අතර සියලු දෙනා සඳහා කෑම පිසීම, වතුර උණු කිරීම, ඇඳ ලෑලි අලුත්වැඩියා කිරීම වැනි විවිධ කාර්යයන්හි නියැළිණි. ප්‍රමාණවත් සබඳතා නිලධාරීන් නොමැති වූ විටකදී ඔහු ලිපි ‍ලේඛන බෙදීම වෙනත් මධ්‍යස්ථානයන් කරා ගරිල්ලන් මාරු කිරීම වැනි සුළු රාජකාරිවල නියුක්ත විය. “ටයි ඔබ ඇතුළු වන විට හා පිටව යන විට ‘හලෝ’, ‘ගුඩ්බායි‘ වැනි වචන කියන්න පුරුදු වන්න ඕනෑ. ගෙදර යන විට අපට නොදන්වා යන එක ආචාරශීලී නෑ. හොඳින් හැසිරීමට ඉගෙන ගන්න ඕනෑ.” මේ සෝ මහතා විසින් නිතර ටයි වෙත කළ අවවාදයන් විය. සබඳතා මධ්‍යස්ථානය හැර යායුතු යැයි ටයිට සිතුණු වාර බොහෝය. එහෙත් මෙතනින් පිටවී කොහේ යා යුතු දැයි ටයි නොදැන සිටියේය. ටයිගේ පියා ගරිල්ලා භටයකු වූ අතර, සතුරු හමුදාව අතින් ඔහු මරණයට පත්විය. ඒ වන විට ටයිගේ වයස යාන්තම් අවුරුදු හත පිරුණා පමණි. නොබෝ දිනකින් දෙවැනි විවාහයකට එළඹුණු ඔහුගේ මව ඔහු හැර ගියාය. එතැන් සිට ඔහුට තම පිය පාර්ශ්වයේ සීයා සමග පිටිසරබද පළාතක ජීවත්වීමට සිදුවිය. තම වයස අවුරුදු දාහතර වන විට ඔහු ගව හිමියෙකුගේ ගවයින් රැක බලා ගැනීමේ රැකියාවක නියුක්ත වූයේය. අසල වූ සතුරු කඳවුරකට විමුක්තිකාමී ගරිල්ලන් පහර දුන් අවස්ථාවකදී, එතැනට පැමිණි ටයි තමාද විමුක්ති හමුදාවට බඳවා ගන්නා ලෙස අණ දෙන නිලධාරියාගේ ඉල්ලා සිටියේය. 18-1“ඔයා හමුදාවට බැඳීමට තරම් සුදුසු වයසක නෑ. මේ සබඳතා මධ්‍යස්ථානයේ නතර වෙලා අපේ ගරිල්ලන්ට සහය වන්න. මම අවුරුදු දෙකකට පස්සෙ ඇවිල්ලා ඔයා හමුදාවට බඳවා ගන්නම්.” අණ දෙන නිලධාරියාගේ උපදේශයට ටයි එකඟ විය. “මම සෝ මහතාටත් වඩා වැදගත් රාජකාරියක් මෙතන කරනවානේ” ටයි තමාටම කියා ගත්තේය. ටයි අත්‍යවශ්‍ය චක්‍ර‍ලේඛ සහ රාජකාරි ලිපි නියමිත ස්ථාන කරා ඉතා ඉක්මනින් බෙදා හැරියේය. ගරිල්ලා ප්‍රහාරයට පෙර නියමිත ස්ථානවල චරපුරුෂ සේවයේ යෙදී සුරක්ෂිතභාවය තහවුරු කළේය. ටයිට යම් රාජකාරියක් පැවැරුවේද, නිසියාකාරව එය ඉටු කළේය. මේ පිළිබඳව ටයි ප්‍රශංසාවට ලක්වූ සෑම වරකම සෝ මහතා දෙස හැරී බැලුවේය. එම බැල්මෙහි සටහන් වූයේ “මම ඔබට වඩා වැදගත්” යන්නයි. එහෙත් දිනක ෂූ හෝ මහතා ප්‍රකාශ කර සිටියේ, “ටයි මම ඔබ සෝ මහතාගේ ආරක්ෂාව යටතට පත් කරනවා. ඔබ සෑම විටම ඔහුට ගරු කළ යුතුයි. මේක හමුදා අණක්.” සෝ මහතාගේ අණ සෑම විටම ආගන්තුක වූවක් විය. “අඩුම වශයෙන් දරමිටි තුනක්වත් එකතු කරන්න උත්සාහ කරන්න ඕනෑ. මේක අණක්.” “මේ ටැංකි දෙකටම වතුර පුරවන්න ඕනෑ. නැතිනම් හවස් වෙනකොට වතුර ඉවර වෙයි.” “මගේ පිට කකියනවා. ‍පොඩ්ඩක් මසාජ් කරනවාද?” “මේකත් අණක්ද සෝ මහත්තයා” දිනක් මහල්ලාගෙන් ටයි ඇසුවේය. “ඔව්. මේක අණක් ඉක්මන් කරනවා.” එය නියාමාකාරයෙන්ම අණක්ද නැද්ද යන්න වැදගත් සාධකයක් නොවීය. ටයි සියල්ලටම අවනත වෙමින්, කීකරුව කාරිය නිම කළේය. ක්‍රියාවලිය සිදුවෙමින් පවතිද්දී සෝ මහතා කෙරෙහි ටයි තුළවූ බැඳීම තව තවත් ගැඹුරු විය. සමහර අවස්ථාවලදී සෝ මහතාගෙන් යමක් සිය හදපත්ලෙන් ඉල්ලා සිටින අයුරු ටයිට හැඟේ. නමුත් ඒ කවරක්ද? එහි හැඩය කුමක්දැ?යි ටයිට නොහැඟේ. මහල්ලා තමාට ඇලුම් කරන්නා සේම තමා දෙස සානුකම්පිතව බලන බව ටයි අවබෝධ කර ගත්තේය. එමෙන්ම මහල්ලා තමාට ඉතා බැරෑරුම්ව සලකන බවද ටයි තේරුම් ගත්තේය. ටයි අසනීපවූ විටකදී, ඒ ගැන කම්පාවට පත්වූ සෝ මහතා එළිවන තුරු නොනිදා සිටියේය. දිනක් ටයි උණ රෝගයෙන් පෙළුණ විටකදී මහල්ලා මුළුරැය නොනිදා සිටියේ විටින් විට තුවාය දියෙන් තෙමා ටයිගේ නළලෙහි තැබුවේය. ටයි සනීපවූ පසුව “දෙවියන්ට ස්තුති වේවා ඔබට සුවය.ි මීට පස්සෙ වැස්සට තමෛන්න එපා” යැයි කෑ ගැසුවේය. ටයිගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැලිණ. තම සීයාගෙන් පසු තමා දෙස මෙතරම් හැඟීමකින් බැලූ කිසිවකු හෝ ටයිට හමුවී නොමැත. නිතර තමාට සරල දේවල් උගන්වන නියෝග පනවන මේ මහලු මිනිසා වන් පියෙකු තමාට සිටියේ නම් යෝග්‍ය යැයි විටෙක ටයිට සිතුණේය. “මීට පස්සේ මේ වගෙ වැඩ කරන්න එපා” මෙවැනි අවවාද ටයි ඉතා සතුටින් බාර ගත්තේය. දින කිහිපයකින් තමා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පසු සෝ මහතා වෙනස්වී සිටිනු ටයි දුටුවේය. ඔහු තවදුරටත් තමා වෙත අවවාද නොදෙන්නාක් මෙනි. කිසිදු කාර්යය පැවරීමක් නොමැති නිසා ටයිට කාන්සියක් දැනිණ. ඔහුගේ අවවාදවලට ඇහුම්කන් දීමට ටයි ආශා කරයි. ඔහු දුන් ඕනෑම අණක් සාදරයෙන් පිළිගැනිණ. ටයි ඉතා අකමැති “මගේ ළමයෝ ඉගෙන ගනින්” යන අවවාදය පවා මේ මොහොතේ මිහිරි යැයි ඔහුට සිතිණි. ළමා කාලයේ සිට මේ දක්වාම ටයි පාසලක ඇතුළ දැක නොමැත. දැන් අකුරෙන් අකුර, වචනයෙන් වචනය හඬනගා කියවීම ඉතා අප්‍රසන්න කරුණකි. අලුත් වචනයක් ඉගෙන ගත් සැණින් මුලින් ඉගෙන ගත් වචනය අමතක වේ. දිනක් ෂූ හෝ මහතා, සෝ මහතාට ‘ගුරුතුමා’ යනුවෙන් අමතන ලෙස ටයිට කීවේය. සෝ මහතා පෙර ගැමි පාසලක ගුරුවරයකු වී සිටි බව ටයි දැන සිටියද “මේ නාකි සෝ මගේ ගුරුවරයා වෙන්නේ කොහොමද?” ටයි තමාගෙන්ම ප්‍රශ්න කළේය. කාලතුවක්කු උණ්ඩයක් සෝ මහතාගේ නිවස මත පතිතවෙද්දී, දිවි ගලවාගත් එකම පුද්ගලයා ඔහු විය. බියෙන් පලා යද්දී ඔහුට මේ සබඳතා මධ්‍යස්ථානයේ ලැගුම්ගත හැකි විය. සෝ මහතාගෙන් ඉගෙන ගැනීම නිසා දැන් ෂූ හෝ සහ චොන් ලියම් යන මහත්වරුන්ටත්, තාඩ් මෙනවියටත් පත්තරයක් කියවිය හැක. ෂූ හෝ මහතා සෝ මහතාට ගුරුතුමා යනුවෙන් අමතනු ටයිට කිසි දිනක ඇසී නොමැත. නමුත් තාඩ් මෙනවිය සහ චොන් ලියම් මහතා ඉතා ගෞරවයෙන් සෝ මහතා අමතනු ටයිට ඇසී ඇත. “යමකු ඔබට වචනයක් හෝ වචනයකින් බාගයක් ඉගැන්වුවහොත් ඔබ ඔහුට ගුරුතුමා යනුවෙන් ආමන්ත්‍රණය කළ යුතුය” යනුවෙන් වියට්නාම් ප්‍රස්තා පිරුළක් ඇත. මෙය ටයිට අවබෝධ වූයේ නැත. සෝ මහතා තමාට වචන දහස් ගණනක් උගන්වා තිබුණද, ටයි කිසි දිනක ඔහුට ගුරුතුමා යනුවෙන් ආමන්ත්‍රණය කොට නොමැත. ගුරුවරයා යනුවෙන් ඔහුගේ සිතෙහි ඇඳී තිබුණේ, දිලිසෙන ලෙස ‍පොලිෂ් කරන ලද සපත්තු හැඳ හම් බෑගයක් අතැතිව යන උස මිනිසෙකුගේ රුවකි. නිතර කළු පිජාමාවකින් සැරසී සෙරෙප්පු පය නොලා නොපීරු කොණ්ඩයෙන් යුත්, සෝට ගුරුතුමා ලෙස අමතන ලෙස ෂූ හෝ මහතා දුන් අවවාදය ටයි පිළිගත්තේ නැත. සතියක පමණ කාලයක සිට ටයි හතරවන අධිවේගී මාර්ගයේ සතුරු හමුදා ක්‍රියාන්විත මෙහෙයුමක් සිදුවන්නේද? යන්න සොයා බැලීම සඳහා පත් කරන ලද කණ්ඩායමේ නායකයාය. සුදුසු වේලාව පැමිණි විට ගරිල්ලා මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා වන කාලය පැමිණ ඇති බැව් සංඥා කළේ ඔහුය. මෙය සතියක පමණ කාලයක් වුවත් ඊට වඩා දීර්ඝ කාලයක්, තමා සෝ මහතාගෙන් වෙන්ව ඇති බව ටයිට දැනේ. වඩ වඩාත් මහල්ලාගෙන් ඈත් වන්නට තමා තව තවත් වැරැදිකරුවෙක්ය යන හැඟීම ටයිට පහළ වේ. ගරිල්ලන් අතර ටයි ඉතා ඉහළ ඇගයීමකට ලක්වූයේ ඔහුගේ කරුණාවන්ත බව ආචාරශීලී බව හා කීකරුකම නිසාය. “සෝ මහතා උපදෙස් දුන් පරිද්දෙන්ම තමා තව තවත් සැලකිලිමත් වූයේ නම් මීටත් වඩා ප්‍රශංසාවට ලක්වනු ඇතැ”යි ටයිට සිතුණේය. ආපසු කඳවුරට ගිය පසු වඩ වඩාත් උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු කිරීම තුළින් සෝ මහතාට කළගුණ දැක්විය යුතු යැයි ටයි තීරණය කළේය. හතරවන අධිවේගී මාර්ගයේ මෙහෙවර අවසන්කොට ආපසු කඳවුරට පැමිණි ටයිට තාඩ් මෙනවිය මුණගැසුණේ අහම්බෙනි. සතුරු හමුදාවේ වෙඩි උණ්ඩයක් වැදී ඇයගේ වම් කම්මුල තුවාලවී තිබිණ. ඇය දුබල දෑත් වනමින් කළ සංඥවෙන් අදහස් වූයේ තමා ටයිගෙන් යම් උපකාරයක් බලා‍පොරොත්තු වන බවය. ටයි ඇය නිතර රැගෙන ගිය අත්බෑගය ඇය වෙත ගෙන ආවේය. ඇය අත්බෑගයෙන් කුඩා සටහන් ‍පොතක් හා පැන්සලක් එළියට ගෙන එහි පිටුවක යමක් ලියා එය ඉරා වෙන්කොට ටයි අතට දුන්නේය. ඇය ක්ලාන්තවද්දී ඔහු සටහන තම අතට ගත්තේය. ටයිට ඇය ලියූ සටහන කියවා තේරුම්ගත නොහැකි විය. ඇයගේ තුවාලය බැන්ඩේජ් පටියකින් එතූ ඔහු සැණින් ඇය දිස්ත්‍රික්කය තුළ තාවකාලිකව පිහිටුවන ලද ක්ෂේත්‍ර රෝහල වෙත ගෙන ගොස් ඇය ක්ෂේත්‍ර වෛද්‍යවරයා වෙත බාර දුන්නේය. ඔහුට ලිපිය මතක් විය. වහා එය හෙදියක වෙත පෑ ඔහු ඇයගෙන් එය කියවන ලෙස ඉල්ලා සිටියෙන් ඇය එය කියවූවාය. “වහා කඳවුර වෙන තැනකට ඉවත් කරන්න. දැන් මෙම කඳවුර පිළිබඳව සියලු තොරතුරු සතුරන්ට අනාවරණය වී ඇත. දැන් සතුරු හමුදාව කඳවුර වැටලීමට ආසන්නයි“ තමා භූමිකම්පාවකට හසුවී ඇති සැටියක් ටයිට දැනේ. දිනක් ගතවී ඇත. රෝහ‍ලේ සිට කඳවුර දක්වා යාමට ඔහුට තව දිනක් ගතවනු ඇත. දැනටමත් ප්‍රමාදය. ඔහු රෝහලෙන් පිටව ගියේ හෙදියට ස්තුති කිරීමටවත් අමතක කරමිනි. කඳවුර වෙත ළඟා වන විට සිදුවෙමින් පැවැතියේ කුමක්දැයි ඔහුට නෙත් අදහාගත නොහැකි විය. කූඩාරම නංවාලීම සඳහා අටවා තිබූ ලී කණු ගිනි දළු පිට නොකරමින්, දැවෙමින් පැවතිණ. ඇඳුම් පැළඳුම් බඩු භාණ්ඩ යනාදිය ඉරා සුණුවිසුණු කොට තැනින් තැන විසුරුවා දමා ඇත. ෂූ හෝ මහතා මුණින් වැටී ඇත. ඔහුගේ එක අතක් මත නිකටය. අනෙක් අතින් ඔහු යමක් ගැනීමට උත්සාහ කරමින් සිටියි. අනෙකුත් කඳවුරු සගයින් හා එක්ව ටයි ආහාර ගත් කුටිය මුණින් අතට පෙරළා ඇත. ආහාර සෑම තැනම විසිරී ඇත. ‍පොළොව මත තැනින් තැන ‍ලේ පැල්ලම්ය. කලබලය නිසා පිටතට ඇදුණු මැසි රංචු ආපසු කූඩාරම තුළට ඇදෙමින් සිටියි. තම උගුර තිත්ත වන්නා සේ ටයිට හැඟිණි. ඔහු දණින් වැටී “තාත්තේ තාත්තේ” යැයි කෑ ගැසුවේය. ඔහුගේ හඬ කමෛන් දුබල වූයේ අවසානයේ වන පත්‍රවල සරසර නාදය තුළ ගිලී ගියේය. සතුරන් විසින් සෝ මහතා රැගෙන ගොස් ඇත. ටයි යළි ගමන ආරම්භ කළේය. මුළුතැන්ගෙයි වත්ත දෙසට වැටුණු ‍ලේ පාරක් ටයි නෙත ගැටිණ. ‍ලේ පැහැය මදින් මද අඩුවිය. ඔහු වහා නතර විය. ‘මළවුන්ගේ කලාපය’ ඔහු රහසින් කොඳුරා යළි නොනැවතී ඉදිරියටම ගියේය. ඔහු පඳුරු අතරින් හැපි හැපී ගමන් කළේ බිම හෙළන ලද ගස් සහිත ප්‍රදේශයක නතර විය. ඒ අතරින් අපහසුවෙන් ගමන් කරද්දී, සයිගොන් හමුදා භටයින් එකොළොස් දෙනෙකුගේ මළමිනී ‍පොකුර සමගින් වැරහැලි ගැසුණු කළු පිජාමාව හැඳ සිටි සෝ මහතාගේ මළ සිරුරද හමුවිය. ඔහුගේ දෙනෙත් පළල්ව විවරවී තිබිණ. එහි මුදු බව හෝ රළු බව නොවීය. එහෙත් සතුරු හමුදා භටයින්, රවටා ‘මළවුන්ගේ කලාපය’ (බිම් බෝම්බ සහිත) වෙත කැඳවාගෙන ඒමේ ගෞරවය ඒ දෑස්වල දිස්විණ. ඔහුගේ දෙතොල් අඩක් විවරව තිබුණේ, තමා සිනහවෙන් මරණය බාරගත් බව පවසන අයුරිනි. ටයි දණ නමා මහලු මිනිසාට ආචාර කළේය. මළ මිනිය ඉහළට එසවූ ඔහු එය දැඩිව වැළඳ ගත්තේය. “ගුරුතුමා මගේ ගුරුතුමා” යනුවෙන් ඔහු ඉකිබිඳ හඬා කෑගසද්දී ඔහුගේ සිහින් උරහිස සාහසික වේශයෙන් සැලිණ. පරිවර්තනය - සත්‍යපාල ගල්කැටිය උපුටා ගැනීම ලක්බිම පුවත්පත